ලෝකය තේරුම් ගැනීමේ චින්තනය | සිළුමිණ

ලෝකය තේරුම් ගැනීමේ චින්තනය

 ජීවිතය යනු නාම රූප ධර්ම පරම්පරාවකි. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන බිඳී යන ජීවිතය පිළිබඳ මනා අවබෝධයක් ලැබීම ගැඹුරු ධර්ම ඥානයකින් යුක්තවම සිදු කළ යුතු ය. ලෝකය වශයෙන් මෙහි දක්වා ඇත්තේ ජීවිතය පිළිබඳව යි. ඇස, කන ආදී ඉන්ද්‍රියයන් හා ඒවාට අරමුණු වන රූප, ශබ්ද ආදී ආරම්මණයන් ලෝකය වශයෙන් දක්වා ඇත. මෙම ධර්මයන් අවබෝධ කළ යුතු වන්නේ එම ධර්මයන් අවබෝධ නොවීම හේතුවෙන් සසර දිගින් දිගට ම පවත්නා හෙයිනි. සාමාන්‍ය ලෝකයේ ජීවත් වන මිනිසුන්ගේ චින්තනය ඉක්මවා උසස් චින්තනයකින් යුක්තව මේ පිළිබඳ සිතිය යුතු ය. එම චින්තන රටාව පටිසෝතගාමි පිළිවෙත යි. මෙයින් අදහස් කරනුයේ සාමාන්‍ය ජීවිත රටාව ඉක්මවා කටයුතු කිරීම නොවන බව තේරුම් ගැනීම අතිශය වැදගත් ය. අප වෙනස් කොටගත යුත්තේ අපගේ බාහිර ඇඳුම, රූපය, කතාබහ නොව අපගේ චින්තනය යි. එය තමා විසින් පෞද්ගලිකවම සිදු කරගත යුතු දෙයකි.

චින්තන රටාව

සසරේ දීර්ඝ කාලයක සිට ඒ ඒ පුද්ගලයින් විසින් ඇතිකොටගත් චින්තන රටාවන් තිබේ. පුද්ගල ජීවිත තුළ මහත් විවිධත්වයක් පවත්නේ එම කරුණ හේතුවෙනි. ඇතමුන්ගේ චින්තනය උසස් වන අතර ඇත­ැමෙකුගේ චින්තනයන් හීන ස්වභාවයට පත් වේ. ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ඔවුන්ගේ චින්තනය සසර පුරා එකම අරමුණක් ඔස්සේ දියුණු කොට පැමිණ තිබේ. ලෝකය තුළ එසේ ගැඹුරු චින්තනයකින් යුක්තව ගමන් කරන ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ සිටිති. එහෙත් එවැන්නෝ දුර්ලභය. බාහිර ස්වරූපයන්ගෙන් ඔවුන්ගේ ස්වභාවය අවබෝධ කිරීම අතිශය දුෂ්කරය. බෝධිසත්ත්වයින් සසර පුරා පැමිණියේ බුද්ධත්වය ලැබීමේ අදහසින් යුක්තව ය. ඒ ඒ භවයන් තුළ ප්‍රතිසන්ධිය ලැබූ කල්හි අවකාශ ලැබූ සෑම අවස්ථාවක ම තම අරමුණු මුදුන්පත් කරගැනීමට අවශ්‍ය දේ සම්පාදනය කරන්නට විය. නමුත් බොහෝ අවස්ථාවලදී එම පුද්ගලයා බෝධිසත්ත්වයෙක් යැයි තමා විසින් ලෝකයට හඳුන්වා නොදෙන ලදි. අන් මිනිස්සු ද ඔහු බෝධිසත්ත්වයෙක් යැයි අවබෝධ නොකර ගත්හ. සැරියුත් තෙරුන් වහන්සේ සසර පුරා පැමිණියේ ප්‍රඥාවන්තයින් අතර අග තනතුර ලැබීමට අවශ්‍ය ප්‍රඥාව දියුණු කරමින් ය. එහෙත් ඒ බව සාමාන්‍ය ලෝකයේ අන් කිසිවෙක් දැන සිටියේ නැත. මේ අයුරින් ඒ ඒ ජීවිත පිළිබඳ නුවණින් අධ්‍යයනය කරන කල්හි ඔවුන් සසර පුරා යම් අරමුණක් ඔස්සේ පැමිණ තම අරමුණට ලගා වී සසරින් නික්ම ගිය බව පැහැදිලි ය. මෙයින් සියලු දෙනා මෙවැනි තත්ත්වයන්ට පත් විය යුතුය යන්න අදහස් නොකෙරේ. අප මෙවැනි දේ තුළින් අවබෝධ කොටගත යුත්තේ ජීවිතයේ කවර ස්වභාවයකට පත් වන්නේ ද යන්න පිළිබඳ තමා තුළ නිශ්චිත අරමුණක් හා වැටහීමත් තිබිය යුතු ය යන්න ය. නිශ්චිත අරමුණක් නොමැතිව සසර තුළ ගමන් කිරීම නිශ්ඵල කාර්යයකි. එය කිසිදා අවසන් නොවන අතර කිසිදු දෙයකින් තෘප්තියට ද පත් නොවේ.

නිශ්චිත වූ ඒකායන අරමුණක් ඔස්සේ අප චින්තනය මෙහෙයවමින් කටයුතු කරන විට එයට අනුරූපීව අපගේ චින්තනය සකස් වේ. බෝධිසත්ත්වයන්ගේ චින්තනය සෑම විට ම තිබූයේ තමා සසරින් එතෙර වී අන් අය ද සසරින් එතෙර කිරීමට ය. කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුක්තව අවශ්‍ය කටයුතු සිදු කරන ලදි. එම ජීවිතය ක්‍රමයෙන් සෑම අංශයකින් ම ශ්‍රේෂ්ඨත්වයට පත් විය. බෝධිසත්ත්වයින්ගේ පූර්ව ජීවිත කථා අධ්‍යයනයෙන් ඒ බව මනාව පැහැදිලි වේ.

උපන් හැකියාව

අප යම් අරමුණක් ඔස්සේ සිත මෙහෙයවන කල්හි සිත ඒ ඔස්සේ ගමන් කර යි. එය ක්‍රමයෙන් බලවත් වීමෙන් සසර පුරා එම චින්තන රටාව සිතින් සිතට උපනිශ්‍රය වෙමින් ගමන් කර යි. එක් භවයක පුරුදු කරන ලද යහපත් දේ ක්‍රමයෙන් ඉදිරියට ගමන් කරයි. බෝධිසත්ත්වයන් පාරමී ධර්මයන් පූර්ණය කරන අවස්ථාවන්හි ඒ ඒ භවයන් තුළ ඔබ බුද්ධත්වය සඳහා පාරමී පිරිය යුතුය යන්න කිසිවෙක් පැමිණ මතක් කිරීමක් නොකරයි. එහෙත් තම චින්තනය දියුණු කොට පවත්නේ යම් අරමුණකට ද සිත ඒ ඔස්සේ ගමන් කරයි. එක් භවයක් තුළ දියුණු කරන ලද ශක්තිය විනාශ නොවේ. එය පසු ජීවිතය හා බැඳී, ක්‍රමයෙන් බලවත් වී ඉදිරියට ගමන් කරයි. බුදුන් වහන්සේ සසර පුරා ක්‍රමයෙන් ශීලය පුරුදු කොට එය භවයක් පාසා ඉදිරියට ගෙනවිත් බලවත් බවට පමුණුවා ගත්හ. බුද්ධත්වය ලබන මොහොත වන විට ශීලයෙන් උන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් නොසිටියේය. සමාධිය ද එසේම ය. සසරේ ඒ ඒ භවයන් තුළ ක්‍රමයෙන් භාවනා ක්‍රම හුරු කොට එයින් සමාධිය උපදවා ඒ තුළ සිත භාවිත කොට තිබේ. සසරේ භව බොහෝ සංඛ්‍යාවක් මෙසේ ඉක්ම ගොස් බුද්ධත්වයට පැමිණෙන අවස්ථාවේ චිත්ත සමාධියෙන් උන්වහන්සේට වඩා ඉදිරියට ගිය කිසිවෙක් නොසිටියේ ය. ප්‍රඥාවෙන් ද එසේ ම ය. භවයක් පාසා ප්‍රඥාව හුරු කොට එය බලවත් බවට පැමිණ බුද්ධත්වය ලබන මොහොතේ ප්‍රඥාවෙන් උන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයෙක් නොමැති විය.

ප්‍රඥා හුරුව

මේ අයුරින් ම අන් ශ්‍රාවකයන් වහන්සේලාගේ සසරේ පූර්ව ජීවිත අධ්‍යයනය කිරීමෙන් සසර පුරා එම පුද්ගලයන් චින්තනය හසුරුවා තිබෙන්නේ කෙසේ ද යන්න දැකගත හැකි ය. මෙම කරුණ සියලු දෙනාට ම පහසුවෙන් තේරුම් ගත නොහැකි ය. නුවණින් යුතුව කරුණු අධ්‍යයනය කිරීමෙන් පමණක් මෙහි පවසන කරුණ අවබෝධ වේ. ප්‍රඥාවක් නොමැති පුද්ගලයන්ට එම ජීවිත තවත් එක් සාමාන්‍ය චරිත කථාවක් පමණි.

ඉහත දක්වන ලද ජීවිත තුළ දියුණු කොට තිබෙනුයේ ශීලාදි ගුණ ධර්මයන් පමණක් නොවේ. යහපත් චින්තනයකින් යුක්තව සසරේ ගමන් කරන පුද්ගලයින් සෑම අංශයකින් ම අතිශය දක්ෂයන් වේ. ඔවුන් පරාජය කිරීම අන් අයට නොහැකි ය. බෝධිසත්ත්වයින්ගේ චරිතය අධ්‍යයනයෙන් ඒ බව මනාව පැහැදිලි වේ. ශිල්ප ඥානයෙන් හා වෙනත් හැකියාවන්ගෙන් සෑම ජීවිතයක ම පරිපූර්ණය. ඉගෙනීමෙන්, කලා ශිල්පයන්ගෙන්, නායකත්ව ලක්‍ෂණයන්ගෙන්, ස්ථානෝචිත ප්‍රඥාවෙන්, ව්‍යාපාරයන්ගෙන් ආදී මේ සෑම තැනකදීම ඔවුන් අන්‍යය සියලු දෙනා අභිබවා කටයුතු කොට තිබේ. උම්මග්ග ජාතකය, නළපාන ජාතකය, සේරිවාණිජ ජාතකය ආදී ජාතක කථා මගින් අප්‍රමාණව මේ සඳහා නිදසුන් සපයා ගත හැක. විවාහ ජීවිත තුළ ඔවුන් ඉතා යහපත්ව එම ජීවිත ගත කරන ලදි. සාහිත්‍යය රසාස්වාදය තුළ ඔවුන් අතිශය දක්ෂ විය. වාග් විලාසයෙන් අන්‍ය සියලු දෙනා අබිබවමින් කටයුතු කොට ඇත. ඒ ඒ අවස්ථාවන් තුළ ගත යුතු නිවැරදි තීරණය කවරක් ද යන්න වහා වැටහීමක් ඇතිව කටයුතු කොට තම ජීවිතය සහ අන්‍ය දහස් ගණනකගේ ජීවිත රැකගත් අවස්ථාවන් ජාතක කථා තුළ දැක්වේ. කපි ජාතකය, නළපාන ජාතකය, අපණ්ණක ජාතකය මේ සඳහා නිදසුන් සපයයි.

තමන්ට තමන්ය

මේ ජීවිතය තුළ අප කෙතරම් පුද්ගලයන් ඇසුරු කොට සිටිය ද සසර ගමන අප එකිනෙකා තනිව ගමන් කරන බව දත යුතු ය. එහිදී අපට සම්මුඛ වනුයේ අප විසින් ම ගොඩනගාගත් දේවල් ය. ජීවිතය ද එවැන්නකි. කරුණු මෙසේ හෙයින් බුදුරදුන් පැහැදිලි කොට දුන් යථාර්ථය තේරුම් ගත යුතු ය. ‘අත්ත දීපා විහරථ භික්‍ඛවේ අත්ත සරණා න අනඤ්ඤ සරණා‘ යන පාඨය මතකයේ රඳවා තබාගත යුතු ය. තමා තමන්ට පිහිට කොට සරණ කොට වාසය කළ යුතු ය. තමාට අන් සරණක් නොමැත. එයට හේතුව සසර ජීවිතයේ දි අපට ලැබෙනුයේ අප විසින් ම අපගේ චින්තනයන්ට අනුව ගොඩනගාගත් දේ ය. ජීවිතයේ සිදුවන සිද්ධීන්වලට අන් පුද්ගලයන් හට චෝදනා කිරීමෙන්, වෛර කිරීමෙන් ඵලක් නොමැත. නිවැරදි ක්‍රමයට චින්තනය හසුරුවා යම් ඒකායන අරමුණක් ඔස්සේ තම සසර ගමන හැඩගස්වා ගන්නේ නම් එය ක්‍රමයෙන් බලවත් බවට පැමිණ තමා ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස මේ ලෝකයේ ප්‍රතිසන්ධිය ලබයි. රූපයෙන්, වාග් විලාසයෙන්, චිත්ත දමනයෙන්, ප්‍රඥාවෙන්, විවිධ දක්ෂතාවන්ගෙන්, ධනයෙන්, බලයෙන් මේ අදී සෑම දෙයකින් ම ශ්‍රේෂ්ඨත්වයට පත් වේ. එසේ උපන් කල්හි ද තම චින්තනය නිවැරදිව හසුරුවා තිබෙන හෙයින් එම ජීවිත තුළ ද යහපත් දේ බහුල වශයෙන් සිදු කොට නැවතත් චින්තනය ශ්‍රේෂ්ඨ අයුරින් හසුරුවා බලවත් බවට පත් කොට ගනී. මෙසේ සසර තුළ නිවැරදි චින්තනයකින් යුක්තව ජීවිතය හසුරුවන පුද්ගලයන් සැම කලක ම යහපත් ජීවිත ලබන අතර එම ජීවිත ඔහුට සේ ම ඔහු ඇසුරු කරන පුද්ගලයන්ට ද ලෝකයේ අන්‍ය සියලු මිනිසුන්ට ද සතා සීපාවට ද මහත් යහපතක් සලසන ජීවිත බවට පත් වේ.

සසර ගමන

කුසල ධර්මයන් හුරු කොට ගැඹුරු චින්තනයකින් යුක්තව සසර ගමන් කරන පුද්ගලයින් අතිශය බලවත් පුද්ගලයන් වේ. ඔවුන්ගේ වාග් ශක්තිය සහ සිත අතිශයින් ම බලවත් වේ. එසේ හෙයින් යමක් සිතන කල්හි ඒ දේ ඒ අයුරින් ම සිදු වේ. සසර ගමන තුළ ප්‍රතිසන්ධිය ලබන තැන නිශ්චිත නොවන හෙයින් ගැඹුරු චින්තනයකින් යුක්තව සිටින කල්හි අන් අයගේ උපදේශයක් නොලැබුණ ද ඒ ඒ ජීවිත තුළ තමා විසින් සිදු කළ යුත්තේ කවරක් ද යන්න පිළිබඳ තමාට ම වැටහීමක් ඇති වේ. එසේ හෙයින් අන් අයගේ උපකාරයක් පිහිටක් නොලැබුණ ද තම සසර හුරු කොට පවත්නා චින්තන රටාව ඔස්සේ කටයුතු කොට ජීවිතය අතිශයින් ම ශ්‍රේෂ්ඨත්වයට පමුණුවා ගනී. බෝධිසත්ත්වයින් චින්තනය මෙහෙය වූ ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් මේ බව වටහා ගත හැකි ය. මේ සාසනය හා පූර්ව සම්බුද්ධ සාසනයන් තුළ සිටි තෙරුන් වහන්සේලාගේ ජීවිත අධ්‍යයනය කිරීමෙන් ද සසර ගමන තුළ එයින් නික්මීම සඳහා ඔවුන් චින්තනය හැසිර වූ ආකාරය වටහාගත හැකි ය.

එවැනි ආකාරයට තම අරමුණු කුමක් ද යන්න දැන එයට අනුව කටයුතු කිරීමෙන් තම ජීවිතය ද ශ්‍රේෂ්ඨත්වය පමුණුවා ගත හැකි ය. එක් භවයකින් පවසන ලද සියල්ල සිදු කිරීමට නොහැකි බව දත යුතු ය. සිත ක්‍රමයෙන් භාවිත කළ යුත්තකි. තමාට කිසිවක් සිදු කිරීමට නොහැකිය හෝ දැන් කාලයක් නොමැති බව සිතමින් නිකරුණේ කාලය ගත කිරීමෙන් තමාට කිසිදු යහපතක් සිදු නොවේ. අවම වශයෙන් තම සිත නිරතුරුව බුදුගුණයන් තුළ හෝ රඳවා ගැනීමට උත්සාහවත් විය යුතු ය. එයින් ඇතිවන ශක්තිය අති මහත්ය. සිත එසේ පුරුදු කරන මොහොතක් පාසා එයින් දියුණුවන ශක්තිය ඉදිරි ජීවිත සඳහා ඇති කරන බලපෑම අප්‍රමාණය. කරුණු මෙසේ හෙයින් තම ජීවිතය තුළ හැකි සෑම අවස්ථාවක ම යහපත් දෙයක් තුළ ම සිත පවත්වා ගැනීමට උත්සාහවත් විය යුතු ය. අයහපත් දේ සිත තුළින් ඉවත් කොටගත යුතු ය. යහපත් චින්තන රටාව සේ ම අයහපත් චින්තන රටාව ද සසරට හුරු වන බව සිහියේ තබා ගෙන යහපත් දේ තුළ පමණක් සිත හික්මවීමට උත්සාහවත් විය යුතු ය.

ලබන සතියේ... පටිච්චසමුප්පාදය සහ සසර

ජී.ජී.ජී. පුෂ්පකුමාර්
බෞද්ධ දර්ශනය (විශේෂවේදී) බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී

Comments