හොරු ඇල්ලූ හොරා හොර පාරෙන් ගියා | Page 5 | සිළුමිණ

හොරු ඇල්ලූ හොරා හොර පාරෙන් ගියා

උස්වසමට අලුතින් පොලිස් කාර්යාලයක් ලැබුණේ අහම්බෙන් නොවේ. ගමේ බොහෝ දෙනා ගේ ඉල්ලීම නිසාය. කවුරුත් එහෙම කල්පනා කළේ කාගේ කාගේත් ආරක්ෂාවට කියල තමයි කිවේ. ගමේ තිබුණ පොඩි පොඩි හොරකම් ඒ වෙන තෙක්ම විසඳුවේ ගමේ පන්සලේ සීලවිමල හාමුදුරුවො. උන්වහන්සේ විසඳන්නේ බුදු බණෙන්. මේ නිසා බොහෝ දෙනා යහමඟට හැරුණේ ඉබේටම. ඒත් ඉතිං සීලවිමල හාමුදුරුවො අපවත් වුණාට පස්සෙ නැවතත් ගම මහ ආරවුලකට ගියේ නොදැනුවත්වමයි. හීන් මැණිකා , ඩිංගිරි, එතනා විතරක් නෙවෙයි සීලවතීත් නැති වුණු පොල් ගෙඩි දෙකක් ගැන කියන්න ආවේ ගමේ පොලීසියට. ගමේ පොලීසියේ මිදුලෙන් පටන් ගත්හම ඕ. අයි. සී කාමරයට වෙනකංම සෙනඟ.

''අනේ මහත්තයෝ මගේ ගොන් වස්සා සේතං ගොයියා බැඳගෙන. අප්පා..., මං කොහොම ඉවසන්නද?''

එකියක් පොලීසියට අඬාගෙන ආවහම රාළහාමි කිව්වේ මේ මොන විකාරයක් ද? කියලා.

''විකාර කියලා පැනලා යන්න බැහැ. ආයිබොවන්ඩ, මගේ දරුවන්ට කන්න දෙන්නේ මුන්නාසේද? ''

''අනේ අම්මපා, මේ ගෑනුන්ගෙන් තියෙන කරදර ''

බැරිම තැන පොලිස් ලොක්කා රතු එතනා දිහා බලමින් කිව්වේ බේරෙන්නම බැරි තැන.'මක්කයැං '' ''මහත්තයෝ කල්පනා කරන්නේ? ''

ඒ පාර රතු එතනා පොලිස් ලොක්කාගේ මූණට එබෙමින් ඇහුවේ තරමක් තරහින්.

''මං හිතන්නේ මේ උන්දැට හරියට ප්‍රශ්න විසඳන්න බෑ නොවැ''

''අප්පේ මහත්තැන්ගේ අකුරු සාස්තරේ පොතට විතරයි. අපේ ලොකු නංගිගේ ලොකු දුවාගෙත් එහෙමයි. මහත්තයෝ ඒත් ඉතිං දියව් දියව් කියලා පෙළපාළි යන්න නම් හොඳට දන්නවා.''

''මොකක්? ''

ඒ පාර නම් පොලිස් ලොක්කට තරමක් තරහා ආවේ තමන්ගේ වෘත්තීයභාවය ලඝු කළ නිසාය.

'' ඇත්තටම මට මේවාට උත්තර දිදී ඉන්න බැහැ. මං කොහොමද මේ හැම දෙනාගේම ප්‍රශ්න විසඳන්නේ? ''

ප්‍රශ්න කරදර විසඳන එක ඒතරම් ලේසි නැති වුණත් රස්සාව නිසා ඉවසගෙන හිටියේ පුරුද්දට වගේ. මේ අතරතුර මාසේ අන්තිමට එන පඩි පැකට්ටුව නිසා සිත තවත් ගිනි බත් වෙනව. මොනව වුණත්, කෙල්ලටයි කොල්ලටයි උගන්නන්න වෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම හිතට අරගෙන බැහැ. ජීවිතේ සැහැල්ලුවෙන් ඉන්න ඕනේ.‘‘

කොහෙද ඉතින් සැහැල්ලු වෙන්න හිතන හැම වෙලාවකම හිත හිරකරනව. මේ නිසා ගමේ හැම ගෙදරිකින්ම එක් කෙනෙක් සිල් ගන්න ඕනේ කියන නීතියක් ගෙනාවා. මොන මොනවා කිවුවත්, ජන්ම ගති නම් ලේසියෙන් වෙනස් කරන්න බැහැ. හද්ද මූකලං කැලෑව වුණු එකේ, ජීවත් වෙන එක ඒතරම් ලේසි නැහැ. තනියා ළඟටම ඇවිල්ලා කෑගහනව වෙලාවකට. ඒ විතරක් නෙවෙයි වල් ඌරු තඩියෙක් හිටපු ගමන් පොලීසිටය එබෙනව. තුවක්කු තිබුණට මොකද හොඳ ඒක නැති වෙලාවක වල් ඌරු නාම්බෙක් ළඟට ආවොත් පොලීසියත් කලන්තෙ දානව. කොළඹ වගේ ගෙයක් ගෙයක් ගානේ ලයිට් කොහෙන්ද? වැඩිම වුණොත් තියෙන්නේ ලන්තෑරුමක් විතරයි. ලන්තෑරුම් එළියෙන් පාඩම් කරලා විශ්වවිද්‍යාලයට ගියපු කොල්ලො හතර පස්දෙනේ උස්වසමේ ගමේ ඉන්නව.

ඒ කොහොම වුණත්, වරද්දන්නේ නැතුව කවුරු කවුරුත්, තම තමන්ගේ අල බතල ටික වගා කරගත්ත. ඇත්තටම ජීවත් වෙනව කියන එක මහා සටනක් කියලා දැනෙන්නේ මේ වගේ ගමකට ආවහම. ඊයේ හැන්ද කොරේ ගමට ලයිට් දුන්න. පහුවදා සේදිරිස් සිදාදියට ගිහිල්ලා රූප පෙට්ටියක් අරං ආවා.

‘‘මේක තමයි ටී. වී. කියන්නේ.අප්පේ පරිස්සමට‘‘

මේ හැමදේටම පාර කියලා දුන්නේ පොලිස් ලොක්කා. ඒ නිසා කවුරුත් ඒතුමාට දැක්වූයේ පුදුම සෙනෙහසක් වගේම ගෞරවයක්.

''එන්න එන්න ඉඳගන්න සර්''

ගෙදරකට ගියහම කවුරුත් පිළිගත්තේ එහෙමයි.

දැන් ගමේ හොරු අඩුයි. හැමෝම හිතුවේ පොලිස් ලොක්කා හින්දා මේ දේවල් වෙනස් වුණා කියලා. ඒත් ඉතින් ගමට අලුතින් ඇති වුණ භීතිය තරමක් වෙනස්. මූකලං කැලේ වටිනා ගස් දෙක තුන අඩු වෙන එක ගැන පොලීසියට මුලින්ම පැමිණිල්ල කළේ ඩිංගිරි වෙද මහත්තයා. පරම්පරා ගත වෙද මහත්තයෙක් නිසා ගමේ හැමෝම ඒ ඇත්තාට දැක්වූවේ ගෞරවයක්.

''අප්පේ මේක අයියනායක දෙවියන්ගේ අඩිවිය. මේ ඇත්තෝ ඇයි නිහඬ? ''

ඩිංගිරි ඇත්තෝ පොලීසියට ගියේ කෑමොර දීගෙන.

මොන...... ඒත් පොලීසියේ ලොක්කා වගක්වත් ගත්තේ නැහැ. අනිත් පොලිස් නිලධාරියාට ඇහෙන් මොනවද කියලා පුටුවෙන් නැඟිටලා ගියේ වගක් නැති ගානට. ඒ පැමිණිල්ල පොලිස් පොතේ ලියවුණත් ඉන් කිසිදු පලක් අත් වුණේ නැහැ. ඒත් මේක ගම්මුන්ට මහ කරදරයක් වුණා.රාත්‍රියට කැලේ පැත්තෙන් නොයෙක් සද්ද බද්ද ආවා. ගමේ කවුරු කවුරුත් හුළු අතු පත්තු කරගෙන රැකලා හිටියා ඒත් වැඩක් වුණේ නැහැ. හැමෝම හිටියේ කනස්සල්ලෙන්. ඒත් හිතන තරම් ඉක්මනට පිළියමක් ලැබුණේ නැහැ. මේ අතර කොළඹ ඉඳලා තරුණයන් කීපදෙනෙක් ගමට ආවේ තොරතුරු ගවේෂණයකට කියලා. රාත්‍රි කාලයේ පොලීසිය වාසස්ථානය කර ගැනීමට අමතක නොකළ ඔවුන් ගස් කපන හොරා අල්ලා ගත්තේ පොලීසියේම ඉඳලා. ඒත් ඔහු කවුද කියලා පෙන්වීමට රාත්‍රි පහන් වෙන තෙක් නොසිටියේ මන්ද යන්න ගැටලුවකි. පොලීසියේ තිබූ ඇඳුම් පමණක් ඊට සාක්ෂියක් වූයේ ගම්වැසියන් මවිත කරවමින්ය. 

 

Comments