ජීව භාෂාවක පරිණාමීය ලක්ෂණ අවබෝධ කරගත් ප්‍රාඥයා | සිළුමිණ

ජීව භාෂාවක පරිණාමීය ලක්ෂණ අවබෝධ කරගත් ප්‍රාඥයා

සම්භාවනා

කවදා හෝ මට රාජ්‍ය බලය ලැබුණොත් මුලින් ම කරන්නේ භාෂාව නිවැරැදි කිරීමයි. ඒ මන්ද කියතොත් භාෂාව නිවැරැදි නොවුණහොත්, ලේඛකයා අදහස් කරන දේ, නොකියැවෙයි. ලේඛකයා අදහස් කරන දේ හරිහැටි නොකියැවු‍‍ණොත් කළ යුතු දේ කෙරෙන්නේ නැතැයි වරෙක කොන්ෆියුසියස් පඬිවරයා කියා ඇත. ඉන් ප්‍රකාශ වන්නේ භාෂා භාවිතයේ වැදගත්කමයි.

නූතන සිංහල භාෂා ව්‍යවහාරයෙහි නිරවද්‍යතාව වෙනුවෙන් කැපවී සිටින මහා ප්‍රාඥයන් අතර මහාචාර්ය විමල් ගුණසේකර බලගල්ලේ මහතා ප්‍රමුඛස්ථානය ගනී. සිංහල පාලි ප්‍රාකෘත, සංස්කෘතාදී ප්‍රාචීන භාෂා සාහිත්‍ය පිළිබඳවත්, වාග් විද්‍යා විෂය පිළිබඳවත් අග්‍රගණ්‍ය පඬිවරයකු වන බලගල්ලේ මහාචාර්යතුමා නූතන ජනමාධ්‍ය භාෂාව නිවැරැදි මාවතකට ගැනීමෙහිලා ප්‍රෝත්සාහී වන්නෙකි.

එතුමා සේවයේ නියුතුව සිටි ගංගොඩවිල විද්‍යොදය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් මගින් මෙන් ම පොතපත, ශාස්ත්‍රීය ලිපි හා දේශන මගින් සෙසු විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට මෙන් ම, මෙරට ජනමාධ්‍යයෙහි නියැළෙන වෘත්තිකයන් වෙනුවෙන් ද සම්පාදිත භාෂාව පිළිබඳ කෘති සියල්ලටම පාහේ දායක වී ඇත.

කවර විද්වත් මණ්ඩලයක් විසින් සම්පාදිත කවර මට්ටමේ භාෂාව පිළිබඳ මණ්ඩලයකට වුවද, කෘතියකට වුවද බලගල්ලේ මහාචාර්යවරයාගේ උපදේශකත්වය නොමැතිව එම කාර්යය සඵල කරගත නොහැකි බව පිළිගත් සත්‍යයකි.

ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය ප්‍රකාශයට පත් කළ සිංහලයේ අක්ෂර වින්‍යාසය අත්පොත සම්පාදක මණ්ඩලයේ ද නව සිංහල හෝඩිය හා විනිස සම්පාදක මණ්ඩලයේ ද (ඇස්.ගොඩගේ ප්‍රකාශයකි) භාෂා ශාස්ත්‍ර අධ්‍යයන පර්ෂදය සම්පාදනය කළ (ඇස්. ගොඩගේ ප්‍රකාශනයකි) ජනමාධ්‍ය සඳහා භාෂා අත්පොත කෘතියේ ද උපදේශකත්වය දරා ඇත්තේ බලගල්ලේ මහාචාර්යතුමන් ය.

1924 නොවැම්බර් 24 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ හාපිටිගම් කෝරලේ බලගල්ල නම් ග්‍රාමයෙහි ජන්ම ලාභය ලත් බලගල්ලේ දරුවා සිවු හැවිරිදි වියේදී සිය පියාණන් විසින් අත්පොත් තබා අකුරු කරවනු ලැබීය. පස් හැවිරිදි වියේදී උල්ලලපොළ විද්‍යාතිලක බෞද්ධ පිරිමි පාසලට ඇතුළු කෙරිණි. ගුරු ප්‍රසාදය ලබමින් උගැන්මෙහි දස්කම් පෑ ඔහු 1938 දී රජය මගින් පවත්වනු ලැබූ කනිෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර (JSC) පරීක්ෂණයෙන් ප්‍රථම පන්ති සාමාර්ථයක් ලබා ගත්තේ ය. පාසල් සියයකට අධික තරගකරුවන් සහභාගි වූ දිස්ත්‍රික් පාඨශාලාන්තර ගද්‍ය - පද්‍ය ප්‍රබන්ධ තරගයකදී ‘වැරදී ගිය උපක්‍රමය’ නමින් කෙටිකතාවක් ලියා ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ය. 1938 දී බලගල්ලේ ශිෂ්‍යයා වැඩිදුර අධ්‍යාපනයට පල්ලේවෙල වික්‍රමශීලා පිරිවෙනට නේවාසික ශිෂ්‍යයකු ලෙස බැඳුණේ ය. ඒ අතර සැම පෝදාකම බලගල්ලේ සරස්වතී පිරිවෙනට ආ ගිය ඔහු තුළ ප්‍රාචීන භාෂා හා පිරිවෙන් අධ්‍යාපනය කෙරෙහි ඇල්මක් ඇතිවිය. ඊට මුල් වූයේ නිස්සැල්ලේ ඤාණෝදය හිමියන් ය‍. එවක වික්‍රමශීලාවෙහි රැඳී ඉගෙනීමට ඔහු වඩාත් උනන්දු වූයේ එවක එහි අධ්‍යක්ෂවරයාව සිටි කොළඹ විද්‍යෝදය පිරිවෙන් ‍උප ප්‍රධානාචාර්ය කුකුල්නාපේ දේවරක්ඛිත හිමියන්ගේ පාණ්ඩිත්‍යයේ කිතුගොස නිසාවෙනි. එහිදී පන්සල් පොත් කියවමින් ප්‍රාචීන භාෂා අධ්‍යයනය පරිපූර්ණ වීම පිණිස වංග භාෂාව ද ජ්‍යොතිර් විද්‍යාව ද මැනවින් හදාළේ ය.

1940 තමන්ගේ අභිලාෂය පරිදි කුකුල්නාපේ හිමියන්ගේ ආචාර්යත්වයෙන් හා උන්වහන්සේගේ ද ආචාර්යෝත්තම බෝරුග්ගමුවේ රේවත හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් බලගල්ලේ විමලබුද්ධි හිමි නමින් ප්‍රසිද්ධියට පත් විය. නොතිත් ඇල්මකින් සිප් සතර හදාළ විමලබුද්ධි හිමි පරි‍වේණාධිපතීන් වූ බද්දේගම පියරතන නාහිමි ඉනික්බිති වැලිවිටියේ සෝරත නාහිමි - පලන්නරුවේ විමලධම්ම නාහිමි - ආචාර්ය දෙහිගස්පේ පඤ්ඤාසේකර නාහිමි, කලුකොඳයාවේ පඤ්ඤාසේකර නාහිමි ආදී පැවිදි පඬිවරුන්ගෙන් ශාස්ත්‍ර හදාළ හ. සිංහල - පාලි - සංස්කෘත - ප්‍රාකෘත ආදී භාෂා සාහිත්‍යයත් ධර්ම විනය - තර්කන්‍යාය - ඡන්දෝලංකාර - ඉතිහාසය - පුරාවිද්‍යාව ආදී විෂයයන් හදාරා එහි ඉගෙනුම නිම කළේ ශ්‍යාමරාජ සම්මානය ද අත්පත් කර ගනිමිනි‍. උන් වහන්සේ ගේ ප්‍රාචාර්ය බෝරුග්ගමුවේ රේවත නාහිමියන් වියපත්ව සිටියෙන් උන්වහන්සේගේ ඇවිටිල්ල නිසා තරුණ විමලබුද්ධි හිමියන්ට ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනේ අධිපති පදවිය බාර ගන්නට සිදු විය. එම තනතුර ද දරමින් 1950 මුලදී ප්‍රාචීන අවසාන (පණ්ඩිත උපාධිය) විභාගයට පෙනී සිට ගෞරව පන්තියේ ලකුණු ද විෂය ත්‍යාගය ද සහිතව සමත්ව ප්‍රමුඛස්ථානයට පත්ව ‘ප්‍රාචීන ස්වර්ණ මුද්‍රිකාව’ ද දිනා ගත්තේ ය. එය කොතරම් විරල සිදුවීමක් වීද යත් එම පුවත පසුදා ‘දිනමිණ’ මුල් පිටුවේ ‘ප්‍රාචීන ස්වර්ණ මුද්‍රිකාව බලගල්ලේ විමලබුද්ධි ස්වාමීන් වහන්සේට ලැබේ’ යන ශීර්ෂ පාඨයෙන් පළ විය.

1954 දී කොළඹට පැමිණ ඉංගිරිසි භාෂා ඥානය වර්ධනය කරගත් උන්වහන්සේ 1951 දී ඉංගිරිසි මාධ්‍යයෙන් ජ්‍යෙෂ්ඨ විභාගය සමත් ව‍ූහ. 1952 උන්වහන්සේ පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ ප්‍රාචීන භාෂා පිළිබඳ විශාරදයකු වශයෙනි. එහිදී ද ඉංගිරිසි භාෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට 1956 දී බී.ඒ. ගෙ‍ෟරව උපාධිය දිනාගෙන විද්‍යොදය පිරිවෙනෙහි ආචාර්ය පදවියත් ලබා ගත්තේ ය. දැනුම ලබා ගැනීමත් දැනුම බෙදාදීමත් එතුමාගේ පරම සතුට විය. සවස් වරුවේ විද්‍යොදය පිරිවෙනේ උගන්වන එතුමා උදේ වරුවේ ගංගොඩවිල රේවත විද්‍යාලයේ ඉගැන්වීය.

1958 දී ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කරද්දී වැලිවිටියේ සෝරත නාහිමියෝ, එතුමා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ විභාග භාර සහකාර ලේඛකාධිකාරි තනතුරට පත් කර, ඉනුදු නොනැවතී සිංහල භාෂාව පිළිබඳ කථිකාචාර්ය තනතුරට ද නො‍බෝ කලකින් ම සිංහල අංශ ප්‍රධානියා බවට ද සිංහල පිළිබඳ මහාචාර්ය හා අධ්‍යයනාංශ ප්‍රධාන ධූරයට පත් කළහ.

බලගල්ලේ පඬි හිමියන් තත් විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයට සුදුසු ආචාර්යවරයන් තෝරා ගැනීමට ද, පාඨමාලා සැලසුම් කිරීමට ද ක්‍රියාකරමින් සිංහල අධ්‍යයනාංශය කීර්තිමත් කිරීමට සමත් ව‍ූහ.

1961 ඔක්තෝබර් සිට 1963 දෙසැම්බර් දක්වා යුනෙස්කෝ අධිශිෂ්‍යත්වයක් මත ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගොස්, වාග් විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධි පුහුණුව ලබමින්, පර්යේෂණවල ද නියැළී සිට, ඒ ගමනේ දීම අමෙරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා පර්යේෂණවල නිරත වෙමින්, පශ්චාද් උපාධි පුහුණුවක් ද ලබාගත්හ. ඩෙන්මාර්ක් හි කෝපන්හේගන් රාජකීය ඩෙනිෂ් ඇකඩමිය මගින් සම්පාදිත විවේචනාත්මක පාලි ශබ්දකෝෂයේ සංස්කාරකවරයකු වශයෙන් ද උපදේශකවරයකු වශයෙන් ද කටයුතු කිරීම උන්වහන්සේට අවස්ථාව උදා විය.

1963 පෙරළා පැමිණ විද්‍යොදය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ නව ප්‍රබෝධයක් ඇති කළ උන්වහන්සේ 1966 දී උපැවිදි වී විමල ගුණසේකර බලගල්ලේ යන නමින් ශාස්ත්‍රීය කටයුතුවල නියැළෙන්නට පටන් ගත්තේ ය. එතැන් පටන් කල්හීත් නොකල්හීත් විශ්වවිද්‍යාලයේ ප්‍රගමනය පිණිස වෙහෙසවූ එතුමා තමන්ට හිමි සප්ත වාර්ෂික නිවාඩු පවා නොගෙන ශාස්ත්‍ර දානයෙහි නිරත වූයේ ය. 1988 දී තෙමසක කෙටි නිවාඩුවක් ලබා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ භාෂා විද්‍යාගාරය ඇසුරින් ‘සිංහලයේ ශබ්ද විචාරාත්මක ගැටලු පිළිබඳ පර්යේෂණයක යෙදුණු මහාචාර්ය බලගල්ලේ මහතා ඒ අතර බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ අප්‍රකට ග්‍රන්ථ ද පරිශිලනය කළේ ය.

බලගල්ලේ මහාචාර්යතුමා සිය ශාස්ත්‍රීය සේවාවේදී වාර්තා කිහිපයක් පිහිටුවා ඇත. ‘වයස 35 දී මහාචාර්ය ධූරයට පත්වීමත්, එම ධූරය අඛණ්ඩව තිස් එක් වසරක් දැරීමත් පළමුවැන්න ය.

විශ්වවිද්‍යාලයක සේවයේ නියැළී සිටියදීම එම විශ්වවිද්‍යාලයෙන් සම්මාන ආචාර්ය උපාධියක් දිනාගැනීම දෙවැනි වාර්තාවයි. 1984 පැවැති රජත ජයන්ති උපාධි ප්‍රදානෝත්සවයේදී එතුමාගේ විශ්වවිද්‍යාල සේවාව අරබයා ඩී. ලිට් සම්මාන උපාධිය පිරිනමනු ලැබීම ද වාර්තාවකි. එතුමාණන් විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාම යත්ම, එතුමාට සේවාර්ජිත මහාචාර්ය තනතුරක් ද ප්‍රදානය කෙරිණ.

විද්‍යෝදය විශ්වවිද්‍යාලය (ශ්‍රී ජයවර්ධනපුර) සමාරම්භයේ පටන් ම පවත්වන ලද උපාධි ප්‍රදානෝත්සවවලදී විද්වතුන්ට සම්මාන සාහිත්‍යසූරී උපාධි පිරිනමන අවස්ථාවලදී සම්මාන උපාධිලාභීන් හඳුන්වාදීමේ දේශන වැඩි ගණනක් පවත්වනු ලැබුවේ බලගල්ලේ මහැදුරුතුමන් විසිනි. මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි, (1980) මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමි (1981) තලල්ලේ ධම්මානන්ද නාහිමි (1982) ජී.බී. සේනානායක (1984) ආචාර්ය නන්දදේව විජේසේකර (1985) ආචාර්ය ආනන්ද ඩබ්ලිව්.පී. ගුරුගේ (1986) දේශන සියල්ල පවත්වන ලද්දේ එතුමන් විසිනි.

1950 දී පංචතන්ත්‍ර අපරීක්ෂිතකාරකයේ අනුවාදය හා විවරණය පළ කළ බලගල්ලේ මහාචාර්යතුමා, වැලිවිට අසරණ සරණ සරණංකර මහා නාහිමි අපදානයත් පාහියන්ගේ දේශාටන වාර්තාවේ පරිවර්තන කෘතියත් පළ කළහ. පාහියන්ගේ කෘතියේ පරිවර්තනයට 1964 දී යුනෙස්කෝ සම්මානය හිමි විය. එම වසරේදී කළ සිංහල ථූපවංස සංස්කරණයත් අගනා ශාස්ත්‍ර සංග්‍රහයක් සේ සැලකේ. එතුමන් විසින් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ද - සෙසු විශ්වවිද්‍යාලවල ද ශාස්ත්‍රීය සඟරාවලට ද ප්‍රාචීන ශාස්ත්‍රීය සංග්‍රහයට මෙන් ම, රාජකීය ආසියාතික සමිතියේ ශාස්ත්‍රීය සංග්‍රහයට ලියා ඇති පර්යේෂණාත්මක ලිපි රාශියක් වෙයි.

පෙරදිග භාෂා ව්‍යාකරණය - චිරන්තන සාහිත්‍යය - විචාරය - බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය - ඉතිහාසය සේම වරින්වර උද්ගත වන නූතන භාෂාමය ගැටලු නිරාකරණයෙහිලා සමත්කම් ඇති මහ පඬිවරුන් අතර අවිවාදයෙන් ම ප්‍රමුඛස්ථානය ගන්න මහාචාර්ය විමල් බලගල්ලේ මහාචාර්යවරයා බොහෝ සාම්ප්‍රදායික පඬිවරුන් මෙන් ආචීර්ණකල්පිත මතවල රැඳී නොසිටින නූතන වාග් විද්‍යා සංකල්ප ආදියෙන් ජීව භාෂාවක අනවරතයෙන් සිදුවන පරිණාමීය ලක්ෂණ අවබෝධ කොට ගත් විද්වත් ජන සම්භාවනාවට පත් අග්‍රගණ්‍ය පඬිරුවනකි.

විද්වාන් සර්වත්‍ර පූජ්‍යතෙ!

Comments