විරසක නොවී පිළිගත යුතු කන්නියාවේ සැබෑ උරුමය | Page 2 | සිළුමිණ

විරසක නොවී පිළිගත යුතු කන්නියාවේ සැබෑ උරුමය

රටේ හාත්පස ප්‍රකට වන්නේ එකම ආකාරයක ගෝත්‍රික හැසිරීමකි. දකුණේ උතුරේ නැඟෙනහිර ලෙස එය වෙන් වන්නේ නැත. අප දන්නේ කිසිම සංස්කෘතියක් තවත් සංස්කෘතියකට වඩා වැඩි වටිනාකමක් අත් කරගන්නේ නැති බවය. එබැවින් සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ සපුරා තහවුරු කරන ඉතිහාසයේ යථාර්ථයට ගරු කළ නොහැකි අර්ධ ම්ලේච්ඡත්වය කවදාවත් ජාතියක උන්නතියක් ඉපදවූයේ නැති බවය.

යළිත් ත්‍රිකුණාමලයේ කන්නියා උණු දිය උල්පත් අසල අසංස්කෘතික සටනක් සූදානම් කරමින් ඇත. මෑත ඉතිහාසයේ අප මේ සම්බන්ධව ලැබූ අත්දැකීම මීට දශක දෙකකට ආසන්න අතීතයක් වෙත අප කැඳවාගෙන යයි. ඒ වන විට එල්.ටී.ටී.ඊ ය සමඟ ආණ්ඩුව සාම සංවාදයක් උපදවා තිබිණි. ස්ථානයේ පාලනය පැවතියේ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාව යටතේය. ඒ අවසරය තුළ ඒ අසල ඒ වන තුරු පැවති කුඩා හින්දු කෝවිල් පරිශ්‍රය ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළක් ඇරැඹිණි. ඩෝසර දමා අවට භූමිය කණින විට මතු වන්නේ පුරාණ බෞද්ධ ආරාමික නටබුන් ප්‍රමාණයකි. ඒ සම්බන්ධව වාර්තා කරණයේ යෙදුණු අතීතය මතකය. ඒ අවස්ථාව වන විට නැඟෙනහිර ශාසන භාරකාරිත්වය දැරූ නා හිමිවරු පවා මේ ව්‍යසනය සම්බන්ධව ඍජුව මැදිහත් වීමට මැළි වූහ. පුරාවස්තු ව්‍යසනයට ලක් කරමින් කරගෙන යන ඉදිකිරීම් රටෙන් මතුව පැමිණි විරෝධය නිසා යම් පමණකට නැවතී ගියේය.

ඉතිහාසය ගලා එන්නේ ගැටුම් මතිනි. උතුරු නැඟෙනහිර ප්‍රදේශ ඉතිහාසය පුරාම පැවතියේ ඉන්දියානු ආක්‍රමණිකයන්ගේ ගොදුරු බිම් ලෙසිනි. ඒ වකවානුවල ක්‍රියාත්මක වූ සංස්කෘතික විචලනයන් සමඟ බෞද්ධ පුදබිම් ඇසුරෙහි හින්දු කෝවිල් බිහිවීම, ඒවා පැවතීම, එම කෝවිල් අභාවයට යෑම, යළිත් බොදු උරුමය මතු වීම සියවස් ගණනක් පුරා යථාර්ථයක් විය. ශිෂ්ටාචාරවත් මිනිස්සු මේ සාධක සහිත ඉතිහාසය පිළිගනිති. ඊට ගෞරව කරති. එහෙත් තවමත් අප ඒ තරම් දියුණු මනුෂ්‍යයන් වී නැත. මේ භූමියේ විසිරී පැවති මතුපිට සාධක භූමිය ඓතිහාසික බෞද්ධ ආරාමික භූමියක් බව තහවුරු කළේය. දැන් සිදු වෙමින් ඇත්තේ එම ඉතිහාසය හින්දු මතධාරීන් ප්‍රශ්න කිරීම නිසා ගැටලුවක් නිර්මාණය වීමය.

පුරාවිද්‍යා භූමිය

මේ වන විට ත්‍රිකුණාමලය කන්නියා උණු දිය ළිං පරිශ්‍රය එම භූමියේ පැවති විද්‍යානුකූල ඓතිහාසික යථාර්ථය හෙළි කරන පුරාවිද්‍යා රක්ෂිත භූමියකි. භූමියේ පරිපාලනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යටත්ය. භූමිය පුරාම විසිරී ඇත්තේ බෞද්ධ ආරාමික නටබුන්ය. එම උණුදිය උල්පත් එම බෞද්ධ ආරාමික භික්ෂූන්ගේ පරිහරණය සඳහා කැප කළ එම ආරාම සංකීර්ණයෙහි කොටසක් ලෙස පැවති බවට මතයකි. එම ආරාම සංකීර්ණය වෙල්ගම් වෙහෙර බෞද්ධ ආරාම සංකීර්ණයේ කොටසක් බව පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. කලක් මේ බිම එල්.ටී.ටී.ඊ වාරිගික යුද්ධයේ ගොදුරු බිමක් විය. එම වකවානුවේ මේ ස්ථානය හා තිබූ බෞද්ධ සම්බන්ධය යටපත්ව පැවතිණි. එකල එ.ම බිම පාලනය වූයේ අසල වූ හින්දු මාරි අම්මාන් කෝවිලෙනි.

පුරාවිද්‍යා කැණීම්

මේ පුරාවිද්‍යා භූමිය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ශාස්ත්‍රීය පුරාවිද්‍යා කැණීමක් සිදු කළේය. එහි දී මතු වන අනුරාධපුර මුල් යුගයට අයත් දාගැබ් ගොඩැල්ල සංරක්ෂණය කිරීමේ කටයුතු පසුගිය වකවානුව පුරා සිදු වෙමින් තිබිණි. මේ අතර පසුගිය දා කෝවිල් භාරකාර මණ්ඩලයේ යැයි කියන පිරිසක් එම සංරක්ෂණ කටයුතුවලට විරෝධය පෑහ. ඔවුන් පවසා සිටියේ එම ඉපැරණි දාගැබ මතුපිට කෝවිලක් තිබු බවය. ඒ විරෝධතාව මත ත්‍රිකුණාමලය දිසාපති එන්.ඒ.ඒ. පුෂ්පකුමාර ස්ථානීය පරීක්ෂාවක් කළේය. අනතුරුව මේ සම්බන්ධව සොයා බැලීමට කටයුතු කරන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පී.බී. මණ්ඩාවලට දන්වා පවත්වාගෙන යමින් තිබූ සංරක්ෂණ කටයුතු ජුනි 10 වැනිදා තෙක් තාවකාලිකව නැවැත්වීමට පියවර ගනු ලැබිය.

ඒ වන විට වෙල්ගම් වෙහෙර රජමහා විහාරාධිපති අම්පිටියේ සීලවංශ තිස්ස හිමි, කෝවිල් භාරකාර මණ්ඩලයේ යැයි කියන පිරිස හා ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්ලියු.එච්.ඒ. සුමනදාස මෙන්ම පොලිසියද එම ස්ථානයට පැමිණ සිටියහ.

මෙහිදි කෝවිල් භාරකාර මණ්ඩලයේ යැයි කියන පිරිස කියා සිටියේ එම ස්ථානයේ කෝවිලක් තිබු බවය. එය හින්දු කටයුතු අමාත්‍යාංශයේ ලියා පදිංචි කර ඇති බවය.

එම අවස්ථාවේදී කන්නියා උණුදිය ලිං පරිශ්‍රය ඇතුළු උණුදිය ළිං රජමහා විහාරය සහිත අක්කර අටක භූමිය තමන්ට අයත් බව කියමින් තවත් කාන්තාවක් එම ස්ථානයට පැමිණ විහාරාධිපති හිමියන්ට බැණ වදින්නට වූවාය. තත්ත්වය තරමක් උණුසුම් විය. අනතුරුව දිසාපතිවරයා මැදිහත්ව සිය හඬ අවදි කළේය. “මේ ස්ථානයේ පැරණි දේවල් දක්නට ලැබෙනවා. පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කිරිමෙන් පසුව එම ස්ථානයේ කටයුතුවලට බාධා කරන්නටවත්, කිසිවෙකුටත් එම ස්ථානය සම්බන්ධයෙන් හිමිකම් පැවැසීමට නොහැකියි. කෙසේ වෙතත් රටේ පවතින තත්ත්වය මත තවත් ගැටුමක් අවශ්‍ය නෑ. මේ ස්ථානයෙහි සංරක්ෂණ කටයුතු තාවකාලිකව නවත්වන්නේ ඒ නිසා.”

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශය

නැඟෙනහිර පළාතේ සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්ලියු. එච්.ඒ.සුමනදාස ය. ඔහු මේ භූමිය හා එහි ඓතිහාසිකත්වය පිළිබඳ ප්‍රමාණවත් ප්‍රකාශයක් කරනු ලැබීය. “ එම පරිශ්‍රය පිහිටි ඓතිහාසික දාගැබ, පිළිම ගෙය හා උණුදිය ළිං හත 2011 සැප්තැම්බර් 09 වන දින අංක 1723 දරණ ගැසට් නිවේදනයෙන් පුරාවිද්‍යා ස්මාරක ලෙස ගැසට් කරලා තියනවා. අප මේ වනවිට කැණීම් කර ඇති දාගැබ නිශ්චිතව අනුරාධපුර යුගයේ ඉදිකිරීමක්. එමෙන් වැදගත් වන්නේ මේ ප්‍රදේශය තුළ යුග දෙකකට අයත් පැරණි නටඹුන් හමුවීමයි. අප පුරාවිද්‍යාඥයන් වශයෙන් කරනනේ ශාස්ත්‍රීය කටයුත්තක්. පුරාවිද්‍යා සාධක විනාශ කරන්න හෝ වසන් කරන්න අපට දිවි හිමියෙන් අවශ්‍ය නෑ. අපේ වගකීම වන්නේ ඉතිහාසයේ සැබෑ වර්ණය මතු කරගැනීම පමණයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුව මෙතෙක් හමුවු සියලු පුරාවස්තු බෞද්ධ උරුමය කියාපාන ඒවාය. සිරිපතුල් ගල් පහක් ගල් කණු රැසක් හා අනුරාධපුර මුල් යුගයට අයත් සෙල් ලිපියක කොටස් දෙකක් එම ස්ථානයෙන් හමු වී ඇත. සෙල්ලිපිය ක්‍රිස්තු වර්ෂ 1-2 සියවස්වලට අයත්ය. එය තැන තැන මැකී ගිය අක්ෂර සහිත පෙළි පහක් ලේඛණයකි. කියවා අර්ථ ගන්වා ඇති පරිදි එයින් කියැවෙන්නෙ කිසියම් රජෙකු විසින් කුරුවිය, මරුදවිය, අදී වැව් කීපයක භෝජක බද්ද සහ පලවැඩකල නම් වැව හා තවත් වැව් කීපයක් එම 

ස්ථානයේ සිටි භික්ෂූන්ට පූජා කළ බවය. ඒ ඓතිහාසික ලේඛනය කියන්නෙ අඩුම තරමින් අවුරුදු 1800ක් තිස්සේ පැවතුණ බෞද්ධ පුදබිමක් ගැනය.

ගැමියන් කියන කතා

මේ කතාව කියන්නේ ඩබ්ලියු. පී. සිරිපාලය. සිරිපාලගේ පියා උපාසක අප්පෝය. ඔහු ගල් කොරි කිහිපයක් පවත්වාගෙන ගිය අයෙකි. ඔවුන්ගේ මුල් පදිංචිය කන්නියා ප්‍රදේශයේය. ඔහුට දශක හයකට පෙර කන්නියා උණුවතුර ළිං පිරිශ්‍රය පැවති ආකාරය පිළිබඳ වූ මතකයක් ඇත.

“මේ කියන්නෙ 1957 කාලේ. ඒ වෙන කොට මේ පැත්ත හද්ද කැලෑව. අපිත් එක්ක දෙමළ පවුල් දහයක්වත් හිටියෙ නෑ මේ පැත්තෙ එතකොට. මේ ළඟ අම්බලමක් තිබුණා. කාලෙක ඉඳන් ඒ අම්බලමේ බායි කෙනෙක් හිටියා. උණුවතුර ළිං තිබුණෙ වළවල් වගේ. අලි, කොටි වලස්සු ඉන්න කැලෑව. මේ කැලෑවේ උණුවතුර ළිං තිබුණු ප්‍රදේශය පුරාම තිබුණෙ ගල් කණු. නටඹුන්. දැන් හින්දු කෝවිල තිබුණ තැන සඳකඩ පහණ තුනක් එක්ක ගල් කණු සහිත ගොඩැල්ලක් තිබුණා.

කඳුගැටේ උඩ ගල් කුලුනු කෑල්ලක් තියලා හින්දු බැතිමතුන් වන්දනා කරමින් හිටියා. මේ කෝවිල හැදුණෙ අපි දන්න කාලේ. ඒ සඳකඩ පහණ, පුරාණ ගල් කණු, සියල්ල අතුරුදහන් වුණා.” ප්‍රදේශයේ තතු දත් වියපත් මාතාවක වන සෝමවතී අම්මා කියන්නේ ද ඒ කතාවමය. මේ කෝවිල ගොඩ නැඟෙන්නේ ඇය හොඳින් දන්නා කාලයේදීය.

එහෙත් කෝවිල වෙනුවෙන් ඉදිරිපත් වී සිටිනා තරුණ හින්දු පූජකවරයා කියන්නේ මේ භූමිය රාවණාගේ කාලයට අයත් බවත් ඒ වකවානුවේ සිට පැවතෙන කෝවිලක් බවත්ය. පූජකතුමා තවමත් තිස් හය වසරක් සපුරා නැත.

“ මෙතැන රාවණා යුගයේ සිටි පැවත එන තැනක්. උණුවතුර ළිං මැව්වෙ උන්නාන්සෙ. හොඳයි දැන් මේක පුරාවිද්‍යාවට ගත්තා කියනවනෙ. ඉතින් මේක පුරාවිද්‍යාවට ගත්තා නම් හාමුදුරුවරු කොහොමද මෙතෙන්ට ඇතුළු වෙන්නෙ. මේ ප්‍රදේශයේ හින්දු බෞද්ධ රජවරු හිටියා. මෙතැන තිබුණේ ඔවුන් ඉදි කළ ඉදිකිරීම්. ඒ අතර කෝවිලක් තිබුණා. පුරාවිද්‍යාවට අයිති නම් මෙතැන හාමුදුරුවරු ඉන්න ඕන නෑ.”

තරුණ පූජකතුමාගේ අදහස එසේය. එතුමා වටා තරුණ දෙමළ, හින්දු තරුණ පිරිසක් එක් වී සිටිති. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කරමින් බලපෑම් කරන්නේ එම පිරිසය.

ඒ අතර එම ස්ථානය දෙමළ ජාතික සංධානයට බලය හිමි ත්‍රිකුණාලමලය නගර හා කඩවත් ප්‍රාදේශිය සභාවට ලබාගැනීමේ උත්සහායක් නිරූපිතය. මෙතැනට ලැබෙන විශාල අදායමට ඔවුහු ඇස ගසාගෙන සිටිති. එය ගැටුමක් දක්වා අවුළුවා ගැනීමේ වෑයමක් විටෙක ප්‍රකට වේ.

පවතින තත්ත්වය හමුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කැණීම නවතා දමා ඇත.

කැණීමෙන් මතු වූ ඓතිහාසික සාධක විද්‍යානුකූල සංරක්ෂණයකට ලක් කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනිවාර්ය වගකීමකි. නොඑසේ නම් සිදු වන්නේ කැණීමෙන් පසුව පරිසරයට නිරාවරණය වන ස්මාරක විනාශයට ලක් වීමය. සියලුම නෛතික තත්ත්ව සපුරා තිබෙද්දී ජාතික වැදගත්කමක් සහිත මේ ශාස්ත්‍රීය කටයුත්ත අත්හිටුවීමට දිසාපතිවරයාට සිදු වී තිබේ.

මේ ගැටුම කිසිම මොහොතක කිසිවෙකුගේ අපේක්ෂාවක් නොවේ. මේ කුඩා දිවයිනේ සියවස් ගණනක් ජීවිතය බෙදාගත් මිනිසුන්ට අනෙකාගේ සංස්කෘතියට ගරු කිරීමට ඇති නොහැකියාව කුමක් දැයි තවමත් තේරුම්ගන්නට බැරිය. අප ගලා ගිය රුධිරේ ගිලී මියෙන්නට ගිය මිනිස්සුය. මේ විසංවාදය විසින් නැති කර දමන්නේ මේ රට ප්‍රාර්ථනා කරනා ජීවිතය ය. මෙහි කෙළවර දකින තුරු අපේක්ෂා සහිතව බලාගෙන සිටිමු.

Comments