අතේ පිච්චියක් නැතත් අපේ වැඩේ අපි කළා | සිළුමිණ

අතේ පිච්චියක් නැතත් අපේ වැඩේ අපි කළා

* හිතේ සවියෙන් සියල්ල ජයගත් කැලෑ ගමේ ඉස්කෝලේ
* පාසලේ අඩුපාඩු හදාගන්න සල්ලි හොයාගත්තේ මඤ්ඤොක්කා වවලා; බෝතල් පත්තර විකුණලා.

මම අභියෝග ජයගත් දොරටුව කරා ළඟා වුණෙමි. ප්‍රදේශයේ වූ කටුක හා දුෂ්කර බව දැන් බොහෝ සෙයින් දුරස්ව ඇතැයි සිතේ. මේ අති දුෂ්කර ගම් පළාතේ වූ බොහෝ අභියෝග මෙතැනින් නතරව ඇතුවාක් සේය. මේ පුංචි ගම් පියසේ සිය හපන්කම් දක්වන මේ පුංචි එවුන්ගේ දඟකාර පාසල් ලෝකය දැන් මා නෙත් අභියසය. කෙළි දෙළෙන් ගතකරන පුංචි එවුන්ගේ කෙළි සිනාවෙන් මේ ගමේ ඇත්තන්ගේ බොහෝ කරදර ප්‍රශ්න වියැකී යන්නේය. ජීවන පරිසරයේ කටුකත්වයෙන් එහා ගිය සුන්දර පාසල් ලෝකයක් තුළ ඔවුන්ගේ පාසල් කාලය රැඳී ඇත්තේ ය. මේ සුන්දර පාසල් බිම වටවී ඇත්තේ ගන වනාන්තරයකිනි. මහා ගන කැලෑවට පමණක් නොව රටේ සමස්ත පාසල් පද්ධතියටම අභියෝගයක් එක්කළ මේ කැලෑ ගමේ පාසල ගැන රටට කියන්නේ පුරසාරම් දොඩවන්නට නොව සියලු දේ තම දෙපා අභියසට පැමිණෙනතුරු බලා සිටින ඇත්තන්ගේ මනසට අලුත් යමක් එක් කරන්නටය.

මේ අපූරු පාසල පිහිටා ඇත්තේ පුත්තලම විල්පොත ගමේය. නමින් බණ්ඩාරණායක කනිෂ්ඨ පාසලය. මුහුදු සුළං රැල්ලත් සමඟ හමා ආ මද පවනේ පහස විඳිමින් හලාවත පුත්තලම් මාවත දිගේ ඉදිරියට යද්දී හමුවන්නේ තාරවිල්ලව නමින් යුතු අපට තරමක් ආගන්තුක වූ මන්සන්ධියකි. එම මාවත ඔත්සේ ඇදෙන වැලි ගොඩැලි සහිත අති දුෂ්කර කැලෑ පාර නිමක් නොදකින තරම්ය. මේ මාවතේ කිලෝමීටර 3 ක් පමණ ගිය පසු හමුවන්නේ විල්පොත බණ්ඩාරණායක කනිෂ්ඨයයි.

සැබැවින්ම එය කුඩා පාසලකි. එහෙත් අපේ බොහොමයක් පාසල් මෙන් නොව එහි බොහෝ පහසුකම් ඇත්තේය. වෙනසකට ඇත්තේ ඒ සියල්ල ලබා ගෙන ඇත්තේ පාසලේ දරුවන්ගේ මවුපියන්ගේ හා ගුරුභවතුන්ගේ උත්සාහයේ හා ධෛර්යයේ ප්‍රතිඵලයක් නිසාය.

“අපේ පාසල පොඩි වුණාට මට ඕනැ වුණේ මේ ගමේ පුංචි පාසල රාජකීය විදුහලක් කරන්න” මේ පාසලේ විදුහල්පති එම්. එච්. එම්. පී. සමරනායක මහතා අපට පැවැසුවේ මහත් ආඩම්බරයකිනි.

මේ පුංචි පාසල බොහෝ දේ කරගෙන ඇත්තේද බොහෝ දේ ජයගෙන ඇත්තේ ද ගමේ බසින්ම කියතහොත් අතේ පිච්චියකුද නැතුවය. එහෙත් ශ්‍රමය, එකමුතුකම මෙන්ම අධිෂ්ඨානය මුදලේ වටිනාකම පැරැදවීමට සමත් විය. පාසලක් ලෙස 1959 වසරේදි ආරම්භ වුවද ඔවුනට ඉතිරිව තිබුණේ ගඩොලින් තැනූ බිත්ති හතර පමණි. දිනෙන් දින දරුවන්ගේ පැමිණීම අඩු වෙද්දී එක්තරා අවස්ථාවක මේ ගමේ එකම සිංහල පාසල වැසී යන්නට ආසන්න විය. නැතිවූ දේ ගැන සිතමින් හූල්ලමින් සිටිනවාට වඩා ඉතිරි වූ දෙයින් නැගී සිටීම පිළිබඳ මේ දරුවන්ට අගනා පාඩමක් උගන්වමින් තාරවිල්ලවට රාජකීයයක් උරුම කර දෙන්නට මේ විදුහල්පතිවරයා ගුරුවරුන් මෙන්ම දරුවන්ගේ දෙමවුපියන් නොගත් උත්සාහයක් නොමැති තරම් ය. අවසානයේ මයියොක්කා පඳුරෙන් ගොඩ ආ මේ ගමේ දරුවන්ගේ පාසලට අද කොළඹ සුපිරි ගනයේ පාසල් පවා පැරැද්දවීමට තරම් හැකියාවක් ඇත්තේ ය.

අභියෝග ජයගත් පාසල් දොරටුව සමඟින් අලුත් පාසල් සංකල්පයක් මවමින් ගමේ මේ සුපිරි පාසල ඉදිවන්නේ සුපිරි යැයි කියාගන්නා පාසල්වලටත් අභියෝගයක් කරමින් ය. නැතිනම් පාසල් බලධාරීන්ට සිතන්නට යමක් ඉතිරි කරමිනි.

“අභියෝග ජයගත් මේ දොරටුවෙන් තමයි අපේ මේ පාසලට ඇතුළු වන්නේ. මේ දොරටුවෙන් ඇතුළු වන විට ඕනෑම කෙනෙකුට මෙහි විශේෂත්වයක් තියෙන බව තේරුම් යනවා. මේ පාසල වැසීගෙන යන විට අපිට ඕන වුණා කෙහොම හරි ගමේ මේ පාසල රැක ගන්න. රජයෙන් යම් දෙයක් දෙනකල් බලාගෙන ඉන්නේ නැතුව අපේම මහන්සියෙන් මේ පාසල ගොඩ නඟන්න උත්සහ කළා. ඒ සඳහා විවිධ දේ කළා. අපේ පාසල වටා විශාල කැලයක් තියෙනවා. මුලින්ම අපි කළේ මේ කැලෑව සුද්ද කරලා මයියොක්කා වැවීම. මේක තමයි අපිට මුලින්ම සල්ලි හොයන්න තිබුණු විකල්පය. කන්න දෙකක්ම වගා කළේ මේ දරුවන්ගේ දෙමවුපියන්. ශ්‍රමය ශත පහක්වත් ගියේ නැහැ. මුලින්ම අපි දරුවන්ට හොඳ ප්‍රවේශයක් දෙන්න ඕනවුණ නිසා පාසලට දොරටුවක් හැදුවා, මේ සල්ලි වලින්. ලක්ෂ 7 ක ඇස්තමේන්තුවක් වුණාට මයියොක්කා වගා කරලා අපිට හමුවුණේ ලක්ෂ දෙකහාමාරයි. ඉතුරු සියලුම දේ දෙමවුපියන්ගේ ශ්‍රමයෙන් තමයි සිදුවුණේ. වැලි පවා දෙමවුපියන් විසින්ම හොයා ගත්තා. අත් උදවු මේසන් වැඩ සියල්ලම දෙමවුපියන්ගෙන්. අන්තිමේදි පාසලට ඇතුළුවීමේ දොරටුව හදලා ඒකට නමක් දුන්නා අභියෝග ජයගත් දොරටුව කියලා. මෙහෙම කළේ මේ දරුවන්ට ‘අපේ පාසල අපිට ලොකුයි ’ යන සංකල්පය පිළිබඳ හැඟීමක් දෙන්නයි.”විදුහල්පතිවරයා පවසන්නේය.

ඇති දේට වඩා නැති දේ බොහෝ ඇති මේ පාසලේ දරුවන් නැති දේ ගැන සිත සිතා දුක්වූයේ නැත. වත්මනේ බොහොමයක් පාසල් නැති දේ හුවා දක්වමින් දෙමවුපියන් පීඩාවට පත්කරද්දි මේ පාසල සිය කාලය වෙන්කළේ නැති දේ කෙසේ හෝ උපයා ගන්නටය. රජයට මේ දේ දෙන්නයැයි , තමන්ට මේ දේ ඇවැසියැයි කියමින් ඔවුහු ලියුම් කරදහි නොලියුහ. ඒ වෙනුවට ඔවුන් සිතුවේ ගෙවී යන කාලය නැවත නොඑන බවය. ගෙවී යන කාලය හරවත් යමකට යොදා ගැනීමට ඔවුහු පිඹුරුපත් සැකසූහ. මේ අදහස මනාව වටහා ගත් දෙමවුපියෝද නැති දේ කෙසේ හෝ උපයා ගන්නට අමුතු අමුතු දේ කළහ. එහෙත් ඒ සියලු කටයුතු නීතිරීතින්ට පටහැනි නොවී පිළිගත් ආකාරයෙන් කරන්නටද වගබලා ගත්හ.

“මේ පාසල මුලදි 1- 11 පාසලක්. පසුව ගමේ ළමයින් පවා ඒම අඩුවෙලා 1-5 වැසීයන පාසලක් බවට පත්වුණා. මේ විදුහල්පතිවරයාගේත් දෙමවුපියන්ගේත් උත්සාහයෙන් තමයි නැවතත් මේ පාසල පෙර තිබූ තත්ත්වයටත් වඩා ඉහළට ගියේ. මේ පාසල අපේ අනුමැතියෙන් වසරකට ව්‍යාපෘති දෙකක් පමණ කරනවා. ඒ පාසලේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් හා විවිධ අංශ සංවර්ධනයට. එක් වතාවත් මේ දෙමවුපියන් ඩෙංගු වැඩ සටහනකට සම්බන්ධ වෙලා මේ ගමේම ඇවිදලා හිස් බෝතල් එකතු කළා. ඒවා සියලු දේම මේ පාසලට ගෙනැල්ල සුද්ද කරලා විකුණුවා. මෙයින් රුපියල් 60000 ක් පාසලට සොයා දුන්නා. තවත් වතාවක මේ දෙමවුපියන් ගමේ ඇවිඳලා ඉවත දැමූ කඩදාසි, කාඩ්බෝඩ්, සිමෙන්ති උර, දරුවන්ගේ ලියා අවසන් වූ පොත් එකතු කර කඩදාසි ප්‍රතිචක්‍රීයකරණය කරන තැනකට බාර දී රුපියල් 22000 ක් පාසලට සොයා දුන්නා. තවත් වතාවක මේ පාසලේ දෙමවුපියන් මේ ගමේ පොල් වතු වලට ගිහින් ගමේ පාසලට කැමැත්තෙන් පොල් දෙන්න කැමැති අයගෙන් පොල් එකතු කළා. මේ පොල් කඩලා පොල් ලෙලි ගහලා පාසලට ගෙනැල්ලා දෙමවුපියන්ම ඒවා වෙන්දේසි කර පාසලට ලබා දුන්නා. ඒ වගේම පරණ යකඩ, සැමන් ටින්, පොල් කටු, පොල් ලෙලි හා සිමෙන්ති උර වැනි දේ එකතු කර ඒවා විකුණලා පාසලට රුපියල් 80000 ක මුදලක් සොයා දුන්නා.

මේ ගමේ දෙමව්පියන් උගත් නොවුණත් ඔවුන් හැමදාම පාසල සමඟ සිටියා. අද මේ පාසල බලන්න දුර බැහැර පාසල්වල දරුවොත් එනවා. මේ පාසලේ අනිත් කිසිම පාසලක නැති කටුගෙයක් තිබෙනවා. ඒ කටුගෙය පවා දරුවන් හැදුවේ ඒ අයගේ වෙහෙසෙන්” එසේ පැවැසුවේ පුත්තලම දකුණු කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. පී. නිමල්සිරි මහතා ය.

කොළඹ සුපිරි පාසල් පරද්දන අන්දමේ සුපිරි කටුගෙයක් මේ පාසලට ඇත්තේය. එපමණක් නොව දරුවන්ගේ නැණ නුවණ වඩන්නට සුපිරි මට්ටමේ ගණිතාගාරයක් ඇත්තේ ය. එහෙත් ඒ සියල්ලන්ම දරුවන්ගේත් දෙමවුපියන්ගේත් වෙහෙසේ ප්‍රතිඵල විනා ලියුම් කරදහි ලිවීමෙන් ලබාගත් දේ නොවේ.

මේ කැලෑ ගමේ පාසලේ සුපිරි කටුගෙයක් බිහිවුණේ ගමේ ගොඩේ නිවෙස්වල වූ පැරැණි භාණ්ඩ ඔවුන් මේ පාසලට පරිත්‍යාග කර මිස රජයෙන් ලැබුණු ශත පහක හෝ මුදලකින් මිලදී ගෙන නොවේ.

“අපේ පාසලේ කටු ගේ හදද්දි මේ බඩු අපි ගමේ ඇවිදලා හොයා ගෙන ආවා. කුරහන්ගල්, කුරුණි, නගුල වගේ මේ අපේ අතීතයේ අය භාවිතා කළ ගොවි, කම්මල්, වතු ආදි ගොඩාක් පැරැණි උපකරණ අපේ ගමේ අය අපේ පාසලට දුන්නේ කැමැත්තෙන්. අද අපේ කැලෑවේ මේ පුංචි පාසලේ කටුගේ බලන්න අනුරාධපුර, නුවර, කල්පිටිය වගේ පළාත් වලින් එනවා. වසර 100 කට වඩා පැරැණි දේත් මෙහි තියෙනවා. අපේ පාසලේ අපූරු ගණිත කාමරයක් තියෙනවා. වෙන පාසල් වල මේවා තියෙන්නේ කාමරවල කබඩ්වල දාලා. ඒත් අපේ පාසලේ එහෙම නැහැ. හැමදේම අපිට පරිහරණය කරන්න විදුහල්පතිතුමා අවසර දිලා තියෙන්නේ. මේවා නැතිවෙන්නෙත් නැහැ.” ඒ පාසලේ අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන හංසිනි ෂෙහාරා හා අමාශා හංසිනි සිසුවියන්ය.

අමාශා හා හංසිනිලා ඇතුළු සිසුන් ආදර්ශයට ගන්නේ තමන්ගේ පාසලේ විදුහල්පති ඇතුළු ගුරු මඩුල්ලය. ‘විදුහල්පති දුවතහොත් පාසලත් දුවයි. විදුහල්පති නතර වුවහොත් පාසලත් නතර වන්නාසේ’ යන කියමන සනාථ කරමින් මේ ගමන් මඟට පුරෝගාමිත්වයක් දෙන්නේ මේ පුංචි පාසලේ විදුහල්පතිවරයාය.

මේ ගමේම උපන් ඔහු පාසලට බොහෝ ඇල්මක් දක්වන්නේය. ඒ ඇල්ම වචනයට පමණක් සීමා නොවී ඔහු හදවතින්ම පාසලට සේවයක් කරන්නේ ය. වරක් පාසලේ ආරක්ෂාවට වැටක් සවි කරද්දි එයට අවශ්‍ය කම්බ් කණු සියල්ලම නිම වූයේ ඔහුගේ දෙඅතිනි. දිවා රෑ නොබලා ඔහු දරුවන් සමඟ තමන්ගේ පාසලේ වැට තනන්නට සිමෙන්ති ඇනුවේ ය. දෙඅත් රළු වනතෙක් පොළොව හෑරුවේ ය. මේ නිසා අද මේ පුංචි පාසලේ දරුවෝ බොහෝ දෙනෙකුගේ අනාගත අපේක්ෂාව වි ඇත්තේ මේ පාසලේම විදුහල්පතිවරයා වීමටය.

අභියෝග මත්තේ නැඟී සිටි මේ පාසලේ සිසුන් පිරිසක් ප්‍රථම වතාවට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නේ 2021 වසරේදීය.

කලක් මේ පාසලට සිසුන් සිටියේ නැතිතරම්ය. දැන් පාසලේ පළමු වාරය සඳහා ඇතුළත් වීමට සිසුන් පෝලිමේ ය. පාසල් ඉතිහාසයේ වැඩිම සිසුන් පිරිසක් පළමු වසරට ඇතුළත් වූයේද මේ වසරේය. එනිසා පාසලේ මෙතෙක් පැවැති ශ්‍රේණි ගණන වසරෙන් වසරට වැඩි කිරීමට ද සිදුව ඇත්තේය.

පාසලට ප්‍රදේශයේ සෑම ආගමක්ම අදහන සිසුහු පැමිණෙති. ඒ සැම සිසුවකුට සිය ආගම ඇදහීමේ පහසුකම් පාසලේ වෙයි. සෑම දරුවෙකුම දිනපතා පාසලට එද්දී ප්‍රථමයෙන්ම කළ යුත්තේ සිය ආගම මෙනෙහි කිරීමය. එය මේ පාසලේ රීතියක්ය. ඒ රීතිය අකුරටම සිදුවන අතර ජාතීන් තුනටම සිය ආගම මෙනෙහි කිරිමට වෙන්වූ ස්ථාන ඇත්තේ ය.

පාසලට කාලයක් තිස්සේ පැවැති ගුරු නිවාස, පුස්තකාලය හා පරිගණක විද්‍යාගාරයක හිඟය පමණක් නොව මේ පාසල් දරුවන්ට කාලයක් තිස්සේ වූ ජල ගැටලුවටද විසඳුම් සොයා ගත්තේ ද පාසලේ දරුවන් විසිනි. අද ඒ බාධක ඔවුන් සාර්ථකව ජයගෙන ඇත්තේ ලියුම් කරදහි ලිවීමෙන් නොවේ. කවුරුන් හෝ දෙනතුරු නොසිට නොපසුබට උත්සාහයෙන් යුතුව ක්‍රියාත්මක වීමෙනි.

අද ඇතැම් පාසල් අනේක වූ අඩුපාඩු සපුරා ගැනීම සඳහා දෙමවුපියන්ගේ ආධාර හා උපකාර පතන්නේය. එසේ තිබියදී මේ පාසල ගොඩනැගුණේ දෙමවුපියන්ගේ උර මතට බරක් නොදෙමිනි. පාසලට පැමිණෙන අලුත් දරුවන් වෙනුවෙන් සෑදු සෙල්ලම් මිදුල හරිම අපූරුය. එහි සියල්ල නිමවා ඇත්තේ ගමේ ගොඩේ ඉවතලන දෑ එකතු කිරීමෙනි.

වයඹ පළාත් අධ්‍යාපන කාර්යාලය පමණක් නොව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම පළාතේ සියලු අධ්‍යාපන බලධාරීන්ද පාසලේ ගමන් මඟට අත්වැල් සපයන්නේ මෙවැනි පාසල් රටට අනගි ආදර්ශයක් දෙන නිසා ය. ජනප්‍රිය පාසල් පසුපස හඹායෑමේ නොනවතින තරගයට මේ ගමේ පාසල් කිසිදා හසුවන්නේ නැත. නමුත් මෙවන් පාසල්වලට අභියෝග කරන්නට ද නොහැකිය. එළැඹෙන හෙට දින ඒ ගමනේ අවසානය තාරවිල්ලුවෙන් තවත් රාජකීයක් හෝ විශාකාවක් බිහිවීමක්දැයි කාට නම් කිව හැකිද?

කල්පිටි සංචාරයකින් පසුව

සේයාරූ - විමල් කරුණාතිලක
(විශේෂ ස්තූතිය - තොරතුරු ලබාදුන් පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
(සැලසුම්) ආර්.එම්.අයි. එම්. ඒ. ජින්නා මහතාට)

Comments