රථගායට වඩා රථගාල වැදගත් | සිළුමිණ

රථගායට වඩා රථගාල වැදගත්

 ජ්‍යොතිෂය අහස බඳු ය. නො පෙනෙයි. එහෙත් සැම තැනෙම පවතී. පුද්ගලයකුගේ ඉරණම මෙසේ යැයි පෙන්වා දීමට පමණක් එය සීමා නොවේ. රථ වාහන ගාල් කරන ගරාජයට පවා ජ්‍යොතිෂ වාස්තු නීති බලපාන බව මේ ලිපියෙන් පෙන්වා දෙයි.

රථ වාහන යැයි කී විට ඊට පා පැදිය ද අයත් වේ. රථ වාහන ගාල් කිරීමේදී එය සුදුසු වාස්තු නීති අනුව සිදු කිරීමෙන් එහි ක්‍රියාකාරීත්වය සහ ආයූෂ බොහෝ කාලයක් පවතින බව බොහෝ දෙනා නො දනිති.

ඔබ පදිංචි ඉඩමේ ප්‍රේත පාදයට අයත් කොටසේ වාහනය ගාල් කළහොත් කාර්මික දෝෂ ධන හානි හදිසි අනතුරු යනාදිය වැල නොකැඩී එක පිට එක එනු ඇත. එහෙයින් ගරාජය ඉදි කිරීමේදී ප්‍රේත පාදය අතහැරීමට වග බලාගත යුතු ය.

ගරාජය සඳහා උචිත ම වන්නේ ඉඩමේ මනුෂ්‍ය පාදයට අයත් කොටස වේ. එවිට වාහනය ඔබේ නිවෙසට සම්පතක් ම වේ.

දිශා වශයෙන් ගත්විට උතුර නැගෙනහිර සහ දකුණ වාහනය ගාල් කිරීමට ඉතා සුදුසු ය. දිශාව කුමක් වූවත් වාහනයේ මුහුණත නැගෙනහිර දිසාවට එල්ල වී තිබීම අත්‍යවශ්‍ය බවත් අමතක නො කළ යුතු ය. නැගෙනහිරට වන්නට මුහුණත සිටින ලෙස වාහනය ගාල් කළ නොහැකි නම් පමණක් ඒ සඳහා උතුරු දිශාව යොදා ගත හැකිය. එහෙත් ඉදිරිපස ගේට්ටුවට එක එල්ලේ මුහුණත සිටින ලෙස හෝ ඉදිරි ගේට්ටුවට මුහුණත පෙනෙන ලෙස වාහනය ගාල් කිරීම නම් නො කළ යුතු ම දෙයකි. එසේ පෙනෙන ලෙස ගාල් කළහොත් එහි අනිටු ඵල වැළැක්විය නොහැක.

ගරාජයේ වහල නිර්මාණය කිරීමේදී මුදුන් යට ලීයක් නොයොදා තනි පලයට ගැනීම ද අනිවාර්ය වාස්තු නීතියකි. ගරාජයට මුදුන් යට ලී යෙදීම නිසා වැඩිම පීඩාව ගෙන දෙන්නේ රියැදුරුට ය.

නිවෙසට යා කැර ගරාජය ඉදි කරන්නේ නම් නිවෙසේ වහලයේ ජලය ගරාජයේ වහලට නො වැටිය යුතු ය. ගරාජයේ දිග හා පළල ඔත්තේ අගයක් එන ලෙස නිර්මාණය කිරීම ද වැදගත් නීතියකි. එහි දොර තනි පියනක් වන ලෙස ගත යුතු ය.

ගරාජය තුළ කැති උදලු පොරෝ ආදී ආයුධ යනාදිය නො තිබිය යුතු අතර රෙදි වැල් බැඳීමද කිසිසේත් නො කළ යුතු බව අමතක නො කරන්න.

මේ ජ්‍යොතිෂ වාස්තු නීති අනුව ඔබේ ගරාජය ඉදි කැර තිබේ දැයි බලන්න.

රථගාය බොහෝ දෙනෙකුට ඇති සුලභ රෝගයකි. එහෙත් ඒ සිහිනය සැබෑ කැර ගැනීමට නම් කේන්දරයේ උචිත ග්‍රහ පිහිටීම් ද තිබිය යුතු ය.

4 අධිපති 4 -9-11 වැනි ස්ථානයක සිටීම / 11 අධිපති 4 වැන්නේ සිටීම / 4 අධිපති ගුරු සමඟ යෝගව ලග්නයේ සිටීම / 4 අධිපති සිකුරු සමඟ යෝගව ලග්නයේ සිටීම / සඳු ගෙන් 7 වැන්නේ සිකුරු බලවත් වීම / 4 හා 11 අධිපතියන් ගුරුගේ දෘෂ්ටියට ලක්වීම/ 4 සහ 11 අධිපතියන් පරිවර්තනය වීම / ලග්නාධිපති 4-9-11 සිටීම / සිකුරු 4 සිටීම / යනාදී වශයෙන් වාහන යෝග රාශියක් තිබේ.

එමෙන් ම සිකුරු සුබ තැනක බලවත්ව නො සිටින්නේ නම් වාහන ලාබ අවම වන අතර රාහු සහ සිකුරු යෝගව 8 වැන්නේ සිටින්නේ නම් වාහන අනතුරු සහ ධන හානි සිදුවේ. සිකුරු කේතු සමඟ එක්ව 10 සිටින්නේ නම් ඔහු බොහෝ විට පරණ වාහනයක හිමිකරුවෙකි. ඔහුට වාහනයක් ඇතත් බ්‍රෑන්ඩ් නිව් වාසනාව නැත.

කේ. සී. ජේ. රත්නායක 

Comments