මෑතකදී මා නැරඹූ ‘හොඳම නාට්‍යය’ | Page 5 | සිළුමිණ

මෑතකදී මා නැරඹූ ‘හොඳම නාට්‍යය’

ඉතාම සිත් ගන්නා අයුරින් කතාවක් කීමේ හැකියාව සී. බී. රම්බොඩගෙදරට ඇත. ‘ජාන’ කෙටිකතා එකතුවේ සෑම කතාවකම ඒ ලක්ෂණය දැකිය හැකිය.

ශූර කෙටිකතාකරුවා ගැඹුරු අරුත් කරා පාඨකයා රැගෙන යන්නේ ඔහුට වද දෙමින් නොවේ. රම්බොඩගෙදර ද එවන් කෙටිකතාකරුවෙකි. අප කෙටිකතාව කියවාගෙන යන්නේ ආසාවෙනි. ඔහුගේ සිදුවීම් පෙළගැසීම, භාෂා රටාව හෙවත් ඔහු එය කියන ආකාරය ඔස්සේ කතාව නොනවත්වා කියවාගෙන යෑමට ඉබේ ම ආසාවක් ඇති වේ. අනෙක් අතට ශූර කෙටිකතාකරුවෙකුගේ තවත් සුවිශේෂ ලක්ෂණය වන්නේ කතාවේ අවසානය අනුමානය කළ නොහැකිවීමයි. එවන් දක්ෂ ගොඩනැංවීමක් සී. බී. රම්බොඩගෙදරගේ ‘ජාන’ කෙටිකතා එකතුව තුළ දැකිය හැකිය.

කතාවක අවසානය මෙන්ම ආරම්භය ද ඉතා වැදගත්ය. රම්බොඩගෙදර කතාවක් ආරම්භ කරන්නේ බොහෝවිට ඉතා සරලවය. ඒ සරලබව නිසාම ආරම්භයේ සිට ම කියවන්නා කතාව සමඟ ගැට ගැසේ. කෙටිකතා එකතුවේ දෙවෙනි කතාව වන ‘අම්මා’ කතාව ඇරඹෙන්නේ මෙසේය:

‘මම ආයෙත් කවදාවත් අපේ ගමට යන්නේ නැහැ. ඒ තරමටම මගේ හිත කලකිරුණා’ යි සිරිල් තම බිරිඳට පැවසුවේ සිය මවගේ මළගමට ගමේ ගොස් පැමිණ සපත්තු ගලවන ගමන්ය’.

මුළු කෙටිකතාවේ ම අර්ථය මේ හැඳින්වීමේ වාක්‍ය තුළ ගැබ්වී ඇති බව හැඟෙන්නේ අපට මේ කෙටිකතාව පළමුවර නොව දෙවැනිවර කියවීමේ දී ය. එහෙත් පාඨකයා මුලින්ම කතාවට ආකර්ෂණය වන්නේ එයින් නොවේ. ඔහුට කවදාවත් ආපසු ගමට නොයෑමට හේතු සොයාගැනීමට අවශ්‍ය වේ. ඒ නිසා දිගටම කියවාගෙන යෑමට ආසාවක් ඇති වේ.

තුන්වැනි කෙටිකතාව වන ‘පුංචි අක්කා’ ඇරඹෙන්නේ මෙසේය.

‘ඉස්කෝලේ යන්ට ඇයි මේ තරම් හදිස්සි’ කියා අම්මා නිතරම මගෙන් අසයි. පුංචි අක්කාත් ඇඟමැළි කඩමින් නැගිට විත් මට මොනවා හෝ ඇනුම් පදයක් කියා යළිත් නිදාගන්නට යයි.

කෙටිකතාව ඇරඹෙන මේ පුංචි ඡේදය තුළ මුළු කතාවම ඇත. එහෙත් එය වුවත් පාඨකයෙකුට වැටහෙන්නේ දෙවෙනි තුන්වර කියවීමේ දී ය. ඒ අනුව මේ කතා එක්වරක් නොව දෙවරක් තුන්වරක් කියවීමට තරම් වුව ද රසවත් බවක් ද අවශ්‍ය නම් කිව හැකිය.

එසේ ම සම්භාව්‍ය කෙටිකතාකරුවන් සතු වන බස හැසිරවීමේ හැකියාව ද ඔහු සතුය. මේ ඔහුගේ ‘ඇවැස්ස නෑනෝ’ කෙටිකතාවෙන් උපුටා ගත් කොටසකි.

සන්ධ්‍යාව එළඹෙත් ම අහස, පොළොව, ගහකොළ, සතාසිව්පාවෝ සියලූ දෙනා ළඟ රාත්‍රීය පිළිගැනීමට ලහිලහියේ සැරසෙති.

වැස්සත් අව්වත් මාරුවෙන් මාරුවට පොළොව හා තුරුලතා සිප ගන්නා අසිරිය දැක ගැනීමට මෙන් කඳු වළල්ලෙන් එබී වර්ණවත් දේදුන්නක් පායා හැඩවෙමින් තිබිණ. ඒ දේදුන්නේ වර්ණ අතරින් රිංගා ගෙන ගීත ගයමින් සියොතුන් කැදලි සොයා ඉගිළ ගියහ.

වෙල් එළිය මැදින් වැටුණු අඩි පාර දිගේ දක්කාගෙන එන ගවයෝ උදේ සිට සවස්වන තුරු සී සෑමට යොදා ගැනීම නිසා බෙහෙවින් වෙහෙසට පත් ව සිටියහ. එම ගවයින් දක්කන ගොවියෝ තමන් වෙනුවෙන් වෙහෙස වූ ගවයින්ට ‘හා යමන් පුතා’ යි ඉතා කාරුණික ව කතා කරමින් සන්සුන් ගමනින් යති. ඒ අතර ගෙවිලියෝ ද කොලු කුරුට්ටෝ ද නාඹරයෝ ද වියපත් අය ද වූහ. මඩ තවරා ගත් ඇඳුම් ඇඳ සිට සිටි ඔවුහු කඩුල්ල ළඟ සිටි අප දැක මඳසිනා පා ගමන් කළහ. ඔවුන් අතරින් සමහරෙක් තාත්තා දැක ‘යන්නම් වෙද මහත්තයා’ යි කියාගෙන ගියහ.’

ගම ගැන මේ වර්ණනය ඉතා ලස්සනය. එය ගමේ සම්පූර්ණ ලස්සනම එකවර අපේ සිත ඉදිරියේ තබයි. එහෙත් කතාව අවසාන වන්නේ ඊටත් වඩා ලස්සනටය. එනම් ගමටත් වඩා ලස්සණ තරුණයෙකුගේ චරිතයක් අප ඉදිරියේ අනාවරණය කරමිනි. ඔහුගේ නම කළු අයියාය. කළු අයියා ගැන සිතන කොට මේ ගම ගැන වර්ණනය රම්බොඩගෙදර මහතා තුළ මැවුණා වන්නට ද හැකිය.

පුංචි අක්කා නම් කෙටිකතාව තුළ එන කතාව ඇත්ත සිදුවීමක් නොවන්නට ද ඉඩ ඇත. එහෙත් එය කියවන විට නම් කිසිසේත් එසේ නොසිතේ. ගෙදරක එක පවුලේ අක්කලා නංගිලා අතර තියෙන තරගය ඔහු අපූරු කතාවක් ගොඩ නඟාගන්නට යොදාගත්තා විය හැකිය. කෙටිකතාකරුවෙකුගේ අපූරු පරිකල්පනය එබඳුය. කෙසේවුවත් ඕනෑම කෙටිකතාකරුවකු ප්‍රවේසම් විය යුත්තේ ද එයින් ම ය. එනම් ‘පරිකල්පනය’ අවශ්‍ය පමණට පමණක් යොදාගත යුතුය. ඕනෑවට වැඩි ‘පරිකල්පනය’ කතාවක් බිඳ වැටීමට හේතු වේ. මේ කෙටිකතාවේ නම් හරියට ම හොද්දට අවශ්‍ය ලූණු ප්‍රමාණය දන්නා අති දක්ෂ සූපවේදියකු සේ ස්වකීය නිර්මාණ හැකියාව රම්බොඩගෙදර මහතා ඉතා රසවත්ම භාවිත කර ඇත. එනම් ජීවිතයේ සීමාව තුළ ස්වකීය නිර්මාණ ශක්තිය, පරිකල්පනය රඳවා ගැනීමට රම්බොඩගෙදර මහතා සමත් ව ඇත.

අද ඇත්තේ බාහිර සාටෝපවත් බවින් පිරුණු සමාජයකි. හිස්වන අභ්‍යන්තරය බාහිර වස්තුවලින් පුරවා අඩු පිරවීමට උත්සාහ කරන ජනතාවකි. මේ තුළ මතුවන ඛේදවාචකයන් අපමණය. දුක්ඛ දෝමනස්සයන් බොහෝය. අපට ඒවා හසු නොවන නිසා ම අප දිනෙන් දින අභ්‍යන්තරයෙන් හිස් වෙමු. බාහිරින් සම්පූර්ණ වෙමු. දුක්තැවුල් වැඩි වැඩියෙන් ජීවිතයට ළංකර ගනිමු. මේ ජීවන ප්‍රහේලිකාව ඉතා දක්ෂ කෙටිකතාකරුවකු ලෙසින් ලිහා දමන්නට රම්බොඩගෙදර මහතා මේ කෙටිකතා පොතේ බොහෝ කෙටිකතා තුළින් සමත් වී ඇත. ‘අම්මා’ ‘රැඟුම නිමාවිය’ ‘ටියුෂන් ගුරුවරයා’ ‘චරිත’ ඒ සම්බන්ධයෙන් උදාහරණ වේ.

කුසල් සහ අකුසල් ද බෙහෙවින් මගේ සිත්ගත් කෙටිකතාවකි. කුසලය පොතින් පතින් ධර්මයෙන් පමණක් ම ඉගෙනගත නොහැකි බව ඉන් මනාව කියැවේ.

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ ‘ජාන’ මෑත කාලයේ දී මා කියවූ රසවත් ම පොතක් බවයි. ඇත්තටම කියනවා නම් මෑත කාලයේ මා නැරඹූ කිසිම නාට්‍යයකින් හෝ චිත්‍රපටයකින් ලැබූවාට වඩා වැඩි වින්දනයක් මා මෙම කෙටිකතා පොතෙන් ලැබූවෙමි. මෙහි එන කෙටිකතා දක්ෂ අධ්‍යක්ෂවරයකු යටතේ රූපවාහිනී ඒකාංගික ටෙලිනාට්‍ය සඳහා වුව ද ඉතා යෝග්‍යය.

Comments