අපේම තාක්ෂණයෙන් පණ ලබන දුම්රිය මැදිරි | සිළුමිණ

අපේම තාක්ෂණයෙන් පණ ලබන දුම්රිය මැදිරි

 ලොව පුරා දිනෙන් දින වැඩි වන ප්‍රවාහන අර්බුදයට හොඳම විසැඳුම් දෙකක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. එයින් එකක් දුම්රිය සේවාව වන අතර අනෙක දිය මත සිදු කෙරෙන ප්‍රවාහන මාධ්‍යයි. මේ අතුරින් අපේ රටට වඩාත් හුරු මෙන්ම ජනතාවගේ ආකර්ෂණය ඇති කරගත් ප්‍රවාහන මාධ්‍යය වන්නේ දුම්රිය සේවාවයි. බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් අපට හඳුන්වා දුන් දුම්රිය සේවාව මේ වන විට වසර 150කට අධික කාලයක් පුරා අපට සේවය සලසා ඇති අතර, එමඟින් සලසනු ලබන සේවාවද සුළු-පටු නොවේ. විශේෂයෙන්ම නාගරිකව උදෑසන හා සවස් කාලයේ කාර්යාල මඟීන් දස දහස් ගණනකට දුම්රිය නොවන්නට අද මහමඟ පැය ගණන් ලැග මහ රැයේ නිවෙස් බලා යන්නට සිදු වන බව නම් ඒකාන්තය.

කොළඹ සිට රාගමට ශීඝ්‍රගාමී දුම්රියෙන් ගමනට වැය වන්නේ විනාඩි 20කි; මන්දගාමී දුම්රියෙන් නම් විනාඩි 30කි. එහෙත් බස් රථයෙන් අවම වශයෙන් පැයකුත් විනාඩි 10ක් පමණ වැය වේ.

ගම්පහට ශීඝ්‍රගාමී දුම්රියෙන් විනාඩි 30කි; මන්දගාමී දුම්රියෙන් නම් විනාඩි 50ක් පමණ කාලයක් ගත වේ; බස් රථයෙන් අවම වශයෙන් පැය එකහමාරක් පමණ වැය වේ. කාර්යාල වේලාවන්හිදී අලව්වට ශීඝ්‍රගාමී බස් රියෙන් ගමන් කළද ගත වන කාලය පැය දෙකකට අධිකය. දුම්රියෙන් ගත වන්නේ පැයකට මඳක් වැඩි කාලයකි.

මේ අනුව බලන කල දුම්රිය සේවාවේ වැදගත්කම අපට හොඳින් පෙනී යයි. දුම්රිය සේවාව ආරක්ෂාකාරිය; එමෙන්ම ඉතාම සුව-පහසුය; ගමන් කාලයද ඉතා අඩුය. වර්තමානයේ ගාස්තුව අතින්ද ඉතා ලාබදායකය.

එහෙත් ගැටලුව වන්නේ දුම්රිය සේවාව පවත්වාගෙන යෑම අධික වියදම් සහිත කාර්යයක් වීමයි. විශේෂයෙන් දුම්රිය එන්ජිමක් මිල දී ගැනීමට අපට සිතාගැන්මටත් බැරි තත්ත්වයක් පවතී. දුම්රිය මැදිරියක මිල සාමාන්‍යයෙන් රුපියල් මිලියන 60කට අධිකය; එනම්: කෝටි 6ක පමණ මුදලකි‍. එයින් මඟීන් 100කට පමණ සුවපහසු ප්‍රවාහන පහසුකම් සැලසිය හැකිය; අධිකව මඟීන් ගෙන යන්නේ නම් මඟීන් 200ක් වුවද ප්‍රවාහනය කළ හැකිය. කෙසේ හෝ වේවා මේ අධික පිරිවැය දුම්රිය දෙපාර්තමේන්තුව වැනි අධික පාඩු ලබන ආයතනයකට දරාගත නොහැකිය.

එසේ නම් අපි කුමක් කරමුද? මේ සම්බන්ධයෙන් කල්පනා කළ දුම්රිය දෙපාර්තමේන්තුව අපූරු ක්‍රියාදාමයක් කරා එළැඹියේය. එය ඇත්තෙන්ම දුම්රිය සේවාවේ ඉදිරි ගමනට ඉතා වැදගත් වන බවද පෙනී ගියේය. ඒ අනුව ඉපැරැණි භාවිතයෙන් ඉවත දැමූ රුමේනියාවේ නිෂ්පාදිත දුම්රිය මැදිරි 140ක් පූර්ණ අලුත්වැඩියාවකට ලක් කෙරෙනු ඇත. ඒ මැදිරි 1989 වසරේ හා 1992 වසරේ මෙරටට ආනයනය කරන ලද දුම්රිය මැදිරි වේ. මේ වන විට ධාවනයේ පවතින 1991-1992 කාලයන්හි මෙරටට ආනයනය කරන ලද එස්-8 බලව්ග කට්ටල දුම්රිය මැදිරි 60ක්ද මේ ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කිරීමට නියමිතය. මෙහිදී පෞද්ගලික අංශයද සම්බන්ධ කරගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු යෙදුවේ දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීමේ හා නඟා සිටුවීමේ අරමුණින් අය-වැයෙන් ලබා දුන් පොරොන්දුවකට අනුවය.

ඒ අනුව දුම්රිය මැදිරි 200ම පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර, ඒ සඳහා දේශීය කර්මාන්තකරුවකු වන ‘තන්ත්‍රී’ ආයතනය සම්බන්ධ කරගෙන ඇත. මේ මැදිරි පූර්ණ අලුත්වැඩියාවට ලක් කිරීම රත්මලාන කර්මාන්ත ශාලාවේදී සිදු කරනු ලැබේ. ඒ අනුව ‘තන්ත්‍රී’ සමාගම මඟින් දුම්රියේ මැදිරිවල පිටත හා ඇතුළත ආසන මෙන්ම වැසිකිළි සකස් කිරීම ඇතුළු අනෙකුත් උපාංග සහිත අභ්‍යන්තර කොටස් සකස් කරනු ලබන අතර, දුම්රිය තාක්ෂණය සම්බන්ධ බෝගී තිරිංග සහ ස්වයංක්‍රීය ඇමුණුම් ආදිය අලුත්වැඩියා කිරීම රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේදී සිදු කරනු ලැබේ.

මේ කාර්යය සඳහා එක් මැදිරියකට සමස්ත වියදම වශයෙන් රුපියල් මිලියන 14ක් වැය වන අතර මෙවන් මැදිරියක් අලුතින් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 60ක් පමණ වැය වන බව අපි ඉහතදී සඳහන් කළෙමු. එ‍් අනුව මෙරට තුළ අපට ඉතිරි කරගත හැකි මුදල රුපියල් මිලියන 46කි. මෙහිදී දෙවන පන්තියේ හා තුන්වන පන්තියේ මැදිරි සම්පූර්ණයෙන්ම අලුත්වැඩියාවන්ට පත් කෙරෙනු ඇත. ඒ සෑම මැදිරියකම ආනයනික තත්ත්වයටත් වඩා වැඩි පහසුකම් සපයා ඇති අතර, මැදිරි ජනේල සඳහා වීදුරු ආවරණ දෙකක් බැගින් යොද ඇත.

එමෙන්ම දෙවන පන්තියේ මැදිරිවල ආසන දුම්රිය නිඳන මැදිරියක ආසන මෙන් සීරු මාරු කළ හැකි ලෙස සකස් කෙරේ. එවැනි ආසන දෙවැනි පන්තිය සඳහා යොදන ලද ප්‍රථම අවස්ථාව මෙයයි. දුම්රිය පාපුවරුද මඟීන්ට දුම්රියට පහසුවෙන් නැඟීමට හා බැස ගැනීමට හැකි වන ආකාරයෙන් සකස් කර ඇති අතර, දුම්රිය වැසිකිළි සනීපාරක්ෂාවෙන් ඉහළ මට්ටමින් යුතුව සකසා තිබේ. මේ මැදිරියක් අවම වශයෙන් වසර 15ක වගකීම් කාලයකට යටත්ව සකසා ඇති අතර එය අපේ රටට ආර්ථික වශයෙන් ඉතා වාසිදායක වනු ඇත.

නවීකරණය කරන ලද දුම්රිය මැදිරි 9ක් සහිතව පරීක්ෂණ චාරිකා දුම්රියක් පසුගියදා කොළඹ සිට අලව්ව දක්වා ගමන් කළ අතර, අපටද එම දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව උදා විය. එය ඉතා සාර්ථක පරීක්ෂණ චාරිකාවක් බව පසක් විය.

ඒ පරීක්ෂණ චාරිකාවෙන් පසුව මැදිරි 9කින් සමන්විත දුම්රියක් ප්‍රවාහන ඇමැතිවරයා සමඟ පසුගිය 31 වැනිදා රාගම දක්වා ගමන් කෙළේය. ඒ කොළඹ කොටුවේ සිට රාගම දක්වා ශීඝ්‍රගාමී දුම්රියක් ලෙසිනි. ඒ අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සහ නියොජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාද සහභාගි විය.

දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම, අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ, ගමනාගමන අධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහත්වරුන් ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක්‍ මේ චාරිකාවට එක් වූහ. පෙරවරු 9.25ට ගමන් ආරම්භ කළ දුම්රිය රාගම දුම්රිය ස්ථානය දක්වා ශීඝ්‍රගාමිව ගමන් කළ අතර මෙහි විශේෂත්වය වන්නේ සාමාන්‍ය මඟීන්ද මේ දුම්රියේ රැගෙන යෑමයි.

රාගම දුම්රිය ස්ථානයේදී මාධ්‍යවේදීන් ඇමැතූ ප්‍රවාහන ඇමැතිවරයා පැවසුවේ මේ ව්‍යාපෘතිය දේශීය කර්මාන්තකරුවන් රැකගනිමින් දුම්රිය මඟීන්ටද සේවාවක් සලසන්නක් බවයි. ඒ සඳහා රුපියල් බිලියන 2.4ක මුදලක් වෙන් කර ඇතැයිද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. කොළඹට පැමිණීමේදී මන්දගාමී දුම්රියක් ලෙස පැමිණුණු මේ විශේෂ චාරිකා දුම්රිය එවරද සාමාන්‍ය මඟීන්ට විවෘත විය.

ලෝකයේ බොහෝ රටවලට තිබෙන තාක්ෂණය අපටද තිබෙන නමුත් එයින් නිසි ඵල ප්‍ර‍යෝජන ලබාගන්නට අප අසමත්ව ඇති බව මෙවන් ව්‍යාපෘති මඟින් අපට වටහා ගත හැකිය. මීට පෙරද බස් රථයක් දුම්රිය ම‍ඟෙහි යොදා අපි ලෝකයටම අලුත් වාහනයක් හඳුන්වා දුන්නෙමු. ඒ රේල් බස් රථ අදටත් වයඹ පළාතේ හොඳම ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්ව ඇත. අපේ තාක්ෂණය නව තාක්ෂණය සමඟ එක් කරගෙන, අපේ දේ අපිම කරගන්නා හෙළ කර්මාන්ත දියුණු කර, රටේ සංවර්ධනය කරා ගමන් කිරීමට අපට හැකියා‍වක් තිබෙන බව අප වටහාගත යුතුය. මේ ව්‍යාපෘතිය එයට කදිම ආදර්ශයකි.

තාරක වික්‍රමසේකර‍
සේයාරූ - විමල් කරුණාතිලක 

Comments