මාර්ග තදබදය විසඳන්න අලුත් ගුවන් පාලම් | සිළුමිණ

මාර්ග තදබදය විසඳන්න අලුත් ගුවන් පාලම්

 නාගරික ප්‍රදේශවල පවතින අධික වාහන තදබදය අවම කිරීම සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග තදබදය අධිකව පවතින ප්‍රධාන නගරවල ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ. ස්පාඤ්ඤ රජයේ ආධාර මඟින් ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය යටතේ රාජගිරිය, පොල්ගහවෙල හා ගණේමුල්ල නගරවල මෙම ගුවන් පාලම් ඉදි කිරීමේ කටයුතු මේ වනවිටත් සිදු කෙරේ. දියුණු රටවල පවතින ඉදිකිරීම් තාක්ෂණය අනුව යමින් සැලසුම් කර ඉදිවන මෙම ගුවන් පාලම් කෙටි කලක් තුළ ඉහල ප්‍රමිතියකින් යුතුව ඉදිකිරීමට හැකිවේ.

රාජගිරිය ගුවන්පාලම

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු පරිපාලන අගනුවරට පිවිසෙන රාජගිරිය නගරයේ ගුවන් පාලමේ ඉදිකිරීම් 2016 අප්‍රේල් 19 වන දින ආරම්භ විය. පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු රජයේ පරිපාලන ආයතන රැසක් පිහිටා ඇති බත්තරමුල නගරය, කොල්ලූපිටිය - ශ්‍රී ජයවර්ධනපුර, වැලිකඩ - නාවල, බොරැල්ල - රාජගිරිය යන ප්‍රදේශ රැසකට පිවිසීමට ඇති ප්‍රධානතම මාර්ගය මෙයයි. දිනපතා කාර්යාල වේලාවන් තුළදීත් ඉන් පසුවත් නිරන්තර රථවාහන තදබදයක් මෙම මාර්ගයේ දක්නට ඇත. මෙම තදබදයට පිළියමක් ලෙස රු.මිලි.4514.77 ක ආයෝජනයක් සිදුකර රාජගිරිය ගුවන් පාලම ඉදිකිරීම් ආරම්භ කෙරුණි. මංතීරු 4කින් සමන්විත මෙම ගුවන් පාලමේ සමස්ත දිග මීටර් 533.2කි. මීටර් 180ක පිවිසුම් මාර්ගයක් හා සමාන්තර පදික වේදිකා 02 ක්ද ඊට ඇතුළත් වේ. ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ ඇති රාජගිරිය ගුවන් පාලම තව නොබෝ දිනකින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබේ.

පොල්ගහවෙල ගුවන්පාලම

පොල්ගහවෙල නගරය ද අධික රථවාහන තදබදයක් පවතින නගරයකි. පොල්ගහවෙල දුම්රිය ස්ථානය හේතුවෙන්ද නිරන්තරයෙන් ඇතිවන මාර්ග තදබදය අවම කිරීම සඳහා 2015 අප්‍රේල් 19 වන දින පොල්ගහවෙල ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ විය. මංතීරු දෙකක් ඇතුළත්ව ඉදිවන ගුවන් පාලමේ සමස්ත දිග මීටර් 883කි. මීටර් 650ක පිවිසුම් මාර්ගයද ඊට ඇතුළත්වේ. එහි ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරේ පවතී. පොල්ගහවෙල - කුරුණෑගල (A 19) මාර්ගය භාවිතා කරමින් ගමන්කරන රථවාහන බාධාවකින් තොරව නිදහසේ ධාවනය කිරීමේ හැකියාව මෙම ගුවන් පාලම ඉදිවීමත් සමඟ ලැබෙනු ඇත. පොල්ගහවෙල ගුවන්පාලම වෙනුවෙන් රු.මි.2203.11ක ආයෝජනයක් රජය විසින් සිදුකරනු ලබයි.

ගණේමුල්ල ගුවන්පාලම

කඩවත, ගම්පහ, ජාඇළ කඳාන වැනි ජනාකීර්ණ නගර අතර පිහිටි ගණේමුල්ල නගරය හරහා දිනපතා විශාල රථවාහන ප්‍රමාණයක් ගමන් ගනී. එසේම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දුම්රිය ස්ථානයක් වන ගණේමුල්ල දුම්රිය ස්ථානය හා දුම්රිය මාර්ගය හේතුවෙන් නිරන්තරයෙන් ඇතිවන රථවාහන තදබදයට පිළියමක් ලෙස ගණේමුල්ල ගුවන් පාලම ඉදිකිරීම 2016.04.19 වන දින ආරම්භ විය. ගණේමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ ඉදිවන මෙම ගුවන් පාලමේ දිග ප්‍රමාණය මීටර් 504කි. මීටර් 300ක පිවිසුම් මාර්ගයක් ඊට ඇතුළත් වේ. මංතීරු දෙකක් සහිතව ඉදි කෙරෙන පාලම වෙනුවෙන් වැය කෙරෙන මුදල රු.මිලි.1768.21 කි. මේ වනවිට ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන්ව ඇති අතර මෙම ගුවන්පාලම ද ඉතා ඉක්මනින් ජනතා අයිතියට පැවරීමට නියමිතය. බියන්විල, - ගණේමුල්ල, කිරිඳිවිට - ගණේමුල්ල මාර්ග ඔස්සේ තදබදයකින් තොරව රථවාහන ධාවනය කිරීමේ අවස්ථාව ගණේමුල්ල ගුවන්පාලම ඉදිවීමත් සමඟ හිමි වනු ඇතැයි අපේක්ෂිතය.

චන්දිමා එදිරිමාන්න 

 

Comments