
තැපැල් වෙනස
මගේ චූටි පුතා ජපානයේ ටෝකියෝ නුවර ඉගෙනුම ලබයි.
ඔහු ගෙදර ඉන්නා කාලයේ සමේ රෝගයක් සුවපත් කර ගැනීමට එක්තරා බෙහෙතක් පාවිච්චි කළේය.
මෙය ඔහුට එහෙට ද ගෙන්වා ගැනීමට අවශ්‍ය විය.
බෙහෙත සූදානම් කරගත් මම අදාළ ලියකියවිලි ද රැගෙන එය ජපානයට යවනු පිණිස දකුණේ ප්‍රධාන තැපැල් කාර්යාලයකට ගියෙමි.
එහි වැඩ කරමින් සිටි අය එය භාර ගැනීම ප්‍රතික්ෂේප කළහ.
මම කිලෝ මීටර් 160 ක් දුර ගෙවා බස්නාහිර ප්‍රධාන තැපැල් කාර්යාලයකට ගියෙමි.
එහි වැඩ කරමින් සිටි අය සිනාවෙන් මා පිළිගෙන මගේ අවශ්‍යතාව ඉටු කර දුන්හ.
මා එය තැපැල් කාර්යාලයට බාර දුන් දිනට සිව් දිනකට පසු මපුතු මා අමතා බෙහෙත ලැබුණු බව කියා සිටියේ සතුටිනි.
මට මහා සැනසිල්ලක් ලැබිණි.
පුතු එය පාවිච්චි කළ අතර ඔහුගේ ඇවිස්සී තිබුණු සමේ රෝගය ඉක්මනින් සුව විණි.
මා මෙය ලිව්වේ අපේ රටේ තැපැල් කාර්යාල දෙකක වෙනස පැහැදිලි කිරීමටයි.
මෙරට පුරවැසියකුගේ අවශ්‍යතාව ඉටු කිරීමට මාතර අයට බැරි වීමේත්, මීගමුවේ අයට හැකි වීමේත් රහස කුමක්ද?
මීගමුවේ තැපැල් නිලධාරීනට යහපත සැලසේවායි පතමි.
මාතර මහ රෝහලේ වෛද්‍ය පර්යේෂණාගාර කාර්මික විද්‍යාඥ පී.එච්. නිහාල් රංජිත් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
පිවිතුරු සේවාව
වාහන දෙකක් ගැටිණ. දෙකට ම සුළු හානි සිදු විය. එකක ආවේ ආයතන ප්‍රධානියෙකි. අනිකෙහි ආවේ තරුණයෙකි. තරුණයා නිහඬව සිටියේ වැරැද්ද වී තිබුණේ තමන් අතින් නොව නිලධාරියාගේ
රියැදුරු අතින් බැවිනි.
‘මේක මෙහෙම බේර ගන්න බෑ. අපි යමු පොලිසියට’ නිලධාරියා යෝජනා කළේය. තරුණයා ද ඊට කැමැති විය. පොලිසියේ දී තත්වය වෙනස් විය. නිලධාරියා එහාට - මෙහාට ඇමතුම් ගත්තේ ය. පොලිස් නිලධාරීන් ඔහුගේ නිලයට යට වුණ බව පෙනිණ. නිවැරැදි තරුණයා අසරණ වූයේ ය. වැඩ කෙරෙමින් තිබුණේ තරුණයා වැරදිකරුකර ඔහු ගේ රියැදුරු බලපත්‍රය ද අවලංගු කරන ආකාරයෙනි. ඒ අනුව ඔහු ගේ රියැදුරු බල පත්‍රය පොලිස් නිලධාරීන් අතට පත් විය.
තරුණයා ගේ පියා ද රටේ යමක් කළ හැකි අවංක නිලධාරියෙකි. එහෙත් ඔහු සිය පියා මේ සිද්ධියට ගාවන්නට උත්සාහ කළේ නැත.
මේ සිද්ධිය දෙස සාවධානව බලා සිටි පුද්ගලයෙක් විය. ඒ තරුණ පොලිස් නිලධාරියෙකි.
‘සර්’ ඔහු සිය ප්‍රධානියා ආමන්ත්‍රණය කරමින් ඉදිරියට ආවේ ය. ප්‍රධානියා ඔහු දෙස බැලුවේ ය.
‘සර්, මේ මල්ලි නිර්දෝෂී කෙනෙක්. එයාට සාධාරණය ඉෂ්ට වෙන්ඩ ඕනැ. මෙතෙන්දි ඒක වෙන්නෙ නැත්නම් මම මගෙ මේ ලාංඡන ටික ගලවල දාල යන්ඩ සූදානම්!’ තරුණ නිලධාරියා අවධාරණය කළේය.
පිරිස තුෂ්ණිම්භූත වූහ.
‘මේ මල්ලි නිර්දෝෂයි. එයාගෙ ලයිෂන් එක දෙන්ඩ සර්!’
පියසීලි විජේනායක මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.