දැන් අපේ රටෙත් තිරුපති කෝවිලක් | සිළුමිණ

දැන් අපේ රටෙත් තිරුපති කෝවිලක්

කහ වතුරෙන් හෝදලා මහා භක්තියකින් දෝතට ගත් පොල් ගෙඩිය මත්තෙ, දැල්වෙන කපුරු පෙති කිහිපයක්. ඉක්මනින් දැල්විලා ඉක්මනින් නිවිලා යන ඒ කපුරු පෙති දෙවියන් වෙනුවෙන්.

කපුරු ‍පිච්චිලා හමන සුවඳ... දැල්වෙන හඳුන්කූරු සහ සාම්බ්‍රානි සුවඳ... නැහැයට ප්‍රිය වුණත් මේ ‘මහා විෂ්ණු’ පුද බිමේදී ඒ සුවඳ විඳින්න අපි කාටවත් අයිතියක් නැහැ.

මේ මොහොතෙ, සුවඳ අයිතිත් දෙවියන්ට නිසා. ඒ හින්දා විතරක් ම නෙවෙයි, ප්‍රශ්නවලින් හෙම්බත්වෙලා හිත් බර වෙච්ච මිනිස්සුන්ගෙ සියලු දුක් සුසුම් දෙවියන් වෙත ඇදී යන්නෙත් මේ සුවඳ දුම් රොටුත් එක්ක මුසුවෙලා නිසා.

හින්දු විශ්වාසයට අනුව, අසාධාරණයෙන් තැළිලා පොඩිවෙලා ගිය මිනිස්සුන්ට සර්ව සාධාරණය ඉටු කර දෙන්නෙ මහා බලවන්ත විෂ්ණු දෙවියො.

හින්දු බැතිමතුන්ට පමණක් සීමා නොවුණු මේ විශ්වාසය බෞද්ධ අබෞද්ධ බොහෝ සිත් තුළ තිබෙන නිසාමයි, දේව කන්නලව්... යාතිකා... යාදිනි දුක් අඳෝනා... හැමදාමත් පාවෙලා පාවෙලා ගිහින් මේ විෂ්ණු පුදබිමේ දේව මණ්ඩලයට ඇතුළු වෙන්නේ.

ඒ දේව මණ්ඩලයෙ වැඩ හිඳින විවිධ ගුණැති විවිධ රුවැති දෙවිවරු තිස් තුන් නමක්.

නුවණට අධිපති ගණ දෙවියන්ගෙන් පටන් ගෙන, විෂ්ණු දුර්ගා... කාල බහිරවර්... ගරුඩාල් ආල්වාල්... කුවේර භගවාන්’.... දන්වන්දරී... ශ්‍රී හයක්ක්‍රීවර්... ශ්‍රී ආධිලක්ෂ්මී විජයලක්ෂ්මී... වීර ලක්ෂ්මී... ධන ලක්ෂ්මී... ධ්‍යාන ලක්ෂ්මී... ආදි ලෙසින් ඒ දේව ලැයිස්තුව විහිදී යනවා. ඒ හැම දෙවි කෙනකුගේ ම උදව්ව උපකාරය එකිනෙකට වෙනස්.

දුක වෙනුවට සතුට... අසහනය වෙනුවට සැනසීම... සිත් තැවුල් වෙනුවට බලාපොරොත්තු... මේ පුද බිමේදි මිනිසුන්ට ලැබෙන දේ. තර්ක විතර්ක, වාද විවාද, විවිධ මතවාද සිතින් බැහැර කළ දහස් ගණන් ජනී ජනයා මෙහි වන්දනාමාන කරන්නෙ විශ්වාසය පමණක් පෙරදැරිව.

සමහරවිට ලංකාවට තිබෙන එකම ‘තිරුප්පති’ කෝවිල මෙය නිසා වෙන්න ඇති. හැම මාසෙ පෝයකට ම එන සියලු බැතිමතුන්ට දිවා ආහාරය සපයන ලංක‍ාවෙ එකම කෝවිලත් මෙය කියලයි දුරෙයිසාමි මුදලාලි කියන්නෙ.

කන්දසාමි දුරෙයිසාමි කිව්ව ම නොදන්න කවුරු වුණත් ‘රංජනාස් මුදලාලි’ කිව්වම ඔහු හඳුනනවා. අපේ රටේ අවුරුදු පනස් ගණනකට වැඩි ඉතිහාසයක් තිබෙන රංජනාස් ව්‍යාපාරය හදපු ඔහු, දේශීය ව්‍යාපාරිකයෙක්. රටට රස්සා හැදූ ව්‍යවසායකයෙක්. එහෙම ව්‍යාපාරිකයකුගෙ කාලය කියන්නෙ මුදල්. තමන්ගෙ කාලයවත් මුදල්වත් අනුන් වෙනුවෙන් කැප කරන්න හි‍තන්නෙවත් නැති ව්‍යාපාරිකයන් අතරේ ඔහුටත් ඔහු‍ෙග පුතු දුරෙයිසාමි විග්නේෂ්වරන්ටත් තියෙන්නෙ වෙනස් මතයක්.

“මෙතැනට එන බහුතරය හින්දු වගේ ම බෞද්ධ. වැඩ ඉන්නෙ හින්දු දෙවිවරු. ඒ වුණාට, එන බැතිමතුන්ට සියලු දෙවිවරු පිහිට වෙන්නෙ ජාතිය බලලා නොවෙයි. මේ පුදබිමේ තියෙන්නෙ සාමය. සහජීවනය. එහෙමත් නැතිනම් සංහිඳියාව. ප්‍රශ්නත් එක්ක එන මිනිස්සු ආපහු මෙතැනින් පිටවෙලා යන්නෙ දෙවියන්ට සියලු දුක බාරදීලා, හිතේ සැහැල්ලුවෙන්. ඒ සැහැල්ලුව සල්ලිවලට ගන්න පුළුවන්ද... නීරෝගීකම සල්ලිවලට ගන්න පුළුවන්ද... සල්ලි හම්බ කළාට අපි ඒක අමතක කරන්නත් නරකයි...”

ඒත් කාටද ඕනෙ වුණේ මෙහෙම කෝවිලක් හදන්න... මේ තරම් කෝවිල් තියෙන රටේ තවත් කෝවිලක් මොකටද... මගේ හිතට නැගෙන ඔය ප්‍රශ්න සේරට ම උත්තර කියන්නෙත් ඔහු ‍ගාවමයි.

“ඉන්දියාවෙ ආන්ද්‍රාවල තියෙන තිරුපති කෝවිල කියන්නෙ ලක්ෂ ගණනක් මිනිස්සු වඳින පුදින තැනක්. මගේ ජීවිතේ අවුරුදු හැටකට වඩා මං තිරුපති ගිහින් තියෙනවා. විවාහයෙන් පස්සෙ මං හැමදාම ගියේ වයිෆ් එක්ක. අවුරුදු තිහක් විතර තිස්සෙ එයා තිරුපති වැඳලා එළියට ආවම මට කියනවා, ‘අපි ලංකාවෙත් මේ වගේ ‍කෝවිලක් හදමුකෝ. හැමෝටම වියදම් කරගෙන තිරුපති එන්න බැහැනේ...’ කියලා.

එහෙම කිව්වට කෝවිලක් හදන එක ලේසිද...ඒත් වයිෆ්, ඒ කතාව නැවැත්තුවෙ ම නැහැ. මීට අවුරුදු පහළොවකට උඩදි තිරුපති ගිහින් ලංකාවට ආවට පස්සෙ එක දවසක එයා එකතු කරපු සල්ලි, ලක්ෂ 10 ක් මගේ අතට දුන්නා. දීලා කිව්ව, ‘මේකෙන් වැඩ පටන් ගන්න... අපිට සල්ලි කොහොම හරි ලැබේවි...!’ කියලා. ඒ තමයි කෝවිලේ පටන් ගැන්ම.

එදා පටන් පත්තරේ බල බලා ඉඩමක් හෙව්වා. මෝදර කාලි කෝවිලට ළඟින් ම පර්චස් තිහක් ලැබුණා. අපි වැඩ පටන් ගත්තා. වයිෆ්ගෙ පවුලෙ නෑයෝ, මස්සිනාගේ නෑයෝ, මම, අපේ පුතාලා දූලා... මුදල් පරිත්‍යාග කළා. කරගෙන යද්දි අපි දන්න නොදන්න හුඟක් අය පඬුරු විදියට ලොකු ගණන්, පොඩි ගණන් වගේ ම අමුද්‍රව්‍ය පවා පරිත්‍යාග කරන්න ගත්තා.

‍කෝවිල හදලා ඉවර වෙනකල් මගේ වයිෆ් පද්මාවතී, හැම දවසකම මේ වැඩබිමට ආවා. මං උදේට එයාව ගෙනැත් බස්සනවා. හවසට ඇවිත් එක්ක යනවා. එතකල් මුළු දවස ම එයා ගත කළේ කෝවිල හදන වැඩ බිමේ. බාස්ලගෙ වැඩවල අඩුපාඩු බැලුවෙ එයා. ගලින් ගල බැඳිලා කෝවිල හදලා ඉවරවෙනකල් එයා එයාගෙ ගමන නතර කළේ නැහැ.

අනික පටන් ගත්තට වඩා දේවාලෙ එන්න එන්න ලොකු වුණා. අවට අය ඉඩම් කෝවිලට ම විකුණ විකුණා යන්න ගියා. ඒ ඉඩම් කෝවිලට අරන් දුන්නෙ ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වෙච්ච පරිත්‍යාගශීලින්. ඔබ විශ්වාස කරනවද ආරම්භයේ පටන් අද දක්වා අපි කිසිම කෙනකුගෙන් ආධාරයක් ඉල්ලලා නැහැ. නමුත් ලංකාවේ වගේ ම පිටරට ඉන්න හින්දු බෞද්ධ බැතිමතුන් මෙතැනට ආධාර කරන්නෙ හොයාගෙන ඇවිත්. ඒත් කෝවිල හදලා අවුරුද්දකට පස්සෙ කිසිම ලෙඩක් නැතිව හිටපු මගේ නෝනා, හෘදයාබාධයක් හැදිලා හිටි අඩියෙ අපිව දාලා ගියා.

එදා පටන්, මිනිස්සු මෙතැනට ඇවිත් වඳින හැටි... කඳුළු පුරවගෙන දෙවියන්ට දුක කියලා සැනසීම පතන හැටි... ප්‍රාර්ථනා ඉටුවුණ ඔවුන්ගෙ සැනසිලිදායක මුහුණුවල සතුට දිහා මං බලා හිටියෙ තනියම.

එයාගෙ එකම හීනය වෙච්චි, කෝවිලට ‘රාජගෝපුරම්’ එකක් හදලා ඉවර කරන්න අපිට පුළුවන් වුණේ ගිය අවුරුද්දෙ. පුංචි පුංචි පිළිම, පෙළට පෙළට ඉහළ නැඟිලා අඩි 92 ක් උසට ඒ රාජගෝපුරම් එක අහසට නැංඟා. කෝවිලක දේව බලය වැඩි වෙන්නෙ රාජගෝපුරම් හෙවත් මේ කෝවිල ඉදිරිපස, අහසට නැඟිලා තියෙන තොරණක් වැනි නිර්මාණයෙන්.

රටේ ඉහළ ම දේශපාලනඥ‍‍ෙයාත් මේ කෝවිලට ඇවිත් වැඳ පුදාගත්තා. ‘මේ වගේ ලොකු තිරුපති කෝවිලක් තියෙන බව මං අදනෙ දන්නෙ.. ගෙදර අයත් එක්ක ආයෙ එන්නම්..’ කියලයි මෛත්‍රිපාල ජනාධිපතිතුමාත් ගියේ. ඇත්තට ම එදා එතුමා කෝවිල දැකලා පුදුම වුණා.”

තිරුපතිවලින් ගෙන්වූ ශිල්පීන් හදා නිම කළ මේ කෝවිලේ, සෑම පිළිම ප්‍රතිමාවක්මත් ඉන්දියාවේ කොයිම්බතූර් සිට හදා ගෙන්වූ ඒවා කියලයි දුරෙයිසාමි මහත්මයා කියන්නෙ.

මහා විෂ්ණු ප්‍රතිමාව... එතුමාගෙ බිරියන් දෙදෙනා වූ පද්මාවති සහ ආණ්ඩාල් හෙවත් ‘භූමි දේවි’ ප්‍රතිමා ඇතුළු ප්‍රධාන දේව ප්‍රතිමා 33 ත් කෝවිල පුරා තිබෙන කුඩා ප්‍රතිමා තුන්සිය ගණනත් නැව් නැඟිලා මෙහෙ ආවේ කොයිම්බතූර්වලින්මයි.

මේ මහා විෂ්ණු ප්‍රතිමාව හදා තිබෙන්නෙ විශේෂයෙන් තෝරා ගත් පුද සත්කාර කළ පුරාණ කළු ගල්වලින්. ඒත් කළු ගල් ප්‍රතිමාවක් කපුරු සහ පලතුරු යුෂ ගල්වලා කහ වතුරෙන් හෝදලා කිරෙන් නහවන එක ගැන විවිධ මත තියේවි. ප්‍රතිමාවත් කිරි ලීටර් ගණන්වලින් හේදිලා යන එක, අන්‍යාගමිකයකුට අපරාධයක් සේ පෙනුණත් භක්තිවන්ත හින්දු ආගමිකයකුට එය තමන්ගෙ දෙවියන් වෙනුවෙන් කෙරෙන විශාල ගෞරවනීය පිළිවෙතක්. පලතුරු යුෂෙන් කහ දියරෙන් සහ කිරෙන් හේදෙන නැහැවෙන තරමට විෂ්ණු ප්‍රතිමාවෙ බලය සහ ශක්තිය වර්ධනය වනවා කියන එකයි ඔවුන්ගෙ විශ්වාසය.

ඒ වගේම මහා විෂ්ණුට ලැබෙන පඬුරු කාටවත් අයිති නැහැ. ඒවා විෂ්ණු දෙවියන්ගෙ කෝවිලේ සංවර්ධනය සහ පුණ්‍ය කටයුතු සඳහාම පමණයි. දුප්පත් දරුවො 275 ක් ඉගෙනුම ලබන දහම් පාසලත් ඔවුන්ට උදව් කිරීමටත් වගේම, පෝය දවසෙ බෙදා දෙන බත් පාර්සල් දෙතුන් දාහ හදන්නත් මේ පඬුරු ආධාර යෙදවෙනවා. මහා විෂ්ණු කෝවිලේ භාරකාර මණ්ඩලයවත් අත නොතබන මේ මුදල් වෙන කිසිවකුටවත් හිතු සේ පරිහරණය කරන්න බැරි, එය වස් වදින සහ පව් පිරෙන දෙයක් නිසා බවයි ඔවුන් තරයේ විශ්වාස කරන්නේ.

තමන්ගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මිනිස්සු මතුරමින් යාතිකා කරලා දෙවියන්ට ගහන පොල්, දවසකට මොනතරම් ගොඩ ගැහෙනවද. මොනවද මේ පොල්වලට කරන්නෙ.. මට වගේ ම ඒක හුඟ දෙනකුට ප්‍රශ්නයක්. කුතුහලයක්.

“අපි ඒවා කොප්පරා හදන කට්ටියට දීලා දේවාලෙට අවශ්‍ය තෙල් හින්ඳවා ගන්නවා. ඒ ගොල්ලො ම කැඩුණ පොල් එකතු කරන් යනවා. අපෙන් සල්ලි ගන්නෑ. අපිට තෙල් ටික විතරක් ගෙනැත් දෙනවා. අනික ඒ තෙල්වලින් අපි කෑම උයන්නෑ. පහන්වලට විතරයි දාන්නේ...”

ඒ විතරක් නෙවෙයි මේ කෝවිල සුද්ද පවිත්‍ර කරන්න... අතුපතු ගාන්න... භාජන හෝදන්න මිනිස්සු එන්නෙ පෝලිමේ. හැමදේටම සල්ලි ඉස්සර වෙනවා කිව්වට විෂ්ණු පුදබිමට සිය කැමැත්තෙන් නොමිලයේ වැඩකරන කොළඹ මිනිස්සු ඕනෑතරම් මේ අවටත් පිටත් ඉන්නවා කියලයි දුරෙයිසාම් මහත්මයා තවදුරටත් කියන්නේ.

හුඟක් දේවාලවල පූජකයන්ගෙ කරුණාව වැඩිපුර ලැබෙන්නෙ ලොකුම සල්ලි කොළේ තිබෙන සරුසාර පූජා වට්ටිවලට. ඒත් විෂ්ණු කෝවිලේදි නම් මේ දේ සිද්ධ වෙන්නෑ. ඒක සහතිකයක්. මේ කෝවිලට උදව් පදව් කරන මහා සල්ලි කාරයො පවා තමන්ගෙ වාරෙ එනකල් පෝලිමේ ගමන් කරන්නෙ ස්වයං විනයකින්. තමන්ගෙම කැමැත්තෙන්. ඒක, කෝවිලේ කළමනාකාරිත්වය බාර දුරෙයිසාමි පවුලෙ අයට වුණත් පොදු දෙයක් කියලයි ඔහු කියන්නෙ.

“පොර කාගෙන අනෙක් කෙනා තල්ලු කරගෙන ගිහින් දෙවියො වැඳලා මොකටද... මං යන්නෙත් පෝලිමේ. දේවාලෙට උදව් කරන බසාර් එකේ මුදලාලිලා යන්නෙත් පෝලිමේ. අනික ආශිර්වාදයක් ගන්න සල්ලි කොළ තැබීම අනිවාර්ය නැහැ. ඔබට මුදල් තිබුණත් නැතත් මේ තිරුපති කෝවිලේ මාධව පටාචාරි, ප්‍රධාන පූජකතුමා ඇතුළු සියලු පූජකවරු සෑම කෙනෙක්ම එන සෑම සියලු දෙනාට ම ආශිර්වාද ලබා දෙනවා...”

දෙවියන් ඉදිරියේ, මිනිස්සු හදාගත් උස් මිටිකම් - ඇති නැතිකම් පයේ පෑගෙන දූවිල්ලක් තරම්වත් නොවටිනා දේ.

ඔබේ විශ්වාසය කුමක් වුවත් හිතත් මනසත් වෙනස් කරන බොහෝ දෑ මේ කෝවිල් බිමේ තිබෙනවා. ඒ සමහර දේ, භක්තිවන්ත හැඟීම් දනවන අතර සමහර දේ විචිත්‍රයි. නිර්මාණශීලියි. රසවිඳිය හැකි කලාගාරයක කැටයම් මුහුර්ති බඳුයි. අනේක විධ වර්ණ දීප්තියෙන් යුක්තයි.

ඉන්දියාවෙන් ම ඉදිකිරීම් සඳහා රැගෙන ආ අවුරුදු පන්හයදාහක් තරම් පැරැණි පුරාණ වේද ග්‍රන්ථවලට අනුව දශමයක තිතක වෙනසක් නැතිව හැදූ කුලුනක්... ආරුක්කුවක්. කණුවක් ගානේ ඒ විචිත්‍රවත් බව පිරී තිබෙන බව ඔබටත් පෙනේවි.

ඉඳින්, දයාබර බිරියකගේ වුවමනාව... ආදරය.. මතකය... සහ ඇගේ සිහින මතින් ගොඩනැගුණු මේ මහා විෂ්ණු කෝවිල අද ලක්ෂ ගණන් ජනතාවගේ දුක් සුසුම් නිවන පූජනීය තැනක් බවට පත් වෙලා.

එහි පියවර තබන හැම අඩියක් පාසා දුරෙයිසාමි මහත්මයට දැනෙන්නේ ආත්මීය සතුටක්. ඒ ආත්මීය සතුට, බිරියක් වෙනුවෙන් සැමියකු ලබන නිමාවක් නැති මහා අපරිමිත එකක් කියලයි ඔහු කියන්නේ.

ඡායාරූප - විමල් කරුණාතිලක

Comments