
1996 වර්ෂයේ ලෝක ශූරතාවය දිනූ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති තුන්කොන් එක්දින තරග මාලාව සඳහා මෙරටට පැමිණි සිම්බාබ්වේ පිලේ නම ගිය ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සිටියත් හෙන්රි ඔලොන්ගා කෙරෙහි ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි අවධානයක් යොමු විය. ඊට හේතු වූයේ ඔහුගේ අමුතුම කොණ්ඩා විලාසිතාව සහ සැහැල්ලූ හැසිරීමයි. එක් අවස්ථාවක එම සංචාරය අතර තුර ඔලොන්ගා තවත් ක්‍රීඩකයකු සමඟ මුහුදේ පිහිනමින් සිටින විට රළ පහරකට අසුව ගසාගෙන යන විට ශ්‍රී ලංකා ජීවිතාරක්ෂකයින් විසින් බේරා ගත් බවට පුවත්පත් වාර්තා පල විය.
ඔලොන්ගාව ක්‍රීඩාලෝලීන් තුළ වඩාත්ම මතක සිටින කාරණාව වූයේ සංචාරය ආරම්භ කරමින් ඔහු කළ ප්‍රකාශය යි. ඔලොන්ගා පවසා සිටියේ එම තරග මාලාවේ දී ඔවුන්ට හිසරදයක් විය හැකි ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය දවා ගන්නා ක්‍රමය තමා දන්නා බවයි. මේ නවක ක්‍රීඩකයාගේ ප්‍රකාශය ඒ දිනවල ඇතැම් වචාරකයින්ගේ හාස්‍යට ද ලක් විය. එම ප්‍රකාශය වචනයට සීමා නොකර ලකුණු 10 ක් ලබා ගැනීමටත් පෙර ජයසූරිය දවා ගැනීමට ඔලොන්ගා සමත් විය.
නැවත අපට ඔලොන්ගාව මතකයට නැඟෙන සිදුවීම වන්නේ ඒ 2003 දකුණු අප්‍රිකාවේ පැවැති අට වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාව යි. එම තරගමාලාවේ දී සිම්බාබ්වේ කණ්ඩායම දෙස බොහෝ දෙනා ඇස ගසා ගෙන සිටියේ ඔවුන් ඊට පෙර පැවැති ලෝක කුසලානයේ දී ද සුපිරි කණ්ඩායම් 6 අතරට පැමිණි බැවිනි. නමුත් සිම්බාබ්වේ තුළ උද්ගතවී තිබුණු දේශපාලන වාතාවරණය සෘජුවම ක්‍රිකට් කණ්ඩායම කෙරෙහිද අහිතකර ලෙස බලපා තිබුණි. විශේෂයෙන්ම ජනාධිපති රොබට් මුගාබේ විසින් සුදු ජාතිකයින් ගේ දේපල බලහත්කාරයෙන් තම රෙජීමයට පවරා ගැනීමත්, ඒවා කළු ජාතිකයින්ට පවරා දීමත් නිසා දේපළ හිමි සුදු ජාතික ක්‍රිකට් ක්රීඩකයෝද බොහෝ සෙයින භීතියට පත් වී සිටියහ. ප්‍රථම කළු ජාතික ජනධිපතිවරයාට විරුද්ධව සිම්බාබ්වේ පිල නියෝජනය කළ පළමු කළු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා වන ඔලොන්ගා විරෝධය පළ කරන්නේ ඒ අවස්ථාවේ දී ය.
2003 ලෝක කුසලාන තරග මාලාව තුළ දී ඔලොන්ගා, ඇන්ඩි ෆ්ලවර් සමඟ කළු අත් පටි පැළඳ තරග කළේ සිම්බාබ්වේ හි රොබට් මුගාබේ පාලනය යටතේ ‘ප්රජාතන්ත්රවාදයේ මළගම’ ට එරෙහිව. එම තරගාවලියේ ඊස්ට් ලන්ඩන් හි දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයෙන් පසුව ප්‍රකාශයක් කරන ඔලොන්ගා මෙම තරගාවලියෙන් පසු තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව පැවසීය. එහි දී කෙන්යාව සමඟ පැවැති තරගය ඔහුගේ අවසන් තරගය විය. අනතුරුව ඔහු එංගලන්තයට සංක්‍රමණය වූයේ පැවැති මරණ තර්ජන හේතුවෙණි.
ඉන් පසුව අප හැමටම ඔලොන්ගාව මතකයට නැගුණේ ‘රොබට් මුගාබේට විරුද්ධව සිටි මිනිසා’ ලෙසය.
හොඳින් ගීත ගායනා කරන ඔලොන්ගා ඔහු ගේ පළමු තනි ගීතය ගායනා කළේ ද එම කාලය තුළදීම ය. ඒ ‘අපේ සිම්බාබ්වේ’ නමිනි. ඉන් පසුව පළමු පොප් ගීත ඇල්බමය ද නිකුත් කරනු ලැබවේය. එහි නම ‘ඕරේලියා’ ය.
2006 වසරෙ දී තම ගුවන් ගමන් බලපත්‍ර කල් ඉකුත් වීමෙන් පසුව වසර 9 ක් යන තුරු ඔහුට එංගලන්තයෙන් පිට වීමට නොලැබෙන නමුත් එම කාලය තුළ දී ඔලොන්ගාට එංගලන්ත පුරවැසි භාවය හිමි වේ. එහෙත් දැන් ඔලොන්ගා ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ තම ඔස්ට්‍රේලියානු ජාතික බිරිය සහ දියණියන් සමඟ ඇඩිලේඩ් නගරයේ ය. ඒ රොබට් මුගාබේ ගේ වෛරී දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙසය.
41 වන වියේ පසු වන ඔලොන්ගා සිම්බාබ්වේ පිල වෙනුවෙන් ටෙස්ට් තරග 30 ක දී කඩුලූ 68 ක් ද, එක්දින තරග 50 ක දී කඩුලූ 58 ක් ද දවා ගෙන ඇත. 2015 දී ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට ප්‍රකාශක් කරමින් ඔලොන්ගා ප්‍රකාශ කර සිටියේ ‘‘දැන් මගෙන් සිම්බාබ්වේ ට වැඩක් නැහැ. මටත් වැඩක් නැහැ’’ යනුවෙනි.
වැඩි දුරටත් ඔලොන්ගා ප්‍රකාශකර සිටියේ ‘‘එදා මුගාබේ ක්‍රීඩකයන්ගේ හඩට කන් දුන්නානම් තමා ඇතුලූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නැවත මව්බිමට පැමිණෙනවා. මුගාබේත් ගෞරවනීය චරිතයක් වනවා’’ යනුවෙනි.
‘‘එදා ප්රජාතන්ත්ර විරොධී මුගාබේ පාලනය පිළිබඳ සාකච්ඡා කරන්න සිම්බාබ්වේ තුළ ඉඩක් තිබුණෙ නැහැ. එයා කෙහොමද උතුරු කොරියවෙ ‘කිම් ජෝන් උන් ’ ට වඩා වෙනස් වෙන්නෙ. මැන්ඩෙලා වගේ එකපාරක් බලයෙ ඉඳල තරුණයන්ට අවස්ථාව දීල ගියේ නැහැ. අවුරුදු 93 ක් වෙනකම් හිටිය’’
‘‘මම කිසිම දේශපාලන ක්‍රියාකාරිකයෙක් නෙමෙයි. මම මෙහෙම ඉඳල කල්පනා කරනකොට මට හිතෙන්නෙ ඒ ජනාධිපතිට විරෝධය පළ කරල, ඒ කථාව කියන්න අද මම ජීවත් වෙලා ඉන්නව නේද කියල’’ යි. ඔලොන්ගා සිනාමුසුව පවසයි.