සිනා­සෙන චීච්ට ලෝකයේ හත­ර­ව­ටින් ඉල්ලුම | Page 3 | සිළුමිණ

සිනා­සෙන චීච්ට ලෝකයේ හත­ර­ව­ටින් ඉල්ලුම

ටෙක්සාස් හි අනාථ සතුන් රැක බලා ගන්නා මධ්‍යස්ථානයකින් අපූරු කුඩා බලු පැටවකු පිළිබඳව වාර්තා විය. මේ බලු පැටවාගේ විශේෂත්වය වන්නේ දත් පෙන්වා සිනාසීමට ඌ සතු සුවිශේෂී හැකියාවයි.

ටෙක්සාස් හි මේ අනාථ සතුන් රැකබලා ගන්නා මධ්‍යස්ථානයේ කාර්ය භාරය වන්නේ මහ මග සිටින අයිතිකරුවන් නොමැති සතුන් තමා වෙත රැගෙන අවුත් රැක බලා ගැනීමය. එහිදී සුරතල් සතුන් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින අයට මේ මධ්‍යස්ථානයෙන් අනාථ සතුන් රැගෙන අති දැඩි කිරීමටද හැකියාව ලැබේ.

පසුගිය අඟහරුවාදා එම මධ්‍යස්ථානයට මේ සුවිශේෂ බලු පැටවා ලැබී ඇත්තේ අනාථ සතකු වශයෙනි. එහෙත් පැය කිහිපයක් ඉක්ම යත්ම මධ්‍යස්ථානයේ සේවකයන්ට පෙනී ගොස් ඇත්තේ මේ කුඩා බලු පැටවා නිතර දත් පෙනෙන සේ තම තොල් සකසන බවයි. මුලදී සේවකයන් සිතා ඇත්තේ බලු පැටවා කේන්තියෙන් විරිත්තන බවකි. එහෙත් පසුව ඔවුන් වටහා ගෙන ඇත්තේ මේ කුඩා බලු පැටවා තම ආදරය කරුණාව පෙන්වීම පිණිස මෙලෙස දත් පෙනෙන සේ විවෘත කරමින් කාරුණික බැල්මෙන් තමන්ට සංග්‍රහ කරන බවයි. එය සැබවින්ම සමාන වී ඇත්තේ මිනිස් සිනහවකටය.

මේ සිනාසෙන බලු පැටවාගේ පුවත සැබෑවක් බව දැනගැනීමත් සමග මධ්‍යස්ථානයේ නිලධාරීන්ද බලු පැටවා කෙරෙහි අවධානය යොමු කර ඇති අතර ඌට 'චිච්' යන නමද ලබා දී තිබේ. මධ්‍යස්ථානයේ සිටින සතුන් හදාවඩා ගැනීමට කැමත්තක් දක්වන්නේ නම් අන්තර්ජාලය ඔස්සේ ඒ සම්බන්ධව දැනුම්වත් කිරීම් නිතර සිදු කරන අතර චිච් සම්බන්ධවද එලෙස දැන්වීම් අන්තර්ජාලයට එක් කර ඇත්තේ චිච්ගේ සුවිශේෂ සිනාහව සහිත ඡායාරූපද එක් කරමිනි.

මේ ඡායාරූප අන්තර්ජාලයට එක්ව පැය කිහිපයක් ගත වත්ම ලෝකයේ හතරදිග් බාගයෙන් චිච්ගේ අයිතිකරුවා වීමට කැමති පුද්ගලයන් ලක්ෂ ගණනක් මධ්‍යස්ථානයට ඒ බව දන්වා විද්යුත් තැපැල් පණිවිඩ යොමු කර තිබේ.

මේ වන විට සිනාසෙන්න යැයි ඉල්ලීම් ලැබුණු විට වහාම සිනාසීමේ හැකියාවද තමා සතු බව චිච් ඔප්පු කර අවසන් යැයි වාර්තා වේ.

ඒ අනුව සිනාසීමේ මිනිස් හැකියාව සහිත මේ අපූරු බලු පැටවාගේ අනාගතය කෙසේ වේ දැයි මුලු ලෝකයේම අවධානය යොමු වී තිබේ. 

 

 

Comments