ජපාන අග­මැති‍ගේ මැති­ව­රණ ජය ආසි­යාවට කොහොමද? | Page 3 | සිළුමිණ

ජපාන අග­මැති‍ගේ මැති­ව­රණ ජය ආසි­යාවට කොහොමද?

මීට හයමසකට පෙර ඔහුගේ දේශපාලන අනාගතය අවිනිශ්චිත වුයේ ජනප්‍රියත්වය දැක්වෙන දර්ශකයන්හි අගය පහත වැටී ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමේ අවදානමක්ද සමගිනි. එහෙත් අදවනවිට ඔහු ජපාන පාර්ලිමේන්තුවේ අනභිබවනීය බලයකට හිමිකම් කියන නායකයෙකි. අන්තර්ජාතික මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට ජපාන පාර්ලිමේන්තුවේ සුපිරි තුනෙන් දෙකක බලයක් ෂින්සෝ අබේ අග්‍රාමාත්‍යවරයාගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂ සන්ධානයට හිමිව තිබේ.

පාර්ලිමේන්තුවේ ආසන 465න් 313ක් එම සන්ධානයට හිමිව තිබේ. අගමැති අබේ ගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයට ආසන 284ක්ද ඒ හා සන්ධානය ගතව සිටින කමෙයිටෝ පක්ෂයට ආසන 29ක්ද වශයෙන් පාර්ලිමේන්තු ආසන බෙදීගොස් තිබේ. මෙය අගමැති ෂින්සෝ අබේ හිමිකරගත් තුන්වැනි ධුරකාලයයි. එසේම එය මෑතකාලීනව ජපානයේ නායකයෙකු අත්කරගත් වඩාත්ම පුළුල් මැතිවරණ ජයග්‍රහණයයි.

ෂින්සෝ අබේ අගමැතිවරයා නියමිත කාලයට වඩා පෙරාතුව මහ මැතිවරණයක් කැඳවීමෙන් සිදුකළේ ලොව බොහෝ දේශපාලන නායකයන් සිදුකරන ලාබදායක උපක්‍රමයක් හෙවත් දේශපාලනික සූදුවකි. එනම් තමන්ගේ බලය පිළිබද වාසිදායක තක්සේරුවකින් හා විපක්ෂයේ දුබලතාව පිළිබද තක්සේරුවකින් යුක්තව මැතිවරණය නියමිත දිනට පෙරාතුව කැඳවිමයි. යම්හෙයකින් තක්සේරුව වැරදී ගියහොත් දැනට පවතින බලය පවා අහිමිවීමේ අවදානමක දේශපාලන පක්ෂය හා එහි නායකයා මුහුණ දෙයි.

උදාහරණ වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියමිත කලට පෙර ජනාධිපතිවරණයක් පවත්වා ලබාගත් ප්‍රතිඵලය මෙන්ම බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ එවැනිම ක්‍රියාමාර්ගයක් තුළින් පාර්ලිමේන්තුවේ තම පක්ෂයට තිබු බහුතර බලය අහිමි කරගැනීම පෙන්වා දිය හැක. එහෙත් ජපාන අගමැති ෂින්සෝ අබේ ඉතා පහසුවෙන් එම අභියෝගය ජයගෙන තමන්ට තිබු බලයට වඩා වැඩි බලයක් අත්පත් කරගත්තේය. අබේගේ තක්සේරුව අනුවම විපක්ෂ කණ්ඩායම් මුහුණ පෑවේ ඉතා අභාග්‍ය සම්පන්න තත්ත්වයකටයි.

මැතිවරණය කැදවීමට මාස කිහිපයකට පෙරාතුව ජපාන දේශපාලන නිරීක්ෂකයන්ගේ තක්සේරුව වුයේ ටෝකියෝ නගරාධිපතිනි යුරිකෝ කොයිකේ අගමැති අබේට සෘජු අභියෝගයක් එල්ල කරන චරිතයක් විය හැකි බවයි. අගමැතිවරයාගේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල සාමාජිකාවක්ව සිට ඉන් ඉවත් වී බලාපොරොත්තුවේ පක්ෂය පිහිටුවා ගනිමින් ප්‍රධාන ප්‍රවාහයට අභියෝගයක් එල්ල කිරීමට ඇය උත්සුක වුවාය.

ඇය මුල් වකවානුවේ හිමිකරගත් ජනප්‍රියත්වය තුළ යම්කිසි ආකාරයක අභියෝගාත්මක චරිතයක් වනු ඇතැයි විශ්වාස කෙරිණ. එහෙත් මැතිවරණ ප්‍රතිඵල පෙන්වාදුන්නේ වෙනත් දෙයකි. අපේක්ෂිත මට්ටමට වඩා බෙහෙවින් බරපතල පසුබෑමකට ලක්වීමට නගරාධිපතිනි යුරිකෝගේ බලාපොරොත්තුවේ පක්ෂයට සිදුවිය. යුරිකෝ නගරාධිපතිනිය කියා සිටියේ මැතිවරණ ප්‍රතිඵල මහත්වු විනාශයක් බවයි.

දැන් අගමැති අබේ ඉල්ලා සිටි ජනවරම ඔහුට ලැබි තිබේ. අගමැතිවරයා ජනතාව වෙත ගියේ මුලික වශයෙන්ම උතුරු කොරියාවෙන් එල්ල වන අභියෝගවලට මුහුණ දීම සදහා ශක්තිමත් ජනවරමකි. ජපාන මැතිවරණයේ ප්‍රධාන මාතෘකාව වුයේද උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ යුද වැඩපිළිවෙල නිසා ජපානයට මුහුණදීමට සිදුව ඇති තර්ජනාත්මක තත්ත්වයයි. මේ හරහා අගමැති ෂින්සෝ අබේට නව ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පැවතින.

ලැබු විශාල ජන වරම නව ව්‍යවස්ථා සංශෝධනයක් සදහා යොදාගැනිමට අගමැතිවරයා උත්සුක වනු ඇතැයි යන්න දේශපාලනික හා රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේ‍ත්‍රයේ විශ්වාසයයි. ජපානය වැනි ප්‍රබල රටක් උතුරු කොරියානු තර්ජනය සම්බන්ධයෙන් මෙතරම් කළබල වන්නේ ඇයිදැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැක. දෙවැනි ලෝක යුද්ධයේ දී ජපාන අධිරාජ්‍යය ඉන්දියාවේ මායිම දක්වා තම බලය ව්‍යාප්ත කළ මහා දැවැන්ත යුද බලවතෙකු වු බව අප කවුරුත් දන්නා කරුණකි.

හිට්ලර්ගේ නාසි ජර්මනිය පරාජය වි බිදවැටීමෙන් පසුවද යුදවැදුනු ජපානය මෙල්ල වුයේ අමෙරිකානු පරමාණු බෝම්බ ප්‍රහාර දෙකෙන් සිදුවු මහා විනාශයෙන් පසුවයි. ඉන්පසුව 1947 දී ජපානයට නව ආණ්්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසාදෙනු ලැබුවේ දෙවැනි ලෝක යුද්ධයේ මිත්‍රපාක්ෂික රටවල මැදිහත්වීමෙන්. ඒ අතරින් ඊට වඩාත්ම එල්ල වුයේ අමෙරිකානු බලපෑමයි.

දෙවැනි ලෝක යුද්ධය අවසානයේ මිත්‍ර පාක්ෂික රාජ්‍ය නායකයන් වු හිටපු බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්, අමෙරිකානු ජනාධිපති හැරී ටෘමන් හා සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් 1945 ජුලි මස නිකුත්කළ පොස්ට්ඩාම් ඒකාබද්ධ නිවේදනයේ මුලික කොන්දේසියක් වුයේ ජපානය කොන්දේසි විරහිතව යටත් විය යුතු බවයි. එමෙන්ම ජපාන පාලන රටාවේ ප්‍රබල වෙනස්කම් ඇතිකොට ජපානය අනාගතයේ ලෝකයට යුද තර්ජනයක් එල්ල කරන ආක්‍රමණිකයෙකු වීම වලක්වා ලීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණ.

1947 ජපානය සඳහා සකසනු ලැබු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අරමුණක් වුයේ ජපානයේ අධිරාජ්‍යයක තත්ත්වය අවසන් කර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි පාර්ලිමේන්තු සම්ප්‍රදායක් කරා යොමුකරලීමයි.

ඒ අනුව මෙතෙක් අධිරාජ්‍යයා සතු විධායක බලය වෙනුවට සියලු බලතල පාර්ලිමේන්තුවට පවරා අධිරාජ්‍යයා බ්‍රිතාන්‍ය රැජින මෙන් නාමමාත්‍රික විධායක කාර්යභාරයක් ඉටුකිරිම එමගින් තහවුරු කෙරිණ.

එමෙන්ම වඩාත්ම වැදගත් වුයේ ජපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියයි. එමගින් ජපානයට නිත්‍ය ආරක්ෂක සන්නද්ධ හමුදාවක් පවත්වාගැනීමේ අවසරය අහෝසි කෙරිණ. ඒ වෙනුවට ජපානය සඳහා අඩු බලයක් සහිත ස්ව ආරක්ෂක බලඇණිය නමැති ආරක්ෂක යාන්ත්‍රණයක් හඳුන්වා දෙනු ලැබීය. එහි අරමුණ ජපානයට එල්ල විය හැකි බාහිර තර්ජන වලින් ආරක්ෂා වීමයි. ඒ හැර සියලු සංග්‍රාමික කටයුතු තහනම් විය.

වත්මන් ජපාන අගමැති ෂින්සෝ අබේගේ ස්ථාවරය වන්නේ ජපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය වෙනස්විය යුතු කාලය එළැඹ ඇති බවයි. එනම් ජපානය සන්නද්ධ මිලිටරිකරණය වෙත යොමුවිය යුතු කාලය එළැඹ ඇති බවයි. උතුරු කොරියානු තර්ජනය එය සාධාරණීකරණය සදහා ලබා දී ඇති මුලික තර්කයයි.

කෙසේ වෙතත් දේශපාලන ප්‍රතිවාදීන් අගමැති අබේ හඳුන්වන්නේ යුදකාමී උකුස්සෙකු ලෙසටයි. ඔහු නැවතත් ජපානය හමුදාකරණය සඳහා ඇදගෙන යෑමට උත්සාහ දරණ බවට චෝදනා එල්ල වේ. ජපානය නිර්යුදකරණය වෙත යොමුකළ ප්‍රධානතම රට වන අමෙරිකා එක්සත් ජනපදයද මේ වනවිට ජපාන අගමැති ෂින්සෝ අබේගේ ව්‍යවස්ථා වෙනසට සහය දැක්වීම දෛවෝපගත සිද්ධියකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය මගින් පෙන්වා දෙන්නේ ප්‍රශ්න විසදීමේ පියවරක් ලෙස යුද්ධය යන විකල්පය ජපානය විසින් තරයේ බැහැර කරනු ලබන බවයි. ඒ වෙනුවට සාමය හා යුක්තිය මත පදනම් වු වැඩපිළිවෙලක් කරා යොමුවීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ. එබැවින් ජපානය යුද හමුදාවක් නඩත්තු නොකරනු ඇතැයි එම වගන්තියේ දැක්වේ. දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරිමට අවශ්‍ය බලය අගමැති ෂින්සෝ අබේ හා ඔහුගේ ආණ්ඩුවට ලැබී තිබේ. එහෙත් එය පහසු කටයුත්තක් නොවේ.

ඒ මන්ද යත් ජපානය දෙවැනි ලෝක යුද්ධය අවසන් වී ගතවු දශක හතකට අධික කාලය තුළ වඩාත් හුරුපුරුදු වී ඇත්තේ සාමකාමි වාතාවරණයකටයි. යුදකාමීත්වය ජපානයේ වත්මන් පරම්පරාවට නුහුරු දෙයකි. එසේනම් ව්‍යවස්ථා වෙනසට අවශ්‍ය ව්‍යවස්ථාදායක බලය තිබුණද ජපාන ජනතාවට එය වටහා දීමට අගමැති අබේට විශේෂ වෙහෙසක් දැරිය යුතු වන්නේය.

ඒ සඳහා වර්තමානයේ පවතින උතුරු කොරියානු තර්ජනය අගමැති අබේගේ වෑයමට ලැබෙන ආශිර්වාදයකි. එහෙත් දිගුකාලීනව අගමැති අබේගේ හා ජපාන මුල්පෙළේ දේශපාලන බලවේගයේ අවධානයට ලක්වන කරුණ චීනයේ නැගීසිටීමයි.

චීන ජනාධිපති ෂි ජින් පින් ඉකුත් සතියේ පැවති කමියුනිස්ට් පක්ෂ මහා සම්මේලනයේදි අතිමහත්වු බලයක් අත්පත් කරගත්තේ මහජන චීනයේ නිර්මාතෘ මා ඕ සේතුං ගේ මට්ටමට සම වෙමිනි. එසේ නම් චීනය “ෂී දැක්ම“ තුළින් ඉදිරි දශක තුන ඇතුලත ආසියාවේ මෙන්ම ගෝලීය බලවතා වීමේ පිඹුරුපත් සකසා තිබේ. එරට ක්‍රියාත්මක කර ඇති එක තීරයක් එක මාවතක් සංකල්පය යටතේ චීනය දකුණු ආසියාව මධ්‍යම ආසියාව මැද පෙරදිග, අප්‍රිකාව හා යුරෝපය සම්බන්ධ කෙරෙන දැවැන්ත ආර්ථික සහයෝගිතා වැඩපිළවෙලක් තුළින් අන්තර්ජාතික ප්‍රජාවට වඩාත් සමීප වී සිටී.

මේ හරහා ආසියානු කලාපය තුළ ප්‍රබලතම අභියෝගය එල්ල වන්නේ ජපානයටයි. චීනය දකුණු චීන මුහුදේ ආධිපත්‍යය ව්‍යාප්ත කිරිම හා ජපානය සමග පවතින දුපත් අර්බුදයද අවධානයට ලක්වු කරුණු අතර වේ.

මේ සියලු සාධක මැද ජපානය ආසියාවේ තවත් යුද බලවතෙකුගේ තත්ත්වය අත්පත් කරගැනීමේ වෑයම මේ ජනතා වරම තුළින් ආරම්භ කිරිමට අගමැති ෂින්සෝ අබේ මුල් පියවර තබා ඇතැයි විශ්වාස කළ හැක. මෙතෙක් ආර්ථික ශක්තිය හා සාමකාමී ගෝලීය සබඳතා තුළින් කැපී පෙණුනු ජපානය නැවතත් ආසියාවේ යුද බල අධිකාරියක් ලෙස පෙනීසිටීමේ වාතාවරණය කලාපීය මුහුණුවර පැහැදිළිව වෙනස් කරන සාධකයක් වනු නොඅනුමානය. 

 

Comments