
1972 මුල් භාගයේදී මා අනුයුක්ත වූයේ ඌව පළාතේ බටහිර මායිමේ ගමනාගමන දුෂ්කරතා සහිත පාසලකට ය. පිට පළාත්වලින් එන ගුරුවරුන්ට එහි නිල නිවාස නොවූ නිසා අලුතෙන් ආ තවත් ගුරුවරුන් දෙදෙනෙකු ද සමඟ මම ගමේ එක ගෙදරක නවාතැන් ගත්තෙමි. එම නවාතැන පවත්වාගෙන ගියේ වැඩිහිටි දරුවන් නොමැති යුවළකි. උදය, දවල් සහ රාත්‍රී කෑමත් සවස තේ පානයත් අපට මෙම නවාතැනෙන් ලැබුණි.
මගේ මිත්‍ර ගුරුවරුන් දෙදෙනාට කුරක්කන් තලප කෑමේ දොළ දුකක් ඇති වූයෙන් සති අන්ත දිනක රාත්‍රී ආහාරය සඳහා කුරක්කන් තලප සැපයීමට අපි නවාතැන් පාලක වැඩිහිටි යුවළ එකඟ කර ගතිමු. අදාළ දින අපි ආහාරය සඳහා ගිය විට කෑම මේසයෙහි එක් අයෙකුට තලප ගුළි තුන බැගින් පිඟන් මත තබා තිබුණි. මෙම තලප තිරිඟු පිටිවලින් සෑදූ රොටි මෙන් රළු ස්වභාවයක් නොගත් අතර, මෘදු ගතියෙන් යුතු ආහාරයක් විය. තලප සමඟ කෑමට පරිප්පු සහ කරවල ව්‍යංජන දෙකක් ද මේසය මත විය.
මම වවුනියා දිස්ත්‍රික්කයේ සේවය කළ නිසා ග්‍රාමීය කෑම බීම, සිරිත් විරිත් සහ ආගමික විශ්වාස ගැන මනා අවබෝධයක් ලැබීමි. තලප ආහාරයට ගැනීමේ ක්‍රමය ද මම හොඳින් දැන සිටියෙමි. එහෙත් මගේ මේ මිතුරන් දෙදෙනා තලප අනුභව කිරීමේ ක්‍රමය ගැන අවබෝධයකින් සිටියේ ද යන්න ගැන මා තුළ වූයේ කුකුසකි. මේ නිසා මෙදින මම තලප කෑම, පමා කරනු පිණිස මේසය මත වූ කෙසෙල් ඇවරියකින් ඇම්බුන් ගෙඩියක් පළමුව කෑමට පටන් ගතිමි. ඒ අතරතුර මගේ මිතුරෝ තලප පිඟන්වලට දමා ව්‍යාංජන ද බෙදා ගෙන තලප අනුභවයට සූදානම් වූහ. ඔවුහු පළමුව තලපවලින් ලොකු කැබැල්ල බැගින් කඩාගෙන දෙකට තුනට දමා එය තමන් බෙදාගත් ව්‍යංජනයේ ඔබා මුවට දමා ගත්හ. ඉන් පසු හිතේ හැටියට එය සපන්නට පටන් ගත් ඔවුනට එය වැඩි වේලා සැපිය නොහැකි විය. හැපුණු තලප සියල්ලම මැලියම් මෙන් දත් අතර සිර වී මුඛය විවර කිරීම අසීරු වන ලෙසින් මුඛයේ ඇලුණු බැවිනි. කිසිත් කරකියා ගත නොහැකිව මහත් අසහනයෙන් මුව අල්ලා ගෙන බෙහෙත් බිවූ ගොළුවන් මෙන් සිටි මොවුන් දුටු විට මට සිනහව නතර කර ගැනීම අසීරු විය.
“වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටිලා වගේ”, මම කියත් ම තලප සෑදූ වැඩිහිටි ගෘහිණිය කෑම මේසය වෙතට ආවාය. “මහත්තයලා තලප කන හැටි දන්නවා ඇති කියලයි අපි හිතුවේ” යැයි කියා “මේකත් ඉතිං හොඳ දඬුවමක්. නොදන්න දේ දන්නවා වගේ කරන්න යනවට” යැයි ඇය වැඩිදුරටත් සිනා සෙමින් කීවා ය. මම ඔවුන්ට තමන්ගේ දබර ඇඟිලි මුවට දමා ඇලී තිබෙන තලප එළියට ඇද දමන ලෙස උපදෙස් දුනිමි. ව්‍යංජනවලට දමා පොඟවා ගත් තලප හපන්නේ නැතිව ගිලීම කුරක්කන් තලප කන ක්‍රමය යැයි පැහැදිලි කළ පසු “මේකත් ඉතිං කිඹුලො කිරිමැටි ගිලිනවා වගේ වැඩක්” යැයි කියමින් අපි සියලු දෙනා එක්ව තලප ගිල දොළදුක සන්සිඳුවා ගතිමු.
විශ්‍රාමික ආචාර්ය
ඩබ්ලිව්. බී. ගුණවර්ධන
අවිස්සාවේල්ල