සතුට අපේ නත්තලයි | සිළුමිණ

සතුට අපේ නත්තලයි

මගේ ඇස් හරියට පේන්නේ නැහැ. ඒත් නත්තල ගැන ලස්සන චිත්‍ර ගොඩාක් මං ඇන්දා. ඇස් පේන්නේ නැති වුණත් මම ඒවා ලස්සනට පාට කළා. මේ තැන අපේ ගේ වගේ. මෙතැනින් අපි ගොඩාක් දේ ඉගෙන ගත්තා. අපි හදපු මැටි භාණ්ඩ ඉහළ පෙළේ සාප්පුවල විකිණෙනවා. ලැබෙන ආදායමෙන් කොටසක් අපටත් ලැබෙනවා. ඒ සල්ලිවලින් ලස්සන ලස්සන සෙල්ලම් බඩු ගොඩාක් අපිට ගන්න පුළුවන්. මෙදා පාර අපටත් නත්තල් තියේවි.

උඳුවප් සීතල ගතට ගෙන දෙන්නේ අමුතුම මිහිරකි. ඒ මිහිර විඳගන්නට වයස් භේදයක් නැත. නත්තලේ අසිරිය සෑම වසරකම කාටත් මතක් කර දෙන්නේ සුන්දර වූ අපූරු සිතුවම් දාමයකි. සීතල උදුවපේ එළඹෙන නත්තලට කොයි කවුරුත් කැමැතිය. වසරක් ගෙවිමට තව ඇත්තේ දින කිහිපයකි. එහෙත් ඒ වසරින් සමුගැනීමට පෙරාතුව තවත් අපූරු නත්තලක් හෙටින් උදාවන්නේ ය. ගීතිකා නාදයෙන් සංගීතවත් වූ, නත්තල් සීයාගේ රත් පැහැ ඇඳුම් සිහිපත් කරමින් නේක වර්ණ ඇඳුමින් සැරසුණු පිරිස් සමඟින් ගව ලෙනින් බිහිවූ නත්තලේ උදානය සමරන්නට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණි.

පේසුතුමන් මෙලොවට බිහිකළ මේ නත්තල සමරන්නට පුංචි එවුන්ට ආගම් ජාති භේදයක් නැත. ඔවුන් නත්තලට සැරසෙන්නේ බලාපොරොත්තු සමුදායක් සිත්හි පොදිබැඳගෙනය. ලස්සන ඇඳුම්, සෙල්ලම් බඩු මෙන්ම නත්තල් සියාගේ තෑගි, අලංකාර නත්තල් ගස් , නත්තල් සැරසිලි මෙන්ම රසවත් නත්තල් ආහාර ඇති තැන මිහිරි නත්තලක්ද උදාවන්නේ ය. එහෙත් ඒ සියල්ල හිමිකර ගනිමින් සුපිරි නත්තලක් උරුම වන්නේ කීයෙන් කීදෙනාටද? යහමින් මුදල් හදල් ඇති තැන සුන්දර නත්තලක් උදාවෙතත් බහුතරයකට ඒ සුන්දර සිතුවම සිහිනයකට පමණක් සිමාවේ.

එසේ නමුදු ජේසුතුමන්ගේ නත්තල උරුම, ඇති හැකි ඇත්තන්ට පමණක් නොවේ. උන්වහන්සේ තම දහමින් ලොව සැනසූයේ දුකේ ගිලී සිටින ඇත්තන්ට සතුටින් පිරි උතුම් නත්තලක් උරුම කර දෙන්නටය. ගව ලෙනින් ලොවට ආලෝකය පැතිරූ උන්වහන්සේගේ අති ශුද්ධ වූ දහමින් ලොවට කියා දුන්නේ නත්තලේ ඒ සැබෑ අරුතයි. ක්‍රිස්තු වර්ෂ ගණනාවකට මත්තෙන් ලොවට කියා පෑ ඒ සැබෑ නත්තලේ දසුනක් අපට ද මැවී පෙනුණේ පසුගිය දිනක නත්තල වෙනුවෙන් ඒ පිරිස ලක ලැහැස්ති වෙන අන්දම දුටුවි‍ටය.

චරිත්, පියුමි, ජගත්, කවිෂා, අමිල, කණිෂ්ක මෙන්ම මිසෙල්ලාට කිසිදා නත්තලක් උදාවූයේ නැත. ජිවිතයේ අනේක විද දුක් කම්කටොලු උරුම කරගත් මේ දරුවන් ලොවට බිහිවූයේ සිතින් මෙන්ම ගතින්ද ඇති හැකි දරුවන් ලෙස නොවේ. සතුට ඔවුන් වෙතින් පලා ගියේ පෙර කළ පාපයක් නිසා හෝ විය යුතුය. නත්තලේ සිරිය විඳ ගන්නට අනිකුත් දරුවන් සේ ඔවුන් ද ආසා කළද මෙතෙක් උදාවූ නත්තල් කිසිදා ඔවුන් සමීපයට පැමිණියේ නැත. චරිත්, පියුමි, ජගත්, කවිෂා, අමිල, කණිෂ්කලා විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ය. මේ දරුවන් අපට මුණු ගැසුණේ අලුත්ගම පිහිටි 'මදර්' පුණ්‍යායතනයේදී ය. ජීවමාන නත්තලකට පණ දෙන්නට මේ දරුවන් වෙහෙසෙන්නේ ‘අපටත් නත්තලක් හිමි බව' ලොවට කියාපාමිනි.

“ අපි අද නත්තල් ඇදුම් අඳිනවා..'' ජගත් කියන්නේ ය. ළමා විය ඉක්ම වුවද ඔහුගේ හැසිරීම තවමත් දරුවෙකු හා සාමානය.

“අපි නත්තල් කාඩ් ගොඩාක් හැදුවා. මට ඇස් පේන්නේ නැතිවුණත් මට හිතෙනවා ඒවා ගොඩාක් ලස්සනයි කියලා.." දෙනෙත් නොපෙනෙන කවීෂා පවසන්නී ය.

දෙනෙත් අහිමි කවීෂා මෙන්ම විවිධ ආබාධයන්ගෙන් යුතු දරුවන් රැසක් මේ පුණ්‍යායතනයෙන් ‘දයාවේ සේවය' ලබන්නේ සිය ජිවිතයට නොලැබුණු ආදරය ලබා ගන්නට පමණක් නොවේ; ජීවත්වීමේ බලාපොරොත්තු ද සිය ජීවිතවලට එක් කරගනිමිනි. අලුත්ගම කළුවාමෝදර කල්‍යාණරාම පුරාණ විහාරස්ථානයේ ඊටම වෙන්වූ ගොඩනැගිල්ලක දිවා කාලයේ අකුරු කරනා මේ දරුවන් රැක බලා ගන්නට එහි ගුරුවරුන්ට අමුතුම ආකාරයේ වෙහෙසක් දරන්නට සිදුවි ඇත. පුංචි පුංචි අඩුපාඩුකම් මැද උපත ලැබූ මේ දරුවන් තවමත් කුඩා දරුවන් හා සමානය. විශේෂ අවශ්‍යතා වෙනුවෙන් 2011 වසරේදි ආරම්භ වූ මේ පුණ්‍යායතනයේ නිර්මාතෘ දිනේෂ් මංජුල මහතාය. කළුවාමෝදර පමණක් නොව මාතරද මෙම දරුවන් වෙනුවෙන් දයාවේ සේවාවේ ‘පැතුම් උයන්' විවෘතව ඇත්තේ එවැනි දරුවන්ගේ ජිවිතයට යම් ආලෝකයක් කැන්දන්නටය. පාසල් ගතවිය යුතු වයසේ දරුවන් සේම පාසල් විය ඉක්මවූ පිරිස්ද මෙහි අකුරු කරති.

“මේ ආයතනය ආරම්භ කළේ විවිධ ආබාධිත දරුවන් වෙනුවෙන්. දරුවන්ට ආදරය, රැක බලාගැනීම, රැකවරණය, පෝෂණය මෙන්ම අධ්‍යාපනය යන පංචවිධ අවශ්‍යතාවයන්ම මෙහිදී ලබා දෙනවා. බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව වගේම සමාජ සේවා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මේ ආයතනය ආබාධිත වූවන්ගේ මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචියි. මේ පන්සලේ විහාරාධිපති හිමියන්ගෙන් වගේම විහාරාධිකාරි හිමියන්ගෙනුත් මෙයට ලැබෙන්නේ විශාල ආශිර්වාදයක්. මෙතැන දරුවෝ වගේම විවිධ ආබාධයන් හේතුවෙන් සමාජයෙන් කොන්වූ අයත් ඉගෙන ගන්නවා. පිළිකා රෝගීන්, ඒඩ්ස් රෝගීන්, සුවකළ නොහැකි රෝගී දරුවන්, ඔටිසම් දරුවන් මෙන්ම මන්ද මානසික දරුවන් අපේ ළඟ විවිධ දේ ඉගෙන ගන්නවා. මේ අයට කෑමක් හදන හැටි, නාලා පිරිසුදු වෙලා ඉන්න හැටි, තේ එකක් හදාගන්න හැටි, විවිධ අත්කම් භාණ්ඩ නිපදවිමේ පුහුණුව වගේම ඒ අයටත් යම් මුදලක් උපයා ගන්නට විවිධ අත්කම් ආදී දේ කරන්නත් අපි හුරු කරනවා. මේ ගොඩාක් අය බෞද්ධ වුණාට නත්තල මේ අයට විශේෂයි. හැම අවුරුද්දකම මේ අය නත්තල වෙනුවෙන් මොනව හරි දෙයක් කරන්න ඉගෙන ගන්නවා. මේ අවුරුද්දේ මේ දරුවන් නත්තල වෙනුවෙන් නත්තල් සුබ පැතුම් පත් නිර්මාණය කළා. ඒවාට කවරත් හැදුවේ මේ දරුවන්. අන්ධ දරුවන් වගේම විවිධ මන්ද මානසික තත්ත්වයේ දරුවන් හදපු මේ සුබ පැතුම්පත් අද වෙළෙඳ පොළේ විනිණෙනවා වගේම එවායින් ලැබෙන ආදායමත් මේ දරුවන්ට ලැබෙනවා.'' යැයි දිනේෂ් මංජුල ප්‍රනාන්දු මහතා පවසයි.

නත්තලේ හැඩරුව දෙනෙතට නොපෙනුණත් නත්තල වෙනුවෙන් මේ දරුවන්ගේ දෑතින් මැවුණේ අපූරු චිත්‍රයන් ය. මුවෙන් බිණිය නොහැකි බොහෝ දේ ඔවුන්ගේ සිතුවම්වලින් හෙළි කර තිබිණි. අනේක විධ වර්ණයන්ගෙන් හැඩ වූ මේ සිතුවම් උණු උණුවේම විකිනුණේ අපේ රටේ සාමාන්‍ය වෙළෙඳසල්වල නොවේ.

“ මගේ ඇස් හරියට පේන්නේ නැහැ. ඒත් නත්තල ගැන ලස්සන චිත්‍ර ගොඩාක් මට අඳින්න පුළුවන්. ඇස් පේන්නේ නැති වුණත් මම ඒවා ලස්සනට පාට කළා. මේ තැන අපේ ගේ වගේ. මෙතැනින් අපි ගොඩාක් දේ ඉගෙන ගත්තා. අපි හදපු මැටි භාණ්ඩ අප්ටවුන්, ලිබර්ටි ප්ලාසා එකේ විණිනෙනවා. ලැබෙන ආදායමෙන් කොටසක් අපේ පොත්වලටත් වැටෙනවා. අපිත් නත්තලට හරිම ආසයි. ඒ සල්ලි වලින් ලස්සන ලස්සන සෙල්ලම් බඩු ගොඩාක් අපිට ගන්න පුළුවන්.....“ ඒ අමන්දි ය.

අමන්දි මෙන්ම මෙම ආයතනයේ ඉගෙනුම ලබන දරුවන් හා තරුණයන් විවිධ වයස් මට්ටම්වල පසුවන්නෝය. එසේ වුව ඔවුන් සියලු දෙනාම එක හා සමානව නත්තල ගැන උනන්දුවකින් පසුවෙති. නත්තල් දිනයට සමගාමිව පැවැති නත්තල් උලෙළට ඔවුන් සහභාගි වෙමින් සතුටු වූ අන්දම දුටු කාගේත් නෙතට කඳුළක් එක් කළේය. “ මායි මගේ අයියයි දෙන්නම ගව ලෙනේ ලස්සන ඇඳුම් අඳිනවා. අපිට ලස්සනට සින්දු කියලා නටන්නත් පුළුවන්.'' ඒ වයස අවුරුදු 36 ක්වූ ජගත් කුමාරය‍. ඔහුගේ සොහොයුරු අමිල ද ළඟින්ම සිටියේය. වැඩිහිටියන් වුවද මේ අය ගේ හැසිරීම් කුඩා පාසල් දරුවන් මෙනි. මීට වසර කිහිපයකට පෙර මේ ආයතනයට එක්වූ මොවුන් දෙදෙනා අද තම නම ලියා අත්සනක් තැබීමේ හැකියාවෙන් යුක්තය.

“මේ දෙන්නා මෙතැනට ඇවිත් වැඩි කලක් නැහැ. හැසිරීමෙන් පොඩි අය මෙන් පෙනුණත් මේ අය පොඩි නැහැ. වයස අවුරුදු තිස් ගණනක්. ගෙදරදී මං මේ දෙන්නා බලා ගත්තේ හරිම අමාරුවෙන්. දෙන්නටම හරියට කතා කරන්න බැහැ. ඒත් අපේ වාසනාවකට වගේ මේ ආයතනය ගැන දැනගන්න ලැබුණට පස්සේ මේ දෙන්නා මෙහාට එව්වා. දැන් මේ දෙන්නා ලස්සනට ලියුම් කවර හදනවා වගේම ලස්සනට නත්තල් කාඩුත් හැදුවා. දැන් මේ දෙන්නගේ එදිනෙදා වැඩ තනියම කරගන්න පුළුවන්. නත්තල ළං වෙනකොට මේ දෙන්නත් පොඩි අය වගේ. අපිට නත්තලට ලස්සන ඇඳුම් මේ අයට මහලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒත් මේ දරුවන්ගේ හිත් රිදවන එකත් පව්. ගව ලෙනක් කරන්න අපි ළඟ පාතකින් මේ දරුවෝ දෙන්නට ලෝගුවක් ඉල්ල ගත්තා. අපේ දරුවෝ දෙන්නා දැන් උදේට තනියම නැගිටලා ඇඳගෙන පාර අයිනෙන් මේ තැනට එනවා. ආයිත් හවසට ඉවර වෙලා ගෙදර එනවා. මෙතැනින් තොර ලෝකයක් මේ දරුවන්ට නැහැ.'' අමිල හා ජනකගේ මව ඥානවතී පවසන්නීය.

කුඩා දරුවාගේ සිට වයසින් වැඩුණු අය දක්වා රැකවරණය ලබන මේ ආයතනයේ නත්තලටද ලොකු කුඩා බේදයක් තිබුණේ නැත. නත්තල් සියා මෙන් සැරසුණු පියුමිගේ මල්ලේ වූ ටොෆි චොක්ලට් බෙදුණේ සැමටම සමානවය.

මොරින් ප්‍රනාන්දු මහත්මිය මෙතැන ගුරුවරියයි. දරුවන් ගේ සියලු අවශ්‍යතා මෙන්ම හැඟීම් දැනීම් ද ඇය හොඳින් හඳුනන්නීය.

“මේ අයගේ ශාරිරික වයස අනුව මානසික වයස සකස් වෙලා නැහැ. ඒ නිසා හැමෝගේම හැසිරීම් දරුවන් හා සමානයි. අපි මේ නත්තලට මේ හැමෝම සැරසුවේ පොඩි දරුවන් සරසන්නාක් වගේ. හැමෝම නත්තල් සීයලා වෙන්න හැදුවා. ලො‍කු අයත් ගව ලෙන වටේ බැටලු පැටවුන්ට ඇන්දා. නත්තල් ගස් සැරසුවේ හැමෝම එකතු වෙලා. මේ දරුවන්ගේ ජීවිතයට ලොකූ සතුටක් දෙන්න අපිට ඕනෑ වුණා. නත්තල විතරක් නෙමේ, වෙසක් පොසොන් වගේ උත්සවත් මේ විදියටම මෙතැන සමරනවා. මෙතැන දරුවන් බලා කියා ගැනීමට ඔවුන්ගේ දෙමවුපියන් ද ලොකු සහයෝගයක් දෙනවා. අප මේ සියලු දේ කරන්නේ නොමිලයේ. ගුරුවරුන් විදියට අපි මේ දරුවන් එක්ක හැප්පෙනවා කියන්නේ විශාල වෙහෙසක්. මේ දරුවන්ට ඕන ආදරය. ඒ ආදරය අපි අඩු නැතුව හැමෝටම එකාකාරයෙන් දෙන්නත් ඕන. පොඩ්ඩ එහා මෙහා වෙනකොට මේ දරුවන්ට කේන්ති යනවා. අපි හරියට ඉවසන්න ඕනැ. මාසයකට සැරයක් අපි මේ දරුවන්ට වෙනසක් දෙන්න ළඟ පාතකට, නැතිනම් මුහුදු වෙරළකට එහෙමත් නැතිනම් පන්සලකට හරි එක්ක යනවා. මේ දරුවන් සමාජය වෙත යොමු කළ යුත්තේ ආදරයෙන් හා කරුණාවෙන් කියලයි අපි විශ්වාස කරන්නේ "

මෙවර ඔවුන් සැමරූ නත්තල මේ අයගේ ජීවිතවලට එක් කළේ සැබෑ මිහිරකි. සතුටකි. බලාපොරොත්තුවකි. අපටත් නත්තලක් යනුවෙන් මේ ආබාධිත දරුවන් හඬගා පවසන්නේ ජේසුන් වහන්සේ ලොවට දුන් ඒ උතුම් සාමයේ හා ළබැඳියාවේ පණිවිඩයයි.

 

සේයාරූ - විමල් කරුණාතිලක

Comments