
ලෝකයේ කොයි කෙළවරක කොතැනක වුවද බුද්ධිමය අගයේ සාරය රැඳී පවතින්නට පුළුවන. නොයෙක්විට ඒ රම රටවල බුද්ධිමතුන් විසින් ලියා තිබෙන ග්‍රන්ථ සම්භාරය අතරය. එසේත් නැත්නම් ඔවුන් විසින් තම ගම් නියම් ගම්වල, නගරවල එක්රැස් කරවා තමනගේ බුද්ධි පිපාසය සංසිඳුවනු පිණිස කරන ලද දේශනවලින් උපුටාගෙන එම ප්‍රාදේශීය දැනමුත්තන් විසින් තම දැනුම් තරමට ග්‍රන්ථ කරන ලද කෝෂ ග්‍රන්ථ අතරය.
මෙවන් තත්ත්වයක් යටතේ ලෝකයේ දියුණු රටවල සිය පාලනය ගෙන ගිය බුද්ධිමත්හු තම රටේ ප්‍රධාන පෙළේ බුද්ධිමතුන් මෙහෙයවමින් එවන් රටවල ලේඛනගතව පැවැති බුද්ධිමය දායාදය තමතමන්ගේ රටවල බුද්ධිමතුන් උදෙසා උපුටා ගැනීමේ මහා කාර්යභාරයෙක යෙදුණහ. නිදසුනක් ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් තම තමන්ට යටත් කරගත් රටවලින් ද එවන් බුද්ධිමය දායාදයක් ලබා ගැනීමට කළ ප්‍රයත්නය පිළිබඳව තොරතුරු දැක්විය හැකිය.
එක් අතෙකින් බලනවිට බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අනුදැනුම අනුව ලංකාවේ නොයෙක් තන්හී තිබුණු පුස්කොළපොත් විශාල ප්‍රමාණයක් පැහැගෙන තම රටට ගෙනගිය බවද සඳහන් කළ හැකිය. එය ප්‍රධාන වශයෙන් ම බුද්ධිමත් මංකොල්ලකෑමක් වශයෙන් ද සඳහන් කළ හැකිය. එහෙත් මේ වනවිට ලංකාවෙන් මෙන්ම ලෝකයෙන් ද පැමිණෙන පර්යේෂකයන් හා විමර්ශකයන් උදෙසා ලන්ඩන් කෞතුකාගාරයේ ආරක්ෂා කර තිබෙන පුස්කොළපොත්වලින් උපරිම ප්‍රයෝජනය ලබා ග්‍රන්ථ රාශියක් ලියූ පඬිවරුන් කිහිපදෙනකු විසින් ම ප්‍රකාශ කර තිබුණේ මේ පුස්කොළ පොත් මේ වන තෙක් ලංකාවේ තිබුණා නම් ඒවා විනාශ වී තිබෙන්නට ඉඩ ඇතිව තිබුණු බවයි.
පසුකලෙකදි සමහර අවස්ථාවලදි සිදු කෙරුණායයි අසන්නට ලැබුණේ සමහර සංචාරක තැරැව්කරුවන් විසින් ප්‍රාදේශීය විහාරස්ථානවලින් පන්නාගත් පුස්කොළ පොත් දෙකට කපා “දිස් ඉස් බුද්ධාස් හෑන් රයිටින්’ කියා සංචාරකයන්ට අලෙවි කරන ලද බවය. එහෙත් පසුකලෙක එවන් තොරතුරු ඉහළ තැන්වලට වාර්තා වීමෙන් පසුව පුස්කොළ පොත් තරමක් දුරට හෝ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් සම්පාදනය කෙරුණේය.
එම කටයුතු එසේ හෙළි කෙරෙද්දි වර්ෂ 1931 දී එවකට මෙරට පැවැති ඉංග්‍රිසි ආණ්ඩුව මඟින් සිදු කරන ලද ප්‍රශස්ත කටයුත්තක තොරතුරු මෙසේ දක්වාලිය හැක්කේය. එනම් ශ්‍රී ලංකා ඓතිහාසික අත්ලිපි කොමිසම පිහිටුවීමය. එදා එසේ පත්කරන ලද එම කොමිසමේ මුල් අධිකාරි පත්‍රයේ සිංහල පරිවර්තනය මෙසේය:
දේවප්‍රසාද මහිමයෙන් මහා බ්‍රිතාන්‍යය අයර්ලන්තයේ සහ සමුද්‍රයේ එපිට ඇති යටත් විජිතයන්ගේ මහා රාජයාණන් වූද, සමයාරක්ෂකයාණන් වූද, ඉන්දීය දේශයේ අධිරාජයාණන් වූද පස්වන ජෝර්ජ් මහා රාජෝත්තමයාණන්ගේ නාමයෙනි.
ශ්‍රී ලංකා ද්වීපයේ හා තදීය යටත් දේශයන්ගේ අග්‍රාණ්ඩුකාර හා සේනාධිනායක ධුරීන, අති සම්භාවනීය ශාන්ත මයිකල් හා ශාන්ත ජෝර්ජ් සමයානුගත උත්තම කුරුසියේ නයිට් පදවි ධාරි වූ අතිගරු ශ්‍රීමත් හර්බට් ජේම්ස් ස්ටැන්ලි උතුමාණන් වහන්සේ විසින්,
ශුභා ශිංසන පූර්වකවයි.
(1) මෙම දිවයිනෙහි සිවිල් ආගමික, සාහිත්යික හෝ විද්‍යාත්මක ඉතිහාසය පිළිබඳ කරුණු පැහැදිලි කරවීමට අදාළ වෙතැයි සලකුණු කරවන්නා ලබන්නාවූ ද මුද්‍රණයට පත් නොකරනු ලැබුවා වූද යම් යම් අත්ලිපි පුද්ගලයන් සහ ආයතනයන් සතුව පවතීද යන්න ගැන කරුණු වග විභාගකර බැලීමටත් වටිනා ලිපි ලේඛන තැබීමට සුදුසු ගොඩනැඟිලි හා එම ලිපි ලේඛන තැන්පත් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද, දිරාපත් වෙමින් පවතින යම් ලිපි ලේඛන ආදියත් වෙතොත්, ඒවා අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් ද අවශ්‍ය උපදෙස් ආදිය දීම.
(2) පොදු ලිපි ලේඛන තැන්පත් කර සුරක්ෂිතව තබා ගැනීම, පර්යේෂණ කටයුතුවලට පහසුම් සැලසීම හා එම පර්යේෂණ කටයුතුවලට අනුබලදීම යන මේ කරුණු විෂයෙහි අවශ්‍ය නිර්දේශයක් ඉදිරිපත් කිරීම.
(3) මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කර නොමැති ලිපි ලේඛන ආදිය පරිවර්තනය කිරීම සහ ඒවා ප්‍රකාශයට පත් කිරීම සඳහා සුදුසු නිර්දේශයන් ඉදිරිපත් කිරීම යන,
ඉහත සඳහන් කාර්යයන් සදහා කොමිසන් සභාවක් පත් කිරීම අවශ්‍යයයි පෙනී යන හෙයින්, ඉහත කී ආණ්ඩුකාර තැනවන මා විසින් ඔබගේ විචක්ෂණභාවය හැකියාව සහ විශ්වසනීය භාවය කෙරෙහි හදින් ම විශ්වාසය තබමින් ද, එහිලා නිසැක වෙමින් ද, අපගේ විධායක මණ්ඩලයේ උපදේශය අනුව ක්‍රි.ව. 1872 අංක 8 දරන පනතින් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර,
මහාචාර්ය සිඩ්නි ආනෝල්ඩ්
පේක්ටන් මහතා
ගරු දොන් බාරොන් ජයතිලක මහතා
ගරු එඩ්වර්ඩ් වෝල්ටර් පෙරේරා
සේනානායක විජේරත්න ජයතිලක මහතා
ආචාර්ය පවුලස් එඩ්වඩ් පීරිස් මහතා
හම්ප්‍රි විලියම් කොඩ්රින්ටන් මහතා
චාල්ස් හෙන්රි කොලින්ස් මහතා
අතිගරු සයිමන් ග්‍රෙගරි පෙරේරා පියතුමා
ආචාර්ය අන්ද්‍රියස් නෙල් මහතා
එඩ්වර්ඩ් රයිටර්ස් මහතා
වෙල්ලයියා රාසනායගම් මුදලිතුමා
යන ඔබ ඉහත සඳහන් කරන ලද කාර්යයන් සඳහා මෙම පනත යටතේ පත්කරනු ලබන කොමසාරිස්වරුන්ට අයත් බලතල නිත්‍යානුකූල ලෙස පාවිච්චි කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ බලය ද සහිතව මගේ කොමසාරිස්වරුන් වශයෙන් පත්කරමි.
තවද, යථොක්ත කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය විමසා බැලීම් කිරීමට ද, කලින් සඳහන් කළ පරිදි ඔබ වෙත පැවරී ඇති කාර්යයන් සම්බන්ධයෙන් හැකි තරම් ඉක්මනින් වාර්තා කිරීමට ද, අපගේ කොමසාරිස්වරුන් වන ඔබට තවදුරටත් බලය දෙමි.
තවද ඔබ විසින් යම් විස්තරයක් හෝ උපදේශයක් හෝ ඉල්වනු ලැබූ කල්හී, ඔබේ විමසීම්වලට අදාළ කරුණු නිසි පරිදි සැපයීමෙන් ඔබට සහාය වන ලෙස සියලු රාජ්‍ය නිලධාරින්ගෙන් සහ අනිකුත් අයගෙන් ඉල්ලා සිටින අතර ම එකී ඉල්ලීම් ඉටු කරන ලෙස අදාළ නිලධාරින්ට හා පුද්ගලයන්ට අණකර සිටිමි.
වර්ෂ එක්දහස් නවසිය තිස් එකක් වූ පෙබරවාරි මස හය වන දින මෙම දිවයිනෙහි මුද්‍රාව සහිතව මහනුවරදී ප්‍රදානය කරන ලදි.
උතුමාණන් වහන්සේගේ අණ පරිදි
වී.එච්. බෝඩිලොන්
යටත් විජිත ලේකම්
මෙම මහඟු බුද්ධිදානමය සද්කාර්යය මනා ලෙස ඉටු කිරීම උදෙසා එසේ පත්වූ කොමසාරිස්වරු අනලස්ව අකුටිලව කටයුතු ආරම්භ කළහ. රටේ වසර දහස් ගණනක - මුඛ පරම්පරාගතවද පරම්පරාවෙන් පරම්පරාවට ද පුස්කොළපොත් මඟින් ලේඛනගත වූ දැනුම් සම්භාරයක් මතු පරම්පරා උදෙසා මතුකරලීම මෙහි මූලික එක් පරමාර්ථයක් ද වේ. මෙසේ පත්වූ කොමසාරිස්වරුන් සිංහල, ඉංග්‍රිසි, පාලි, සංස්කෘත භාෂාවන්හී ප්‍රගුණ වූ පඬිවරුන් වූ නිසාම එම කටයුත්ත එතරම් දුෂ්කර නොවන බව පෙනිණි. රට පුරාම පැවැති ඉපැරණි විහාරස්ථානවල පැවැති පොත්ගුල්වල පාඨනයට යොදවන්නේ නැතිව දුම් අල්ලමින් ආරක්ෂා කරමින් පැවැති ධර්ම ශාස්ත්‍ර, මන්ත්‍ර ශාස්ත්‍ර, වෛද්‍ය ශාස්ත්‍ර නාට්‍යය ශාස්ත්‍ර ආදි වශයෙන් ලියැවුණු පුස්කොළ පොත් එතෙක් පැවැති පොත්ගුල්වලින් එළියට ගෙන පරික්ෂා කර බලා ඒවායන්හී පැවැති පත්ඉරු ප්‍රමාණය, තත්ත්වය මෙන් ම විෂයයන් වශයෙන් වෙන් කර, ලේඛනගත කිරීමද ප්‍රමුඛ කාර්යය වූ බව පෙනිණි.
එතෙක් කල් සමහර විටෙක පරම්පරා කිහිපයක් තිස්සේ පොත්ගුල්වල ගුහාගතව තිබූ මහානාර්ඝ පුස්කොළපොත් එළියට ගන්නව. එම ඉපැරණි සමහර විහාරස්ථානවල නායක හාමුදුරුවරුන් මුලින් අකැමැති වූ නමුදු මෙය සිදු කෙරෙන්නේ පූර්ණ රාජයානුග්‍රහයෙන් බවත්, එහි ප්‍රධාන කාරණය මෙවන් දැනුම් සම්භාරයක් පිළිබඳ තොරතුරු ඉදිරි පරපුර හමුවේ ආරක්ෂා කිරීම බවත්, ඉන් මහා අධ්‍යාපන සේවාවක් සිදුවිය හැකි බවත් තේරුම් ගිය පසු ඔවුහු පොත්ගුල් දොරවල් විවර කරමින් මේ සම්භාවනීය කටයුත්තට සහාය දුන්හ. මෙතෙක් කල් සමහර විටෙක සියවස් ගණනාවක් තිස්සේ පුස්කොළ පොත් ගෙඩි වශයෙන් කම්බාවලින් බැඳි නූල් වලින් එකට එකතුව කලිකාලයක් තිස්සේ ඉර හඳ නොදැක තිබුණු මේ මහා දැනුම් සම්භාරය ප්‍රථම වරට එළියට ගෙන එහි තිබෙන ඥාන දහරාවන් පාඨක ලෝකයට නිරාවරණය කරන්නට ලැබීම පසුව එම විහාරාධිපතීන් වහන්සේලාට ද සතුටට හේතුවක් වූ බව එකල එහි ගිය ශ්‍රී ලංකා අත්ලිපි කොමිසමේ කොමසාරිස්වරුනට ඇස් පුරා දක්නට ලැබුණු සත්‍යයකි.
මෙසේ වූ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලැබ පැමිණි මෙම කොමසාරිස්වරුන් එසේ පොත්ගුල් විවර කරවා එහි පැවැති පුස්කොළ පොත් එළියට ගෙන වර්ග කෙරුණු විටය. සමහර විහාරස්ථානයක විහාරාධිපතීන් වහන්සේ දකින්නේ මෙවන් පුස්කොළ පොත් තමන් වෙත තිබුණු බව. එහි අත්ලිපි කොමසාරිස්වරුන්ගේ ද පුදුමයට හේතුවක් විය.
වර්ෂ 931 දී ප්‍රථම කොමසාරිස්වරුන්ගේ කණ්ඩායම පත් කළ පසුව යළිත් එම පිරිසට පුළුල් නියෝජනයක් දෙමින් තවත් පිරිසක් එක් කරන්නට ගරුතර ආණ්ඩුකාර ශ්‍රීමත් හර්බට් ජේම්ස් ස්ටැන්ලි උතුමාණෝ සමත් වූහ.
ඒ පිරිස් ඇතුළු නව ‘ශ්‍රී ලංකා ඓතිහාසික අත්ලිපි කොමිසමේ ගරු සාමාජිකයන් මෙසේය. මෙහිදී රටපුරා විවිධ ජන කොටස්වල ද නියෝජනයක් වන පරිද්දෙන් ඔවුන් පත් කෙරුණු බව දක්නට ලැබිණි.
මෙහි ගරු සභාපති වශයෙන් මහාචාර්ය සිඩ්නි ආනෝල්ඩ් පේක්ටන් මහතා පත් කෙරුණු අතර ගරු ලේකම්වරු වූයේ එඩ්මන්ඩ් රයිටර්ස් හා ජාත් හෙන්ඩ්රික් ඔලිවර් පවුලන් යන මහත්වරු ය.
සාමාජික පිරිසට, මහාචාර්ය සිඩ්නි ආනෝල්ඩ් පේක්ටන්, දොන් බාරොන් ජයතිලක, එඩ්වර්ඩ් වෝල්ටර් පෙරේරා, ආචාර්ය පවුලස් එඩ්වඩ් පීරිස් නම් වූ විලියම් කොඩ්රින්ටන්, චාල්ස් හෙන්රි කොලින්ස්, ආචර්ය අන්ද්‍රියස් නෙල්, එඩ්නඩ් රයිටර්ස්, ආචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය මහදුරාගේ ධර්මසිරි රත්නසූරිය, ආචාර්යගැරම් චැම්ප්නස් මැන්ඩිස්, ආචාර්ය කේ. කනපතිපිල්ලේ යන මහත්වරු පත්කරනු ලැබූහ.
එයට අමතරව පූජ්‍ය රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමි, වෙල්ලප්පා රාසනායගම් මුදලිතුමා, ගරු එස්. ඥනහුකාසර් පියතුමා, පූජ්‍ය අමුණුගම විපස්සි හිමි, ගරු එඩ්මන්ඩ් පීරිස් හලාවත රාජගුරු ප්‍රසාදි තුමාද මෙම කොමිසමට පත්කරන ලද සාමාජිකයෝ වූහ. මේ පිරිස නිසා බෞද්ධ විහාරස්ථානවල පමණක් ද නොව රටේ කතෝලික පල්ලිවල ද පෞද්ගලිකව පඬිවරුන් අතරද පොත්ගුල්වලද එතෙක් සුරක්ෂිතව පැවැති එවන් දුර්ලභ පුස්කොළ පොත් හා එවන් වෙනත් මුද්‍රිත ග්‍රන්ථ පිළිබඳව ද සිය අවධානය යොමු කරලීමට ශ්‍රී ලංකා ඓතිහාසික අත්ලිපි කොමිසමේ සාමාජික කොමසාරිස්වරුනට හැකියාව ලැබිණ. මෙය අතිශයින්ම දුර්ලභ අවස්ථාවක් වූ හෙයින් ඔවුහු එකාවන්ව මේ කටයුත්තට උරදුන්හ.
මෙම අවස්ථාවෙහිදි කොමසාරිස්වරුනට තමන් දැන සිටි සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාකෘත, හින්දි, ලතින්, දෙමළ ආදී භාෂාවල දැනුම ද ඉංග්‍රිසි භාෂාව පමණ එකට කැටිකර ෙම් සද්කාර්ය සඳහා උපයෝගි කර ගන්නට අවස්ථාව සැලසිණ. එය ඔවුන් හමුවේ උදාවූ මහඟු සත්කාර්යයක්ද විය.
මෙයට දශක ගණනාවකට පෙර සිය දිවියේ අවදානම ද නොතකා, එකල සිරගත කර තිබූ සිංහල, බෞද්ධ නායකයන් රැක ගැනීම උදෙසා පෙත්සමක් හා මිනීමරු නිවේදනයේ පිටපතක් ද එය සපත්තු දෙකේ දමාගෙන සත් සමුදුරු තරණය කර එංගලන්තයට ගොස් තම යුතුකම මැනැවින් ඉටු කළ කෝට්ටේ වීරයා නමින් පසු කලෙක හැඳින්වුණු නීතිඥ ඊ.ඩබ්ලිව්. පෙරේරා මහත්මාණන් මෙම කොමිසමේ සාමාජික කොමසාරිස්වරයකු ලෙස හඳුනාගන්නට ලැබීමද මෙහිදී එවන්වූ ඉපැරණි විහාරස්ථානවල නායක හිමිවරුන්ට සතුටට හේතුවක් වූ බව පෙනිණ.
පසුව මෙවන් පොත්ගුල්වල මෙතෙක් රැඳී තිබුණු ග්‍රන්ථ සමූහය ලේඛනගතව, විවිධ විෂයයන් යටතේ තමනට දකින්නට ලැබෙද්දී එම විහාරස්ථානවල නායක හාමුදුරුවන්ගේ මවිතයට ද හේතු විය. මෙම මහා සද්කාර්යය මෙසේ කරගෙන යද්දි මෙතෙක් කල් පැරණි සිංහල සාහිත්‍ය ග්‍රන්ථ වශයෙන් ප්‍රචලිතව පැවැති ග්‍රන්ථ සමූහයන්ටද වඩා වූ අමුතු අමුතු පුස්කොළ පොත් රාශියක් දක්ට ලැබිණ. එවේලේම නුවූවද සමහර ප්‍රකටව පැවැති ඉපැරණි ග්‍රන්ථවල අතිරේක පිටපත් ද මෙසේ වූ පුස්කොළපොත් වශයෙන් දක්නට ලැබුණු නිසා එවැනි දේ මතුවට පර්යේෂණ සඳහා යොදා ගැනීමට ද සුදුසු වන බව පළ විණ.
ශ්‍රී ලංකා ඓතිහාසික අත්ලිපි කොමිසමට පසු කලෙක ලංකා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී.ඊ, හෙට්ටිආරච්චි මහත්මාණන් ද පත් කරනු ලැබීය. එතුමන් මුල්වී පරීක්ෂා කළ රුහුණේ ගිරුවා පත්තුවේ නයිගල රජමහා විහාරයේ පොත්ගුල පිළිබඳව වූ සුවිශේෂ වාර්තාව එතුමාගේ නමින්ම පසුකලකදී රජයේ මුද්‍රණාලය මඟින් පළකොට තිබිණි.
ශ්‍රී ලංකා ඓතිහාසික අත්ලිපි කොමිසමේ සාමාජිකයන්ට දක්නට ලැබුණු අති විශේෂ පොත්ගුලක හා කෞතුක භාණ්ඩ දර්ශනයක අසිරියෙන් තමන් ලත් දැනුම හා අවබෝධය පිළිබඳව හෙට්ටිආරච්චි මහාචාර්යතුමා ඇතුළු නාහිමි දෙපොළ කොමිසම වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර ඇත.
මෙසේ ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයකු මුල්වීමෙන් සිදු කළ මහා ඓතිහාසික දැනුම් සම්භාරයක් යළි මතු කර ගැනීමේ කාර්ය භාරයෙන් පසුව එම පොත්වලින් උපුටා ගත් කරුණු හා එම ග්‍රන්ථ මුද්‍රණද්වාරයෙන් නිකුත් කිරීමෙන් ද සිංහල බෞද්ධ සාහිත්‍යයට මහඟු මෙහෙවරක් සිදු විය.