
කුරුණෑගල රිදී විහාරයට ආසන්න නිවාඩු නිකේතනයට ඔහු යන විට ඇය ඔහු බලාපොරොත්තුවෙන් මඟ බලා සිටියාය.
“හොර ගෙඩියා. මට දුක් දීලා මගෙන් පැනලා යන්න ම හදනවා.”
“මට කිව්වා නම් මීට වැඩිය හොඳ තැනක් මං හොයලා දෙනවනෙ.”
“ස්තූතියි නරේන්. මට මෙතන හොඳයි. අපිට ලැබෙන ප්‍රතිපාදනවලට ගැළපෙන විදිහෙ තැනක් එපායැ.”
“තනියමද ආවෙ?”
“නැහැ. පැකල්ටියෙ තව දෙන්නෙක් ආවා. ළමයි ආවා. ඒ දෙන්නා යාළු ගෙදරක නැවතිලා... ළමයි මේ පැත්තෙ තුන් දෙනෙක්.”
“ඔයාට ඕන තනියම ජීවත් වෙන්නනෙ.”
ඔහු කීවේ නෝක්කාඩුවක හඬිනි.
“මං ඔයාගෙ කරේ එල්ලෙන්න එන ආතක් පාතක් නැති ගෑනියෙක් කියන කතාව සමාජ ගත කරපු එක තමා ඔයා මට කරපු මහා ගෞරවය. ඔයාගෙ මිතුරියන්ට ඒ ගෞරවය රස කෑමක් වුණා.”
ඇගේ චෝදනාවේ දැඩි අචල බව වෙනස් කළ නොහැකි සත්‍යයක් නිසා උපන්නකැයි පිළි නොගෙන සිටීමට නරේන්ද්‍ර අසමත් විය. සත්‍යය පිළිගෙන ඒ කැකෑරෙන වේදනාව සුවපත් කිරීමේ චේතනාවට ඔහු ඉඩ දුන්නේය.
“ඔයා මගේ ෆෝන්වලට හොරෙන් ඇහුම්කන් දුන්නද?”
“නෑ. ප්‍රියදෝණි. මම ඒ තරම් බාල තත්වයකට ඇදලා දාන්න එපා.”
“සමාවෙන්න.”
“මට ඔයාට කියන්න හුඟක් දේවල් තියෙනවා.”
“කියන්න නරේන්. මං අහගෙන ඉන්නෙ...”
ඇය කතා කරන්නට සැරසෙනු ඔහුට පෙනිණි.
“නරේන් ඔයා හැමදාමත් මාව සිහින ලෝකෙකට ඇද ගෙන යනවා. නැගිටලා බලන කොට සේරම අතුරුදහන් වෙලා මට දුක විතරක් ඉතුරු වෙනවා. ඔයාගේ කේන්තියත් ඔයාට ඉතුරු වෙනවා. මට ඒක දරාගන්න බැහැ.
“ඔයා ඉතිහාසෙ ඉගෙන ගෙන තියෙන්නෙ බාගෙට. සම්පූර්ණයෙන් ඉගෙනගත්තා නම් අපේ යාළුකම මේ තරම් අවාසනාවන්ත විදිහට අපට රිද්දන්නෙ නැහැ.”
ඔහු කීවේ කිසියම් ශෝකී ස්වරයකිනි.
“නරේන් මං පිළිගන්නවා ඔයා මං වෙනුවෙන් විශාල ලෝකයක් ගොඩනගන්න හදනවා. ඒත් ඒ ලෝකෙට ආයුෂ නැහැ. මේ කිව්වා. හිත සතුටු කළා. ඊළඟ මොහොතේ ඉදිකටු තුඩකින් බැලුම් බෝලයක් පුපුරවල අරින්න වගේ ඒ සේරම පුපුරවලා අරිනවා. කාටද මං මේ දුක කියන්නෙ? හොඳම දේ මං තනිවෙන එක.”
නරේන්ද්‍ර නැගිට යළිත් ඇය වෙත ගියේය.
“නෑ එහෙම තනි වෙන්න බැහැ ඔයාට. මාව අල්ලගත්තා. මාව අතාරින්න එපා. අතෑරියොත් දුක ඔයාට. ක්‍රෝධය මට. මාව නෙමේ මගෙ අතීතය අමතක කරන්න. ජීවිතය කියන්නෙ නිවැරැදි වෙමින් ඉදිරියට යන ගමනක්.”
* * * *
මනෝහාරි සිය කුටියට වැදුණේ රෝජා සඳපාණි මිතුරියට දුරකථන ඇමතුමක් දීමේ ඕනෑකමිනි. ඇයට පෙර මිතුරිය ඇය ඇමතුවාය.
“මං ඔයාට කතා කරන්න ෆෝන් එක අතට ගත්තා විතරයි”
මනෝහාරි කීවේ සතුටෙනි.
“මනෝ අක්කා ඉන්ද්‍රජිත් අයියා බදාදා උදේ ඇවිත් බ්‍රහස්පතින්දා හවස ආපහු ගියාට දිග නිවාඩුවකට ආපහු එන අදහසේ ඉන්නෙ. හිතන්න දෙයක් නෑ.”
“මනෝ අක්කා ඔයා දැන් ඉන්නෙ සතුටෙන්. ඒ සතුට නැති කර ගන්න එපා. ඉන්ද්‍රජිත් අයියා ඇවිත් ගියාම අපි භවානියි රඝුපතියි එක්ක ස්විස් රටට යනවා. ඒ දෙන්න ම උගත් බුද්ධිමත් තරුණ අය. ස්විස්වලදි අපිට රුක්නාද් එකතු වෙනවා. අම්මට කියන්න කිසිදේකට බය වෙන්න එපා කියලා. ඒත් මට දැන් පොඩි බයක් දැනෙනවා.”
මිතුරිය තුළ ඇති පොඩි බය කුමක් නිසාද? මනෝහාරි සිතුවාය.
“මනෝ අක්කා ඔයා කලබල වුණා නේද? කලබල වෙන්න එපා. මට බය බදාදා ලංකාවට එන ඔයාගෙ පුංචි යාළුවා බ්‍රහස්පතින්දා ඔයාවත් අරන් ම ආපහු යයිද කියලා. බණින්න එපා මට. එහෙම වෙනවට මං කැමතියි.”
රෝජා කීවේ කඩින්කඩ මදින් මද සිනා පාමිනි.
“දෙයියෝ සාක්කි රෝජා, ඔයා ඉන්ද්‍රජිත්ට මඟුල් කපුකමක් කරන්න හදනවා නේද? පව් අහිංසකයා. එයා එන්නෙ අපිව බලන්න නෙමේ. එයාගෙ මාතෘභූමිය බලන්න.”
ඒ සඳුදා දිනයේ උදෑසන නරේන්ද්‍ර ගුවන් තොටුපොළට ගියේ රුක්නාද් මන්ත්‍රිවරයා සමඟය. පෙරදින රාත්‍රිය රුක්නාද් ගත කළේ නරේන්ද්‍ර මැඳුරේය.
යාමට නියමිත ගුවන් යානය හෝරාවක ප්‍රමාදයකට අසුව ඇතැයි ඇසූ සැණින් නරේන්ද්‍ර රුක්නාද් සහ අනෙක් තරුණ මන්ත්‍රිවරුන් තිදෙනා සමඟ විශේෂ අමුත්තන් රැඳී සිටින ශාලාවට ගියේ එතෙරදී කළ යුතු කතා බහ දේශන පිළිබඳව සංවාදයක් ඇති කොට සම්මුතියකට එළඹීමේ චේතනාවෙනි.
නියමිත ගුවන් යානය යාත්‍රාංගණයට පැමිණ ඇතැයි නිවේදනය විය. නරේන්ද්‍ර සහ තරුණ මන්ත්‍රිවරු සිවුදෙනා එකවරම නැගී සිටියාය.
එදින ගුවන් යානයට යන අතර ඔහු අවසාන දුරකථන ඇමතුම දුන්නේ ප්‍රියදෝණි මහමායාටය. දුරකථනය ගොළුව තිබිණි. මෙදින ඔහු රෝජා සඳපාණි ඇමතුවේය. දුරකථනය ගොළුව තිබිණි. වැඩිහිටි ගැහැනිය රකුසියක් වූවාය. බාල තරුණිය රකුසු දියණියක්ව සිටින්නීය. ඔහු සිතුවේ සියුම් ශෝකයක් සමඟ උපන් කෝපයක් සිත ඇතිවය.
මනෝහාරී උදෑසන නින්දෙන් අවදිව සිටියදී දෙපා යහනින් බිමට නොතැබුවාය. තමා හැර අවට ලොව අවදිව දවසේ මෙහෙය ආරම්භ කර ඇති බවට විවිධ සංඥා ඇය වෙතට ළඟා වෙමින් තිබිණි.
මේ දවස මනරම්ය. කිසියම් සොඳුරු සිනමා සිත්තමක් දෙනෙත් අභියස නොව සිත අභියස රූප මවමිනි.
කවර මෙහොතක හෝ රාජඍෂි ඔහුගේත් චන්දිරම්ගේත් පැමිණීම තමාට දන්වනු ඇත. ඔවුන් දෙදෙනා සුපිරි හෝටල් නිකේතනයට කැඳවා ගෙන ඒමට ගුවන් තොටුපළට ගියේ රාජඍෂි සහ නේෂන් වෛද්‍යවරයාය.
පළමුව තීරණය කර තිබුණේ ඔවුන් දෙදෙනා නාගරික පරිසරයෙන් ඈත නිදහස් නිකේතනයක නවාතැන් ගැන්වීමටය. බුධ දා උදෑසන පැමිණ ගුරු දා සවස ආපහු යන ගමනට ගුවන් තොටුපළ සමීපයේ හෝටලයක් ප්‍රමාණවත් බව නේෂන් වෛද්‍යවරයාගේ තීරණය විය.
කිසිවෙක් සෙමින් දොරට තට්ටු කරන හඬක් මනෝහාරිට ඇසිණි.
“දොර ඇරලා තියෙන්නෙ. එන්න.”
ඇය මඳක් හඬ නගා කීවාය. දොර අරිමින් යහන දෙස බැලූ රවිහාරි දුටුවේ සොහොයුරිය තවමත් යහනට වී සිටින සැටිය.
“අයියෝ අක්කා, ඔයා තාම නිදි. මං ලෑස්තිවෙලත් ඉවරයි.”
එවිටම රවිහාරි අත වූ දුරකථනය ඇමතුමක හඬ දෙන්නට විය.
“මං කිව්වනෙ. රාජඍෂි කතා කරන්නෙ. ආ මෙන්න ඔයාම උත්තර දෙන්න.”
රවිහාරි දුරකථනය සොහොයුරිය වෙතට දිගු කරමින් කීවද ඇය අත පෑවේ නැත.
“මං මොකටද ඔයාගෙ කෝල්ස්වලට උත්තර දෙන්නෙ?”
ඇය ඇසුවේ යහනින් ඉවත්ව නැඟණිය දෙස හුරතල් තරවටු බැල්මක් හෙළමිනි. සොහොයුරිය ඇගේ සිත නොසංසුන් වී ඇතැයි පළ කිරීමට ගන්නා උත්සාහය හඳුනා ගත් රවිහාරි සිත උපන්නේ කරුණාවකි.
“මල්ලි අපි එන්න ලෑස්තිවෙලා ඉන්නෙ.” ඇය රාජඍෂිට පිළිතුරු දුන්නාය.
“කලබල නැතුව එන්න. අපි දැන් හෝටලේ ඉන්නෙ. මතකනෙ? අක්කලා රෝජවත් අරන් එන්න.”
“හොඳයි මල්ලී”
මනෝහාරි වහ වහා ජලදෝවන අවසන් කළාය. අනතුරුව පෙරදින රැයේ තෝරා පසකින් තැබූ ඇඳුම් ඇඟලා ගත්තාය.
ඉන්ද්‍රජිත් මේ සා දුරකතරක් ගෙවා මෙතරම් ඉක්මනින් සොහොයුරිය ප්රමුඛ කුඩා යෙහෙළියන් හමුවට එන්නේ අතීත මතකයන්ගේ සොඳුරු සතුටින් සිත පුරවාගෙන නොවන්නේද? ඔහු නිතර නිතර සොහොයුරිය හා දුරකථන සංවාදයේ යෙදෙන බව රවිහාරි දනී. සාමාන්‍ය මිත්‍රත්වය ඉක්ම වූ ඇසුරක් දෙදෙනාගේ ම ප්‍රාර්ථනාව විය හැක.
ඔවුන් එනතුරු රෝජා සඳපාණි නැවතී බලා සිටියේ නිවාස සංකීර්ණයට පිවිසෙන විශාල ද්වාරය අසලය.
මනෝහාරිගේ රථය හඳුනාගත් රෝජාසඳපාණි වහ වහා මාවත ඉදිරියට ආවාය.
“මට හිතුණා කැබ් එකක් අරන් මනෝ අක්කලගෙ ගෙදරට එන්නත්.”
“කලබලේ. කලබලේ.”
රවිහාරි මිතුරියට ද සරදම් කළාය.
“මගෙ හිතට නම් කලබල තමා. චිත්‍රපටියක වගේ එක එක අපූරු සිදුවීම් පෙළ ගැහෙනවා. නේද මනෝ අක්කා?”
ගුවන් තොටුපළේ සිට හෝටලයට පැමිණි පසු රාජඍෂි තුන්වරක් තමාට කතා කළ බව සොහොයුරියන්ට කියම්ද නොකියම්දැයි දෝලනය වන දෙගිඩි සිතකින් රෝජා සඳපාණි වරින් වර මනෝහාරිගේ මුහුණ බලන්නට වූවාය.
“රෝජාට මොකක්ද කියන්න තියෙනවා වගේ. ඒත් කියන්න බය වෙලා.”
මිතුරියගේ මුහුණේ සසල කරදරකාරී පෙනුම හඳුනා ගත් මනෝහාරි සිනාසෙමින් වුවද කල්පනාකාරී ලෙස ඇසුවාය.
“කියන්න බය දෙයක් නෙමේ. මං මේ කල්පනා කළේ ඉන්ද්‍රජිත් අයියත් පුදුම මනුෂ්‍යයෙක්. නෑ. පුදුම මනුෂ්‍යයෙක් නෙමේ. මනුෂ්‍යකම් හොඳට හඳුනා ගත්ත යහපත් මනුෂ්‍යයෙක්. ඔයාලගෙ පුංචිකාලෙ එයාට හොඳට මතකයි.”
නිසැකවම ඇය සිතන්නේ තමා සහ ඉන්ද්‍රජිත් පිළිබඳව යැයි සිතූ මනෝහාරි රෝජා සඳපාණිගේ අත් දණ්ඩ කොනිත්තුවේ වරදකට දඬුවම් ලෙසටය.
* * * *
ඉන්ද්‍රජිත් අඩහෝරාවකට ආසන්න කාලයක් නේෂන් වෛද්‍යවරයා සහ රාජඍෂි සමඟ පිළිසඳරේ යෙදුණේය. ඔහු ශාන්ත ගතිපැවතුම් ඇති ප්‍රසන්න කතා බහ ඇති බුද්ධිමත් තරුණයෙකැයි සතුටක් රාජඍෂි සිත මෙන් ම නේෂන් වෛද්‍යවරයා සිතද උපන්නේ යහපත් මිත්‍රයෙකුගේ මුණගැසීම ජීවිතය අර්ථවත් කරන්නෙකැයි හැඟීමද ඇතිවය.
චන්දිරම් සොහොයුරාට සවන් දෙමින් සිටියා මිස ඔවුන්ගේ කතාවන්ට සම්බන්ධ නොවූවාය. ද්‍රවිඩ ජාතික තරුණ කාන්තාවක වුවද ඇගේ පෙනුම බටහිර අනුකරණය කරන්නක් විය.
“මං ආසයි මගේ පුංචි කෙල්ල එක්ක තනියම කතා කරන්න.”
ඉන්ද්‍රජිත් එකවරම කීවේ නේෂන් වෛද්‍යවරයා සහ රාජඍෂි මවිත කරවමිනි. චන්දිරම් තිගැස්සුණේය.
“නංගී චන්දිරම් ඔයා කතා කර කර ඉන්න. මනෝහාරිලා එනකන්. මට කාමරයට යන්න ඕන. මනෝ එහාට එක්ක එන්න.”
“දැන් එයා පුංචි කෙල්ලක් නෙමේ ඉන්ද්‍රජිත්. ඔයා වගේ ම උස් මහත් වුණ ලස්සන තරුණ ගෑනු ළමයෙක්.”
නේෂන් වෛද්‍යවරයා කියන විට චන්දිරම්ගේ නෙතු පිය වහ වහා ගැටෙන්නට විය. කළු උපැස් යුවළ විසින් ඉන්ද්‍රජිත්ගේ දෙනෙත් වසා තිබුණ නිසා ඔහු නේෂන් වෛද්‍යවරයාට දක්වන ප්‍රතිචාරය වටහා ගැනීමට රාජඍෂිට නොහැකි විය.
“මං වගේ ම ලස්සනයි. මට ලස්සනයි කිව්වට ඩොක්ටර්ට ස්තුතියි. ඒත් පිරිමි ළමයින්ට ලස්සනයි කියන්නෙ නැහැ නේද? කඩවසම් කියලා නේද පිරිමි ළමයින්ට කියන්නෙ?”
“අරගොල්ලො එනකන් මං කාමරේට යන්නද?” ඉන්ද්‍රජිත් නැවතත් ඇසුවේ රාජඍෂිගෙනි.
“යමු. යමු. මං බෑග් එක ගන්නම්.”
රාජඍෂි ඉන්ද්‍රජිත්ට උපකාර කිරීමට ඉදිරිපත් වුණත් චන්දිරම් ඔහුට බාධා කළාය.
“එපා මල්ලී. මමත් උඩට යනවනෙ. ආ ඔය එන දෙන්නට කියමු අපට උදව් කරන්න.”
හෝටල් සේවකයෝ දෙදෙනෙක් ඔවුන්ට උපකාර පිණිස ආහ.
තම ගමන් මලු තමාට නියමිත කාමරයේ තබා දොර වැසූ චන්දිරම් සොහොයුරාගේ කාමරයට වහා පැමිණියාය.
“අයියට ඇඳුම් මාරු කර ගන්න ඕනද?” ඇය අසුවේ දුක්බර හඬකිනි.
“එපා චන්දිරම්. ඔයා පහළට යන්න. මනෝ ආවම මෙහාට එක්ක ගෙන එන්න.”
“රෝජා...”
“මං දන්නවා. එයා උඩට එන්නෙ නැහැ. ඔයා ඒ ගොල්ලො එක්ක කතා කර කර ඉන්න. රවිහාරිත් එනවනෙ. අපි සේරම හය දෙනෙක් නේද? දවල් කෑම ඕඩර් කරන්න.
තම දෙනෙත් තෙත් කරවමින් මතු වෙන කඳුළු පිස දමමින් චන්දිරම් කාමරයෙන් ඉවත්ව ගියේ යතුරු නොලා දොර වසා ගෙනය.
මේ හමුවීමට විහිළුවක් සේ අර්ථ කථන දීම මනුෂ්‍ය ස්වභාවයේ යථාර්ථයට කරන සරදමක් නොවිය හැකිද? සිත තමාට එසේ කොතරම් නම් තර්ක සහ ප්‍රශ්න ඉදිරිපත් කර ඇද්ද?
“අයියා. ඒගොල්ලො ආවා.”
චන්දිරම් හෝටල් කාමරයට ආවේ ඉන්ද්‍රජිත් අතීත සිහිනවලින් අවදි කරවා ගෙනය. ඔහු අසුනෙන් නැගිට යළිත් හිඳ ගත්තේ තරමක කලබලයකිනි.
“ඒ ගොල්ලො කියන්නෙ?”
“රෝජා, රවිහාරි, මනෝහාරි”
“මනෝව මෙහාට එක්ක එන්න නංගී”
චන්දිරම් අපහසුතාවයටක පත්වූවාය. සොහොයුරා මුල සිටම කියා සිටියේ ඔහුට අවශ්‍ය මනෝහාරි මුණගැසීමට පමණක් බවය. ගුවන් යානයේදී ඔහු මුරණ්ඩු ස්වරූපයකින් කතා කරමින් කියා සිටියේ තමා කතා කරන්නේ ඇයට පමණක් බවය. එසේ කීවද ඔහු නේෂන් වෛද්‍යවරයා සහ රාජඍෂි සමඟ හිත මිතුරුකම් පෑවේ දිගු ඉතිහාසයක් ඇති මිත්‍රත්වයක් පළ කරමිනි.
“අයියා මනෝව විතරක් එක්ක එන්න බැහැනෙ. එතකොට අනිත් දෙන්නා. විශේෂයෙන් රෝජා?”
“මං කියන එක කරන්න නංගි. මට බැහැ එක එක්කෙනාට මුහුණ දෙන්න. මට ඕන මනෝට කතා කරන්න විතරයි. එයා මගෙ පුංචි යාළුවා.”
“දැන් එයා පුංචි යාළුවෙක් නෙමේ.”
“නංගී යන්න. ගිහින් එයාව එක්ක එන්න.”
එසේ කියමින් අසුනෙන් නැගී සිටි ඉන්ද්‍රජිත් සෙමින් ජනේලය අසලට ගියේය.
“ඉන්ද්‍රජිත් අයියා මං ආවා.”
“මනෝ. කොහොම හරි අන්තිමට අපි මුණ ගැහුණා නේද? ඔය ඉඩ තියෙන තැනක් බලලා ඉඳගන්නකො මනෝ. මෙතන පුටුවක් තියෙනවා නේද? ඒ පුටුවෙන් වාඩි වෙන්නකො.”
මනෝහාරි තිගැස්සුණාය. පුටුවක් ඇති බව ඔහුට නොපෙනේද?
“මනෝ මෙච්චර දුරකතරක් ගෙවා ගෙන මං ආවෙ ඇයි කියලා ඔයා දන්නවද?”
“තමන්ගෙ මාතෘ භූමියට පය තියන එක කාට වුණත් සතුටක්.”
“ඔව් ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒත් මං ආවෙ....”
“ඔව් නංගී. මං මෙච්චර කල් කිසි කෙනෙකුට මේ කතා කියලා නැහැ. ටිකක් අහගෙන ඉන්නකො. මං ආවෙ ඔයාට මේ ටික කියලා යන්න.”
මනෝහාරි සිත කුතුහලයකින් මෙන්ම පුදුමයකින් ද පිරිතිරී යන්නට විය. ඔහුගේ සූදානම සරල සොඳුරු සිදුවීම් දිග හරින්නට නොවන බව තරුණියට අවබෝධ වන්නට විය.