සංස්කෘ­තික කාන්තා­ර­යක් වීම වැළැ­ක්වී­මට උද­ය­කා­න්තගේ මෙහෙ­වර | Page 3 | සිළුමිණ

සංස්කෘ­තික කාන්තා­ර­යක් වීම වැළැ­ක්වී­මට උද­ය­කා­න්තගේ මෙහෙ­වර

බන්ධනය චිත්‍රපටය මා බලන්නට සිතාගත්තේ එහි පූර්ව ප්‍රචාරණ පටය මගේ සිත තදින් ඇදගත් නිසාය. භයානක හොල්මන් අවතාර පිළිබඳ විදේශීය චිත්‍රපට නරඹා තිබුණත් එම වර්ගයේ සිංහල චිත්‍රපටයක් ගැන මගේ මතකයක් නැත. පූර්ව ප්‍රචාරණ පටයෙන් බන්ධනය එම අඩුපාඩුව සපුරා ඇතැයි මට සිතිණි. විශේෂයෙන් ම පූර්ව ප්‍රචාරණ පටයේ දකින්න ලැබුණු සිරිල් වික්‍රමගේත් රවින්ද්‍ර යසස්ගේත් රංගනයන් සහ බිය ඉපදවීම උදෙසා යොදාගෙන තිබුණු සිනමා ශිල්ප ක්‍රම හේතුවෙන් මට එම උනන්දුව ඇති විය.

කෙසේ වුව ද ‘බන්ධනය’ මට දෙවරක් ම මග හැරිණි. මාලබේ ස්කයි ලයිට් සිනමාහලට බන්ධනය බලන්නට යන විට එහි ඒ වෙනුවට ළමා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරෙමින් තිබිණි. බොරැල්ල ලිඩෝ සිනමාහලට යන විට ‘නිම්නයක හුදකලාව’ ප්‍රදර්ශනය වෙමින් තිබිණි. අවසානයේ කඩුවෙල නිව් රේඛා සිනමාහලට ගොස් බන්ධනය නැරඹුවෙමි. මුලින් ම කියන්නට ඇත්තේ එතරම් උත්සාහයක් ගෙන හෝ එම චිත්‍රපටය නැරඹීම පාඩුවක් නොවූ බවය.

මා මෙයට පෙර නරඹා ඇති උදයකාන්ත වරේණසූරිය මහතාගේ චිත්‍රපට අතරට ‘රෝස වසන්තේ’ යකඩ පිහාටු’ ‘බහුබූතයෝ’ ‘ආසයි මං පියාඹන්න’ ‘රන් කෙවිට’ සහ ‘හිරිපොද වැස්ස’ අයත් වේ.

මට මතක හැටියට උදයකාන්ත වර්ණසූරියගේ මා නැරඹූ මුල් ම චිත්‍රපට අතරට ‘යකඩ පිහාටු’ ද අයත් වේ. ඒ චිත්‍රපටය ද මුල සිට අග දක්වා ආසාවෙන් නැරඹීමට හැකි චිත්‍රපටයක් විය. අවසානයේ හිතේ තෘප්තියක් හා සතුටක් ඇතිව සිනමාහලෙන් පිටවීමට හැකි වර්ගයේ චිත්‍රපටයක් විය. සැබවින්ම උදයකාන්ත වර්ණසූරියගේ බොහෝ සිනමා නිර්මාණවල එම ලක්ෂණය තිබේ.

යකඩ පිහාටු චිත්‍රපටයේ දී හිරෙන් නිදහස් වන රන්ජන් රාමනායක අනෝජා වීරසිංහගේ ගේදොර වතුපිටි බලාගනිමින් කුඹුරු ගොවිතැන් කටයුතු කරන උදව්කරුවකු බවට පත් වේ. රන්ජන්ගේ හැඩිදැඩි රූපකාය කෙත හා කමත සමඟ මැනවින් ගැලපේ. මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුය යන්න ඇත්තක් සේ රන්ජන් කුඹුරේ සිටින විට හැඟේ. සේමිෙණි ඉද්දමල්ගොඩගේ අඟර දඟර සහිත චරිතය චිත්‍රපටය නැරඹූ පසුව ද හිතෙන් අයින් නොවේ. අනෝජා වීරසිංහ සන්සුන් තැන්පත් චරිත නිරූපනයක යෙදෙන්නේ චිත්‍රපටයේ ගලායාමට අවශ්‍ය රිද්මයත් අවකාශයත් නිර්මාණය කරමිනි.

බහුබූතයෝ බොහෝ දෙනා නරඹා ඇති චිත්‍රපටයකි. එහි ප්‍රධානම ආකර්ෂණය වන්නේ පබෝදා සන්දීපනීගේ රඟපෑම් සහ එහි සිත් ඇදගන්නා කතා වස්තුවයි. චිත්‍රපටයක දැකිය හැකි රොඞ්නි වර්ණකුලගේ හොඳම රංගනයන් අතරට නිසැකවම බහුබූතයෝ ද අයත් වේ. වෙනත් රංගන ශෛලීන් දෙකක් අනුගමනය කරන නොගැලපෙන නළුවන් දෙදෙනකු යැයි මතුපිටින් එක්වරමට පෙනී යන මහේන්ද්‍ර පෙරේරා සහ රොඞ්නි වර්ණකුල බහුබූතයෝ චිත්‍රපටයේ දී කදිමට පෑහේ.

‘රෝස වසන්තේ’ චිත්‍රපටය ගෙතෙන්නේ ද කාංචනා මෙන්ඩිස්ගේ අහිංසක රූසපුව වටාය. මාලිනී ෆොන්සේකාගේ මුහුණු සිහිපත් වන ආකාරයේ මුහුණක් කාංචනා සතුය. එහි එන ගේ‍්‍රෂන් ආනන්ද සහ නිරෝෂා විරාජිනී ගායනා කරන ‘නිල් නුවන් සඳැල්ලේ මල් යහන් තුරුල්ලේ’ ගීතය අදටත් මතකයේ රැඳී ඇති ජනප්‍රිය චිත්‍රපට ගීයකි. සංගීතය රෝහණ වීරසිංහ විසිනි.

‘සමනල හැඟුමන් අතරේ නොඉඳුල් පැතුමන් විසිරේ’ උරේෂා රවීහාරිගේ ජනප්‍රිය ම ගීත අතරට එක්වන මේ ගීතය එන්නේ උදයකාන්තගේ ‘ආසයි මං පියාඹන්න’ චිත්‍රපටයේය. චිත්‍රපටය ඇරඹෙන්නේ මේ ගීයත් සමඟ පූජා උමාශංකර්ගේ නැටුමකිනි.

‘හිරිපොද වැස්ස’ චිත්‍රපටයේ හොඳම රංගනය ජයලත් මනෝරත්න මහතාගේ යැයි සිතමි. මිනිස්සු දකින්න ම කැමති රජයේ සේවකයා කවුද යන ප්‍රශ්නයට උත්තරය තැපැල් පියුම් යැයි කියැවෙන්නේ මේ චිත්‍රපටයේය. ජයලත් මනෝරත්න මහතා රඟපාන්නේ තැපැල් පියුං මහතාගේ චරිතයයි. ඒ අතරම ඔහු පුබුදු චතුරංගගේ පියා ද වෙයි. මේ චිත්‍රපටයේ වීර පෙම්වතාගේ චරිතයට පණ පොවන්නේ පුබුදු චතුරංගයි. අහිංසක පෙම්වතිය වන්නේ චතුරිකා පීරිස්ය. තවත් පෙම් යුවළක් වශයෙන් අනර්කලී සහ රොෂාන් රණවන රංගනයෙන් දායක වෙයි. සැබවින්ම රිදීතිරයේ දිගු සාර්ථක ගමනකට පුබුදු චතුරංග මුල පිරුවේ හිරිපොද වැස්සෙන් යැයි සිතමි. ‘මීදුමෙන් වැසී කඳුයාය සලිත වී’ සහ ‘ආනන්දේ වැහි වලාව සලන්න සලන්න වස්සානේ’භාතිය සන්තුෂ්ගේ ඉතා ජනප්‍රිය ගීත ද එන්නේ ‘හිරිපොද වැස්සේය’

ඩ‍්‍රැකියුලා සහ වෙනත් එවන් විදේශීය බොහෝ චිත්‍රපටවල පොදු ලක්ෂණයක් දැකිය හැකිය. එනම් ඒ සියලු අද්භූත බලවේග කිනිසි තුවක්කු ආදී කිසිදු ආයුධයකින් නැවතීමට නොහැකි වුවත් කුරුසය හමුවේ පසුබා යාමයි. එනම් ආගමික භක්තිය ඉදිරියේ මෙල්ල වීමයි. මෙම චිත්‍රපට මගින් ආගමික භක්තිය ශක්තිමත් වීමක් සිදුවන බව මට වැටහුණේ බන්ධනය නැරඹීමත් සමඟය. කිසිවෙකුට මර්දනය කළ නොහැකි භූත බලවේග බන්ධනය චිත්‍රපටයේ දී මර්දනය වන්නේ බෞද්ධ ගාථා හමුවේය. මෙවන් චිත්‍රපට මගින් ආගමික හැඟීම ශක්තිමත් කරනු ලබයි. සැබවින් ම මෙම වර්ගයේ විදේශීය චිත්‍රපට ද ආගමික ප්‍රචාරණයක් අරමුණ කරගෙන නිර්මාණය කෙරී ඇතැයි මම නොසිතමි. එය එම සංස්කෘතික පසුබිම තුළ නිරායාසයෙන් නිර්මාණය වූවකි. එනම් මිනිසා තුළ ඇති ප්‍රබලතම හැඟීම ආගමික හැඟීමයි. මිනිසාගේ ලොකුම විශ්වාසය ආගමයි. මිනිසාගේ ලොකුම ශක්තිය ආගමයි. බිහිසුණු ම ඩ්‍රැකියුලා අවතාර වුව ද කුරුසය හමුවේ පසුබසින්නේ ඒ නිසාය. එසේ ම බන්ධනය චිත්‍රපටයේ සියලූ බන්ධන බෞද්ධ වත් පිළිවෙත් ඉදිරියේ පසුබසියි. සැබවින්ම මේ වර්ගයේ චිත්‍රපට මගින් කරනු ලබන්නේ මිනිසුන් බය ගැන්වීම නොව ශක්තිමත් කරනු ලැබීමයි. බන්ධනය චිත්‍රපටය නැරඹීමේ දී මට එම අවබෝධය ද ලැබිණි.

මෙහි දී තවත් අමතර දෙයක් කියන්නේ නම් බුද්ධං සරණං ගච්ඡාමී නොකියා මාක්ස් සරණං යයි කියන්නේ එතරම් බුද්ධිමත් අය නොවේ. බුද්ධං සරණං ගච්ඡාමී කියන අතරම මාක්ස්ගේ දර්ශනයෙන් ද යම් ලබාගත හැකි අර්ථයක් ලබාගැනීම බුද්ධිමත් භාවයේ ලක්ෂණයයි. එහෙත් පසුගිය කාලයේ වැඩිපුර බිහිවූයේ බුද්ධං සරණං ගච්ඡාමී කියන්නට ලැජ්ජාවන මාක්ස් සරණං ගච්ඡාමී යයි මහහඬින් කියන උද්ධච්ච මෝඩයන්ය. මේ අදහස මාක්ස්වාදීන් පමණක් නොව වෙනත් බාහිර මතාන්තර මහමෙරක් සේ සිතමත දරාගෙන තමාට හුරුපුරුදු බණදහම් බැහැර කරන ඕනෑම අයෙකුට පොදුය. මා සිතන අන්දමට නම් ආගමික භක්තිය බුද්ධිමත් භාවයේ ලක්ෂණයකි. ආගම් තුළ ගැබ්ව ඇත්තේ ශිෂ්ටාචාරයක් පුරා මිනිසා රැස්කරගත් ඉහළ ම බුද්ධිමය දායාදයන්ය. මේ කරුණ මා කියන්නේ අන් කරුණක් නිසා නොව මිනිසාගේ සහනයටත් සැපතටත් ආගම ඉවහල් වේ යන කරුණ නැතිනම් සංස්කෘතික හැඟීම උදයකාන්ත වර්ණසූරිය තම සිනමා නිර්මාණ වෙතින් බැහැර නොකරන බැවිනි.

උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ඇතැම් චිත්‍රපට විදේශීය චිත්‍රපටවල අනුකරණ බවට ද චෝදනාවක් වෙයි. මේ වැනි චෝදනා නැ‍ඟීම සාධාරණ යැයි නොසිතේ. ඉංග්‍රීසි නාට්‍යවල පරිවර්තන කිරීමට නිදහස ඇත්නම් ඒවා එලෙසින් ම භාෂාව පමණක් වෙනස් කර රාජ්‍ය සම්මාන පවා දිනාගැනීමට අවස්ථාව ඇත්නම් රස වින්දනය වෙනුවෙන් වෙනත් විදේශීය චිත්‍රපටයක් ඇසුරින් දේශීය චිත්‍රපට නිර්මාණය කිරීම වරදක් නොවේ. එය නිර්මාණාත්මක නොවන කටයුත්තක් ද නොවේ. පිකාසෝගේ චිත්‍රයක් වුව ද එලෙසින් ම බලාගෙන ඇඳීම අපට කළ නොහැක. එය ද කළ හැක්කේ ඉතා දක්ෂ චිත්‍රශිල්පියෙකුට පමණි. එසේ ම විදේශ චිත්‍රපටයක් ඇසුරින් හොඳ සිංහල චිත්‍රපටයක් කළ හැක්කේ ද කලාව ගැන හැඟීමක් ඇත්තෙකුට පමණි. සැබවින්ම ඔරිජිනල් නිර්මාණ කියා කවදා හෝ තිබුණා ද යන්න මම නොදනිමි. බොහෝ නිර්මාණ සැබවින් ම ප්‍රතිනිර්මාණ වේ. හැට හැත්තෑව දශකයේ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයෙන් පසු එවන් යුගයක් එළඹුණේ නැත. එහෙත් ඒ හේතුවෙන් ලංකාව සංස්කෘතික කාන්තාරයක් වීම යම් තරමකින් හෝ වැළැක්වීමට උදයකාන්ත වර්ණසූරියගේ චිත්‍රපට මාලාව ද ඉවහල් විය. ටෙලිනාට්‍ය ඉතා පහතට වැටෙමින් පැවැති යුගයක් තුළ එය හඳුනාගෙන ඉන් ඉවත්වීමට තරම් අනාගත දැක්මක් සහ ශක්තියක් උදයකාන්ත වර්ණසූරිය තුළ තිබිණි. වාණිජත්වය මැද අවසාන වශයෙන් යම් මිහිරක් ජනතා සන්තානයේ තැන්පත් කරන නිර්මාණයක් ඉදිරිපත් කරීමේ කෞශල්‍යය ඔහු සතුව පැවතිණි. උදයකාන්ත මේ සියල්ල කරන්නේ අන්තර්ජාල යුගයක් තුළය. එහි දී ඔහු ප්‍රධාන වශයෙන් ඉවහල් කරගන්නේ ෙප්‍ර්ක්ෂක ආකර්ෂණය දිනාගත හැකි කතා තේමාවන් සහ ලංකාවේ සිටින දක්ෂ රංගන ශිල්පීන්ගේ ශිල්පිනියන්ගේ හැකියාවයි. මගේ අදහස අනුව නම් අපේ රටේ රංගන ශිල්පීන්ගේ හැකියාව ඉන්දියානු ශිල්පීන්ගේ හැකියාව අභිබවා සිටියි. අපට අඩු ඔවුන්ගේ හැකියාවන්ගෙන් පල නෙලාගන්නා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ය. හිරිපොද වැස්සේ ජයලත් මනෝරත්න රඟපාන පියුං මහත්තයාගේ චරිතය සැලකූ විට එතරම් දක්ෂ ලෙස සිනමා තිරය මත එවන් චරිතයක් නිරූපණය කළ හැකි නළුවන් දකුණු ඉන්දියානු සිනමාවේ පවා දුලබය. උදයකාන්ත මෙසේ බොහෝ විට තමන්ගේ ශක්තිය කරගන්නේ අපේ ශිල්පීන්ගේ හැකියාවයි.

විදේශීය චිත්‍රපටකරුවන් හදාරන අපේ නවකයන්ට මා කියන්නේ උදයකාන්තගේ සිනමාව ද හදාරන ලෙසයි. ශක්තිමත් දේශීය සිනමා කර්මාන්තයක් ගොඩනැංවීම උදෙසා එවන් හැදෑරීමක් බෙහෙවින් උපකාරී වනු ඇත. 

 

Comments

පිටු