හිරෙන් පැන්න ගල්ගමුවේ තනි දළයා | සිළුමිණ

හිරෙන් පැන්න ගල්ගමුවේ තනි දළයා

දළ පුට්ටුවාට අත් වූ ඉරණම දන්නා ගල්ගමුවේ ජනතාව දැන් බියපත්ව සිටිති. ඒ තනි දළයාට අනතුරක් වී ඇත්දෝයි බියෙනි. සැකයෙනි. ගල්ගමුව පැත්තේ පොඩි දරුවකු තනි දළයාට ඔහු හිතේ ඇති ආදරය පෙන්වා ඇත්තේ “පරිස්සමෙන් ගෙදර එන්න” කියා පුවරුවක ලිවීමෙනි.

අපේ රටේ මිනිස්සු නම් පුදුමාකාරය. විටෙක අන් දුකේදී උණූ වෙන හිත් ඇත්තෝ විටෙක ඒ අය කෙරෙහිම තරහා උපදවා ගනිති. “අපි නම් උඹලගේ මරණයකටවත් නැතැයි” කියන්නේ එවන් විටෙකය. තරහාකාරයකු මළ විට එසේ කියන අපේ උදවියට තමන්ගේ ගේ දොර කඩා බිඳ දමමින් බව භෝග විනාශ කරමින් හතුරුකම් කළ සතකුට කරදරයක් විපතක් වූ විට නම් අනේ අපොයි! කියැවෙන්නේ ඉබේටමය. මේ කතාව කියන්නට හේතු වූයේ අපේ රටේ ඇතැම් ප්‍රදේශවලට හැමදාමත් නොවිසඳුණු ප්‍රශ්නයක් වන මිනිස් වන අලි ගැටුම දිනෙන් දින අලුත් වන බැවිනි. එක්තරා ප්‍රදේශයක මිනිසුන් වන අලින්ගෙන් වන හානියට තර්ජනයට විසඳුම් ඉල්ලා පිකටින් කරද්දී වන අලින් ගැන කම්පා වෙමින් සුසුම් හෙළන ඇත්තෝද අප අතර වෙති.

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ අතුරුදන් වීම හා ඉන්පසු හෙළිවූ ඝාතනයෙන් අපේ රටේ සැවොම පාහේ දැඩි කම්පාවට පත් වූහ. ඉන්පසුද වරින් වර දළ සහිත වන ඇතුන් ඝාතන සිදු වෙද්දී කාගේත් අවධානය ඒ වෙත යොමු විය. සියඹලන්ගමුවේ දළ ඇතාගේ කතාව අතීත අලි ඇතුන්ගේ කතා ගොන්නට එක් වී අවසානය.

දැන් මේ දිනවල කවුරු කවුරුත් කතා වන්නේ ගල්ගමුවේ තනි දළයා ගැනය. වන අලින්ට නම් ඇත්තේය. ඇතැම් නම් පට බැද ඇත්තේ ඒ ඒ ප්‍රදේශවල ඇත්තෝය. ඇතැම් නම් දමා ඇත්තේ වනජීවි නිලධාරීන්ය. මේ නම් පට බැඳෙන්නේ අලි ඇත්තුන්ගේ රූප ශෝභාවය අනුවය. ගති ලක්ෂණ අනුවය. කෙහොම වුවත් ගල්ගමුවේ තනි දළයාට ඒ නම ලැබී ඇත්තේ ඌට එක් දළයක් පමණක් ඇති බැවිනි. ගල්ගමුවේ තනි දළයාට නම් කිහිපයක්ම ඇත්තේය. ඉන් එක් නමක් වන්නේ ඒක දන්ත යන නමය. ඇතැම් ගම්මු මූ චණ්ඩියා කියාද හඳුන්වති. සැබවින්ම ගල්ගමුවේ තනි දළයා චණ්ඩියෙකි. විටෙක ඌ චණ්ඩිකම් පාන්නේ අහිංසක ගැමියන්ටය. තවත් විටෙක චණ්ඩිකම් පෙන්වන්නේ තම රැහේ උන්ටමය. එහෙත් තනි දළයාට දැන් මේ චණ්ඩිකම්වලට නිසි දඬුවම් ලැබී ඇත්තේය. එය දිගුකාලීන නොව ජීවිතාන්තය දක්වා වූ සිර දඩුවමකි. එනමුදු සිර දඩුවම් විදීම ප්‍රතික්ෂේප කළ චණ්ඩියා ඉකුත්දා සිරගෙදරින් පැන්නේය. සිරෙන් පැන්නාට තවමත් චණ්ඩියාට තමන්ට අවශ්‍ය ලෙස සිය සුපුරුදු වාස භූමියට යෑමට ඉඩක් ලැබී නැත.

දැන් පොලිස් විශේෂ කාර්ය බළකායේ සියයකට ආසන්න බට පිරිසක් තනි දළයා හෙවත් චණ්ඩියා සොයා මෙහෙයුමක් අරඹා ඇත්තේය.

තනි දළයා හෙවත් චණ්ඩියා රඳවා සිටි සිරගෙය කුමක්ද? ඌ පැන ගියේ කොහේද? මෙවන් ප්‍රශ්න දැන් ඔබේ සිතට නැඟෙනු ඇත. වයස අවුරුදු හතළිහක් හතළිස් පහක් පමණ වන තනි දළයා ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වූ අතර ගම්මුන්ට ඌ දැඩි හිසරදයක් වී තිබිණි. කිසිවිටෙකත් මිනිස් ජීවිතවලට තර්ජනයක් නොකළ මිනිසුන් මරා නොදැමූ තනි දළයා හානි කළේ වගාවටය. වී සොයා ගෙවල් බිඳින ‍ඌ වී බිව්වේය. නිවෙසක වී ගබඩා කර ඇති විට මිනිසුන් සිටින කාමරය හා වී ගබඩා කර ඇති කාමරය වෙන්කර හඳුනා ගැනීමට තරම් තනි දළයාට හොඳ ඉවක් ඇත්තේය. මේ නිසාම ඇතැම් රාත්‍රීකාලවල මෙන්ම දහවල් කාලයේ ද ගෙවල් බිඳ වී බීමට තනියා හුරු වී සිටියේය..විටෙක නිවෙස්වල බිත්ති කඩා උළුවස්ස ගලවා පැත්තකින් හේත්තු කර තබා වී බිව්වේය. තනි දළයාගෙන් ගම්මුන්ට වූයේ එවැනි හානිය..එසේ නමුදු කිසිම විටෙක ඌ මිනිසුන් මරා දමා නැත.

“තනි දළයා අපිට වදයක් වෙලා හිටියේ. වගාවක් පරිස්සම් කරගන්න බැහැ වනසනවා. වී ටික ගෙට ගන්න බැහැ ඒක බීලා යනවා. අපොයි අපි මූ හින්දා විඳපු දුකක්.‍‍ ගමේ ගෙවල් දහයකට වැඩිය කඩලා ඇති.” තනි දළයාගේ හයිකාරකම් ගැන ගම්මු පවසන්නේ එවැනි අඳෝනාය.

තනි දළයා තම රැහේ උන්ට ද හයිකාරකම් පෙන් වූ වාර අනන්තය. තනි දළයා ඇතැම් දිනවල දවස පුරාම එහෙමත් නැත්නම් රාත්‍රිය පහන් වනතුරුම වැව් පිටිවල අලි ඇතුන් සමඟ සටන් වැදුණේ ය . තනි දළයා ලෙහෙසියෙන් පරාජය බාර ගන්නෙකු නොවේ. විටෙක ඌ සටන් වදින්නේ තම හිත ගිය ඇතින්නක දිනා ගැනීම වෙනුවෙන්ය. මෙසේ සටන් වැදීමෙන් තනි දළයා අතින් රැහේ එකකු දෙන්නෙකු මිය ගිය අවස්ථා ද නැතිවාම නොවේ. කොහොම වුවත් ගල්ගමුව ප්‍රදේශවාසීන්ට හිසරදයක් වී සිටි තනි දළයා මුලින්ම 2009 වසරේ පෙබරවාරි මාසයේදී සෝමාවති රක්ෂිතයට පලවාහරින ලදී.

සෝමාවතී රක්ෂිතය යනු මහවැලි නිම්නයට අයත් අලි ඇත්තුන්ට ඉතා හිතකර ප්‍රදේශයකි. වැසි කාලයට මේ රක්ෂිතයේ වගුරු බිම්වල අලි ඇතුන් කෑමට ඉතා ප්‍රිය කරන තෘණ වර්ග යහමින් වැවෙන්නේය. නමුදු සෝමාවති රක්ෂිතයට පලවා හැර දින විසි අටකට පසුව හිතුවක්කාර තනි දළයා කිලෝමිටර 243ක දුරු කතර ගෙවා ප්‍රධාන පාරට වැටි ඉන්පසු තම සුපුරුදු වාස භුමිය කරාම පැමිණ ඇත්තේය. තනි දළයාගෙන් නිදහස් වුවා යැයි හිත හදාගත් ගම්මුන්ට තුන්මුණින් දාඩිය දාන්නට වූ‍යේ ඒ ආරංචියත් සමඟය.

වන ජීවි නිලධාරීහූ යළි ක්‍රියාත්මක වී තනි දළයා අල්ලා ගත්හ. එවර ඌ පිටමං කළේ හොරොව්පතාන වන අලි බන්ධනාගාරයටය. ඒ 2015 වසරේදීය. මේ හොරොව්පතාන රක්ෂිතය අලින්ට අලි බන්ධනාගාරයක් යැයි කිව්වාට වරදක් ද නැත. එහි කන්නට බොන්නට තිබුණ ද එයින් එළියට යෑම අපහසුය. අලි වැටෙන් හතරවට ආරක්ෂා කර ඇති බැවිනි. මේ වන විට නම් දැරූ දරුණු ගනයේ වන අලි 33ක් පමණ හොරොව්පතානේ සිටියහ. හම්බෙගමුවේ නියපොත්තා ද ඉන් එකෙකි.

හොරොව්පතාන රක්ෂිතයට වර්ග අක්කර කිලෝමීටර 10 හෙවත් අක්කර 2471 ක භූමි ප්‍රදේශයක් අයත් වේ. මෙම ප්‍රදේශය අලින් සඳහා යෝග්‍ය ද යන්න නම් යළි යළිත් සිතා බැලිය යුත්තකි. සාමාන්‍යයෙන් නම් අලියෙකු දිනකට කිලෝමීටර පනහේ සිට කිලෝමීටර එකසිය පනහක පමණ දුර ඇවිදින්නේය. සාමාන්‍යයෙන් නම් වැඩි දුරක් ඇවිදින්නේ තරුණ අලි සහ මද කිපුණු අලිය.

තනි දළයා කෙසේ හෝ යළිත් අලි බන්ධනාගාරයෙන් එළියට පැන්නේය. එවර ද ඌ පැමිණියේ තමාට හුරු පුරුදු ප්‍රදේශයටමය. කිහිප විටක්ම හිරෙන් පැන්න තනි දළයා දැන් අයි ආර් සීකාරයකු බඳුය. අලින්ගෙන් මිනිසුන් ආරක්ෂා කරනවා ද නැතිනම් මිනිසුන්ගෙන් අලින් ආරක්ෂා කරනවාද යන කතාබහ සිදුවෙමින් තිබියදී වන ජීවී නිලධාරිහු දෙසැම්බර් 13 වැනිදා යළිත් තනි දළයා අල්ලා ගැනීමේ ‍මෙහෙයුමක් දියත් කළහ. දින ගණනාවක් රැක සිටි වනජීවි නිලධාරීන්ට තනි දළයා අල්ලා ගැනීමට ලැබුණේ ඉකුත් 16 වැනිදාය. එවරද ඌ රැගෙන ගියේ හොරොව්පතානටමය. ඒ ලොරියක පටවාගෙනය.

ගල්ගමුවේ ගැමියන් නම් පුදුමාකරය. තමන්ගේ වගවන්ට හානි කළ ගෙයි තිබු වී ටික විනාශ කළ චණ්ඩියා, හිතුවක්කාර තනි දළයා අල්ලා ගත් මොහොතේ මහ වැස්ස ද නොතකා දරුවන් ඇකයේ හොවාගෙන ගම්මු තනිදළයා බැලීමට ඌ සිටින ඉසව්වට දිවගියහ.

ගල්ගමුවේ ඇත්තන් පමණක් නොව අපේ රටේ මිනිසුන් ද පුදුමාකරය. මීට කලකට පෙර මෝනිංසයිඩ් ප්‍රදේශයට මහත් හිරිහැරයක් වූ අලියා වන ජීවි නිලධාරින් විසින් අල්ලා ගනු ලැබ රැගෙන යද්දී “අපේ අලියා අපට ඕනෑ... අලියා ගෙනි යන්න දෙන්න බැහැ” කියමින් ගම්මු මහ මඟ නිදා ගත්හ. එමෙන්ම රැයේ ගමට වදින අලියා වගා ළිඳකට වැටුණු විට සියළලු වැඩ නවතා අදාල තැන්වලට කතා කර හෝ නොකර තම තමන්ට පුළුපුළුවන් ලෙස අලියා ගොඩගන්නට දඟලන්නාහ. ඒ කතා පසෙක තිබිය දී ගල්ගමුවේ තනි දළයා එම ප්‍රදේශයෙන් පිටමං කරන්නට සුදානම් වන මොහොතේ ගම්මුන්ගේ ඇසේ කඳුළක් මතුවිය. කොතරම් අලාභ හානි කළ ද තම හිතෛශිවන්තයකු දුරස්වන්නාක් වැනි හැඟිමක් ඔවුන්ට ඇති විය. ඔවූහු තනි දළයාට හොරොව්පතානට යන්නට සමුදුන්නේ බඩ ඉරිඟු ආදියෙන් සංග්‍රහ කරය.

තනිදළයා හොරොව්පතානට ගියේ ඉකුත් 17 වැනිදාය. නම් දරාපු මැර අලින් ගණනාවක් වගක් නැතිව හොරොව්පතානේ සිටියද තනි දළයා නම් එහි සිටින්නට බලවත් අකැමැත්තක් පෙන්නුවේය. තනි දළයා යළිත් අලි වැට ද කඩාගෙන හොරොව්පතානෙන් එළියට අාවේය. එතැන් සිට මේ ලියන මොහොත දක්වාම ඌ ආගිය අතක් නොමැත. දැන් තනි දළයා කො‍හේද? කාටත් කුතුහලය වන්නේ එයයි. ගල්ගමුවේ දළ පුට්ටුවාට අත් වූ ඉරණම දන්නා ගල්ගමුවේ ජනතාව දැන් බියපත්ව සිටිති. ඒ තනි දළයාට අනතුරක් වී ඇත්දෝයි බියෙනි. සැකයෙනි. ගල්ගමුව පැත්තේ පොඩි දරුවකු තනි දළයාට ඔහු හිතේ ඇති ආදරය පෙන්වා ඇත්තේ “පරිස්සමෙන් ගෙදර එන්න” කියා පුවරුවක ලිවීමෙනි. කොහොම වුවත් දින ගණනාවක් තිස්සේ වනජීවි නිලධාරිහු තනි දළයා පිළිබඳ ඇස ගසාගෙන සිටිති.

මේ පිළිබඳ අදහස් දක්වන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සේවා අ‍ධ්‍යක්ෂ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් පවසන්නේ මෙවැන්නකි.

“අලි සාමාන්‍යයෙන් තමන්ට හුරුපුරුදු ප්‍රදේශවල ජීවත් වෙන්න කැමැතියි. තනි දළයත් එහෙමයි. හෙරොව්පතානට ගෙනාවම ඌ අලි වැට කඩාගෙන එළිය‍ට පැන්නේ ඒ නිසයි. ඌ‍ට අපි කොලර් එක දාලා තියෙන්නේ. ඌ මේ අවට කිලෝමීටර පහක් හයක් ඇතුළත ප්‍රදේශයේ ගැවසෙනවා. ඒ වගේම තනි දළයා නීරෝගියි. අපිට අවශ්‍ය ඌ යළිත් රක්ෂිතයටම යවන්නයි. ”

මේ අලි චණ්ඩියා මෙල්ල කිරීමට දැන් සියයකට අධික විශේෂ පොලිස් කාර්ය බළකායක් ද යොදවා ඇත්තේය. අලි මෙහෙයුමකට විශේෂ පොලිස් කාර්ය බළකාය යෙදවූ පළමු අවස්ථාව මෙයය. අපි මේ අලි මෙහෙයුම ගැන පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් මහතාගෙන් විමසුවෙමු.

“අපි මේ මෙහෙයුම කරන්නේ දඩයක්කාරයන්ගෙන් වන අලි ආරක්ෂා කිරිමටයි. අලින්ගේ ආරක්ෂාවට පමණක් නොවෙයි සතුන්ගේ ආරක්ෂාවටත් භට පිරිස් යොදවා තිබෙන්නේ. හොරොව්පතාන රක්ෂිතයේ වගේම විල්පත්තුව, යාල, ආනමඩුව, උඩවලව ආදී රක්ෂිතවල අපේ භට පිරිස් යොදවා ඉන්නවා. දඩයක්කාරයන් අත් අඩංගුවට ගැනීම තමයි එකම අරමුණ..”

සියල්ල හිතකර අයුරින් ඉටු වන්නේ නම් මින් පසු වන අලි ඇතුන්ට බිය වීමට කාරණයක් නැත.

කොහොම වුණත් දැන් ගල්ගමුවේ ජනතාව මෙන්ම රටේම ජනතාව බලා සිටින්නේ ගල්ගමුවේ තනි දළයාට ඉන් පසු සිදුවන්නේ කුමක්ද කියාය. දළ පූට්ටුවාට සිදු වූ දෙයම තනි දළයාට නොවේවා යන්න කාගේත් ප්‍රාර්ථනයයි...පරිස්සමින් ගෙදර එන්න.. ඒ ගල්ගමුවේ ගැමියන් ගේ තනි දළයා වෙනුවෙන් හද නැගි ප්‍රාර්ථනයයි.

ඡායාරූප - චන්ද්‍රරත්න ඉලංගකෝන්

Comments