ලෝක තෙත්බිම් දිනය 2 වැනිදා | සිළුමිණ

ලෝක තෙත්බිම් දිනය 2 වැනිදා

නිහාල් පී. අබේසිංහ

1971 පටන් සෑම වර්ෂයකම පෙබරවාරි 02 වැනි දින ලෝක තෙත්බිම් දිනය වශයෙන් ලෝකය පුරා උත්සවාකාරයෙන් සමරනු ලබයි‍. පරසර පද්ධතියක් වශයෙන් තෙත් බිම් යනු අතිසංවේදී විශේෂ පාරිසරික හා සමාජයීය කාර්යභාරයකට දායක වන පරිසර පද්ධතියක් බැවින් එය රැක ගැනීම සඳහා ලෝක මට්ටමින් පියවර ගෙන ඇත. 1971 වර්ෂයේ පෙබරවාරි 02 වැනිදා ඉරානයේ රැම්සා නගරයේදී තෙත්බිම් සම්බන්ධ මූලික එකඟතාවයකට ලෝක නායකයින් පැමිණි නිසා එම එකමුතුව රැම්සා සම්මුතිය වශයෙන් හඳුන්වයි. සමස්ත පෘථිවි පෘෂ්ඨයෙන් 6% ක් තෙත්බිම්වලින් ආවරණය වන අතර, එම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ ද 15% ක් තරම් ඉහළ අගයක් ගන්නා නිසා පරිසර පද්ධතියක් වශයෙන් වැඩි වටිනාකමක් මෙම පරිසර පද්ධතියට හිමි වේ. 2018 ලෝක තෙත් බිම් දින ජාතික වැඩසටහන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

2018 ලෝක තෙත් බිම් දින ජාතික වැඩසටහන පෙබරවාරි 02 වැනිදා පෙ.ව. 9.00 ට බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී රක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය සංවිධානය කරනු ලබයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව ප්‍රදේශයේ ගිංඔයෙහි, වෙරළ කලාපයට අයිති මායිම් අවසන් වන සීමාවේ සිට දෙමටපිටිය පාලම දක්වා වූ ප්‍රදේශය පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ, ගැසට් නිවේදනය සඳහා ජනාධිපතිතුමන් විසින් අනුමැතිය ලබාදීම සහ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම, මධ්‍යම පරිසර අධිකාරියේ, ස්වාභාවික සම්පත් කළමනා‍කරණ ඒකකය විසින් ප්‍රකාශයට පත්කර ඇති තෙත්බිම් අසිරිය ග්‍රන්ථයේ සිංහල පිටපත හා ප්‍රථම ද්‍රවිඩ පිටපත ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම ද විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් සංවිධානය කරන ලද, අන්තර් විශ්වවිද්‍යාලය‍ීය ඡායාරූප තරගාවලියේ ත්‍යාග ප්‍රදානය ද ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරේ.

28 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් සංවිධානය කරනු ලබන ලෝක තෙත්බිම් දින සැමරුම් අතර ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පළාත් කාර්යාලය ද සම්බන්ධ වන අතර පරිසර නියමුවන් යොදා ගනිමින් පරිසර සංවේදී ප්‍රදේශයක් තුළ පරිසර දූෂණ තත්ත්වයන් පිළිබඳ තත්ත්ව වාර්තාවක් සැකසීමට අදාළ නිරීක්ෂණ අධ්‍යයනය සිදු ‍කරනු ලබයි.

කළුතර දිස්ත්‍රික් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලබන තෙත්බිම් දින සැමරුම් උත්සවය පෙබරවාරි 15 වැනි දින බණ්ඩාරගම පනහවත්ත පුරාණ රජමහා විහාරයේ පැවැත්වෙන අතර එහිදී තෙත්බිම් පිළිබඳව දේශන 2 ක් හා උයන්වත්ත වැව ආශ්‍රිත ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදු කිරීමට නියමිත ය‍.

ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන සැමරුම් උලෙළ 16 වැනිදා යක්කල රණවිරු ඇපරල් ආයතනයේ දී පැවැත්වීමට‍ නියමිතය. එහිදී තෙත්බිම් වල වැදගත්කම හා තිරසාර සංවර්ධනය පිළිබඳව දැනුවත් කිරීමේ දේශනයක් ඇතුළුව වැඩමුළුවක් පැවැත්වේ. 

 

Comments