
ලංකාව ජනාවාස වීම පිළිබඳ ඉතිහාස කතාකරුවා මවා ඇති විචිත්‍රවත් සිතුවම ප්‍රශංසනීය නොවේ. එබැවින් පුරාණ ලංකාව ජනාවාස වීම පිළිබඳ තවමත් විමසමින් සිටී. ආචාර්ය තුසිත වගලවත්තගේ අදහස වන්නේ ඉන්දියාවේ සිට යාත්‍රා කළ ජනයා පුල්මුඩේ ගල් වරායට ගොඩබැස යාන් ඔය දිගේ පැමිණි බවයි.
යටගිය මානව ජනාවාසයක් පැවැති බව කියැවෙන සුසාන දෙකක තොරතුරු යාන් ඔය වාහල්කඩ මාවතවැව හා දික්වැව ප්‍රදේශයන්හිදී හමු වී තිබේ. යාන්ඔය නිම්නයෙන් හමු වී ඇති සොහොන් මෙතෙක් අනාවරණය නොවූ අතීත ලාංකේය මානවයාගේ තොරතුරුය. ඒ තොරතුරු මගින් යාන් ඔය නිම්නයේ විසිර තිබු විශාල මානව ජනාවාසයක් පැවැති බව අනාවරණය කරයි. එම සෙහොන් තොරතුරු විමර්ශනය කරමින් අතහැර දැමීමටද තෝරාගත් ස්මාරක ප්‍රමාණයක් කෞතුකාගාරයක නැවත ස්ථාපිත කිරීමටද නියමිතය. ඉන් අනතුරුව ඒ සියල්ල යාන්ඔය ජලාශයේ මහා දියවරින් වැසී යනු ඇත. කෙතෙක් මහත්ද යත්: ඒ දියවර වර්ග කිලෝමීටර් 1520ක ධාරිතාවෙන් යුතු වේ. යාන් ඔය නිම්නය පූර්ව ඓතිහාසික යුගයේ සිට වර්තමානය වන තෙක් ම ජනාවාසව පැවැති ප්‍රදේශයක් බව භූමිය නීරීක්ෂණය කිරීමෙන් හඳුනාගත හැකිය. පුරාණ ලංකාව ජනාවාස වීම කෙරේ අවධානය යොමු කිරීමේදී යාන් ඔය නිම්නයට හිමි වන්නේ වැදගත් ස්ථානයනකි. ඒ බව වංශකතා මූලාශ්‍රයවලින් මෙන්ම අභිලේඛන ඇතුළු පුරාවිද්‍යාත්මක සාධකවලින්ද සනාථ වේ.
මාතලේ කඳුවැටියේ ඊසාන දිග පහළ බෑවුමෙන් ආරම්භ වන යාන් ඔය කි.මී. 151ක් දිගින් යුතු වේ. සීගිරියට බටහිරින් හා රිටිගලට නැගෙනහිර දෙසින් ගලායන යාන් ඔය පුල්මුඩේට දකුණින් හා ත්‍රිකුණාමලයට කී.මී. 48ක් උතුරින් සාගරයට එක් වේ.
පුරාණ ලංකාව ජනාවාස වීම අවම වශයෙන් අදින් වසර ලක්ෂයකට වත් පෙර සිදු වන්නට ඇතැයි මහාචාර්ය සිරාන් දැරණියගල මහතාගේ පර්යේෂණ මගින් හෙළි වී තිබේ. බෙලි ලෙනෙහි වසර 74200කද, පාහියන්ගල ලෙනෙහි වසර 34000කද, බටදෙඹ ලෙනෙහි වසර 28000ක ඉතිහාසයක් අණාවරණය වී තිබේ.
පරිණාම යුගයේ අවසාන භාගයේ (මීට වසර 150000කට පෙර) හෝමෝ සේපියන් මානවයා සාගරයේ යාත්‍රා කොට හෝ ඉන්දියාව හරහා ගොඩබිමින් හෝ ලංකාවට සංක්‍රමණය වන්නට ඇතැයි උපකල්පනය කෙරේ.
ලංකාව ජනාවාස විම පිළිබඳ විවිධ අදහස් පවතී. ලංකාවේ දකුණ ප්‍රදේශය, අග්නිදිග වියළි කලාපය සහ පහත රට තෙත් කලාපය වෙන් කරන මායිමේ වෙනස් සංස්කෘතින් දෙකක සංගත වීමේ මූලික ලක්ෂණ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනය මගින් සිදු කරන ලද ගවේෂණයන්හිදී අනාවරණය කරගත් බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.
එමෙන්ම ඕනෑම සංස්කෘතික සමාජයක සුසාන සංස්කෘතියක් බිහි වන්නේ ප්‍රවේණිගත සම්පත් අයිතිය තහවුරු කිරීම සඳහා බව සමාජ මානව විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.
අතීත ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ශිලා යුගයට පසු එළඹෙන ප්‍රධාන තාක්ෂණික සංස්කෘතික අවධිය ලෙස මුල් යකඩ යුගය (Early Iron Age) හඳුනාගත හැකිය. මේ යුගයේ පුරාණ ලංකාවේ ප්‍රාරම්භක යුගයට අයත් දේශපාලනික සමාජීය ආරථික සංස්කෘතික ආයතන ව්‍යූහයේ මූලික ලක්ෂණ බිහි වූ බව මානව වංශ හා පුරාවිද්‍යා ක්ෂෙත්‍රයන්හි උපකල්පනයයි. මේ ජනාවාස රටාවේ ප්‍රධාන ලක්ෂණය වන්නේ වාසස්ථාන (Habitation) වඩා සුසාන (Burials) පිළිබඳ තොරතුරු අනාවරණය වීමයි. මුල් යකඩ යුගයේ සුසාන ලංකාව පුරා විසිර පවතී.
මේ වන විට යාන්ඔය නිම්නයේ ත්‍රික්‍රණාමලය දිස්ත්‍රික්කයේ දික්වැව ප්‍රදේශයෙන් ශිලාමංජුසා සොහොන් 154 හඳුනා ගෙන තිබේ. මේ සොහොන් පොළොව තුළට හෑරූ වලක හතර පැත්තට ඝනකම ගල් පතුරු මේ සුසාන ආශ්‍රිතව සංස්කෘතික ද්‍රව්‍ය හමු වී ඇත්තේ සිමිත වශයෙනි. කුඹල් සකෙන් නිර්මාණය වු කාලරක්ත හා රක්ත වර්ණ මැටි බඳුන් අවශේෂ හමු වී ඇත. මේවායේ භස්මාවශේෂ හා සුසාන ද්‍රව්‍ය තැන්පත් කිරීමට යොදාගත් භාජන වේ.
මේ සුසානයන්හි තිබී ගල් ආයුධ කිසිවක් හමු වී නැත. එහෙත් අසස් නිමාවෙන් යුත් හෙලි තුඩුු දෙකක් හමු වී ඇතැයි ආචාර්ය තුසිත වගලවත්ත පවසයි.
කෙසේ වෙතත් මේ සුසාන භාවිත කළ ජනයාගේ නිවාස හෝ ජනාවාස පිළිබඳ තොරතුරු අනාවරණය නො වේ. මෙහි විසු ජනයා තම නිවෙස් කටු මැටියෙන් හෝ දිරා යන ද්‍රව්‍යන්ගෙන් ඉදිවී තිබෙන්නට ඇතැයි ආචාර්ය තුසිත වගලවත්ත උපකල්පනය කරයි.
සේ වූව ද ලංකාව ජනාවාස වීම පිළිබඳ ඉතිහාස කතාකරුවා මවා ඇති විචිත්‍රවත් සිතුවම ප්‍රශංසනීය නොවේ. එබාවින් පුරාණ ලංකාව ජනාවාස වීම පිළිබඳ තවමත් විමසමින් සිටී. ආචාර්ය තුසිත වගලවත්තගේ අදහස වන්නේ ඉන්දියාවේ සිට යාත්‍රා කළ ජනයා පුල්මුඩේ ගල් වරායට ගොඩබැස යාන් ඔය දිගේ පැමිණි බවයි. මෙසේ පැමිණි මානවයා පැමිණෙද්දී යකඩ තාක්ෂණය හඳුනාගෙන පැමිණි බවද එහෙයින් ලංකාවට යකඩ හඳුන්වා දීමේ ගෞරවය ඔවුන්ට හිමිවන බව ද පවසයි. මෙසේ පැමිණි ජනයා ඊට ආසන්නයේ පිහිටි සේරුවිල තඹ නිධිය සොයා ආවා වන්නට ඇති බව ද ඔහු අදහස් කර සිටී. පුල්මුඩේ ගල්වරායෙන් ගොඩ බැස ආ තපස්සු භල්ලුක දෙදෙන තිරියායේ කේෂ ධාතු නිදන් කළ බව කියවෙන බවත් බුද්ධකාලයේද පුල්මුඩේ ගල්වරාය ක්‍රියාකාරී වරායක්ව පැවැති බවට සාධක හමු වන බවත් ප්‍රකාශ කරයි.
මහාචාර්ය සිරාන් දැරණියගල විසින් අනුරාධපුර ගෙඩිගේ කැණීමේදී ලංකාවේ මානවයා ක්‍රි.පූ. 900දීද කෘෂිකාර්මික කටයුතුවල යෙදුණු බව අනාවරණය කළේය. අතීත ලංකාවේ සංචාරක දඩයක්කරුවා ක්‍රිස්තු පූර්ව දෙවැනි සහශ්‍රයේදී සකපෝරුව භාවිතය, මැටි වළන් භාවිතය, යකඩ උණු කිරීම පිළිබඳ, මෙන්ම භස්මාවශේෂ තැන්පත් කිරීම හෙවත් සුසාන සංස්කෘතියක් පිළිබඳ සාක්ෂි අනාවරණය කරගැනීමට මහාචාර්ය රාජ් සෝමදේව සමත්ව තිබේ. කාල නිර්ණය ක්‍රිස්තු පූර්වයෙන් වසර 2400 බව තහවුරු වී ඇත. ඒ අනුව අදින් වසර 4400ක් එපිට විසු කඳුකර මානවයා යකඩ සොයාගැනීමෙන් පසු කෘෂි සංස්කෘතියට අනුගත වීමට උත්සුක වූ බව අනාවරණය කරගෙන ඇත. ඒ අනුව විජයාගමනයට පෙර ක්‍රමානුකූලව ගොඩනැඟුණු මානව ශිෂ්ටාචාරයක් පැවැති බව අනාවරණය වී තිබේ.
අනුරාධපුර ඇතුළු නුවර පරීක්ෂණවලින් ලබාගත් විකිරණමාන කාලානුක්‍රමයන්ට අනුව ප්‍රාග්-ඓතිහාසික මධ්‍ය ශිලා සංස්කෘතිය අදින් වසර 5850කට පෙර එම භූමියෙහි මුල් බැසගෙන තිබූ බව අනාවරණය කරගැනීමට මහාචාර්ය සිරාන් දැරණියගල මහතා සමත් විය. එබැවින් පුරාණ ලංකාව ජනාවාස වීම සම්බන්ධයෙන් යාන් ඔය නිම්නයෙන් හමු වූ ජනාවාස පිළිබඳ පමණක් සිතා තීරණය කිරීමට නොහැකි වී තිබේ.
කෙසේ වුවද මේ සුසානය මහින්දාගමනයට මෙන්ම විජයාගමනයටද පෙර කාලයට අයත් විය හැකිය යන්න විද්වත් මතයයි. දඩයම් යුගයෙන් කෘෂිකාර්මික යුගයකට අනුගත වෙමින් සිටි ජන කණ්ඩායමකට අයත් ජනාවාසයක සිහිවටනයක් සේ එය සැලකීම වඩාත් උචිත වේ.
ටෙක්ලා පද්මිණි කාරියවසම්
සේයාරුව - දුෂ්මන්ත මායාදුන්නේ