
ධර්ම මාර්ගය මැනවින් දැන එහි තම සිත පිහිටුවා කෙලෙස් දුරු කිරීම මහත් ප්‍රඥාවෙන් යුක්තව ම කළ යුත්තකි. සිත දමනය කිරීම ඉතා පහසුවෙන් සිදු කළ හැකි වන්නේ නම් බොහෝ පිරිස් ඉතා පහසුවෙන් ම නිවනට පත් වනු ඇත. එහෙත් කල්ප සිය දහස් ගණනක් ගෙවී ගිය ද සත්ත්වයෝ ලෝකය තුළ ම සැරිසරති. ලෝකයෙන් එතෙර වීම කොතෙක් දුෂ්කර ද යන්න ඉන් ගම්‍ය වේ. කුසල චේතනාවෙන් යුක්තව ධර්ම මාර්ගයට පැමිණ කටයුතු කිරීමට ඇතමුන් උත්සහ ගත්ත ද සිතෙහි පවත්නා සියුම් ස්වභාවය හේතුවෙන් බොහෝ පිරිස් වැරදි මාවතෙහි ගමන් කරනු පෙනේ. කුසල වේශයෙන් සිතට ඇතුළු වී සිත කිලිටි කරමින් සත්ත්වයා නොමඟට යොමු කරන වඤ්චක ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳ සංක්ෂිප්තව පසුගිය ලිපියෙන් කරුණු පෙන්වා දී ඇත. එසේ ම මිනිසුන් නිවනින් දුරු වන හේතු දෙකක් දක්වන ලදි. නිතර අනුන්ගේ වැරදි දකිමින් සහ තමා උසස් කොට සලකමින් කටයුතු කරන පුද්ගලයාගේ සන්තානය තුළ කෙලෙස් බහුල වශයෙන් වැඩෙන අයුරු සහ එම කරුණ හේතුවෙන් ඔවුන් ක්‍රමයෙන් නිවනින් දුරු වන අයුරු දක්වන ලදි. ඉහත දක්වන ලද කරුණු ඔස්සේ සන්තානය කිලිටි නොකොට තබා ගැනීම සඳහා තමා ජීවත් වන ලෝකය පිළිබඳ දැක්විය යුතු ආකල්පය කෙබදු විය යුතු ද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කරනු ලැබේ.
පසිඳුරන්
ලෝකය පිළිබඳ කරුණු විග්රහ කිරීම ඉතා පුළුල්ව සාකච්ඡා කළ යුත්තකි. ඒ පිළිබඳ ගැඹුරු විග්‍රහයක් පසුව දතහැකි වනු ඇත. මෙහි දී යම් කරුණක් වටහා ගැනීම සඳහා පමණක් කෙටියෙන් දක්වනු ලැබේ. ලෝකය විවිධ ප්‍රභේද යටතේ ධර්මය තුළ විග්රහ කොට ඇත. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක, සත්ත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක ආදී ප්රභේදයන් දක්වා ඇත. ලෝකයේ හටගැනීම, පැවැත්ම සහ විනාශය පිළිබඳ සූත්‍ර ආශ්රයෙන් කරුණු දත හැකි ය. අග්ගඤ්ඤ සූත්‍රය, රෝහිතස්ස සූත්‍රය, සත්තසුරියුග්ගමන සූත්‍රය, චක්කවත්ති සීහනාද ආදි සූත්‍ර ලෝකය සහ එහි ස්වභාවය පිළිබඳ සිදු කළ විග්රහයන් වේ. ප්‍රධාන වශයෙන් ම අප මෙහි දී සාකච්ඡා කළ යුතු වන්නේ අප ජීවත් වන ලෝකය පිළිබඳව ය. සත්ත්ව යනු ස්කන්ධයන් විෂයයෙහි යෙදෙන නාමයකි. අප කිනම් නාමයකින් සත්ත්වයින් පිළිබඳ හැඳින්වුව ද එහි විද්‍යමාන ධර්මය නම් නාම රූපයන් ය. බාහිර ලෝකය වශයෙන් දක්නට ලැබෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ ආදී ආරම්මණයන් ය. අභ්‍යන්තරික වශයෙන් දක්නට ලැබෙන ඇස, කන, නාසය, දිව, කය, මනස සහ එම ඉන්ද්‍රියන්ට ගෝචර වන ඉහත දක්වන ලද අරමුණු පහ ලෝකය නම් වේ. සංක්ෂිප්ත ලෙස විග්රහ කළහොත් ඉන්ද්රිය සහ අරමුණු හැර ලෝකය වශයෙන් පැනවිය හැකි කිසිවක් සම්මුඛ නොවන බව පැහැදිලි ය. මේ ලෝකය පිළිබඳ සිදු කළ සංක්ෂිප්ත විවරණයකි.
ධර්මය පිළිබඳ පැහැදිලි වූ නිරවුල් අවබෝධයක් නොමැති සත්ත්වයෝ මෙම ඉන්ද්රිය හා ආරම්මණයන් පිළිබඳ නිරන්තරයෙන් ඝට්ඨනයක් ඇති කොට ගනී. අවිද්‍යාවෙන් සත්‍ය ස්වභාවය වසා ඇති හෙයින් කරුණු නිසි ලෙස නොදැන අරමුණු හමුවේ මුලාවට පත්ව සන්තානය තුළ බොහෝ කෙලෙස් උපදවා ගනී. නිරතුරුව අරමුණු විෂයෙහි ගැටීම් ඇති කරගනුයේ ලෝකය යනු කිනම් ස්වභාවයක් ද යන්න නිරවුල් අවබෝධයක් නොමැති හෙයිනි.
ලෝකය සහ සත්ත්ව ස්වභාවය පිළිබඳ පැහැදිලි අවබෝධයක් පවතින්නේ නම් කිසිවෙක් ලෝකය සමඟ ඇලීම් ගැටීම් ඇති නොකරගනී. එනම් ඔහු සත්‍ය අවබෝධ කළ පුද්ගලයෙකි. ලෝකයෙන් එතෙර වීම පිළිබඳ සාකච්ඡා කිරීමේ දී මෙම කරුණ පිළිබඳ අවධානය යොමු කළ යුතු ය. සාමාන්‍යය මිනිසුන්ගේ සහ සත්‍ය අවබෝධ කළ රහතන් වහන්සේගේ ජීවන ස්වභාවය විමසා බැලීමේ දී සත්ත්වයෝ ලෝකය තුළ ගැටීම් ඇති කරගන්නා හේතු මැනවින් පැහැදිලි වේ.
ප්‍රිය-අප්‍රිය
ලෝකය සහ සත්ත්වයා යනු ඉන්ද්රිය හා අරමුණු බව ඉහත දක්වන ලදි. අපට ගෝචර වන අරමුණු සියල්ල රහතන් වහන්සේට ද ගෝචර වේ. අප දක්නා රූපය ම රහතන් වහන්සේලා ද දකිති. අපට ඇසෙන ශබ්දය ම රහතන් වහන්සේලාට ඇසෙති. එසේ නිවන් අවබෝධ කළ රහතන්වහන්සේලාගේ සහ සාමාන්‍යය සත්ත්වයාගේ මනසේ පවත්නා ස්වභාව කවරේ ද යන්න විමසියයුතු ය. ධර්මය නොදත් ජනයා තමා හට ප්‍රිය වූ ආරම්මණය තුළ ඇලීමට පත් වේ. එසේ ම තමා අකමැති අප්‍රිය අරමුණු තුළ ගැටීම් ඇති කර ගනී. සාමාන්‍යය ස්වභාවය මෙවැන්නකි. එහෙත් රහතන් වහන්සේලාගේ සිත කිසිම අරමුණක කම්පා නොවී සමව පවතී.
රහතන් වහන්සේලාගේ මනසේ ස්වභාවය ධම්මපදය තුළ විග්රහ වන්නේ පහත පරිදි ය.
පඨවිසමො නො විරුජ්ඣති ඉන්දඛීලූපමො තාදි සුබ්බතො
රහදොව අපෙතකද්දමො සංසාරා න භවන්ති තාදිනො.
‘‘මහපොලොව හා සම වූ ද, ඉන්ද්‍රඛීලයක් සේ වූ ද අටලෝ දහමින් නො සැලෙන රහතන් වහන්සේලා පහ වූ මඩ ඇති විලක් මෙන් ප්‍රසන්න වේ. ඒ රහත්හට සුගති දුගති ලෝකයන්හි චුති ප්රතිසන්ධි වශයෙන් සංසරණයක් නොවන්නා හ.’’
මඩ ඉවත් කළ විල කවර අයුරකින්වත් බොර කළ නොහැකි ය. එයට හේතුව බොර වීමට හේතුවන මඩ එහි නොමැති හෙයිනි. රහතන් වහන්සේලා ද සියලු කෙලෙස් දුරු කොට ඇති හෙයින් මඩ ඉවත් කළ විලක් සේ ප්‍රසන්න වේ. කෙලෙස් නොමැති හෙයින් අරමුණු විෂයයෙහි ඇලීම් ගැටීම් හට නොගනී. එසේ හෙයින් ම කිසිදු කම්පනයක් නොමැත. ධර්මය අවබෝධ නොකළ සත්ත්වයෝ කෙලෙස් සහිතව වාසය කරති. අවිද්‍යාව හේතුවෙන් අරමුණු විෂයයෙහි මුලා බවට පත් වේ. අරමුණු පිළිබඳ වැටහීමක් නොමැති හෙයින් ප්‍රිය අරමුණු විෂයයෙහි ලෝභයෙන් ඇලීමට පත් වන අතර අප්‍රිය අමනාප අරමුණු විෂයයෙහි ද්වේශයෙන් යුක්තව ගැටීමට පත් වේ. එසේ හෙයින් නිරතුරුව අපහට ලෝකය තුළ විවාදයක් ම දක්නට ලැබේ. එයට හේතුව නම් සත්ත්වයින් අරමුණු විෂයයෙහි එකිනෙකට වෙනස් වූ සිතිවිලි ඉපදවීම ය.
ගැටුම
යමෙකුට ප්‍රියමනාප වූ ආරම්මණය තවත් අයෙකුට අප්‍රිය අමනාප වේ. ඇතමෙක් පිළිකුල් කරන අරමුණට තවකෙක් ඇලුම් කර යි. තමා අරමුණු ග්‍රහණය කළ ආකාරයට තම චින්තනයට අනුසාරයෙන් එය නිවැරදි යැයි පවසමින් එය පිළිනොගන්නා අනෙක් අය සමඟ විවාදයට පැමිණේ. තම දෘෂ්ටිය ම නිවැරදි යැයි සෑම විට ම හැඟවීමට උත්සහ දර යි. වාද විවාද ගැටුම් නිර්මාණය වීමේ පසුබිම මෙය වේ. රහතන් වහන්සේලා ඔවුනොවුන් සමඟ හෝ වෙනත් අය සමඟ කිසිදු ඝට්ඨනයක් ඇති නොකරගනුයේ අරමුණුවල ස්වභාවය මැනවින් දැන එය ඉක්මවා සිටින හෙයිනි. රහතන් වහන්සේලා තුළ කිසිදු විවාදයක් නොමැත.
කරුණු මෙසේ හෙයින් ලෝකය පිළිබඳ අපගේ ආකල්පය නිවැරදි විය යුතු ය. ඇස, කන ආදී ඉන්ද්රියයන් සුවසේ පවතින්නේ ද ආලෝකය සහ රූපාදි අරමණු ද නිසිලෙස පැවතී රූපාරම්මණය චක්ඛුප්රසාදයේ ගැටුණේ නම් රූප පෙනීම හෙවත් චක්ඛු විඤ්ඤාණයේ හටගැනීම කිසිවෙකුට ද වැළැක්විය නොහැකිය. ව්‍යවහාරය තුළ අප රූප දැකීම හෝ පෙනීම ලෙස අර්ථ දක්වන දෙය තුළ පවතින්නේ දස්සන කෘත්‍යය සිදු කරමින් චක්ඛුවිඤ්ඤාණයේ පහළ වීම ය. වෙනත් කිසිවක් සිදු නොවේ. හේතු ඵලයන් පිළිබඳ මනා අවබෝධයක් නොමැති හෙයින් සහ ආත්ම දෘෂ්ටිය ප්රහාණය නොවූ හෙයින් සිදු වූ දේ පිළිබඳ අවබෝධයක් නොමැති හෙයින් තමා රූපයක් දුටුවා යන සංඥාව ඇති කර ගනී. අනතුරුව දක්නා ලද දෙය තම අවබෝධයට සහ පූර්ව අද්දැකීම් අනුව විශ්ලේෂණය කොට ප්‍රිය හෝ අප්‍රිය වශයෙන් සිතුවිලි පහළ කර යි. එසේ නැතහොත් දෘෂ්ටියක් උපදවයි. යම් ආරම්මණයක් පාදක කොටගෙන තමා විසින් ගොඩනගාගන්නා අදහස් සමූහය සියලූ දෙනාට පොදු නොවන බව විශේෂයෙන් ම තේරුම් ගත යුතු ය.
අනේකවිධ වූ චින්තනයන්ගෙන් යුක්ත වූ මිනිසුන් පිරි ලෝකය තුළ කිසිවිටෙකත් තවත් කෙනකු තම අදහසට අනුව පාලනය නොකළ හැකි බව තේරුම්ගත යුතු ය. සත්ත්වයෝ ප්රතිසන්ධිය ලබා තිබෙනුයේ ඔවුනගේ කර්මයට අනුව ය. සසර පුරා තම සන්තානය හුරු කළ ආකාරයට සහ මේ ජීවිතයේ දී ප්රතිසන්ධිය ලබා දුන් කර්මයට අනුව සත්ත්වයෝ ජීවත් වෙති.
කර්මය
බොහෝ මිනිසුන් කල්පනා කරනුයේ තමා සිල්වත් වූ ජීවිතයක් ගත කරන හෙයින් අන් සියලූ දෙනා ද සිල්වත් විය යුතු ය යනුවෙනි. එසේ ම තමා ධර්ම මාර්ගය අනුගමනය කරමින් ධර්මයේ හැසිරෙන හෙයින් අන් සියලූ මිනිසුන් ද එසේ කටයුතු කළ යුතුය යන අදහසින් ඇතමෙක් ක්‍රියා කර යි. තම සිල්වත් බව පසෙක තබා අන්‍යයන් සිල්වත් කිරීමට උත්සහ දරයි. නොදැනුවත්ව ම තම අදහසට අනුව අන්‍යයන්ගේ ජීවිත හැසිරවීමට ගොස් බොහෝ පිරිස් සමාජය තුළ ගැටුම් උපදවා ගනි යි. ලෝකයේ ස්වභාවය කෙබඳුද යන්න ප්‍රථමයෙන් ම අවබෝධ කරගත යුතු ය. ධර්මාවබෝධය පිණිස පිළිපන් බොහෝ දෙනා තම ගමන් මාර්ගය වෙනතක තබා අන්‍යයන් ධර්මයෙහි හැසිරවීමට ගොස් විවිධ ගැටුම් ඇති කොට ගෙන නොමඟට පිවිස ඇත. ඒ බව ඔවුන්ට නොවැටහේ. අන්‍යයන් තම මතයට අනුව කටයුතු නොකරන විට ඔවුන්ගේ ජීවිත තුළ පවත්නා දුර්වල ස්වභාවයන් ඉස්මතු කොට දැඩිව විවේචනයට ලක් කරමින් අන්‍යයන්ගේ ජීවිත අපහසුතාවයට පත් කරන ආකාරය සමාජය තුළ කොතෙකුත් දක්නට ලැබේ. ධර්මාවබෝධය පිණිස පිළිවෙත් පිරීමට පැමිණි බොහෝ දෙනා තම මාවත වරදවා ගන්නේ මෙම අවස්ථාවේ දී ය.
ලෝකයේ සියලු දෙනා නිවන් දැකීමට කැමති නොවන බව වටහාගත යුතු ය. නිවන යනු තමා විසින් මහත් වීර්යයෙන් හා ප්‍රඥාවෙන් යුතුව උපදවා ගත යුත්තකි. සත්ත්ව ස්වභාවය පාදක කොටගෙන කිසිවෙකුත් විවේචනයට ලක් නොකළ යුතු ය. කර්මයට අනුව උපන් සත්ත්වයෝ එයට අනුව ජීවිත පවත්වා නැවතත් කර්ම උපදවා මේ ජීවිතය අවසන් කරමින් නැවත නැවත සසර ගමනට එකතු වේ. සංසාර චක්‍රයේ ස්වභාවය මෙය වේ. කිසිවෙකුත් මෙය පාලනය නොකරයි. හේතු ඵල න්‍යායට අනුව සිදු වේ.
දැක්ම
කරුණු මෙසේ හෙයින් ලෝකය සහ ජීවිතය යනු නාම රූප ධර්ම පරම්පරාවක් පමණක් වශයෙන් තේරුම් ගෙන අරමුණු හමුවේ ඇලීම් සහ ගැටීම් ඇති නොකරගෙන සන්සුන් වූ සාමකාමී සිතක් ඇති කරගැනීමට උත්සහ ගත යුතු ය.
ලබන සතියේ... එදිනෙදා ජීවිතය තුළ ප්‍රායෝගිකව ධර්මය හසුරුවන්නේ කෙසේ ද?
ජී.ජී.ජී. පුෂ්පකුමාර්
බෞද්ධ දර්ශනය (විශේෂවේදී)
බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී