
කඳු මුදුනේ සිට හාත්පස බැලූ කල පෙනෙන්නේ නෙත් සිත් පැහැරගන්නා සොඳුරු දසුන් පෙළෙකි. කසාවත් හැඳි භික්ෂූන් වහන්සේ පිරිවරාගත් සුදුවතින් සැරැසුණු උවසු උවැසියෝ සාදුකාර දෙති. මදුනාගල පුදබිම සාදුකාරයෙන් පිරී ගිය මේ සොඳුරු දසුන අප නෙතු ගැටුණේ පසුගියදා මෙම පුදබිමේ සිදු කෙරුණු සුවිශේෂී පින්කමක් හේතුවෙනි.
මෙරට පූජනීය ස්ථාන අතුරින් දෙස් විදෙස් බැතිමතුන්ගේ නිබඳ භක්තියට බඳුන් වන ආරණ්‍ය සේනාසනයක් ලෙස මදුනාගල ආරණ්‍ය සේනාසනය හඳුන්වා දිය හැකිය. මදුනාගල ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නගරයේ සිට සැතැපුම් කිහිපයකට නුදුරු වූ ඝන වනාන්තරයක නිස්කලංක බිම් පෙදෙසකය. මෙම ආරණ්‍යයයේ භාවනානුයෝගීව වැඩ සිටින භික්ෂුන් වහන්සේ බොහොමයකි. එලෙසම දෙස් විදෙස් බැතිමත්හු ද භාවනානුයෝගීව සිටීමට මේ පුද බිමට පැමිණෙති. පසුගිය දිනෙක මේ උතුම් පුදබිමේ මලලසේකර පදනම ඔස්සේ සුවිශේෂී පුණ්‍ය කර්මයක් සිදු විය. ඒ දිවංගත මහැදුරු ගුණපාල මලලසේකරයන් සිහිවීම පිණිස එතුමන්ගේ මුනුපුරු අශාන් මලලසේකර ප්‍රමුඛ මලලසේකර පදනමෙන් මෙම පුණ්‍ය භූමියේ ශෛලමය සමාධි බුදු පිළිමයක් ස්ථාපිත කිරීම ය. නිතර භාවනා කිරීමට මෙම ආරණ්‍ය සේනාසනයට පියනඟන අශාන් මලලසේකරයෝ මෙම පුණ්‍ය භූමියේ ශෛලමය සමාධි බුදුපිළිමයක් තම මුත්තණුවන් සිහිකරවීම උදෙසා තැනවීමට කටයුතු කළහ.
සම්පූර්ණයෙන්ම කළු ගලින් නිර්මාණය වූ මේ සමාධි පිළිම වහන්සේ අනුරාධපුරයේ මහමෙව්නාවේ පිහිටි සමාධි පිළිමවහන්සේගේ අනුරුවක් ලෙස නිර්මාණය වී ඇත. පිළිමවහන්සේ උසින් අඩි හතකි. මීට අමතරව සමාධි පිළිමවහන්සේ වෙනුවෙන් විහාරගේ, මල් ආසනය සියල්ල ශෛලමය ලෙස නිර්මාණය කර ඇත. මේ සඳහා මලලසේකර පදනම මිලියන එක හමාරක පමණ පිරිවැයක් දරා ඇත. කුඩා දරුදැරියන්ගේ සිට වැඩිහිටියන් දක්වා මේ පිළිමවහන්සේ වැඳ නමස්කාර කරන අයුරු නෙතට ගෙන දෙන්නේ අමා රසයකි.
කාවන්තිස්ස රජ සමය තෙක් දිව යන මදුනාගල ඓතිහාසික අාරණ්‍ය සේනාසනය රෝහණ දේශයේ වැඩ සිටි චිත්තගුප්ත මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු පරම්පරාවෙන් පැවත එන බව පැවැසේ. පැරැණි රජ සමයෙන් පසුව වල්බිහි වී පැවැති මදුනාගල ආරණ්‍යය නැවත ස්ථාපිත කර ඇත්තේ 1946 දී පමණය. ඒ අතිපූජ්‍ය වතුරුවිල ශ්‍රී ඥාණානන්දාභිධාන වනවාසී මහනාහිමිපාණන් වහන්සේ විසිනි.