නැව් මුහුදේ ගිල්වන්නේ ඇයි! | සිළුමිණ

නැව් මුහුදේ ගිල්වන්නේ ඇයි!

 දිනය හරියටම කියනවානම් 2008 ජනවාරි 21 වැනිදා, නැ‍‍‍ඟෙනහිර මුහුදේ කල්මුණේට නුදුරින් පාවෙමින් තිබූ සැකසහිත නෞකාවක් දුටු නාවික හමුදාව විසින් එම නෞකාව පරීක්ෂාවට ලක් කළා. එහි සිටි ඉන්දුනීසියානු නෞකා කාර්ය මණ්ඩලයට දැඩි අපහසුතා රැසක් මතුව තිබූ අතර මාස ගණනාවකින් වැටුප් නොගෙවා තිබීමත් ආහාර පාන නොලැබීමත් නිසා මේ කාර්ය මණ්ඩලය විසින් නෞකාව අතහැර දමා ජීවිතාරක්ෂක කබා හැඳ නෞකාවෙන් පැන යාමට උත්සාහ කරමින් සිටියා.

නාවික හමුදාව විසින් කාර්ය මණ්ඩලය සමඟ නෞකාව ගොඩබිමට ගෙන එනු ලැබුවා. මේ නෞකාව පිලිපීන ජාතිකයකුට අයත් වෙලින් නමින් හඳුන්වා තිබුණා. මේ නෞකාව ඇද ගෙන ඒමෙන් පසුව අදාළ හිමිකරුට එම ‍නැව බාර ගන්නා ලෙසත් නෞකාව කොළඹ වරායට ඇදගෙන ඒමට අදාළ වියදම් ලබා දෙන ලෙසත් දැන්වූවා.

එසේ වුවත් හිමිකරු නැව බාර ගැනීමට පැමිණියේ නැහැ. නෞකාවේ තිබූ ඔහුට අයත් භාණ්ඩ රැගෙන යාමට හිමිකරු කටයුතු කළා. මේ නෞකාව අකටයුතුකම් සඳහා යොදා ගන්නා ලද නෞකාවක් බව නෞකා කාර්ය මණ්ඩලය විසින් දන්වා තිබුණා. විශේෂයෙන්ම නීති විරෝධී ලෙස ඉන්ධන අලෙවිය ඇතුළු විවිධ ජාවාරම් සඳහා යොදා ගන්නා බව එහිදී තහවුරු වුණා.

නැවේ හිමිකරු නැව බාර නොගැනීම නිසා නෞකාව සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව බාරයේ තබා ගන්නා ලෙස අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

එතැන් පටන් මේ නෞකාව නාවික හමුදාවේ භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු කාර්යයන් සඳහා යොදා ගනු ලැබුවා.

එසේ නාවික හමුදාවේ කටයුතු සඳහා මේ නෞකාව යොදාගෙන තිබියදී නෞකාවේ නිරතුරුවම අලුත්වැඩියා කටයුතු පැමිණීම නිසා නෞකාව තව දුරටත් නඩත්තු කිරීම කළ නොහැකි බව තේරුම් ගනු ලැබුවා.

එවන් තත්ත්වයකට පත් ව පසුව සිදු කළ යුතු වන්නේ නෞකාව කොටස්කර විකිණීම හෝ මුහුදේ ගිල්වීමයි.

ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය හරහා නාවික හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ මේ සඳහා නැව ගිල්වා දැමීමට අවසර ඉල්ලා සිටිනුලැබුවා.

ඇත්තෙන්ම රුපියල් ලක්ෂ 150ක පමණ ලන්සුවක් ලැබී තිබියදී මෙසේ නෞකාව මුහුදේ ගිල්වා දැමීමට කටයුතු කෙළේ ඇයි?

ඒ සම්බන්ධව අප කරුණු විමසා සිටියේ නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් පී.එච්. සිල්වා මහතාගෙන්.

‘අඩු ලංසුවක් සහිතව නෞකාවක් කොටස් කර අලෙවි කරනවාට වඩා එය ගිල්වා දැමීම රටකට හිතකර වෙනවා. නොගැඹුරු මුහුදේ නැව් ගිල්වීමෙන් එම නැව් කොරල්පර හා මත්ස්‍ය අභිජනන ස්ථාන බවට පත් වෙනවා. එය රටකට වැඩි වාසි දායක තත්ත්වයක්. මේ වන විටත් මීගමුව අසල ගිල්වන ලද නෞකා තිබෙනවා. මීගමුවේ ධීවර ජනතාව වැඩිපුර මත්ස්‍ය අස්වැන්න ලබා ගන්නේ ඒ හරහායි. මේ නිසා අදාළ නෞකාව ගිල්වා දැමීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදේශකත්වයෙන් කටයුතු කළා. ලෝකයේ සාමාන්‍ය වශයෙන් පිළිගත් සම්ප්‍රදාය වන්නේ එයයි. එය වැඩි වාසිදායකයි. යකඩ මිලට නෞකාවක් අලෙවි කරනවාට වඩා නෞකාව ගිල්වීම හරහා සිදුවන වාසිය වැඩියි. නෞකාව ගිල්වීමට පෙර වරාය අධිකාරිය සමුද්‍රීය සංරක්ෂණ අධිකාරිය, පරිසර අධිකාරිය ඇතුළු මේ සම්බන්ධ සියලු ආයතන දැනුවත් කෙරෙනවා. විශේෂයෙන්ම නෞකාවේ ඇති වටිනා කොටස් ගලවා ගන්නා අතරම ඉන්ධන කුටීර ආදි පරිසරයට හානි විය හැකි සියලු දේ ඉවත් කරනු ලැබුවා. එමෙන්ම නෞකාවේ ඉහළ කොටස සම්පූර්ණයෙන්ම වෙන් වශයෙන් කපා එය ගොඩනැගිල්ලක සම්පූර්ණයෙන්ම ස්ථාපිත කරනු ලැබුවා. එයත් වාසියක් .

මේ නෞකාවත් සමඟම වෙඩි නොවදින මෝටර් රථ 8ක්ද ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නාවික හමුදාවට ලබා දුන්නා‍ මෝටර් රථ 8ත් වැද්දුම් කර පාස්සා මේ නැවත් සමඟම මුහුදු බත් කරනු ලැබුවා.

ඒ මෝටර් රථ මීට පෙර හිටපු ජනාධිපතිවරුන්ට ලබා දුන් ඒවා බව අප කවුරුත් දන්නවා. මෝටර් රථ නැවට තබා පෑස්සීමෙන් අනතුරුව ටග් යාත්‍රාවක් මඟින් මුහුදට ඇදගෙන ගොස් ක්‍රමයෙන් වතුර පුරවා ගිල්වා දැමුවා. මේ මෝටර් රථ ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකියාවක් ද නැහැ. මේ හේතුවෙන් එම රථ ගිල්වා දැමීමයි සුදුසුම ක්‍රියා මාර්ගය වන්නේ.

පමුගිය වසර 40 ක් තුළ මෙරට ජනාධිපතිවරුන් උදෙසා මේ රථ ආනයනය කර තිබුණා.

මුහුදේ ගිල්වීමට පෙර එම රථවල සන්නිවේදන සහ වෙනත් උපාංග ද ඉවත් කරනු ලැබ තිබෙනවා. මේ නැව ගිල්වීමෙන් පසුව වසරක කාලයක් තුළදී කොරල් පර මෙන්ම මත්ස්‍ය අස්වැන්න වැඩි වී එම මත්ස්‍ය අස්වැන්න මිලියන 15ක් පමණ උත්පාදනයකට මඟ පාදනු ලබනවා. කුඩා මත්ස්‍යයන් බිහි වන විට ඊට ලොකු මත්ස්‍යයන් රංචු පිටින් එම කුඩා මසුන් ආහාරයට ගැනීමට පැමිණෙනවා. ඊට වඩා ලොකු මසුන් එම මත්ස්‍යයින් ආහාරයට ගැනීමට පැමිණෙනවා. මේ මත්ස්‍යයින් ධීවරයන්ට පහසුවෙන් තම දැල් මඟින් අල්ලා ගන්න පුළුවන්. මේ නැවට අමතරව දෙවන ලෝක යුද්ධ සමයේ එනම් 1925 වසරේදී බෝම්බ හෙළීම නිසා විනාශයට පත් වූ නෞකාවක්ද පසුගිය 28 වැනිදා ත්‍රිකුණාමලයේදි ගිල්වා දැමුවා. එය මේ දක්වා ත්‍රිකුණාමලයේ වරාය ආශ්‍රිතව තිබුණත් එය ඉදිරි සංවර්ධන කටයුතු සඳහා බාධාවක් නිසා එතැනින් ඉවත් කර ගිල්වා දැමුවා. මේ නෞකා දෙකෙහිම තවත් වසරක් යන විට කොරල්පර මෙන්ම මත්ස්‍යයින් බිහි කිරීමට දායක වනු ඇත. ‍එසේම කිමිදුම්කරුවන්ට කිමිදී නැව ඇතුඵට ගොස් ඒමට හැකි වන ලෙසින් නැවේ තැන් කිහිපයකින් ඇතුළට ඒමට හැකි වන පරිදි විවර කපා තිබීමත් වැදගත් වනවා.

නැවක් මුහුදේ ගිල්වන්නේ ඒ සඳහා නිසි පරිදි ලංසුවක් නොලැබුණහොත් එය වඩාත් ඵලදායී ලෙසින් ධීවර කර්මාන්තය මෙන්ම සංචාරක කර්මාන්තය උදෙසා හෝ යෙදවීම ඉතා වැදගත් වනවා.

තාරක වික්‍රමසේකර
සේයාරූ - නාවික හමුදා මාධ්‍ය ඒකකය

 

Comments