නීතිය කැඩුවොත් ඇපත් නෑ රැවටෙන්න එපා! | සිළුමිණ

නීතිය කැඩුවොත් ඇපත් නෑ රැවටෙන්න එපා!

 පුරා සතියක් ගෙවී අවසන්ය. අදින් එළඹෙන අරුණෝදයට ගෙවුණු සතියෙන් ගෙනැවිත් ඇත්තේ මොනවාද? ඔබ ම සිතන්න.

04 ඉරිදා

නන්දිමිත්‍ර යන්නම යයි

මෙරට සාහිත කෙත අස්වැද්දූ ප්‍රභාමත් ලේඛකයකු වු ඇරැව්වල නන්දිමිත්‍ර මාහතා අද දින අභාවප්‍රාප්ත විය.1939 වස‍රේ ජූනි 5 වැනිදා උපත ලැබූ ඒ මහතා මියයන විට 79 හැවිරිදි වියෙහි පසුවිය. කඳුළක් සිනාසෙයි, ගංතෙර තෙරණිය, සුදු හංස ධේනුව, ජීවිතය සුන්දරය, මල්දෙණියේ සිමියොන්, පුංචි තරුවක් පායලා, ජීවිතයේ කොටස්කාරයෝ, තරු‍ණා‍වේශය, මල් මදාරා ආදී කෘතීන් ගණනාවක් ඔහු විසින් රචනා කර තිබේ. මල්දෙනියේ සිමියොන් සිනමාපටයක් බවට ද පත් විය. මිය යනතෙක්ම නිසි ඇගයීමක් නොලද ඒ මහතාට මෙලෙස දැයෙන් සැමුගෙන යාමට සිදු වීම අභාග්‍ය සම්පන්න තත්වයකි. ආදරණීය සාහිත්‍යධරයාණෙනි ඔබට නිවන් සුව.

බස් බෝම්බය

දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ පුපුරා ගිය ජීව අත්බෝම්බය රැගෙන ආ බවව සැකකරන යුද හමුදා සාජන් මේජර්වරයා දියතලාව මූලික රෝහලේ සිට බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබේ. ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

බදුල්ල බන්ධනාගාර නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව මෙම සැකකාර යුද හමුදා සාමාජිකයා බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇත. බදුල්ල මහ රෝහලේ දී බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබා දීම ආරම්භ කර තිබේ.

සැකකරු අල්ලයි

හලාවත ඉරණවිල අවුරුදු නවයක දරුවකු අපයෝජනය කර මරා දැමීයැයි කියන සැකකරු මුලතිව් නයාරු ධීවර ගම්මානයේ සැඟවී සිටියදී(04) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. ගිරවකු අල්ලා දෙන බව කියමින් දරුවා කැලයට රැගෙන ගොස් අපයෝජනය කර ඇත.

මෙවැනි පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරනවා සේම ඔවුන් මෙවැනි මනෝභාවයන්ට පත්ව ඇත්තේ ඇයිද යන්න සෙවීම ද අතිශයින්ම වැදගත්ය. මෙවැනි ඛේදවාචකවලින් දරුවන් මුදා ගැනීමට එය පිටිවහලක් වනු ඇත.

05 සඳුදා

නිමල්කාට ඩයස්පෝරාවේ විරෝධය

ශ්‍රී ලංකාවේ වගවීම් හා සංහිඳියා ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව එක්ව සියලූ ක‍්‍රියාමාර්ග ගත යුතු යැයි එල්.ටී.ටී.ඊ හිතවාදී ඩයස්පෝරා සංවිධානයක් වන ගෝලීය ද්‍රවිඩ සංසදයේ ලේකම් සුරේන් සුරන්දිරන් ගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති. විශේෂයෙන්ම මේ දිනවල ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ජාත්‍යන්තර ප්‍රජාව මේ සඳහා ලංකාවට බලපෑම් කළ යුතු බවද ඔහු පවසයි.

මේ අතර වගවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ එක් පියවරක් වශයෙන් පිහිටුවා ඇති අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලයේ (ඕ.එම්.පී) කොමසාරිස්වරියක ලෙස ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු පත් කිරීම තම සංවිධානය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.ඔවුන්ට ඕනෑ ආකාරයට මෙම තනතුරු වෙනස් කළ හැකි නම් මානව හිමිකම් කවුන්සිලයේ ඇති වැදගත් කම කුමක් ද? යන්න ප්‍රශ්නාර්ථයක් මතුවේ.

දිගන සිද්ධිය

මහනුවර, දිගන ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී හා ස්වාධීන පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොලීසියට සහ ආරක්‍ෂක අංශවලට උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම ප්‍රදේශයේ සියලු දෙනාගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පොලීසියට සහ යුද හමුදාවට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් වැළැක්වීම සඳහා ද සියලූ පාර්ශ්වයන් සමඟ වගකීමෙන් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා ආරක්‍ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇති අතර ප‍්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ගත යුතු සියලූ පියවර ගන්නා ලෙස ද උපදෙස් දී තිබේ. මෙලෙස කලහ කරන පිරිස් නිවැරදිව හඳුනාගෙන මහජනයාට හිරිහැරයක් නොවන ලෙස ඔවුන්ගේ දෛනික කටයුත කරගෙන යාමට ඉඩ සලසා දිය යුතය.

ගොවීයන් ඇප මත මුදා හරී

තඹුත්තේගම සිද්ධීයේ කලහකාරී ලෙස හැසුරුණු 49 දෙනෙක් අද (5) තඹුත්තේගම මහෙස්ත‍්‍රාත් කේ.ඒ.රමිලා නදීෂාණි මහත්මිය වෙත යොමු කිරිමෙන් පසු ඇප මත මුදා හැරීමට නියෝග කළාය. තඹුත්තේගම දී රාජාංගණය ගොවීයන් පිරිසක් ජල ගැටලුවක් මුල් කරගනිමින් කළ විරෝධතාවයේ දී අධිකරණ නියෝග නොසළකා උද්ඝෝෂණය කළැයි මොවුනට එරෙහිව ඇති චෝදනා එල්ල වී තිබුණි. එක් අයකුට ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කරන ලෙසත් සෑම මසකම අවසන් ඉරිදා තඹුත්තේගම පොලීසියේ පෙනී සිටින ලෙසත් නැවත කලහාකාරී ලෙස හැසිරුණොත් රිමාන්ඩ් කරන බව මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මේ සම්බන්ධයෙන් අපක්ෂපාතීව සොයාබලා අහිංසක ගොවි ජනතාව මුදාහැර මේ සිද්ධිය පිටුපස සිටින පිරිස් කවුදැයි නිවැරදිව හඳුනා ගැනීම පොලීසියේ වගකීම වේ.

දුම්වැටි විකිණීම තහනම්

පාසල් අවට මීටර් 500ක් දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීම සම්බන්ධ යෝජනාව මීටර් 100ක දුර දක්වා අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. මීට අමතරව වයස අවුරුදු 18 අඩු අයට පමණක් සිගරට් අලෙවි කිරීමේ තහනම වයස අවුරුදු 21 දක්වා වැඩි කිරීමට ද ඊට අදාල ගැසට් පත්‍රය අප්‍රෙල් මස හත් වැනි දා නිකුත් කිරීමට ද නියමිතය.

මෙය කිසියම් වූ සාදනීය පියවරකි. එහෙත් කළ යුතුතේ මෙහි ඇති ආදීනව පාසල් වයසේදිම දරුවන් දැනුවත් කිරීමය.

මහපොළ කප්පාදු කර නැහැ

මහපොළ හෝ ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් සපුරා ඇති සියලූම සිසුන්ට හිමි එම ගෙවීම් කිසි ලෙසකින් කප්පාදු කර නැතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි. මහපොල ශිෂ්‍යත්වය ලබමින් සිටින සිසුන් සඳහා ඉදිරි ශිෂ්‍යත්ව වාරික ගෙවීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ වනවිට සියලූම විශ්ව විද්‍යාල වෙත ලබා දී ඇත. එම ශිෂ්‍යාධාරයට සුදුසුකම් ලබන නවක සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යත්ව වාරික ගෙවීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ මාසය ඇතුළත විශ්ව විද්‍යාල වෙත ලබා දීමට ද මහපොළ භාරකාර අරමුදල කටයුතු කර ඇති බව එම කොමිෂන් සභාව පවසයි.

ඇතැම් දේශපාලන ව්‍යාපාරයන්ට සම්බන්ධ ශිෂ්‍යව්‍යාපාර ගෙනයන වැරදි ප්‍රචාරයන්වලට කන්නොදී මෙම අරමුදල් ගෙන අධ්‍යාපනය නිසිඅයුරින් නිමාකරගැනීම සිසු සිසුවියන්ගේ අපේක්ෂාව විය යතුය.

06 අඟහරුවාදා

ශිෂ්‍යාධාර දෙසැම්බරයේ සිට වෛද්‍ය සිසුන්ගේ පන්ති වර්ජනය නොවැම්බර් මාසයේ දී අවසන් වු හෙයින් දෙසැම්බර් සිට සාමාන්‍ය පරිදි මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම සිදුකෙරෙන බව මහපොළ භාරකාර අරමුදල සඳහන් කරයි. ඒ අනුව වෛද්‍ය සිසුන්ට දෙසැම්බර් මාසයේ සිට ලැබිය යුතු මහපොළ ශිෂ්‍යත්ව මුදල් ලබාදෙන බවද එම අරමුදල සඳහන් කරයි.

සෞඛ්‍ය වැට් බද්දෙන් නිදහස්

සියලුම සෞඛ්‍ය සේවාවන් වැට්බදු වලින් නිදහස් කිරිමට ඉදිරියේදී පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. පෞද්ගලික රෝහල්වල සේවා ලබාදීමේ දී රෝගීන්ගේ බිල්පතට වැට් බදු එකතු කිරීම නිසා රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්වන බවද සේනාරත්න මහතා කීය. සෞඛ්‍ය සේවාව ව්‍යාපාරයක් නොවන අතර එය සේවාවක් වන බවද රෝගීන් පීඩාවට පත්වන තීන්දු තීරණ පිළිබඳව යළි සළකා බැලිය යුතු බවද ඇමැතිවරයා කීය. සෞඛ්‍ය සේවාවන් වැට් බදු වලින් නිදහස් කීරිම සඳහා වන යෝජනා ඇතුළත් සංදේශයක් ඉතා ඉක්මණින් කැබිනට් මණෟඩලයට ඉදිරිපත් කරන බවද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේය. මෙය යථාර්ථයක් වන්නේ නම් ඇතිතෙන්ම වටිනා පියවරකි.

රිට් පෙත්සම කල්යයි

විල්පත්තු වන රක්ෂිතය තුළ විශාල පරිමාණයේ ගොඩනැගිලි ඉදිකිරීම නවතාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර පදනම ගොනු කළ රිට් පෙත්සම වැඩිදුර සළකා බැලීම ලබන ජුනි 1 වැනි දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (6) නියෝග කළේය. මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි. එහිදී මෙම විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි. වන සත්ව ආරක්ෂණ සංගමය සහ පරිසර පදනම මගින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස තිරසර සංවර්ධන හා වනජීවි සහ බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා ඇතුළු සිව්දෙනෙකු නම් කරනු ලැබ ඇත.

පරික්ෂණ සි.අයි.ඩීයට

දිගන සිද්ධියේ පරික්ෂණ රහස් පොලිසියට බාර දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ඒ ගැන සොයා බැලිමට රහස් පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබේ. මෙය ඉතාමත් උචිත පියවරකි. මෙමගින් මේ පිටුපස සැඟවී සිටින පුද්ගලයින් කවුරුන්දැයි යන්න සොයාගැනීමට හැකි අතර, ඔවුන් කවර තරාතිරමක පුද්ගලයන් වුවත් තරා තිරම නොබලා දඬවම් කළ යුතුය. එසේද ඔවුන් පිළිබඳ තතු ජනතාව ඉදිරියේතැබිය යුතුය.

කැඩුවොත් ඇපත් නෑ

නීතිය හා සාමය කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු සුවිශේෂ බලතල කාරණා රාශියක් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් 2.45 සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය. ඒ අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි කොටස මේ වන විට ක්‍රියාත්මක වන බවත්, එහි පස් වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇති බව ද ගුණසේකර මහතා කීවේය.

07 බදාදා

කැබලි කිරීම තහනම්

පොල් ඉඩම් කැබිලි කිරීම හේතුවෙන් පොල් වගාවට සිදුවෙමින් පවතින හානිය සැලකිල්ලට ගෙන විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන තුරු වයඹ පළාත තුළ පොල් ඉඩම් කැබලි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කුරුණෑගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කෙරිණි. මෙම තීරණය අද දිනයේ සිට බලපැවැත්වෙන බවත් මීට සම්බන්ධ සියලුම ආයතන වලට දන්වා යවන ලෙසද ජනාධිපතිවරයා නියෝග කළේය.

වඳ පෙත්තක් නෑ

අම්පාරේ කඩයකදී වඳ පෙති යැයි කියමින් පොලිසියට භාර දුන් ආහාරවල තිබී ඇත්තේ පිෂ්ටය සහිත ආහාර කොටසක් බවට නිගමනය කරන්නේ යැයි රජයේ රසපරීක්ෂක ඒ වැලිඅංගගේ මහතා පොලිසියට දන්වා යවා තිබේ.

එම සැකකටයුතු ආහාර කැබැල්ලෙන් පිෂ්ඨය හදුනාගත් බවත් එම පිෂ්ටය ආහාරයකම කොටසක් විය හැකි බවත්, රස පරීක්ෂක වරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. එම සිඳු වීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ මිනිසුන් වඳ භාවයට පත් කළ හැකි ඖෂධ වර්ගයක් ලෝකයේ සොයා ගෙන නොමැති බවයි. ව්‍යාජ ප්‍රකාශ පතුරවමින් කලබල ඇතිකිරිමට උත්සහ කළ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන අතර, මේවා පසුපස සැඟවී සිටින දේශපාලනඥයින්ද සොයා ඔවුන්ටද දඬුවම් කළ යුතය.

රැවටෙන්න එපා!

උණුසුම්කාරී තත්ත්වය පාලනය කොට සුරක්ෂිත වටපිටාවක් තහවුරු කිරිම සඳහා සිංහල, දෙමල, මුස්ලිම් සියලු ජනකොටස්වලින් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (7) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය. බොරු ප්‍රචාර වලට නොරැවටී වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව කි අග්‍රාමාත්‍යවරයා පුජ්‍ය පක්ෂයට අනතුරක් කර ඇතැයි පැතිරෙන කට කතා වල කිසිඳු සත්‍යතාවයක් නැති බවද අවධාරණය කළේය.

බුද්ධි අංශ වගකිව යුතුයි

බුද්ධි අංශය නිසි අයුරින් ක්‍රියාත්මක වුවානම් දිගන සිදුවීම පදනම් කරගෙන ඇති වු කලහකාරී තත්වයන් වළක්වාගන්න හොඳටම ඉඩකඩ තිබු බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (07) පැවසීය. කලහකාරි ලෙස හැසිරෙන හා ඊට අනුබල දෙන ඕනෑම අයෙක් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බව සැමට පේන්නට සලස්වන්නැයිද අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේය.

ගැටුම පිටුපස සිටින අය මෙන්න

මහනුවර ඇතිවු ගැටුම පිටුපස එක්තරා දේශපාලන පක්ෂයකට අයත් පිරිසක් සිටින බව හෙළිවී ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. උඩරට ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ලේකම්වරයෙක්, පළාත් පාලන මැතිවරණයෙන් තේරිපත්ව සිටින පුද්ගලයින් දෙදෙනෙක් සහ භික්ෂුන්වහන්සේ නමක්ද මෙම ගැටුම් මෙහෙයවා තිබෙන බවට කරුණු හෙළි වී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. මොවුන්ගේ තරාතිරම නොබල වහා දඩුවම් පැමිණ වියයුතුය.

කෙසේ වෙතත් මේ වන විට එම ගැටුම්වලට සම්බන්ධ පුද්ගලයින් 24 දෙනකු අත්අඩංගුවට ගෙන සිටින අතර ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී තව තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතින බවත් ඒ අනුව දේශපාලන පක්ෂයක සම්බන්ධතාවක් හෙළිදර වී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

‘ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්න එපා‘

බුද්ධිමත්ව කල්පනා කර බලා ප‍්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් වැළකී සිටින ලෙස රටේ සියලූම ජනකොටස්වලට අයත් ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. පවතින් තත්ත්වය දිගින් දිගටම පැවතීමට ඉඩ නොදිය යුතු අතර පළමු නිදහස් ආණ්ඩුවට සමානව සිංහල, දෙමළ, මුස්ලිම් නායකයින් සහයෝගයෙන් කටයුතු කරන ජාතිකවාදී සන්ධානයක් නැවතත් මෙරට තුළ ගොඩනැංවිය යුතු බව ද එම නිවේදනයේ සඳහන්වේ.

මේ රට අස්ථාවර කිරීමට මාන බලන දේශීය හා විදේශීය බලවේග රට බෙදා වෙන් කිරීමට ගෙනවිත් ඇති ව්‍යවස්ථා යෝජනාවලට සහයෝගය ලබාගැනීමේ අරමුණෙන් රට තුළ 1983 තාලයේ කෝලහලයක් ඇති කිරීමට මාන බලමින් සිටින බැවින් මෙවන් අවස්ථාවල ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ද එහි දැක්වේ.

පොහොර පෙර පරිදිම

පොහොර සහනාධාරය පෙර පරිදිම යළි ගොවින් වෙත දීමට රජය තීරණය කර තිබේ. රජය මේ තීරණය ගත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ජාවේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාවක් අනුවය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය යටතේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ යෝජනාව ඉදිරිපත් කළේය.රජය ගෙන තිබෙන තීරණයට අනුව පොහොර සහනාධාරය පෙර පරිදිම ක්‍රියත්මක කෙරෙන අතර වී ගොවීන්ට රුපියල් 500 ක්ද අනෙකුත් අතුරු බෝග වගාකරුවන්ට රුපියල් 1200ක්ද වටිනාකමැති පොහොර සහනාධාරය හිමි වේ.

08 බ්‍රහස්පතින්දා

දිනේෂ් - බන්දුල සටනට

කිසියම් ප්‍රශ්නයක් ඇති වූ ස්ථානයකට යාමට මහජන නියෝජිතයින්ට අයිතියක් තියෙන නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ සිද්ධි ඇති කරපු අය සිටියදී ඒවා වෙන අයගේ කරපිටට දාන්න එපා යයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“අපි අපේ මන්ත්‍රීවරු ආරක්ෂා කරගත යුතුයි. මේ බොරු චෝදනාවලින් අපේ මන්ත්‍රීවරු ආරක්ෂා කරන ලෙස කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා“ යයිද ඒ මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම සිදුවීම්වලට කිසිවකු හවුල් වී ඇත්නම් ඒ බව රටට කියන ලෙසයි. “අපි කුමන දේශපාලන මතිමතාන්තර දැරුවත් මේ කතා කරන්නේ මේ සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ගැන ප්‍රශ්නයක් මතුවී ඇති නිසයි. කතානායකතුමාට වගකීමක් තියෙනවා මේ ජාතිවාදී ගිනිදැල් ඇවිළීමට කවුරු හෝ මන්ත්‍රීවරු 225 දෙනාගෙන් කෙනෙක් හවුල් වුණා නම් ඒ පිළිබඳව රටට කියන්න“ යයිද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ජනතා පීඩනය

රටේ සමාජ ආර්ථික ප්‍රශ්නවලට නිසි විසඳුමක් නොමැතිකමින් ජනතාව තුළ නැගෙන කෝපය අම්පාර, හා දිගන සිද්ධීන්වලින් පුපුරා ගොස් ඇතැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ඊයේ (8) පැවැසීය. එදා ’83 කළු ජූලිය සරල සිද්ධියක් ලෙස සලකා කටයුතු කළ ජේ. ආර්. ජනාධිපතිවරයාට එය බූමරංගයක් වූ ආකාරය අප අමතක කළ යුතු නැතැයිද බොරැල්ල කොටා පාරේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

සත්‍යයකි අණ්ඩුව මේ ගැටලුුව දෙස ගැඹුරින් සිතා බලා කටයුතු නොකළ හොත් එය ආණ්ඩුවටද බූමරංගයක් වීමට බැරි නැත.

කොටහේනේ දී වෙඩි

කොටහේන සුමිත්‍රාරාමපාරේ බිලිං වත්තේදී වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ පලතුරු ව්‍යාපාරිකයන් තිදෙනකු බව පොලිසිය කියයි. මේ තිදෙනා නිවසක් අසල කතා බහ කරමින් සිටියදී පැමිණි පිරිසක් T - 56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. සමන්ත ප්‍රදීප්, මිලාන් මධුසංඛ සහ ජයරත්න නම් මේ තිදෙනා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූහ. කෙසේ වෙතත් එක් පුද්ගලයකු මිය ගිය බව රෝහල් ආරංචි මීට ටික වේලාවකට පෙර තහවුරු කළේය.

නැවතත් හිස ඔසවමින් තිබෙන පාතාලය වහා මෙල්ල කළ යුතුය. නැති නම් එය ඉදිරියේදී ආණ්ඩුවේ පැවැත්මට විශාල බලපෑමක් එල්ල කරනු ඇත.

09 සිකුරාදා

පෙට්‍රල් බෝම්බ 12ක් මහනුවරින්

මහනුවර, ඉලුක්තැන්න ප්‍රදේශයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 12 ක් පොලීසිය විසින් අද (09) අලුයම සොයාගෙන තිබේ.

යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කිරීමේ අරමුණින් මෙම පෙට්‍රල් බෝම්බ රැගෙන විත් සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක පළ කරන අතර මෙය කවුරුන් විසින් සිදු කළේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබී නොමැත.

ඊයේ (08) වැනිදා ද මේ අයුරින්ම පේරාදෙණිය , ප්‍රගති මාවතේ මාර්ගයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 11ක් සොයා ගැනීමට පොලිසිය සමත් වු අතර මේවා කවුරුන් විසින් ගෙන දමන ලද්දක්දැයි පොලීසිය විසින් පරීක්ෂණ පවත්යි.

සත්‍යවශයෛන්ම මේවා රැගෙන ආවේ කවුරුන්ද යන්න සොයා ගත යතු අතර, ඔවුන් වහා නීතිය ඉදිරියට රැගෙන විත් දඬුවම් කළ යුතුය.

10 සෙනසුරාදා

බහුතරය නැතිව බෑ

පළාත්පාලන ආයතන නිලවශයෙන් ස්ථාපිත කිරීම මාර්තු මස 20දින සිදුවන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කළ ද තනි පක්ෂයකට හෝ කණ්ඩායමකට 50%කට වඩා බහුතර බලයක් නොමැති වුවහොත් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වීම සති ගණනකින් කල් යනු ඇති බව වාර්තා වේ.

මේ කල්යෑමට හේතුව වී ඇත්තේ තනි පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලයක් නොමැතිව පළාත් පාලන ආයතනවල සභාපති, උප සභාපති, නගරාධිපති, උප නගරාධිපති ධූරයන් තෝරා පත් කර ගැනීම සඳහා පළාත් පාලන කොමසාරිස් වරයාගේ මෙහය වීමෙන් ඡන්ද පැවැත් වීමට සිදු වීමයි. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව තනි පක්ෂයකට හෝ කණ්ඩායමකට 50%ට වඩා වැඩි බලයක් ලැබී ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව සීයයකට වඩා මදක් වැඩි වන අතර, ඉතිරි පළාත් පාලන ආයතනවල අදාළ ධූරයන්ට පුද්ගලයින් පත් කර ගැනීම සඳහා ඡන්දයක් පැවැත් විය යුතු අතර, ඒ ආකාරයට ඡන්ද පැවැත්වීම සඳහා කාලයක් ගත වීම මේ ප්‍රමාදයට හේතු වී තිබේ.

රසික කොටුදුරගේ

Comments