
නව වසරක නව පාසල් වාරයක එළඹුමට තව ඇත්තේ කෙටි කාලයකි. මේ වන විට පාසල් ජීවිතයට ආයුබෝවන් කීමට සැරසෙන තවත් දරුපිරිසකගේ පාසල් ජීවිතයේ අවසන් කඩයිම වූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලද නිකුත්ව ඇත්තේය. ඒ රටට කියන්නට රටට දැනෙන්නට තවත් සුපිරි හපනුන් පිරිසක් රටට දායාද කරමිනි. පාසල් කඩඉම තරණය කිරීම ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක් සටහන් කරන්නකි.
ජීව විද්‍යා, භෞතික විද්‍යා, වාණිජ, කලා, ඉංජිනේරු තාක්ෂණ විද්‍යා, ජෛව පද්ධති තාක්ෂණවේදය හා පොදු විෂය ධාරාව යන උසස් පෙළ විෂය ධාරාවන් හතක් යටතේ නිකුත් වූ මෙවර ප්‍රතිඵල විශේෂත්වයක් ගත්තේ එයින් බිහි වූ ප්‍රථමයන් සියල්ලන්ම රටක් කලඹන විවිධ හැකියාවන්ගෙන් සිය හපන්කම් පෙන්වූ නිසාය. ඔවුන් අතර මාතර සුජාතා බාලිකාව මෙවර සුවිශේෂ ජයග්‍රහණයක් පෙන්වූයේ ජීව විද්‍යා සහ වාණිජ්‍යය යන අංශද්වයයෙහිම දිවයිනේ ප්‍රථමයන් දෙදෙනා මේ පාසලින් බිහි වූ බැවිනි. ඔවුහු නම් ජීව විද්‍යා අංශයෙන් දිලිනි සඳුනිකා පලිහක්කාර හා වාණිජ්‍ය අංශයෙන් දුලානි රසන්තිකා ය. මෙවර කලා අංශයෙන් ඉහළම හපන්කම් පෙන්වූයේ හිමිනමක් වීමද මෙවර සුවිශේෂත්වයක් විය. ඒ රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පූජ්‍ය පත්බේරිය මුනින්දවංස හිමිය. මෙවර භෞතික විද්‍යා අංශයෙන් ඉහළම හපන්කම් පෙන්වා ඇත්තේද යුද්ධය පැවැති දුෂ්කර පළාතක ඉගෙනීමක නිරත වූ යාපනය හාඩ්ලි විදුහලේ ශ්‍රීධරන් දුවාරකන් ය. මාතර දිස්ත්‍රික්කයට වැඩි අගයක් ගෙන-දෙමින් මෙවර ඉංජිනේරු තාක්ෂණවේදයෙන් ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේද මාතර මහින්ද රාජපක්ෂ විදුහලේ පාරමි ප්‍රසාදිනී ය. ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ ලක්ෂිත චතුරංග මැදලගමත්, පොදු විෂය ධාරාවෙන් කොළඹ දේවි බාලිකාවේ හිරුණි ශාක්‍යාත් මේ හපනුන් අතරට එක් වූහ. මේ ඔවුන්ගේ කතාවයි.
ගණිත විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය යාපනය පේදුරුතුඩුව හාඩ්ලි විදුහලේ ශ්‍රීධරන් දුවාරකන්
සිය මවු-පියන් දෙදෙනාම ගුරු වෘත්තියේ නියැළුණත් ඔවුන්ගේ විෂය ක්ෂේත්‍ර ඔස්සේ නොව, තමන්ට ජයටැඹ කරා යා හැකියැයි විශ්වාස කළ ගණිත අංශයෙන් උසස්පෙළට මුහුණ දුන් යාපනය පේදුරුතුඩුව හාඩ්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් දුවාරකන් මෙවර ලංකාවේ ඉහළම ප්‍රතිඵල පෙන්වීමට සමත් විය.
“ඇත්තටම ගණිත අංශයෙන් ලංකාවෙන් පළමුවැනියා වීම ගැන මට තියෙන්නෙ පුදුම සතුටක්. මම මූලික අධයාපනය ලැබූවේ යාපනය පුට්රුලෛ මහ විදුහලෙන්. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වෙලා තමයි මේ පාසලට ආවේ. ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීම මගේ කුඩා කාලයේ පටන්ම තිබූ ආසාවක්. මගේ මවු-පිය දෙදෙනාම ගුරුවරු. පියා තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක්. මව වාණිජ අංශයේ ගුරුවරියක්. මේ ජයග්‍රහණය ලබන්න මට උදවු කළ මගේ දෙමවුපියන්ට වගේම ගුරුවරුන්ටත් අනෙකුත් සියලු දෙනාටත් බොහෝම ස්තුතියි. ඒ වගේම මගේ පාසලට මෙවන් ජයග්‍රහණයක් ලබාදීමට හැකි වීම ගැනත් මට තියෙන්නෙ සතුටක්. මං මේ ජයග්රහණයෙන් ලබන පන්නරයත් සමඟ ඉංජිනේරුවකු වී රටට සේවය කිරීමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ වගේම මම සියලු නංගිලා මල්ලිලාට කියනවා හොඳින් ඉගෙනගන්න. තමන්ගෙ අනාගතය තියෙන්නේ තමන්ගේ අතේ. අධ්‍යාපනයෙන් ඉහළට යෑම තමයි අපේ එකම ජයග්‍රහණය. මගේ අරමුණ වුණෙත් එයයි. මම ගොඩාක් ටියුෂන් පස්සේ ගියේ නැහැ; ගුරුවරුන් කියා දුන් දේ හොඳින් ග්‍රහණය කරගත්තා. හැමෝම මා දිරිමත් කළ නිසයි මගේ මේ ජයග්‍රහණය මට හිමි වුණේ.”
ජීව විද්‍යා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය මාතර සුජාතා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පලිහක්කාර
අනාගතයේ කෙදිනක හෝ වෛද්‍යවරියක වීමට සිහින මවන මාතර සුජාතා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පලිහක්කාර මෙවර ජීව විද්‍යා අංශයෙන් ලංකාවේ ප්‍රථමයා වූයේ තමා උගත් පාසලට අමරණීය සිහිවටනයක් ඉතිරි කරමිනි.
“ලංකාවෙන් පළවැනියා වීම ගැන අසීමිත සතුටක් විඳින ගමන්ම මේ ජයග්‍රහණය අත් කරගැනීමට උදවු කළ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මට මුල සිටම ඉලක්කයක් තිබුණා වෛද්‍ය පීඨයට යනවා කියලා. ඒ වෙනුවෙන් පිළිවෙළකට කාලසටහනක් අනුව කැප වීමෙන් එදිනෙදා පාඩම් කටයුතු කළා. මගේ අත්දැකීම් අනුව ඉදිරියේදී ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන නංගිලා මල්ලිලාට මට කියන්න තිබෙන පණිවිඩය තමයි පීඩනයක් නැතිව සැහැල්ලුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා යම් ඉලක්කයක් අනුව තම අධ්‍යයන කටයුතු හොඳින් කරන්න කියලා.”
වාණිජ්‍ය විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය මාතර සුජාතා විද්‍යාලයේ දුලානි රසන්තිකා
අධ්‍යාපනය පමණක් නොව විෂය බාහිර දේටත් යොමු වෙමින් මෙවර වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත් වූයේ මාතර සුජාතා විද්‍යාලයේ දුලානි රසන්තිකාය.
“වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත්තා. ඇත්තටම මට එය අදහාගන්නත් බැරි දෙයක් වුණා. අමතර පන්තිවලට සහභාගි වන ගමන්ම පාසලේ වැඩ කටයුතු ටිකත් මම පිළිවෙළකට කළා. ඒ වගේම මම සෑම වැඩ කොටසක්ම එදිනෙදා කාලසටහනකට අනුව සිදු කළා. ඒ ආකාරයට වැඩ කොටස් ටික කළ නිසා තමයි මම අද මේ ජයග්‍රහණය අත් කරගන්න හැකි වුණේ කියලා මම හිතන්නෙ. මම කොහෙත්ම හිතුවේ නැහැ ලංකාවේ ප්‍රථම ස්ථානය ලබාගන්න හැකි වෙයි කියා. පොඩි කාලේ ඉඳන්ම ආසාවක් තිබුණා ගණකාධිකාරිවරියක් වීමට. මං මේ අවස්ථාවේ මගේ අම්මට තාත්තට, විදුහල්පතිනිය ඇතුළු සෑම ගුරුවරයකුටම මගේ ස්තුතිය පුද කරනවා. අනාගතයේ උසස්පෙළ ලියන්න ඉන්න නංගිලා මල්ලිලාට මම කියන්නෙ කැපවීමෙන් වැඩ කළොත් මා අත් කරගත් ජයග්‍රහණය වැනි ජයක් ලබාගත හැකි බවයි.”
කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පත්බේරියේ මුනින්දවංස හිමි
උසස් පෙළ විශිෂ්ටයන් අතරට මෙවර හිමිනමක්ද එක් වීම උසස් පෙළ විභාග ප්‍රතිඵල ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සලකුණු කරන්නකි. ඒ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පත්බේරියේ මුනින්දවංස හිමිට හිමි වන විටදීය.
“උසස් පෙළ විෂයයන් ලෙස මා තෝරාගත්තේ සංස්කෘත, බුද්ධධර්මය සහ ඉතිහාසය යන විෂයයන් තුන. ලංකාවේ පළමුවැනියා වීම ගැන බොහෝම සතුටුයි. කුඩා කලේ මා ඉගෙනගත්තෙ රත්නපුර ගිනිහිරිය විහාරස්ථානයේ මූලික පිරිවෙනේ. උසස් පෙළ කිරීමටයි සද්ධර්මාලංකාර පිරිවෙනට පැමිණියේ. මම වැඩ වසන්නේ රත්නපුර ඇත්ඔය රඹුක්කන්ද විහාරස්ථානයේ. ඒ වගේම මම උසස් පෙළ ඉගෙනගන්නා ස්වාමීන් වහන්සේලාටත් ඉතිහාසය ඉගැන්වුවා. ආගමික සාසනික කටයුතුත් කරන අතරේ මා ඉගෙනීමේ වැඩ කවදාවත් අතපසු කළේ නැහැ.”
ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පාරමී ප්‍රසාදී රන්සිරිනි
කථිකාචාර්යවරියක වීමට සිහින මවන මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පාරමී ප්‍රසාදී රන්සිරිනි මෙවර ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානයට පත් වූවාය.
“මගේ අම්මයි තාත්තයි තමයි මගේ ජීවිතේ ලොකුම හයිය. මගේ පාසලේ විදුහල්පති මෑණියන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු සියලු දෙනාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. අපට අවශ්‍ය සැම පහසුකමක්ම පාසලෙන් සපයා දුන්නා. ඒ වගේම පාසලේ සිටින සැම ගුරුවරයකුම මට පුදුමාකාර සහයෝගයක් දුන්නා. අඩුම තරමේ ගුරුවරුන් කෑම කන-එකත් නතර කරලයි මට පාඩම් කියා දුන්නෙ. එතරම් ලොකු කැපකිරීමක් මගේ පාසලේ ගුරුවරුන් මා වෙනුවෙන් කළා. ඒ කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙසයි අද මම මේ තැනට ආවේ. මගේ ජයග්‍රහණයේ හේතුව විභාගය ආසන්න වන තෙක් පාඩම් කරන්න රැඳී නොසිට, එදිනෙදා පැවරෙන වැඩ එදිනෙදා කිරීමයි.”
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ ලක්ෂිත චතුරංග මැදලගම
ජාන ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධ ඉංජිනේරුවරයෙක් වීමට සිහින මවන රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ ලක්ෂිත චතුරංග මැදලගම ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ලංකාවේ පළමුවැනියා විය.
“ජෛව පද්ධති විෂය ධාරාවෙන් මා ලංකාවෙන්ම පළමුවැනියා වීම ගැන සතුටුයි. මම කවදාවත්ම හිතුවේ නැහැ ලංකාවෙන්ම පළමුතැනට එයි කියලා. එහෙත් අධිෂ්ඨානයේ පාසල් වැඩ කළේ ලොකු ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්. අන්තර්ජාලය හරහා ලංකාවෙන්ම පළමුවැනියා ලෙස සමත්ව ඇති බව දැනගත්තහම මම ගොඩාක් සතුටු වුණා. විභාගයට ගොඩාක් මහන්සි වෙලා වැඩ කළා. ඇත්තටම අපේ පාසලේ විදුහල්පතිතුමා ලොකු කැප කිරීමක් කරමින් අපට ඉගෙන ගැනීමට සුදුසු වටපිටාවක් හදලා දුන්නා. ඒ වගේම පාසලේ සියලු ගුරුවරුන්ට ස්තුතිවන්ත වෙනවා. මට මේ ජයග්‍රහණය ලබාගැනීමට උදවු කළාට. එසේම මට මේ හැම දෙයක්ම ලබාගැනීමට මාගේ පිටුපසින් සෙවණැල්ල මෙන් සිටියේ මගේ අම්මයි තාත්තයි. ඒ දෙන්නා මගේ ඕනෑ-එපාකම් සියල්ලම නිසි වෙලාවට සපයලා දුන්නා. එම නිසා මම නැවතත් මට මේ ජයග්‍රහණය ලබාගැනීමට උදවු කළ සියලු දෙනාට ගොඩක් පිං!”
පොදු / වෙනත් විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය කොළඹ දේවි බාලිකාවේ හිරුණි ශාක්‍යා අබේතුංග
මෙවර නිකුත් වු උසස් පෙළ ප්‍රතිඵලවලින් කොළඹ දේවි බාලිකාවේ හිරුණි ශාක්‍යා අබේතුංග ලංකාවෙන්ම ප්‍රථම ස්ථානයට පත් වූයේ පොදු / වෙනත් විෂය ධාරාවෙනි.
“මට මේ මොහොතේ තිබෙන සතුට කියා නිම කළ නොහැකියි. ඒ වගේම කියන්න ඕනෑ: දෙමවුපියන්ගේ සහයෝගයෙන් මෙන්ම පාසලෙන් ලැබුණු අවවාද සහ ගුරුවරුන්ගේ කැපවීමත් තමයි මගේ මේ ජයග්‍රහණයේ රහස. මං ඉදිරියේදී උසස්පෙළ විභාගයට මූණ දීමට ඉන්නා සහෝදර සහෝදරියන්ට කියන්නෙ කිසිම බයක් සැකක් නැතිව ඉතාම සැහැල්ලුවෙන් යුතුව විභාගයට යන්න.
එදිනෙදා දෙන වැඩ කටයුතු දිගින් දිගට නිසි පරිදි කරගෙන ගියොත් මෙවන් ප්‍රතිඵලයකට යා හැකියි. මා විෂය බාහිර දේත් කළා. පිහිනුම් අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ පවා අත් කරගෙන තියෙනවා. ඉදිරියේදී පරිගණක අංශයෙන් කටයුතු කිරීමේ කැමැත්තෙන් පසු වනවා.”
සේයාරූ - සිරිපාල හල්වල, ජයසිරි පේදුරුආරච්චි (ගන්දර සමූහ)
සුභාෂිණි ජයරත්න
අමිල මලවිසූරිය