
ජීවිතය හා සංසාරය යනු දෙකක්ද? එකක්ද? සත්තකින්ම ඒ ගැන මට වැටහීමක් නැත. එහෙත් ජීවිතය යනු සංසාරයෙන් කොටසක් ලෙස නිගමනය කිරීමෙන් මේ ගැටලුවේ බර අඩු කරගත හැකිය. ඒ නිගමනය මඟින් ගැටලුව මුළුමනින්ම නිරාකරණය නොවිය හැකිය. එහෙත් එමඟින් තාවකාලික මානසික සහනයක් ළඟා වේ. එයින් හිතේ පවත්නා බර අඩු කරගත හැකිය. විභාග ශාලාවක දී පවා තමා නොදන්නා ප්‍රශ්නයක් අතර අතරමං වනවාට වඩා යම් පිළිතුරක් තෝරාගෙන සෑහීමට පත් වීම වාසි දායකය. එසේ නොවූ කල්හි පැවැත්මක් නැත; දන්නා දෙත් ලියාගත නොහැකිව පසුතැවෙන්නට සිදු වේ.
ජීවිතය හා සංසාරය යන්න දෙකක්ද? එකක්ද? ඒ ප්‍රශ්නය මට මතු වුණේ මහනුවර පොදු සුසාන භූමියෙහිදීය. සහෘදයකුගේ හෝ අසා දැන සිටි කෙනකුගේ නික්ම යෑමක් නිමිති කොට මහනුවර වාසය කරන අපට මහයියාවේ පොදු සුසානයට ඉඳ-හිට යන්ට සිදු වේ.
එසේ යන අප අර රූපකාය සමඟ යම් දුරක් ගොස් නතර වන්නෙමු. එය අප අත්විඳිනා සාමාන්‍ය තත්ත්වයකි. මේ කියන දවසේ මම මහයියාවේ පොදු සුසානයට ගියේ කිසිදාක දැක නැති නන්නාඳුනන කෙනකුගේ රූපකාය සමඟ යම් දුරක් ගොස් ආපසු ඒම සඳහාය. එදා අප අතැර ගිය ඒ නන්නාඳුනනා චරිතය කුඩා බිලිඳියකි. ඇය මෙලොවට බිහිව වසර දෙකක්වත් අප සමඟ ජීවත් වී නැත. ඒ බිලිඳිය, අපේ ළබැඳි යුවළකගේ මිනිපිරියකි; හෙවත් දරුවකුගේත් දරුවෙකි.
දවස තරමක් වැහිබර විය. ඒ දවස මහයියාවට ගිය තවත් දවසට වඩා වෙනස් එකක් වුණේ නැත.
මරණය කියන්නේ ස්ථානය, කාලය, අවකාශය ඉක්මවා යන සංසිද්ධියකි. අවමඟුල් පෙරහර පැමිණීමට පෙර අපි එහි ළඟා වී සිටියෙමු. අප හැම කෙනකුම මරණයට පළමුව පැමිණෙන්නෙමු. සත්‍ය ලෙසම අප මරණය අපේක්‍ෂා කරමින් ජීවත් වන්නෙමු. ඒ සත්‍ය දෙපයින් මැඬගෙන උනුන් දන්නා උදවිය තැන තැන රංචු ගැසී බොහෝ දේ කතාබහ කරමින් කාලය ගෙවා ගත්හ. කිසිවකුත් තම ඔරලෝසු දෙස බලා අවමඟුල් පෙරහරේ පමාව ගැන පසුතැවුණේ හෝ මැසිවිලි කීවේ හෝ නැත. මරණය සහ ඒ හා බැඳි සියල්ල එවැන්නකි. කතාබහ අතර කියැවුණේ මියගිය දැරියට දෙවසරක් හෝ මෙලොව ජීවත් වීමේ වාසනාව නොපැවති බවය. දැරිය සිය ජීවිත කාලයෙන් අඩක් රෝගීව සිටි බව අසන්නට ලැබිණි. රෝගි වූ ඒ දැරිය වෙනුවෙන් කළ හැකි සියල්ල සිදු කර ඇති බවත් දැනගන්නට ලැබිණි.
යම් මොහොතක අවමංගල්‍ය පෙරහර සුසානය වෙත ළං විය. ඒ මරණයක් යනු සංසාරයේ සාමාන්‍ය අත්දැකීමක් ලෙස ප්‍රත්‍යක්‍ෂ කරමිනි. කලක් තමන් සමඟ සිටි සහෘදයකුට දිය හැකි උපරිම ගෞරවය පිරිනැමීමට සියල්ලෝම නිහඬව පේළි ගැසුණාහ. ඒ දර්ශනය මරණානුස්මෘතිය වැඩීමට සුදුසු ආරම්මණයකි. හඬාලා කම්පා වීමෙන් පලක් නැත. එය බුදුදහමට අනුවද එකඟය.
වරක් අපේ අසල්වැසියකු නිදි ඇඳේදීම සියල්ල අතහැර යන්ට ගොස් තිබිණ. ඒ හෘදයාබාධයකිනි. ආරංචිය සැල වූ සැණින් අසල්වාසි අපි ඒ නිවෙසට දිව ගියෙමු. ඒ යන විට බිම් කරුවල හෙවත් අලුයම් අඳුර එසේම පැවතිණි.
අඩක් නිම කළ ඒ ගෙදරට තිබුණේ කාමර දෙකකි. එක් කාමරයක් මුළුතැන් ගෙය ලෙස වෙන් කර තිබිණි. අනෙක් කාමරය පවුලේ සාමාජිකයන් සිව් දෙනාගේ නිඳන කාමරය බව වටහාගත හැකි විය. මව, පියා සහ තරුණ දූවරුන් දෙදෙනා එකට යා කළ ඇඳන් දෙකක නිඳාගන්නා බව දුටු පමණින් අවබෝධ කරගත හැකි විය.
අප යන විටත් පියාගේ නිසල දේහය අර පොදු නිදි යහන මත රාත්‍රියේ නිඳාගත් සෙයියාවෙන්ම වැතිර තිබිණි. පියා මියගියේ නිඳන අතරය. දරුවන් දෙදෙනාත් මවත් පියාත් එසේ නිඳා සිටිය දී ආදරණීය පියා ඔවුන් අතහැර යන්ට ගිය ආරංචිය සංවේදි කෙනකුට කලක් අමතක නොවන සිද්ධියක් විය හැකිය. මරණය ගැන දන්නා, සංසාරය ගැන දන්නා කෙනකුට වුවද මේ දර්ශනය දරාගත නොහැකිය. ජීවිතය අනියතය. මරණය නියතය. මේ භාවනාව අප කොතෙක් කර තිබුණද අර පියා වෙන්ව ගොස් තිබුණේ ජීවිතය මේකදැයි උපහාසයෙන් විමසා නොවේද?
මරණය ගැන බොහෝ අර්ථකථන පවතී. එහෙත් මරණය සිදු වන මරණය ළඟා වන ආකාරය මරණය මෙන්ම අවිනිශ්චිත වේ. එය අපට කරන බලපෑම කිසිවකුට තක්සේරු කළ නොහැකිය. අර පියාගේ මරණයෙන් පවුලේ උදවිය සහ අසල්වාසීන් විස්සෝප වෙද් දී මිය ගිය තැනැත්තාගේ මහලු මෑණියන් යම් පසුතැවිල්ලකින් මා සමඟ කීවේ කුමක්ද?
‘‘තවම දරුවන් දෙන්නා ඉගෙනගන්නවා.’’ ඒ මවගේ ඇසට කඳුළක් ඇති බවක් මට නිරීක්‍ෂණය කළ නොහැකි විය. සත්තකින්ම ඒ මව ජීවිතාවබෝධයෙන් තම පුතණුවන්ගේ මරණය තේරුම් ගත්තා හෝ දරාගත්තා හෝ විය හැකිය.
ඊට වැඩි තවත් යමක් විය නොහැකිය. ඒ මෑණියන් දුක් වුණේ තම පුතු විසින් ඉටු කළ යුතු යුතුකම් එසේම තිබිය දී නික්ම යෑම ගැනය; හෙවත් ජීවත් වන්නන් ගැනය. ජීවිතය දරාගත හැකි යමක් බවට පෙරළාගැනීම නිවන් දක්නා තෙක් සංසාර ගමන පහසු කරවන්නකි. අපට එය එසේ කළ හැකිද? අප කළ යුත්තේ එසේ කළ හැකිද යන්න ප්‍රශ්න කිරීම නොවේ; එය ප්‍රගුණ කිරීම පමණකි. ලිපිය ආරම්භයේ නැඟෙන ප්‍රශ්නය කළමනාකරණය කරගැනීම හරහා උත්සාහ කළේ ජීවිතය පහසු කරගැනීමේ එක් අභ්‍යාසයකි. සතිය යනු සිහියම නොවේ. සතිය යනු කළමනාකරණය කරගත් පසුව සිහි කල්පනාවට තැබිය හැකි නමකි. සතිය බුද්ධාගමට අනුව සම්මා සතිය වන්නේ මේ අවස්ථාවේ විය හැකිය. මෙය සාකච්ඡාවක් මිස බණක් හෝ දේශනයක් නොවේ. මේ සාකච්ඡාව කළ යුත්තේ අනෙකකු සමඟ නොවේ; තමා සමඟමය.
අවමඟුල් පෙරහර සුසානයෙන් අවසන් විය. දැරියගේ නිසල දේහය සහිත පෙට්ටිය ඇයගේ පියා තනිව ඔසවාගත්තේය. ඔහු නොකියා කීවේ මට මරණයත් ඔසවාගෙන යා හැකිය කියා විය හැකිය. ඒ පෙට්ටිය තුළ තැන්පත් කර සිටියේ ඒ පියාගේ දුවණිය නොවේ. ඒ දැරිය උපත සමඟ සඟවාගෙන ආ මරණය පමණකි. ඒ ටික තේරුම් ගැනීම පහසුය; දරාගැනීම අපහසුය. ඊට හේතුව කුමක්ද? අප තුළ පවත්නා මමත්වයයි. එක් ථේරවාදී බණකතාවක ‘‘ස්වාමීනි, මේ මඟෙහි රූමත් කතක් ගමන් කළාදැ?” යි විමසූ විට ලැබුණු පිළිතුර ‘‘රූමත් කතක් ගැන නොදනිමි. ඇට සැකිල්ලක් නම් දුටිමි” යනුවෙනි.
අර පුංචි පෙට්ටිය ඇය පිණිස කැපූ වළ මත තබා තිබිණි. කොච්චර දෝ මල් ඉති ඒ දෙණ දෙපස තබා තිබිණි. ඊළඟට තිබුණේ පියන් පත විවර කොට, අවසන් වරට ඒ දේහය පැමිණ සිටින අයට දැකගැනීමේ අවස්ථාවය. මම උන් තැනින් වහා ඉවත් වීමි. මට ඒ දර්ශනය දැකීම මහා පීඩනයක් ගෙන දිය හැකිය. එසේ වන්නේ මා මරණය ගැන නොදන්නා නිසා නොවේ. මරණය මට දරාගත නොහැකි නිසාද නොවේ. සමහර විට ඒ දැරියගේ වයස නිසා විය හැකිය. මට කිසාගෝතමිය සිහිපත් විය. ඇය ප්‍රාණය නිරුද්ධ සිය දරුවාගේ සිරුර රැගෙන පිස්සියක සේ ඇවිද්දාය. බුදුන් වහන්සේට ඇය හමු විය. උන් වහන්සේ කිසාගෝතමියට කීවේ කුමක්ද?
‘‘නැඟණිය, කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් ගෙන එන්නැ” යි කියාය. ඒ මළ දරුවාට නැවත ජීවිතය ලබාදීම පිණිසය. දරුවකු නොමළ ගෙයක් නැති බව ඇයට වැටහිණි. ඒ හරහා කිසා ගෝතමිය මරණයද තේරුම් ගෙන සසරින් ගොඩ විය. ධර්මපාල ජාතකය අනුව එක් පරම්පරාවක කිසිවකු කුඩා අවධියේ මියගොස් නැත. බෞද්ධ සාහිත්‍යයෙහි අපට හමු වන මරණය ගැන කියවෙන මේ කතා දෙකම එකිනෙකට පරස්පර විරෝධය. මට ඒ කතා සිහිපත් වුණේ ඇයි? ඒ කතා දෙකම ළදරු මරණ පාදක කොටගත් බණකතා වන නිසා විය හැකිය. මරණය අවිනිශ්චිතයි. ඒ නිශ්චිතය මේ දැරිය තෙක් හැම දේශනයකම නිශ්චිතව දක්වා ඇත. ආපසු නිවෙස කරා එන අතර, මගේ බිරිය නැවත ඒ මියගිය දැරිය සිහි කර තැවුණාය.
‘‘සුරංගනාවියක් වාගේයි; සුදුම සුදුයි; ලස්සනම ලස්සනයි!” ඇය සොහොන් බීමේ දී හෝ යථාර්ථය දැක නැති හැටියකි. ඇය මරණයට මුලින් පැවැති අර දැරියගේ රූපකාය පමණක් සිහි තබාගෙන සිටින්නීය. ජීවිතය හා සංසාරය එකක්ද? මම ඇයගෙන් නොඅසමි. ඊට නිවැරදි උත්තරයක් මා වෙතද නොතිබුණු නිසාය.