පෙළ - සකු බස් රැක­ග­න්නට මුල් වූ සුදු පඬි­ව­රයා: බරෝස් | සිළුමිණ

පෙළ - සකු බස් රැක­ග­න්නට මුල් වූ සුදු පඬි­ව­රයා: බරෝස්

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උගනිමින් සිටි එස්.එම්. බරෝස් නම් තරුණයෙකුට ඉන් ශත වර්ෂයකට පමණ ප්‍රථමයෙන් ඉන්දීය සාගරයේ කුඩා රටක සිරකරුවකුව සිට වසර විස්සකට පමණ පසු එරටින් රහසේ ම පලායමින් යළි සිය මවු බිමවූ එංගලන්තය බලා යන ගමන් නැවේදී ලියූ සටහන් අනුව වර්ෂ 1681 දී ලන්ඩනයේදී ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයක් කියවන්නට ලැබිණි. ඒ දේශය ප්‍රමාණයෙන් කුඩා වුවද ශත වර්ෂ ගණනාවක් තිස්සේ ලොව බැබළෙමින් තිබූ ඓතිහාසික වටිනාකමින් යුතු රටක් බව එකී විස්තරවල සඳහන්ව තිබිණි. තරුණ ‘බරෝස්’ මේ කෘතිය කියැවූයේ මහත් වූ කුතුහලයෙන් යුතුවය.

ඒ අපූරු රට නම් සිලෝන් හෙවත් සිංහලය යි. කෘතිය නම් රොබට් නොක්ස් ලියූ An Historical Relation of the Island Ceylon ය.

‍ෙම් රට පිළිබඳව තව තවත් තොරතුරු සොයා විමසා බැලූ බරෝස් තරුණයාට දක්නට ලැබුණේ ඒ දිවයිනෙහි දිසාපතිවරයකු ලෙස කලක් සේවය කළ ජෝර්ජ් ටර්නර් මහතා විසින් එහි පාලිබසින් ලියැවී තිබුණු ඉතිහාස ග්‍රන්ථය වන ‘මහාවංසය’ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර වර්ෂ 1836 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල මුද්‍රණාලයෙහි මුද්‍රණය කරවා ප්‍රකාශයට පත්කර තිබෙන බවය.

වහාම එම ග්‍රන්ථය ද සොයාගෙන කියැවූ බරෝස්ගේ තුරුණු හදවත කිතිකැවෙන්නට වූයේ ඒ රටේ ඉතිහාසය සමඟ වූ තොරතුරු දැක බලා ගැනීමට ද තමන් ද මතු දිනයෙක එහි සේවාවට යා යුතුය යන හැඟීම සමඟමය.

ටර්නර් මහතා මහාවංසය පුස්කොළ පොත්වල ලියා තිබුණු පාලි භාෂාව මැනැවින් උගෙන එය ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කර තිබූ හෙයින් බ‍රෝස් තරුණයා ද කළේ ඒ පැරණි භාෂාවන් වූ පාලි, සංස්කෘත භාෂා ඉගෙනීමට තම කාලය යෙදවීමය. ‘සිලෝන්’ රටේ ප්‍රධාන භාෂාව ‘සිංහල’ භාෂාව අධ්‍යයනය කිරීමට එකල ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙහි පහසුකම් සැලසී තිබුණේ නැත.

විශ්ව විද්‍යාලයේ ඉගෙනීමෙන් අනතුරුව තමනට ‘සිලෝන්’ රටේ රැකියාවක් උදෙසා යන්නට අවස්ථාව සලසා දෙන්නැයි යටත් විජිත ලේකම්වරයාගෙන් බරෝස් තරුණයා කළ ඉල්ලීම ඉටුවිය. වර්ෂ 1902 මුලදී ඔහු අප රටට ගොඩ බසින විට මෙහි ආණ්ඩුකාරයා වූයේ ශ්‍රීමත් ජෝෂප් වෙස්ට් රිජ්්වේ මහත්මාය.

සුදුසුකමට අනුව සිලෝන් ර‍ෙට් අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරය එස්.එම්. බරෝස් මහතාට හිමි විය. මෙකල රටේ පැවැති අධ්‍යාපනික තත්ත්වයත් එම තත්ත්වය දියුණු කිරීමට මෙතෙක් රජයෙන් දී ඇති දිරියත් සම්බන්ධයෙන් ද සොයා බලනු පිණිස බරෝස් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා රටේ එවකට පැවැති අධ්‍යාපන ආයතන රැසකට ගොස් එහි අධිපතිවරුන් හමුවී සාකච්ඡා කරන්නට කටයුතු සැලසුම් කරගත්තේය.

ඒ අනුව මෙකල ඉතා දියුණු තත්ත්වයේ පැවැති ආගමික ස්වරූපයකින් යුතු ප්‍රධාන ඉංග්‍රිසි පාසල් හැරෙන්නට දේශීය වශයෙන් පවත්වාගෙන ගිය රටේ ප්‍රධාන ආගම වන බුද්ධාගමේ ස්වාමීන් වහන්සේලා විසින් පාලනය කළ පිරිවෙන්වලට ද ගොස් ඒවායේ තත්ත්වය පරීක්ෂා කිරීමටද අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විශේෂයෙන් ම කටයුතු කළේ එංගලන්තයේදි තමන් ගත් පාලි, සංස්කෘත භාෂා පිළිබඳ අධ්‍යයනය ද නිසාමය.

මේ වනවිට එතුමාට දක්නට ලැබුණේ තමනට මෙහි එන්නට ද හැඟීම ඇති වූයේ මෙරටේ පැවැති ඉපැරණි භාෂාවක් වූ පාලි භාෂාවෙන් ඉංග්‍රිසියට පරිවර්තනය කරන ලද ‘මහා වංශය’ ග්‍රන්ථය වූයේ වී නමුදු, මේ වන විට මෙරටේ පාලි, සංස්කෘත භාෂාවල පැවැත්ම දුර්වල වී ඇති බවය. මෙහිදී එම ප්‍රධාන පිරිවෙන් නිරීක්ෂණය හා සමගාමීව හමුවූ පඬිවරුන් සමඟ සාකච්ඡා කළ එතුමන් ඔවුන් සමඟ කියා සිටියේ මතු දවසක ආණ්ඩුකාරතුමාගේ සහ ඉංග්‍රීසි ආණ්ඩුවේ සුවිශේෂ අනුග්‍රහය ඇතිව මෙම භාෂා දෙක වඩාත් ප්‍රචලිත කර දියුණු කිරීම උදෙසා යම් ප්‍රබල පියවරක් ගත යුතු බවයි.

මෙහිදී ලංකාවේ පැවැති පිරිවෙන්වලින් මාළිගාකන්දේ විද්‍යොදය පිරිවෙනේ අධිපති පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණෝ සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත ආදී භාෂා කිහිපයකම ප්‍රවීණ හිමිනමක වූ හෙයින් ම බරෝස් මහතා සමඟ වියත් ඉංග්‍රිසියෙන් අදහස් හුවමාරු කර ගැනීමට ද සමත් වූහ.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ අධිපති පූජ්‍ය රත්මලානේ ධම්මාරාම හිමියන් සමඟ ද හොඳ ඉංග්‍රිසියෙන් ම සාකච්ඡා කිරීමටත් මේ වැඩපිළිවෙළ පිළිබඳව උන්වහන්සේගේ වටිනා අදහස් රාශියක් ලැබීමටත් සුදු අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ඉඩ ලැබිණි.

මේ ක්‍රියාදාමයෙහි ඊළඟ පියවර වූයේ දේශීය පඬිවරුන් රැසක් 1902 ජූලි 24 වැනිදා අගනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලයට බරෝස් මහතාගේ විශේෂ ආරාධනාවෙන් කැඳවනු ලැබීමයි.

එදින එහි පැමිණ සිටි පිරිස මෙසේය:

අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්. බරෝස්, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, රත්මලානේ ශ්‍රී ධම්මාරාම නාහිමි, වස්කඩුවේ ශ්‍රි සුභූති නාහිමි, හෙයියන්තුඩුවේ දේවමිත්ත නාහිමි, මඩුගල්ලේ සිද්ධාර්ථ නාහිමි, මහගොඩ ඤාණිස්සර නාහිමි, තෙල්වත්තේ සීලානන්ද නාහිමි, ගරු එෆ්.ඒ. එදිරිසිංහ දේවගැතිතුමා, ගරු ඩී.ඩබ්ලිව්. ද සිල්වා දේවගැතිතුමා, ඩී.ඇම්. ප්‍රනාන්දු, ජේ.ඊ.ඩී. මැන්දිස්, ඩී.බී. ජයතිලක, ඒ මැන්දිස් ගුණසේකර, ඩබ්ලිව්.පී. රණසිංහ, ඒ. සයිමන් ද සිල්වා, ඩී.ඇස්. දිසානායක, ජේ. කරුණාරත්න (සඳරැස පත්‍රයේ කර්තෘ), සී. දොන් බස්තියන් (දිනපතා ප්‍රවෘත්ති පත්‍රයේ කර්තෘ), ජී.එම්. පෙරේරා, (දිනකර පත්‍රයේ කර්තෘ), සී.එම්. සිල්වා (සරසවිය පත්‍රයේ කර්තෘ) ඒ.ජේ. වික්‍රමසිංහ (ෂඩ්භාෂා පත්‍රයේ කර්තෘ) යන මහත්වරු සහ ඩබ්ලිව්. ඇෆ්. ගුණවර්ධන මුදලිතුමා.

එවකට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක ඩබ්ලිව්.ඇෆ්. ගුණවර්ධන මුදලිතුමා සමිතිය පිහිටුවීමෙහිදී බරෝන් මහතාට සහාය වූයේය.

“ප්‍රාචීන භාෂෝපකාර සමිතිය” යනුවෙන් නම් වූ මේ සමිතිය පාලි, සංස්කෘත භාෂා හා ඒ සමඟම සිංහල භාෂාවේ ද උන්නතිය පිණිස නවක භික්ෂුන් වහන්සේලා, දැනුවත් කෙරුණු අතර ඔවුන් වෙනුවෙන් පාඨමාලාවක් ද ඒ අනුව විභාග ද පැවැත්විණි.

ප්‍රාචීන පණ්ඩිත විභාගය උදෙසා ප්‍රාථමික, මධ්‍යම හා අවසාන පරීක්ෂණ තුනක් සඳහා විභාග පැවැත්විණි. ප්‍රාථමික විභාගයෙන් සමත් වූවෝ මධ්‍යම විභාගය සඳහා සුදුසුකම් ලද්දෝ වූහ. ඉන්පසුව අවසාන විභාගයට ලිඛිත වශයෙන් ද කථන වශයෙන් ද සහභාගි වන්නට ලැබෙන්නේ භාෂා තුනකිනි.

එය තමනට අවශ්‍ය ලෙස පාලි, සංස්කෘත භාෂා දෙකම ඇතිව හෝ නැත්නම් එම භාෂාවලින් එකක් එක්කම වෙනත් භාෂා දෙකක් වශයෙන් භාෂා තුනකින් ලියා කියා විභාගය සමත් විය යුතුවේ. එවිට ‘රාජකීය පණ්ඩිත’ ගෞරව නාමය සහිත සන්නස් පත්‍රය පිරිනැමෙන්නේ එම සභාවේ නිලලත් ප්‍රධාන අනුශාසකවරයා වූ රටේ ආණ්ඩුකාරතුමන් අතිනි.

ප්‍රථම ‘රාජකීය පණ්ඩිත ගෞරව සම්මානය’ දිනා ගන්නට සමත් වූවෝ 1910 දී රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙන මඟින් ඉදිරිපත් වූ පූජ්‍ය විදුරුපොළ පියතිස්ස හිමියෝය. උන්වහන්සේ එම ප්‍රථම ‘රාජකීය පණ්ඩිත’ ගෞරව උපාධි සම්මානයෙන් බැබළුණා සේ ම එයට ද අනුරූප ව උඩරට අමරපුර නිකායේ මහානායක පදවියට ද පත්වූහ.

ප්‍රථම වශයෙන් ගිහියකු ලෙස වර්ෂ 1913 දී රාජකීය පණ්ඩිත’ උපාධිය ලබා ගැනීමේ අවස්ථාව ලද්දේ පසු කලෙක ගම්පහ වෙද රාලහාමි නමින් රට පුරා කීර්ති නාමයකට ලක්වූ සී.පී. වික්‍රමාරච්චි මහතාණන් ය.

ඉන්පසුව රටපුරා පිරිවෙන්වල ප්‍රාචීන භාෂා අධ්‍යයනය මඟින් පාලි, සංස්කෘත භාෂාවන්ට පුනර්ජීවනයක් ලැබිණි. සිංහල භාෂාවට ද ඒ සමඟම නව ජීවිතයක් ලැබුණේ එම භාෂාත්‍රයෙන් මෙන් ම සිංහල භාෂාවෙන් ද, ග්‍රන්ථ සම්පාදනයට මුල් වූ හෙයිනි. මෙහිදී වික්‍රමාරච්චි වෙද රාලහමිගේ මඟ පෙන්වීම අනුව භාෂා ශාස්ත්‍ර පමණක් ද නොව ආයුර්වේදය ද දියුණු තත්ත්වයකට පත් කෙරිණි.

වර්තමාන සමයේ පවතින භාෂා අධ්‍යයන දියුණුවට ද එදා එසේ ඉංග්‍රිසි ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්. බරෝස් මහතාණන් විසින් නුවණැතිව ඉදිරිය බලා තබන ලද සාර්ථක පියවර මූලික වූයේ යැයි ද සැලකිය හැකිය. එය එම ඉංග්‍රිසි පාලන යුගය යට‍තේ අපගේ රටේ භාෂා ශාස්ත්‍ර දියුණුවට සැලසුණු උදාර මෙහෙවරක් ලෙස ද සැලකිය හැකිය.

Comments