
කාව්‍යාලාප
කර්තෘ - ජයසිරි අලවත්ත
මිල - රු. 400
ප්‍රකාශනය - කවිවර ප්‍රකාශන.
නූතන පරපුරේ කවි කිවිඳියන් දහසය දෙනකුගේ කාව්‍ය ග්‍රන්ථ 16ක් විමර්ශනයට ලක් කරමින් රචනා කළ කෘතියකි. එම කවීන්ගේ කෘති විමර්ශනයට ලක් කිරීමේදී කතුවරයා කෘතියේ අඩංගු නිර්මාණ ද ගෙනහැර දක්වා තිබීම විශේෂය. ඒ කෘතීන්හි අන්තර්ගත අක්ෂර වින්‍යාස දෝෂ මෙන්ම පද බෙදීමේ දෝෂ ද පෙන්වා දී ඇත්තේ නිර්මාණයක් රස විඳීමේ දී එයට බාධා පැමිණෙන නිසා බව කතුවරයා සඳහන් කරයි. ආධුනික කවීන්ට නිවැරැදි කාව්‍ය නිර්මාණ කිරීමට මඟ පෙන්වීමක් ද ඉන් සිදුවේ.
නිති රැකවරණය ඔබයි අම්මේ
කර්තෘ - නීතා කුමුදිනී මහවත්ත
මිල - රු. 200
ප්‍රකාශනය - සරසවි ප්‍රකාශනයකි.
සාහිත්‍ය අනුසාරයෙන් මිනිසුන්ගේ දැනුම හා ආකල්ප ගුණාත්මක දියුණුවකට පත් කිරීමට හැකි බව ජාතක කතා, ප්‍රස්ථා පිරුළු හා ආප්තෝපදේශ කතා මගින් මැනවින් ප්‍රත්‍යක්ෂ වී ඇත්තේය. එය වඩාත් ප්‍රයෝජනවත් අන්දමින් භාවිත කරමින් කතාවක් තුළින් සෞඛ්‍ය පණිවිඩයක් දීමේ අගනා ප්‍රයත්නයක් මේ කෘතිය මගින් දරා ඇත්තේය. කතා ඇසුරෙන් වෛද්‍ය විද්‍යාත්මක උපදෙස් රැසක් පාඨකයා වෙත ළඟා කර ඇත්තේ ඉතාමත් ඵලදායී සහ මුළු ජීවිතය පුරාවටම මතකයේ රැඳෙන අයුරිනි. කතුවරියගේ දිගු කාලීන සෞඛ්‍ය සේවයේ අත්දැකීම් හා පළපුරුද්ද ඒ සඳහා මැනවින් උපයෝගී කර ගෙන ඇති බවද පෙනී යයි. පාසල් දරුවන් යොවුන් පරපුර හා ගැබනි මවුවරුන් විසින් අනිවාර්යෙන්ම කියවිය යුතු කෘතියකි.
දෝනා නැන්සිහාමිනා
කර්තෘ - බන්දුපාල ගුරුගේ
මිල - රු. 600
ප්‍රකාශනය - සරසවි ප්‍රකාශනයකි.
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ සමාජ පරිණාමය සඳහා බුදු දහමින් සිදු වූ බලපෑම තුළින් නිර්මාණය වීමට උත්සාහ ගැනුණු ශිෂ්ටාචාරයක් හෙළිදරව් කරමින් නිර්මාණය වූ කෘතියකි. පරම්පරා පහක් ඔස්සේ දිව යන නවකතාවකි.
රාහුලයෙක් උපන්නා
කර්තෘ - අජන්ත සෙනෙවිරත්න
මිල - රු. 350
ප්‍රකාශනය - සරසවි ප්‍රකාශනයකි.
රාහුල චරිතාපදානය නවකතාවක් ලෙසින් ඉදිරිපත් කෙරුණකි. රාහුල තෙරුන්ගේ පැවිදි දිවිය අනාවරණය කර ගැනීම සඳහා සූත්‍ර පිටකය සහ ථෙර ගාථා පාළියත් රාහුල චරිතය ගොඩ නැංවීම සඳහා පූජාවලියත් පාදක කර ගත් බව කතුවරයා සඳහන් කරයි.
සරලව කාටත් කියවා රස විඳිය හැකි ආකාරයෙන් ප්‍රබන්ධය ගොඩ නැංවීමට කතුවරයා සමත්ව ඇත්තේය.
ලේඛ්‍යාදර්ශ
ප්‍රකාශනය - සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.
ලේඛන කලාවේ යෙදෙන්නන්ට මඟ පෙන්වනුවස් නිකුත් වූ ග්‍රන්ථයකි. ග්‍රන්ථයක අඩංගු විය යුතු කරුණු, ලේඛකයන්ට සිය කෘති අලෙවි කර ගැනීමට එනම් ලේඛකාධාර ලබා ගත හැකි ව්‍යාපෘති, ලේඛක සම්මාන පිරිනැමීමේ ක්‍රම වේද, ග්‍රන්ථයක භාෂාව හැසිරවීම හා ව්‍යාකරණ යනාදී ලෙසින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ග්‍රන්ථකරණය පිළිබඳ උනන්දු වන්නන් සඳහා ප්‍රයෝජනවත් වන අන්දමින් සැකසුණු කෘතියකි.
නිරුද්ධ
කර්තෘ - රෝහිත මුණසිංහ
මිල - රු. 375
ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශනයකි.
අපට කියවන්නට ලැබෙන ප්‍රබන්ධයන්හි බොහෝ සෙයින් එන චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් වූ චරිතයක් මුල් කර ගනිමින් ලියැවුණු සරල නවකතාවකි.
මෙහි ප්‍රධාන චරිතයේ සැබෑ නමට වඩා ඉස්මතු වන්නේ ‘මචං’ ලෙසින් එම චරිතය ආමන්ත්‍රණය සඳහා යොදා ගෙන ඇති නමය. ධනවත් පවුලක ඉපිද වෙනත්ම ගමනක් යන තරුණයකු වන මචං අවසානයේ නතර වන්නේ කොහේද? කුතුහලයත් සමඟ අපට දකින්නට අසන්නට ලැබෙන චරිත ස්වභාවයන්හි එකතුවක් කතාවක් ලෙසින් රසවත්ව ගොඩ නඟා ඇත.
පිළිකාවට බිය විය යුතුද?
කර්තෘ - විශේෂඥ වෛද්‍ය උපාලි මාරසිංහ
මිල - රු. 250
ප්‍රකාශනය - සරසවි ප්‍රකාශනයකි.
අද ලෝකයේ දස දහස් ගණනක් බිලි ගන්නා ව්‍යාධියක් පිළිබඳ නිවැරැදි තොරතුරු ඇතුළත් කෘතියකි. පරිණත වෛද්‍යවරයකු වන කතුවරයා මින් උත්සාහ දරා ඇත්තේ පිළිකා රෝගයට හේතුවන ආහාර හා පිළිකාවකට බිය නොවී ඉන් මිදීමට අපට කළ හැකි දේ පෙන්වා දීමටය. පිළිකාවේ දරුණුකම හා වැරැදි ආහාර රටා පිළිකාවලට හේතුවන අන්දමත් සිරුරේ ඇති සෛල අඩපණවී පිළිකාවේ වර්ධනය සිදුවන අයුරුත් පිළිකා මර්දනයට අපගේ ස්වාභාවික ආහාර රටාවෙන් ලැබෙන පිටිවහලත් යනාදී ලෙසින් රෝගය පිළිබඳ ඉතා වැදගත් කරුණු සරලව වටහා ගත හැකි අයුරින් පරිච්ජේද වශයෙන් ඉදිරිපත් කර තිබේ. කතුවරයාගේ දිගුකාලීන වෘත්තීය අත්දැකීම් හා පර්යේෂණ ඇසුරින් ලද තොරතුරු කෘතියට ඇතුළත් කර තිබීම විශේෂයකි.