
නිදි වරමින් සිටින ගැහැනිය අපට තවමත් මුණ ගස්වා නැත. දරුවාට දැනෙන්නේ මවගේ දෑසෙන් ගිලිහී සිය උරහිසට ගිලිහෙන කඳුළු විය හැකිය. මව පිලෙහි වාඩිලාගෙන සිටින්නී තම සැමියා එනතුරුය. දැරියත් තම පියාණන් පොරොත්තුව සිටින්නීය. මේත් අර කුරුලු කූඩුවේ බබා අනුව යන තවත් මිනිස් දරුවකු විය හැකිය.
පී.බී. අල්විස් පෙරේරාගේ නිදි වරන්නේ ඇයි ? කව් පන්තිය මට හදිසියේ සිහිපත් විය. මේ කවි පෙළ මට මුලින්ම කියවන්නට ලැබුණේ මාසික කවි සඟරාවකිනි. ඒ හුඟක් ඉස්සර දවසකය. ඒ කවි පෙළේ සමහර කොටස් මට අදටත් කට පාඩම් නිසාය. නිදි වරන්නෙ ඇයි අම්මා කෙනෙකුගේ තනිය සාංකාව හූල්ලන රිද්මය ප්‍රති නිර්මාණය කිරිමකි. අම්මා කෙනකු තනි වූ මොහොතක දියණියක් තම මෑණියන් සනසවයි. අම්මා කෙනෙකුට දියණීකයක ළග සිටීමත් මහත් සහනයක් බව අල්විස් පෙරේරාගේ කවි පෙළ කියවන්නෙකුට සිතෙනු ඇත. නිදි වරන්නෙ ඇයි කවි පන්තිය හොඳ නිර්මාණයකි. තම සැමියා පොරොත්තුවෙන් පිල්කඩ මත හිඳගෙන තැවුලින් පසුවන මවකගේ කල්පනා මෙහි දී හෙමිහිට රෝපණය වන්නේ පැලපත ගොයම මෝරන්නා මෙනි. අල්විස් පෙරේරා තම ව්‍යක්ත කවි බස මෙසේ හසුරුවන්ට පටන් ගනී.
ඊයම් පාටැති සුදුමැලි අඩ සඳ
කඳු බෑවුම අයිනෙන් බැස්සා
අහසේ ගෑවුණ සඳරැස් බින්දුව
අඳුරු යකිනි සළුවෙන් පිස්සා
ඔහු පළමුව කියන්නේ රාත්‍රියක මූසල ගති සොබාවය. අහසේ අඩ සඳක් පායා තිබිණ. ඊයම් පාටැති සුදුමැලිව දුබල එළියක් පැතිරූ ඒ අඩ සඳත් කඳු බෑවුමෙන් පහළට ලිස්සා ගොසින්ය.
හාත්පස පරිසරය කළුවර බව කවියා අපට ව්‍යංගයෙන් කියන්නේ එසේය. ගෙපැල ගිලගත් කළුවර අඳුර අහස පුරාම ගෑවිලාය.
තමන් අපේක්‍ෂා කරන සිද්ධිමය කාරණාවේ හුදෙකලා බව කවියා අපට කියන්නට තමන් ඇසුරු කළ සම්භාව්‍ය සාහිත්‍ය අත්දැකීමක මතක අතර ගමන් කරයි.
සිරවුණ මොහොතේ සිට ගුමු ගුමු දී
මී මැසි නාදය කැලැම්බුණේ
මීදුම් සලුවක් පොරවා ගනිමින්
නින්දේ පසුවෙනි නෙළුම වනේ
රාත්‍රිය උදාවී ඇත. අඳුර පැතිරී ඇත. ගමන් කළ නොහැකිව ජීවිත නතරව පවතී. පැතුරුණ කළුවර රාත්‍රි ජීවිත සිරකොට ගෙන සිටී. මෙහිදි සංස්කෘත කවියක සුගන්ධවත් ආඝ්‍රාණයක් ආභාසයක් අපට සිහිපත් වේ. විලේ හැකිළී ගිය නෙළුමක් චලනය වන්නේ කෙසේද? නෙළුම් මලට පණ ඇවිත් ද?
නැත. මල්පැනි සොයා පැමිණී මි මැස්සෙකු හැකිළුණ මලෙහි සිරවෙලාය. මලෙහි සිරවුණ මී මැස්සෙකු ඉන් පිට වීමට උත්සාහ දැරීම චලනයට හේතුවයි. ඉර බැස යන විටත් මලෙහි ලැග සිටි මී මැස්සා හැකිළුණ මලේ සිරවෙලා ය.
ඉන් පිට වීමට තැත් කරන උගේ දැඟලිල්ලෙන් නෙළුම් මල සෙලවෙන බව සංස්කෘත කවියක විස්තර වේ.
එහෙත් පී. බී. අල්විස් පෙරේරාගේ මේ කවියේ කියවෙන චලනය දැඟලිල්ල සිදු වන්නේ මුළු පරිසරයම නිදන යාමයකය.
කවියා මෙහිදි රාත්‍රිය ලෝකය හෝ අවකාශය නෙළුම් වනයකට උපමා කරයි.
තණ උඳු පියලිය මැද්දේ වැතිරී
හැකිළී නිදියයි නිදි කුම්බා
අඳුරේ තනිවී නිදිමත දැනෙමින්
කෝකිලයා නිදි සක පිම්බා
අඳුර බිඳිමින් නැඟෙන කොවුල් හඬක් අපට ඇසෙයි. කෝකිල කූජනය හරහා කවියා අපට කියන්නේ පරිසරයේ මේ රාත්‍රියෙහි කවුදෝ නිදි වරමින් සිටින බවකි. ඒ මොහොතෙහි ලෝකයම නිදිගෙන ඇති බව කවියා අපට මෙසේ දන්වා සිටී.
පූසා නිදියයි බල්ලා නිදියයි
පයක් නවා ගිරවාද නිදී
අම්මා පමණක් මා උකුළට ගෙන
හිස පිරිමැද නිදි නැතිව හිඳී
(ඩබ්ලිව්. ඒ. අබේසිංහ සංස්කරණයේ තුන්වෙනි පෙළ ‘‘ගිරවා මැදිරිය තුළෙහි නිදි’’ යනුවෙන් දැක්වේ. මෙහි මා දක්වා ඇත්තේ මුල් සඟරාවේ පළවු ආකාරය යි. සත්තකින්ම ගිරවුන් නිදන්නේ පයක් නවාෙගන ය.
ගෙපැලේ නේවාසික සියල්ලන්ම නිදි ගෙනය. අමු තිත්ත කළුවර ය. අඩ සඳ බැස ගොස්ය. රාත්‍රිය තනිය, හා සාංකාව කොටු කරනු ලැබ සිටී. සියල්ලන්ම නිදන රාත්‍රියේ දැරියක් අම්මා සමඟ අවදිව සිටින්නීය. නිදි වැරිල්ලේ හේතු කාරණා අපට හෙළි වන්නේ හෙමිහිටය.
ඒ මාතාව කතා නො කර ගොළුවත රකිමින් සිටියි. දොඩමලු වන්නේ දැරිය පමණි. කවියා මේ දැරිය ගැන මනරම් උපමා උපමේය මිශ්‍ර කළ චමත්කාර සෞන්දර්ය සිත්තමක් ඇඳ අපට පෙන්වයි.
කැදලි තොටිල්ලේ
මවගෙ තුරුල්ලේ
අත් තටුවක් යට හොටය ඔබා
සීනය මැද
පාවෙයි තනියම
හෙට පියඹා යන කුරුළුබබා
මේ කුරුලු බබාත් දැරියත් හෙට දවස මෙනෙහි කරමින් සිහින නදියේ පා වෙමින් සිටින්නාහ. මේ පියඹා යාම හරහා දැරියගේ යෞවන වයසත් ඇය කුල ගෙයින් නික්ම යාමට ආසන්න බවත් කවියා අපට කියයි. ඒ හරහා තනිවන මවගේ හෙට දවසත් අපූරුවට නොකියා කියා සිටී.
නිදිවරන්නේ ඇයිදැයි කවියා හෙළි කරන්නේ මේ නිමේෂයේය.
නිදි වරමින් සිටින ගැහැනිය අපට තවමත් මුණ ගස්වා නැත. දරුවාට දැනෙන්නේ මවගේ දෑසෙන් ගිලිහි සිය උර හිසට ගිලිහෙන කඳුළු විය හැකිය.
මව පිලෙහි වාඩිලාගෙන සිටින්නී තම සැමියා එනතුරුය. දැරියත් තම පියාණන් පොරොත්තුව සිටින්නීය. මේත් අර කුරුලු කූඩුවේ බබා අනුව යන තවත් මිනිස් දරුවකු විය හැකිය.
කොතරම් දොර ළග හිඳගෙන උන්නත්
පියා නොවෙයි අද නම් එන්නේ
ඈනුම් පොදි බැඳ එළියට විසි කොට
අම්මේ ඇයි ඔබ නො නිදන්නේ
ඈනුම් පොදි බැඳ එළියට විසි කිරීම යනු පලක් නැති දෙයක් බැහැර කිරීමක් සලකුණු කරයි.
එය කියන පමාවෙන් කළ හැකිද යන්න දන්නේ ඇයගේ මව පමණකි.
එහෙත් අද දරුවන් ජීවිතය ලෝකය දකින්නේ එසේ විය හැකිය.
එය ඇයට වචනයෙන් විස්තර කිරීමේ හැකියාවක් නැත. අම්මා ගොළු වෙලාය.
දියණිය තව තවත් දොඩමලු වෙයි.
අම්මේ මල් සුවඳක වෙස් අරගෙන
නාහෙන් ඇතුළුව සනසන්නම්
ඇස් දෙක යන්තම් අඩවල් කළ විට
සිහින ගොඩක් අරගෙන එන්නම්
දෑස පියා ගන්නැයි දුව මවට කියයි. එවිට දියණියත් යන්ට යනවා වැනි හැඟීමක් අම්මාට ඇති වුණාට සැක නැත. අම්මලා ජීවිතය ආරම්භ කරන්නේ වදා හදා ගත් මහ පිරිස් පිරිවරාගෙනය.
ඔවුන්ගේ ජීවිත වියපත් වන්නේ සහ පිරිවර වියැකි තට්ට තනියේ හුදෙකලා වෙමිනි.
දියණියත් කවදා හෝ දවසක තමන් හැර යන බව අම්මා දන්නවා විය හැකිය’ එවන් අසරණ මොහොතක දියණීයක හා මවක අතර කතාබහ කියැවෙන අල්විස් පෙරේරාගේ වෙනත් පද්‍ය නිර්මාණයක පද පේළි මා වටා මෙසේ දෝංකාර දෙයි.
දුව-රත්තරනෙන් පොඩි ඇඳුමක් දෙන්නට
කහ කුරුල්ලෝ නටමින් අඬ ගැහුවෝ
මව-යන්න එපා දුව යන්න එපා
දුව-වලාකුළට හැන්දෑවේ ආවොත්
ඕනැම පාටක පට රෙදි දෙනවලු
බලන්නකෝ අර කවුද කියනවා
මව-යන්න එපා දුව යන්න එපා
දියණියන් දුරු රට යාම නිසා තනිවූ පියවරුන්ගේ වේදයිතයන් කිසි තැනෙක කිසිදු කවියකු ලියා තබා නැතිද?