ගුරු මාරුවේ ආන්දෝලනය | සිළුමිණ

ගුරු මාරුවේ ආන්දෝලනය

රජයේ සෑම සේවකයකුම සිය සේවා කාලයේ එහා මෙහා මාරු කිරීම අද-ඊයේ සිට පැවැත ආ දෙයක් නොවේ. අනාදිමත් කාලයක සිට රාජ්‍ය සේවකයන්ගේ මාරුවීම් සිදු කෙරුණේ විධිමත් වූ ක්‍රමවේදයක් මතය. වසර 5න් 5ට රාජ්‍ය සේවකයා මාරුවීම් ලබන විට රාජ්‍ය සේවයේ තවත් සමහරුන් වන උසාවි ක්ෂේත්‍රයේ, පොලිස් අංශයේ මෙන්ම ප්‍රාදේශීය ලේකම් ආදීහු වසර 3න් 3ට මාරු වීම් ලැබ යති. මේ සියලු දේ මෙසේ වන්නේ විධිමත් රාජ්‍ය සේවය අවිධිමත් කරන්නට නොව, වඩාත් විධිමත් කරන්නටය. එකතැන පල් වෙමින් යම් ආයතනයක සේවයක් පවතී නම් එම රාජ්‍ය සේවය කිසිදා ප්‍රතිඵලදායක වන්නේද නැත.

පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් සිදු නොවූ තවත් කාර්යයකට අතගැසුවේය. ඒ වැදගත් මෙන්ම අනභිභවනීය සේවයක් සලසන ගුරු මාරුවීම් කෙරෙහිය. අපේ රටේ රාජ්‍ය තන්ත්‍රයේ ජාතික හා පළාත් පාසල් නමින් පාසල් දෙවර්ගයක් ඇත්තේය. මේ දෙවර්ගයේ ඇත්තේ දෙයාකාරයක ගුරු මාරුවීම් ප්‍රතිපත්තියකි. එහෙත් දන්නා කාලයක පටන් මේ දෙයාකාරයේම ගුරුමාරු වීම් සාර්ථකව කිසිදු රජයකින් ක්‍රියාත්මක කළේ නැත. මේ මාරුවීම් හුදෙක් චක්‍රලේඛයකට පමණක් සීමා වූයෙන් අවුරුදු 20 -30 එකම පාසලේ සේවය කරන ගුරුවරුන්ගේ නියෝජනයක් සෑම ජාතික හා පළාත් පාසලකම විය. මේ වන විට සොයාගත් පරිදි ලංකාවේ වූ ජාතික පාසල් 353ක වූ 37000ක ගුරු පිරිසෙන් තුනෙන් එකක් -එනම්: 12,000ක ගුරු පිරිසක්- එකම පාසලේ වසර 10කට වැඩි සේවා කාලයවක් ඉක්මවූවෝ වෙති.

වරක් මෑතකදී හිටපු අධ්‍යාපන ඇමැතිවරයකු මේ මාරුවීම් සිදු කරන්නට අතගැසූ විට ඔහුට එය කරන්නට ඉඩ දුන්නේ නැත. “මමත් උත්සාහ කළා මෙය කරන්න. කරන්න හදන කොටම ඇමැති ගෙදර පල කියා වෘත්තීය සමිති කෑගහනවා. “එදා ඔහු දුන්නේ එවන් වූ පිළිතුරකි. එක් අධ්‍යාපන ඇමැතිවරයකුට පමණක් නොව මෙතෙක් සිටි බොහෝමයත් අධ්‍යාපන ඇමැතිවරුන්ට ගුරු මාරුවීම් කරන්නට සැබෑ වුවමනාවක් තිබුණද මෙය සාර්ථකව කරගන්නට නොහැකි වූයේ මේ මඟින් එල්ල දැඩි බලපෑම්ය. එහෙත් ඒ සියලු බලපෑම් කුණු මුල්ලකට විසි කරන්නට වත්මන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට හැකි විය. මෙතෙක් අත ගසන්නට නොහැකි ආධිපත්‍යයක් ගොඩනැඟී තිබූ මේ බලාධිකාරිය වෙනස් කරන්නට ඔහු සමත් වූයෙන් මේ හරහා ගොඩනැඟී තිබූ යම් යම් සම්බාධක වෙනස් කරන්නටද හැකි විය. මේ වන විට උසස් පෙළ ගුරුවරුන් 3000කට මාරුවීම් ලබා දී ඇත්තේය. ලහිලහියේ ඒ ගුරු මාරුවීම් සාර්ථකව සිදුවෙද්දී පාසල් වැඩ කටයුතු අවුල් කරමින් මේ පිළිබඳ දැඩි සමාජ කතාබහක්ද නිර්මාණය කරන්නට තවත් පිරිසක් කටයතු කරමින් ඇත්තේය.

කිසිවකුට කිසිදා අතගසන්නට නොහැකි වේයැයි සිතු මේ ගුරු මාරු කිරීම් ගැන කොළඹ එක්තරා කාන්තා ජාතික පාසලක විදුහල්පතිනියක් අපට කීවේ මෙවන් අදහසකි. "ඇත්තටම මේ වුණේ හරිම සුභදායි දෙයක්. මීට වඩා අපි කැමති අවුරුදු 5න් 5ට මාරුවීම් කරනවා නම්. දැන් ගොඩාක් අය මේ ගැන කෑගැහුවට මෙය හුරු වුණාම සාමාන්‍ය දෙයක් වෙයි. ගොඩාක් ගුරුවරු හිටියේ මේ පාසල්වල ආධිපත්‍ය පවත්වාගෙන. සමහරු ලොක්කෝ වගේ වැඩක් නොකර හිටියා. ඒ නිසා පාසල් පවත්වාගැනීමේදී විදුහල්පතිවරුන් විදියට අපිට යම් යම් බාධා ඇති වුණා. ඒත් දැන් ඒ පරිසරය වෙනස් වෙමින් යනවා. අපේ පාසල්වලට නම් හොඳ ගුරුවරු ලැබුණා..." ඇය පැවැසුවාය.

බොහෝ දෙනා මීට අකුල් හෙළන්නට උත්සාහ ගෙන ඇත්තේ තමන්ගේ පටු අභිලාශයන් වෙනුවෙනි. එහෙත් ඒවා එළිපිට ප්‍රකාශ වන්නේ පාසල් කඩාවැටීමක් වශයෙනි. "රාජ්‍ය සේවයේ හැම දෙනාම වසර 5 න් 5ට මාරු වෙනව නම් ඇයි ගුරුවරුන්ට විතරක් බැරි. අද කොළඹ පාසල්වල ගුරුවරු ගමට යනවා. ගමේ අය කොළඹට එනවා. මේ දේ මීට කලින් කරන්න කිසිම කෙනකුට බැරි වුණා. ඒත් මේ අධ්‍යාපන ඇමැතිවරයා ඒක කළේ බොහෝම කල්පනාකාරීව. ගුරු මාරුවීම් කමිටුවට මේ සියලු සංගම් නියෝජනයක් දුන්නා. ඒ සෑම ගුරු සංගමයකින්ම අයකු මෙම කමිටුවේ සිටියා වගේම හැම මාරුවීමක්ම මේ අයගේ අස්සනින් තමයි නිකුත් කළේ. මේ නිසා මෙවර කිසිම කෙනකුට මීට විරුද්ධව කතා කරන්න බැහැ..." ඒ තවත් ගුරුවරයෙකි.

ගුරු මාරුවීම් සිදු නොවීම හරහා බොහෝ අකටයුතුකම් සිදු වුණේය. නමක් ගිය පාසලක ගුරුවරුන් තමන්ගේ ටියුෂන් ව්‍යාපාරයට පාදක කරගත්තේ ජනප්‍රිය පාසලක තමන් යෙදෙන ගුරු වෘත්තියයි. තවත් අය එකම පාසලේ සිටිමින් ආධිපත්‍යය පිහිටුවාගත්හ. කුමන රජයක් බලයට පත් වුවද කිසිදා මේ මාරුවීම් සිදු කරන්නට නොහැකි වේයැයි සිතා සිටි අයට අවුරුදු 25ක කාලයකට පසු මේ ගුරු මාරු ක්‍රියාත්මක වීම හදිසියේ ගිනිගෙඩියක් හිස මත පාත් වුණා සේ විය.

"මේ ගුරු මාරු ක්‍රියාත්මක වීම නිසා පාසල් පද්ධතිය යම් ආකාරයකට බිඳ වැටුණා. නමුත් එහෙම කියලා මේ මාරුවීම් ක්‍රියාත්මක නොවී තිබිම ප්‍රශ්නයක්. පාසලේ අලුත් තත්ත්වයට මුහුණ දෙන්න විදුහල්පතිවරුන් සූදානම් විය යුතුයි. එය ඔවුන්ගේ අභියෝගයක්. සමහරත් බෞද්ධ පාසල්වලට මුස්ලිම් ගුරුවරු දැම්මා කියලා ජාතිවාදය අවුස්සන්න සමහරු උත්සාහ ගන්නවා. කොළඹ ආනන්ද, නාලන්ද කියන්නේ නීතිගත කළ බෞද්ධ පාසල්. නමුත් ගුරුවරයෙකුගේ දක්ෂකම ආගමත් එක්ක තීරණය කරන්න බැහැ. මේ ක්‍රමයෙන් කිසිදා කොළඹ පාසලකට පය නොගසපු ගුරුවරු කොළඹ පාසල්වලට ඇවිත් උගන්වනවා. ගුරුවරුන්ට සිය දැනුම අලුත් කරගන්න වගේම දරුවන්ගේ වෙනසකටත් මේ මාරුවීම් ඉතා හොඳයි..."ඒ තවත් ජාතික පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකි.

"අපි ඇවිත් තියෙන්නේ අයිස්ක්‍රීම් විකුණන්න නෙමේ..." යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසූයේ මෑතකදීය. එසේම කුමන බාධා ආවත් මෙවන් කටයුතු ආපස්සට හරවන්නද අධ්‍යාපන ඇමැතිවරයා සූදානම් නැත. පාසල් සිසුන්ට දැවැන්ත රක්ෂණයක් දුන්නේද මෑතකදීය. වසර ගණනක් පාසල් නිල ඇඳුම් ලබා දීමෙන් ගොඩනැඟී තිබූ බලාධිකාරයද කඩාබිඳදැම්මේ අධ්‍යාපන ඇමැතිවරයාමය. දැන් නිල ඇදුම් ලබා දීමෙන් කිසිවෙකුටත් වංචාවක් කරන්නද නොහැකිය. සියල්ල විධිමත් වවුචර් ක්‍රමයක් හරහා සිදු වන්නේ විනිවිද භාවයෙනි. විභාග ප්‍රතිඵල නිශ්චිත කාලයකට පිට කරන්නේ දැන්ය. විභාග ප්‍රතිඵල දැන් එතැයි දැන් එතැයි බලා සිටිමින් සිටි යුගය අහවර වී ඇත්තේ ය. මේ නිසා ප්‍රතිඵල එන තෙක් සැහැල්ලුවෙන් කාලය ගත කිරීමටද සිසුන්ට හැකි වන්නේය. මහා රාජ්‍යධානි සේ වැජඹෙමින් සිටි බොහෝ පාසල් ප්‍රධානීන්ට හදිසි මාරුවීම් ලබා දෙමින් පාසල් පරිපාලනයටද අත තිබ්බේ වත්මන් අධ්‍යාපන ඇමැතිවරයාමය. අද ඒ පාසල් බොහෝ සාමකාමීව පවත්වාගෙන යන්නේය. මේ නිසා අයිස්ක්‍රීම් විකුණනවාට වඩා අධ්‍යාපන ක්ෂේත්‍රයේ හරවත් දරුවන්ට වැදගත් තීන්දු-තීරණ රැසක් ගැනීමට අධ්‍යාපන ඇමැතිවරයාට හැකියාව ලැබී ඇත්තේය. අද බොහෝ ගුරු සංගම්හි නිහඬතාව මෙහි සැබෑව මතුකරන්නක් විය.

"ගුරු මාරුවීම් ප්‍රතිපත්තියක් තිබුණත් මෙය ජාතික පාසල්වල ක්‍රියාත්මක වුණේ නැහැ. අධ්‍යාපන ඇමැති වෙලා සිටිය බන්දුල ගුණවර්ධන මහතාටත් මෙය කරන්න බැරි වුණා. මේ නිසා පළාත්සභාවල විශාල දුක්ගැනවිල්ලක් තිබුණා ඇයි අපි විතරක් මාරු කරන්නේ කියලා. වත්මන් අධ්‍යාපන ඇමැතිවරයා ක්‍රියාත්මක කළ මේ දේ අපි අගය කරනවා. ඒ වගේම අපි එතුමාගෙන් ඉල්ලීම් කිහිපයකුත් කරනවා. මේ මාරුවීම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න. නැවත විවිධ අය මාර්ගයෙන් මේවා හරි ගස්සවාගන්න කරන උත්සාහයන්ට ඉඩ දෙන්න එපා. ලබන වසරේ සිට වසරක් පාසා මෙය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මේ කටයුත්ත සම්පූර්ණ වෙන්න නම් පාසල්වල විදුහල්පතිවරුන්ද වසර 5න් 5ට මාරුවීම් කරන්න..." ඒ ගුරු සංගමයේ ලේකම්වරයෙකි.

මේ ගුරු මාරුවීම් හරහා ගමේ ගුරුවරුයාගේ දැනුම අද නගරයට එන්නේය. නගරයේ ගුරුවරයාගේ දැනුම ගමට යන්නේය. සියලු ගුරු සංගම්, වෘත්තීය සමිති අස්සනින් යුතුව මේ මාරුවීම් සියල්ල සිදු වෙමින් පවත්තා නිසා කිසිවකුටත් කිසි කෙනකුටත් ඊට විරුද්ධ විය නොහැක්කේය. දරුවන් වෙනුවෙන් නොව සිය පටු ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන කිහිප දෙනෙක් මේ මාරුවීම් අවලංගු කිරීමේ කටයුත්තේ යෙදෙන්නේය. එහෙත් සාධාරණ හේතු කාරණාවන් නම් ඊට විසදුම් සැපයීමටද අධ්‍යාපන අමාත්‍යාංශය සූදානමින් ඇත්තේය. අභියාචනා ඇත්තේ එවන් වූ පිරිස් වෙනුවෙනි. එහෙත් මේ සඳහා වූ දේශපාලන මැදිහත්වීම්වලට ඉඩක් නොදෙන්නට කටයුතු කළ යුතුව ඇත්තේය. මන්ද මේ වන විටත් සිය පටු අරමුණු වෙනුවෙන් කිහිප දෙනෙක් මේ කටයුත්ත කඩා බිඳ දැමීමේ නිර්ලජ්ලිත උත්සාහයක යෙදෙන්නේය. එසේම සිය හැකියාවට වඩා නොහැකියාව පෙන්වන්නන් මේ සඳහා එකම ආයුධය කරගෙන ඇත්තේ ජාතිවාදයයි. හැකියාවට උගත්කමට ජාතිවාදය අදාළ වන්නේ නැත. සහජීවනය ගැන කතා කරන අපට කුමන ජාතිවාදයක්ද?

මේ ගුරු මාරුවීම් හරහා පාසල් පද්ධතිය බිඳවැටී ඇතැයි සමහරු දෝෂාරෝපණය කරති. තම පාසලේ වසර 10කට වඩා පළපුරුද්ද ඇති ගුරුවරයකු මාරු වී ගිය පසු ඒ පාසල කඩා වැටෙන්නේ කෙසේද? මන්ද යත්: ඒ පාසලට නැවත පැමිණෙන්නේද එවැනිම වූ වසර 10කට වඩා පළපුරුද්ද ඇති ගුරුවරයෙක්මය. මෙසේ දරුවන්ව උසි ගන්වන්නේ ටියුෂන් කඩ හරහා ගුරු වැටුපට අමතරව මුදලක් හරි හම්බ කරගත් පිරිසක් පමණි. එහෙත් කුමන බාධා පැමිණියත් අධ්‍යාපන ඇමැතිවරයා තැබූ පය ආපස්සට ගන්නේද නැති බව මේ සුළු පිරිස මතක තබාගත යුතුය.

 සුභාෂිණි ජයරත්න 

Comments