ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය | සිළුමිණ

ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය

ආර්. පද්මනාදන්

4 කොටස

60 පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවට පත් වූ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක 60 රජයේ අගමැති ලෙස පත්වී ලොව ප්‍රථම අගමැතිනිය ලෙස නොබිඳෙන ලෝක දේශපාලන වාර්තාවක් තැබුවා ය.

56 ඡන්දය මෙරට දේශපාලනයේ විශාල පරිවර්තන රැසක් ප්‍රකට කළ සංසිද්ධියකි. 1956 සිට 1959 දක්වා වූ පාර්ලිමේන්තුවට කාන්තාවන් සතර දෙනෙකු තේරී පත්වූ අතර, ප්‍රථම කැබිනට් ඇමැතිවරිය ද පත් වන්නේ එහිදී ය. ඇය මීරිගම අසුන ජයගත් විමලා විජේවර්ධන ය. විවියන් ගුණවර්ධන උතුරු කොළඹ, කුසුමා ගුණවර්ධන - කිරිඇල්ල සහ කුසුමා රාජරත්න වැලිමඩ අසුන ජය ගත්හ. කුසුමා රාජරත්න පත්වූයේ අතුරු මැතිවරණයෙනි.

මෙරට තුන්වන පාර්ලිමේන්තුවෙන් දේශපාලනයට පැමිණි විවියන් ගුණවර්ධන 56 – 59 දී උතුරු කොළඹ ආසනය ද, 60 – 64 දී බොරැල්ල ආසනය ද 70 - 77 දී දෙහිවල - ගල්කිස්ස ආසනය ද නියෝජනය කරමින් මෙරට කාන්තා දේශපාලනයේ දීප්තිමත් තරුවක් බවට පත් ව‍ූවා ය.

මෙරට ප්‍රථම කැබිනට් ඇමතිනිය වූ විමලා විජේවර්ධනගේ දේශපාලනය බණ්ඩාරනායක ඝාතනයට ඈ ඈදී යාමත් සමඟ හමාර විය.

කුසුමා රාජරත්න මිය නැවත 1960 - 70 කාලයේදී ඌව පරණගම ආසනය නියෝජනය කළා ය. 1959 – 1963 කාලය තුළදී එව්ලින් ද සොයිසා සෙනෙට් සභාවට පත් කළා ය.

හතර වන පාර්ලිමේන්තුවේ (1960 මාර්තු - අප්‍රියෙල්) විමලා කන්නන්ගර ගලිගමුව ආසනයෙන් තේරී පත් වී ඇය 1960 – 65, 1970 – 1977 සහ 1977 – 1988 යන පාර්ලිමේන්තු නියෝජනය කළා ය. පසුව ඇය ඇමැතිවරියක ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළාය.

හතර වන පාර්ලිමේන්තුවේදී අලුතින් ම පත් වූයේ දෙහිඕවිට අසුන ජයගත් සෝමා වික්‍රමනායක ය. ඇය 60 දෙවන පාර්ලිමේන්තුවට ද පත් වී 1964 දක්වා පාර්ලිමේන්තුවේ දෙහිඕවිට අසුන නියෝජනය කළා ය. 60 පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවට පත් වූ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක 60 රජයේ අගමැති ලෙස පත්වී ලොව ප්‍රථම අගමැතිනිය ලෙස නොබිදෙන ලෝක දේශපාලන වාර්තාවක් තැබුවා ය. 1960 දී එසේ ජාතික දේශපාලනයට එක් වූ ‘මැතිනිය’ ලෙස තනි වචනයෙන් මුළු රටම හැඳින්වූ ඇය, 1960 සිට 2000 දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුවේ සිටියා ය. 1965 දී අත්තනගල්ල ආසනය ජයගත් ඇය එම ජයග්‍රහණය අපරාජිතව රැක ගත්තා ය. 1994 සිට 2000 දක්වා ඇය ජාතික ලැයිස්තුවෙන් පත් ව‍ූවා ය. 1960 සිට ඇය මිය යනතුරුම මෙරට ප්‍රධානම දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය වසර 40 ක් අඛණ්ඩව දැරුවා ය. වසර 40 ක් අඛණ්ඩව දේශපාලන පක්ෂයක නායකත්වය දැරූ ලොව එකම කාන්තාව ද ඇය විය යුතු ය.

65 පාර්ලිමේන්තුවට, සිවා ඔබේසේකර (මීරිගම) ලැටීසියා රාජපක්ෂ (දොඩම්ගස්ලන්ද) මල්ලිකා රත්වත්ත (බළන්ගොඩ) අභිනවයෙන් පාර්ලිමේන්තු ආ කාන්තාවෝ ය. සිවා ඔබේසේකර 70 – 77 දී පාර්ලිමේන්තුවට පත්වී සෞඛ්‍ය ඇමැතිනිය ලෙස ද කටයුතු කළා ය. මල්ලිකා රත්වත්තේ සහ ලැටීසියා රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණියේ අතුරු මැතිවරණයෙනි.

1970 මහ මැතිවරණයෙන් කාන්තාවන් අට දෙනෙකු පාර්ලිමේන්තුවට එද්දී ඡන්දයට ඉදිරිපත්වූ කාන්තාවෝ පස් දෙනෙක් පරාජය වූහ. බළන්ගොඩ අසුන සඳහා තරග වැදුණේ කාන්තාවන් දෙදෙනෙකි. ඒ මල්ලිකා රත්වත්තේ සහ සීතා මොලමුරේ ය. 70 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට සමගි පෙරමුණින් මැතිනිය, සිවා ඔබේසේකර, කුසලා අබේවර්ධන, විවියන් ගුණවර්ධන, තමරා කුමාරි ඉලංගරත්න, මල්ලිකා රත්වත්ත පත්වූ අතර, විමලා කන්නන්ගර එ.ජා.පක්ෂයෙන් ගලිගමුව අසුන ජය ගත්තා ය.

1977 ජාතික රාජ්‍ය සභාව සඳහා පැවැති මහ ඡන්දයේදී ශ්‍රී.ල.නි. පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ එකම කත සිරිමාවෝ මැතිනිය පමණි. එ.ජා.පක්ෂයෙන් රේණුකා හේරත්, විමලා කන්නන්ගර, අමරා පියසීලි රත්නායක, සමන්තා කරුණාරත්න යන අය තේරීපත්වූ අතර 1977 – 1988 පාර්ලිමේන්තුද්වය තුළ නම් කිරීමෙන් සහ අතුරු මැතිවරණ ඔස්සේ කාන්තාවන් රැසක් මහජන නියෝජිතවරියෝ ලෙස සේවය කළහ.

සුනේත්‍රා රණසිංහ, රූපා ශ්‍රියානි ඩැනියෙල්, දයා සේපාලී සේනාධීර, ලෝහිනි විජේසිරි, කීර්තිලතා අබේවික්‍රම, රංගනායකී පද්මනාදන් යන අය ද එම පාර්ලිමේන්තුවේ සිටියහ.

77 දී පාර්ලිමේන්තුවට ආ කාන්තාවන් අතරින් රේණුකා හේරත් 2000 දක්වා ද අමරා පියසීලි රත්නායක 2010 දක්වා ද සුනේත්‍රා රණසිංහ සහ රූපා ශ්‍රියානි ඩැනියෙල් 1994 දක්වා ද පාර්ලිමේන්තුව නියෝජනය කළහ. මින් රේණුකා හේරත්, අමර පියසීලි රත්නායක, සුනේත්‍රා රණසිංහ යන අය කැබිනට් ධූර ලැබූහ.

1977 න් පසු 1982 මහ මැතිවරණය පැවැත්වීම වෙනුවට ජනමත විචාරණය පවත්වා පාර්ලිමේන්තු කාලය දීර්ඝ කිරීම නිසා ඊළඟ මහ මැතිවරණය පැවැත්වෙන්නේ 1988 දී ය. ඒ අතර 1988 – 89 කාලයේදී ඇවිළී ගිය දකුණේ කැරලිකාරිත්වය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් උණ්ඩයට බිලිවීම නිසා ඔවුන්ගේ බිරින්දෑවරුන් එ.ජා.පක්ෂයේ නායක වූ ජනාධිපති ජේ‍‍.ආර්. ජයවර්ධන මහතා විසින් පත් කරනු ලැබීය. ඒ වනවිට ක්‍රියාත්මක වන්නේ සමානුජාතික ඡන්ද ක්‍රමය නිසා එසේ නම් කිරීමේ බලය පක්ෂ නායකයන්ට තිබුණි. දයා සේපාලි සේනාධීර, කීර්තිලතා අබේවික්‍රම එසේ පත්වූ අතර සිය අසුන අහිමි ව‍ූ සොහොයුරා වෙනුවෙන් රූපා ශ්‍රියානි ඩැනියෙල් පත් කෙරිණි. පියාගේ අභාවයෙන් හිස් ව‍ූ අසුන සඳහා පැවැති අතුරු මැතිවරණයෙන් (දෙහිවල - ගල්කිස්ස) ජයගෙන සුනේත්‍රා රණසිංහ පාර්ලිමේන්තුවට පැමිණියාය. ලෝහිනි විජේසිරි ද සිය සැමියා වෙනුවට නම්කර පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකි. 77 – 88 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 10 දස දෙනෙක් සිටියහ. ඉන් ශ්‍රී.ල.නි.පක්ෂයෙන් එක් අයෙකු සහ ඉතිරි නව දෙනාම එ.ජා.පක්ෂයෙන් තේරී හෝ නම් කිරීමෙන් හෝ පත්ව‍ූ අය වූහ.

Comments