
මහ කළු කුලුන
කර්තෘ - මාදව වෛද්‍යරත්න
ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් - සුරස
මිල - රු. 400
සෝවියට් රුසියාවේ විද්‍යා ප්‍රබන්ධ රචකයන් වන එව්ගිනි වොයිස්කුන්ස්කි සහ ඉසායි ලුකොද්‍යානොව් යන ලේඛක දෙපළ විසින් රචිත 'The Black pillar' කෘතිය ඇසුරෙන් සිංහලට ප්‍රති රචනය කළ ප්‍රබන්ධයකි. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වර්තමානයේ ස්වභාවික පෘථිවි පද්ධතියේ බරපතළ ලෙසින් සිදුවන අවුල් සහගතබව සහ ඊට එරෙහිව ස්වභාවධර්මය දක්වන ප්‍රතිචාරයේ කතාව මනාව නිරූපණය කෙරෙන කෘතියකි.
ශාන්තිකර සාගරයේ මැද පිහිටි කිලෝ මීටර් 10ක් පමණ ගැඹුරු ආගාධයකින් පටන් ගෙන පෘථිවි කබොල විනිවිදිමින් කෙරෙන දැවැන්ත කැණීම් ව්‍යාපෘතියක් වටා ගෙතුණු අපූරු කතා පුවතක් මේ ග්‍රන්ථයෙන් විස්තර කෙරේ.
සරල සුගම බස් වහරකින් යුතුව ඕනෑම වයස් මට්ටමක පාඨකයකුට වුවද කියවා රස විඳිය හැකි අන්දමේ භාෂා ව්‍යවහාරයකින් යුතුව රචනා වී ඇත. සිංහලයට නැගී ඇති පැරැණි සෝවියට් කෘතිවල දක්නට ඇති සිත් කාවදින අලංකරණ මේ කෘතියේ ද දක්නට ලැබීම අගනේය.
තැනිතලාවේ දේවතාවිය
අනුවාදය - මාලිනී ගෝවින්නගේ
ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් - සුරස
මිල - රු. 450
ඇමෙරිකානු මාධ්‍යවේදියකු වන ජෝන් බාන්ස් විසින් රචිත ' The First Lady Eva Peron ' නමැති චරිතාපදානයේ අනුවාදයයි. අවජාතක දුගී දැරියක ලෙස ඉපිද මුළු මහත් ආර්ජන්ටිනාවේ ජනතාවගේ හදවත් දිනාගත් ඊවා පෙරොන්ගේ හද සසල කරවන කතාව මෙසේ සිංහල පාඨකයන් අතරට ගෙන එනුයේ කෘතහස්ත මාධ්‍යවේදිනියක වන මාලිනී ගෝවින්නගේය. ආර්ජන්ටිනාවේ ප්‍රබලතම දේශපාලන මතවාදය සමඟ අවියෝජනීයව බැඳුණු පරමාදර්ශී ගැහැනියක ලෙස ඊවා පෙරොන් චරිතය අදද එරට ජනතාවගේ සිත් සතන්හි බැඳී පවතී. ආර්ජන්ටිනාව තුළ බලගතු දේශපාලන ව්‍යාපාරයක් වූ පෙරොන්වාදය බිහිකරන එවිටා එරට ජන හදවත්වල සදාකාලිකව පූජනීයත්වයට පත්වීමේ රහස මේ කෘතිය මගින් විචිත්‍රවත්ව හෙළි කරයි.
මෙහි මුල් කෘතියේ ලේඛකයා වන ජෝන් බාන්ස් විසිවැනි සියවසේ මුල් භාගයේ සිටම වරින් වර ආර්ජන්ටිනාවේ කල් ගත කරමින් එරට මුල් බැස ගත් පෙරොන්වාදය පිළිබඳ හා එවිටා වන්දනාව ගැන තොරතුරු සොයයි. පසුකාලීන ඔහු විසින් චරිතාපාදානයක් ලෙස එළි දක්වනුයේ ඒ තොරතුරු ඇසුරෙන් රචනා කරනු ලැබූ මේ කෘතියයි.
විදෙස් රටක ආදරණිය චරිතයක් ඉතාම මනහර සිත් ඇද බැඳ ගන්නා භාෂා විලාශයකින් සිංහල පාඨකයා වෙත සමීප කරවීමට ලේඛිකාව සමත් වී ඇත්තේය.
යස්ස ළමිස්සී
මිල - රුපියල් 700
පරිවර්තනය - දිලීප ජයකොඩි
ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් - සුරස
චේතන් බගට් යනු ඉන්දියාවේ නූතන පරපුර අතර ජනප්‍රිය ලේඛකයෙකි. නුතන පරපුර පමණක් නොව වර්තමානයේ තවත් බොහෝ දෙනා ඔහුගේ කෘති ප්‍රිය කරන්නේ එම කෘතිවලට පාදක වී ඇති වෙනස්ම ආරක් ගත් තේමා නිසාය. පරිවර්තකයා අතින් යස්ස ළමිස්සි නමින් මෙවර පරිවර්තනය වී ඇත්තේ චේතන් බගට්ගේ One Indian Girl නමැති කෘතියයි. ඉන්දියානු සමාජය බෙහෙවින්ම කාන්තාව සමාජයේ දෙවැනි තැනට ලා සලකන සමාජයකි. එහෙව් සමාජයක උඩුගං බලා පීනන්නට උත්සාහ දරන යුවතියක පිළිබඳ කතාවක් මේ කෘතියේ ප්‍රධාන චරිතය වී ඇත්තේය. රාධිකා නමැති මෙහි කතා නායිකාව උසස් අධ්‍යාපනයක් ලැබ බටහිර රටවල සේවය කරමින් සම්ප්‍රදායික ඉන්දියානු යුවතියකගේ චරිතයෙන් මිදී ලොව ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළම තැනක වැජඹෙන්නියකි. රාධිකා සිය විවාහය පිළිබඳ ගන්නා අසාමාන්‍යවූත් විස්මය දනවන්නාවූත් තීන්දු තීරණ කුතුහලය දනවයි. හද බැඳගන්නා සිද්ධි දාමයක් රැගත් යස්ස ළමිස්සී කෘතිය මුල් කතුවරයාගේ සරල සුගම රචනා ශෛලියෙන් ලියැවුණු රසාලිප්ත නවකතාවකි. කෘතියේ රසාලිප්ත බවට හානි නොකර සිය සරල හා විචිත්‍ර වචන භාවිතයෙන් එක හුස්මට කියැවිය හැකි පරිදි පරිවර්තකයා විසින් පරිවර්තනය කර ඇත්තේය.
සඛී භාර්යා
මිල - රුපියල් 700
කර්තෘ - චුලාභය ශාන්ත කුමාර හේරත්
ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් - සුරස
සිය බිරිය ගේ අකල් වියෝව හේතුවෙන් තනි වු මැදි වියේ දිවි ගෙවන දෙදරු පියකු සහ තරුණ වියේදීම අසාර්ථක විවාහයකින් වෙන්ව දික්කසාද වූ මැදිවියේ කාන්තාවක අතර ඇතිවන සංවේදී ප්‍රේම සම්බන්ධයක් කේන්ද්‍ර කර ගනිමින් කතාව ගොඩ නැඟී ඇත්තේය. ඉහළ මධ්‍යම පාන්තික ජීවිත විවරණය කරමින් කෙරෙන මේ නවකතාවේ කෙනකුගේ විශේෂයෙන්ම මැදි වයසේ පසුවන පුද්ගලයකුගේ දෙවැනි විවාහය එම පුද්ගලයාටත් ඔහුගේ දරුවන්ටත් ඇසුරු කරන සමාජයටත් බලපාන ආකාරය අපූරුවට නිරූපණය කෙරේ.
ජයම්පති සාර්ථක ව්‍යාපාරිකයෙකි. ධනවතකු වන ඔහු බිරිය මිය යෑමෙන් පසු ජීවිතයේ සැඳෑ භාගය තනිකමින් ගත කරන්නෙකි. ඔහුගේ ඒකාකාරී ජීවිතය වෙනස් වන්නේ අහම්බයෙන් සිදුවන රිය අනතුරක් නිසාය. ජීවිතයේ තනිවූ සුජාතා මුණ ගැසීමත් සමඟ ජයම්පතිගේ ජීවිතය ගමන් කරන ආකාරයත් සිය පියාගේ සැඳෑ ජීවිතයේ ආදරය දෙස ඔහුගේ දූවරුන් දෙදෙනා හෙළන දෘෂ්ඨි කෝණයත් කතුවරයා සමාජ අත්දැකීම් ඇසුරෙන් අපූරුවට විග්‍රහ කරයි. මැදිවියේ ප්‍රේමය යොවුන් ප්‍රේමය සහ දාරක ප්‍රේමය පදනම් කරගත් මේ කෘතිය කුතුහලය මුසුවූ සිද්ධි දාමයක් සමඟ පෙළ ගැසේ.