අනතුරු සිදු වන්නේ කාගේ වරදින්ද? | සිළුමිණ

අනතුරු සිදු වන්නේ කාගේ වරදින්ද?

 පසුගිය සඳුදා පුවත්පත් කිහිපයක දැක්වුණු සිරස්තල කිහිපයකි මේ.

* 'මතුගම කලවාන මාර්ගයේ වෑන් රථයක් හා ජීප් රථයක් ගැටී වෑන් රථයේ ගමන් ගත් 3 හැවිරිදි දැරියක මරුට, 12කට තුවාල'

* 'තෙල්දෙණිය රංගල තැන්නේකඩේ ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 2ක් මරුට; 25කට අධික පිරිසකට තුවාල'

* 'කොට්ටාව ආනන්ද විදුහල අසල බීමතින් ගිය රියක් උඩුකුරු වේ; අයෙක් මරුට‘

* 'තෙල්දෙණියේදී මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන 3ක් මරුට'

යුද්ධය පැවැති සමයේ යුද ගැටුම් හා බිම්බෝම්බ ඇතුළු පිපුරුම්වලට ගොදුරු වූවාට වඩා පිරිසක් මහා මාර්ගයේ සිදු වන හදිසි අනතුරු නිසා මිය යන බව මේ වන විට අප හොඳින් දන්නා කරුණක්. මේ සම්බන්ධව කොතෙක් දැනුවත් කිරීම් සිදු කළත් මාධ්‍ය මඟින් කොතරම් කතා කළත් මේ අනතුරු අඩුවීමක් සිදු වන බවක් නම් පෙනෙන්න නැහැ. අනතුරු සම්බන්ධව පසුගිය සිදුවීම් විශ්ලේෂණය කරමින් අප කතා කරනවාට වඩා ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමතින් යුත් ප්‍රවාහනය හා අනතුරු සම්බන්ධව කාලයක් තිස්සේ පර්යේෂණරයන්හි නිරත වන අයකුගෙන් මේ අනතුරු සම්බන්ධ විස්තර දැනගැනීමට අප අදහස් කළා.

ඒ අනුව අප මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා හමු වුණා. ඒ මහතා මාර්ග අනතුරු සිදු වන ආකාරය සම්බන්ධව දීර්ඝ ලෙස අපට පැහැදිලි කළා.

‘වර්තමානය වන විට මාර්ග අනතුරු සිදු වීමෙන් සෑම පැය 3කටම එක් අයකු මිය යන තත්ත්වයක් අපට දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ දිනකට මාර්ග අනතුරු නිසා 8 දෙනෙක් මිය යනවා. මීට වසර 6කට පමණ පෙර මේ තත්ත්වය දකින්න තිබුණේ අනතුරුවලින් සෑම පැය 8කට අයකු - එනම්: දිනකට තිදෙනකු පමණක් මිය යන බවක්. එසේ වුවත් මේ තත්ත්වය දිගින් දිගටම වර්ධනය වීමෙන් රටේ නොපෙනෙන ගැටලු රැසක් ගොඩනැඟී ඇති අතර, තවත් අර්බුද ගණනාවක් ගොඩනැඟෙමින් පවතින බවත් පෙනෙනවා.

මේ වන විට පවත්වන ලද සමීක්ෂණයන්ගේ ප්‍රතිඵල මත මාර්ග අනතුරු සිදු වීමට හා වැඩි වීමට බලපා ඇති ප්‍රධාන හේතු 6ක් සොයාගෙන තිබෙනවා. ඒ හේතු අතර පළමු තැන ගන්නේ නොසැලකිලිමත් ලෙස රිය ධාවනයයි. දෙවැන්න අධික වේගයෙන් රිය ධාවනයයි.

පිළිවෙළින් ඒ සියල්ල මෙසේ වර්ගීකරණය කර දක්වන්න පුළුවන්:

1. නොසැලකිලිමත් ලෙස රිය ධාවනය

2. අධික වේගයෙන් රිය ධාවනය

3. මත් වතුර පානය කර රිය ධාවනය

4. අනාරක්ෂිත, ප්‍රමිතියෙන් අඩු හෙල්මට් භාවිතය

5. ජංගම දුරකතන භාවිත කරමින් රිය ධාවනය

6. රියැදුරන්ට නින්ද යෑම

මෙයින් පළමුවැන්න වන නොසැලකිලිමත් ලෙස රිය ධාවනයේ මුල් තැනක් ගෙන ඇත්තේ යතුරු පැදි හා ත්‍රිරෝද රථ බවයි අලුත්ම සමීක්ෂණ වාර්තාවලින් හෙළිව තිබෙන්නේ. අනතුරුවලින් වැඩිම පිරිසක් මිය යන්නේද මේ වාහනවලින් බවත් වර්තා වනවා. විශේෂයෙන්ම, යතුරුපැදි මාර්ගයේ වම්පසින් ඉස්සර කරන යතුරුපැදිකරුවන් බොහෝවිට මාර්ගය භාවිතා කරන පදිකයන් පවා අනාරක්ෂිත තත්ත්වයකට පත් කර තිබෙනවා. ත්‍රිරෝද රථයන්හි තත්ත්වයත් එසේමයි. අනෙකුත් වාහන පවා මාර්ග නීති නොතකා අපරීක්ෂාකාරී ලෙස ධාවනය කිරීම නිසා අනතුරු සිදු වන බවත් මෙහිදී පෙනී යනවා. පසුගිය දිනවල සිදු වූ අනතුරුවලින් වැඩි හරියක් මේ නොසැලකිලිමත්කම නිසා බවයි පෙනී යන්නේ.

දෙවැන්න වන අධික වේගය නිසා වාහනය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් අනතුරු සිදු වන අතර, හදිසි අවස්ථාවල රථය නවත්වාගැනීමට නොහැකි වීමෙන් අනතුරට පත් වනවා.

මත්වතුර භාවිතය නිසාත් සිදු වන අනතුරු වැඩිව ගොස් ඇති අතර, අනාරක්ෂිත හෙල්මට් භාවිතය නිසා පැදිකරුට නිසි පරිදි ආරක්ෂාවක් නොලැබෙන්නා සේම, එම හෙල්මට් අඩ්‍ර ප්‍රමිතිගත නිසා මාර්ගය පවා නිසියාකාරව දැකගැන්මට නොහැකි තත්වයකට පත් වනවා. මෙය බොහෝ දෙනකු නොදන්නා කාරණයක් වුවත් ඒ තත්ත්වය එන්න එන්නම වැඩි වෙමින් පවතින බවත් පෙනී යනවා.

දැනට වසර කිහිපයක සිට රියැදුරන් අතින් සිදු වන වැරැද්ද ලෙස කරළියට ආවේ ජංගම දුරකකන භාවිත කරමින් රිය පැදවීමයි. මේ නිසා අවධානය නිසි පරිදි යොමු නොවී සුක්කානම නිසි පරිදි හැසිරවීමට නොහැකි වීමෙන් හා කතා කරන අනෙක් තැනැත්තා සමඟ යම් උරණ වීමක් සිදු වුව හොත් තමන් වාහනයක් හසුරුවන බව අමතකව යන තත්ත්වයක් පවා දකින්නට තිබෙනවා.

රිය අනතුරුවලට වසර දෙකකටත් අඩු කාලයක් තුළ එක් වූ හේතු සාධකය වන්නේ නින්ද යෑමයි. මේ සඳහා බල පවත්වන ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. මේ වන විට අපේ රටේ බෝ නොවන රෝගීන්ගේ විශාල වැඩි වීමක් දක්නට තිබෙන අතර විශේෂයෙන්ම කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග සඳහා ප්‍රතිකාර ගන්නා පිරිස අධික ලෙස වැඩි වී තිබෙනවා. ඔවුන් විසින් ලබා ගන්නා ඖෂධ හේතුවෙන් නිඳිමත ස්වභාවය පැවතීම සාමාන්‍ය දෙයක් වන අතර, මේ නිසා රිය පදවනු ලබන පුද්ගලයන්ටද එයින් ගැලවීමට හැකියාවක් නැහැ. එම නිසා ඔවුන් අනතුරුවලට පත්වන තත්ත්වයක් දක්නට තිබෙනවා.

එමෙන්ම අධික ලෙසින් වෙහෙස වී රිය පැදවීමේ ස්වභාවයත් මේ සඳහා බලපා තිබෙනවා. විශේෂයෙන්ම මානසික ආතතියත් පැය ගණනාවක් තිස්සේම එක දිගටම ධාවනයේ යෙදී සිටීමත් රියැදුරන් අතින් අනතුරු සිදුවිමට හේතු සාධක වන බවට මේ වන විට අනාවරණය වී ඇති කරුණුයි. එසේම බොහෝ බර වාහන රියැදුරන් මුදල් පසු පස හඹා ගොස් තවත් ගමන් වාරයක් කරා කඩිනමින් යාමට උත්සාහ කිරීම නිසා මේ තත්ත්වය තවත් වර්ධනය වී තිබෙනවා. බස් රථයක් නම් කඩිනමින් ගමන් වාරයක් ලබා ගැනීමට යාමත්, ගල් වැලි පස් ආදිය ප්‍රවාහනය කරනු ලබන වාහනයක් නම් තවත් වාරයක් කඩිනමින් ප්‍රවාහනයට යාමට උත්සාහ දැරීම නිසා අනතුරු බහුල වී තිබෙනවා. වෙනත් රටවල රියැදුරන් එක දිගට සේවයේ යෙදිය හැකි උපරිම කාල-වේලාවන් නියම කර තිබුණත් අවාසනාවට අපේ රටේ එවැනි නීති පද්ධතියක් නැහැ.

මේ දක්වා අප කතා කෙළේ රියැදුරන් අතින් සිදුවන වැරැදි ගැනයි. මේ අනතුරු සඳහා පදිකයන්ද විශාල වශයෙන් දායක වන තත්ත්වයක් දක්නට තිබෙනවා. විශේෂයෙන්ම පදික මාරු භාවිත කරමින් මාර්ගය හරහා යන පිරිස ඉතා අඩු තත්තවයකයි පවතින්නේ. මේ නිසා සිදු ඉවන අනතුරු වැඩි වෙමින් පවතිනවා. බොහෝ විට නගරබද නොවන පළාත්වල පදික මාරු තිබුණත් 90%ක් පමණ මාර්ගය හරහා යන්නේ අනාරක්ෂිත ලෙස බවයි පෙනී ගොස් තිබෙන්නේ.

එමෙන්ම මාර්ග නීති-රීති කිසිදු සැලකිල්ලකට නොගෙන මාර්ගය භාවිත කිරීම මෙන්ම ජංගම දුරකථන භාවි කරමින් මාර්ගය හරහා යෑමත් මේ අනතුරු වැඩි වීමට බලපා තිබෙනවා.

මාර්ගවල තිබෙන යම් යම් අඩුපාඩුත් අනතුරුවලට හේතු සාධක වී තිබෙන බැවින් ඒ සඳහා වන හේතු සොයා බලා මේ වන විට එවන් ස්ථාන හඳුනාගනිමින් තිබෙනවා. උදාහරණ වශයෙන් අඳුරු ස්ථාන ආලෝකය වැටෙන සේ සකස් කිරීම අපහසු තීව්‍ර වංගු සහිත මාවත්වල කණ්ණාඩි සවි කිරීම වැනි ක්‍රියා මාර්ගත් මේ වන සිදු කර තිබෙනවා.

කෙසේ වුවත් අපේ රටේ සිදු වන බොහෝ රථ වාහන අනතුර වළක්වාගත හැකි බවයි පෙනෙන්නේ. පසුගිය දිනවල සිදු වූ අනතුරු දෙස බැලූ විට අපට පෙනී යන්නේ එවන් තත්ත්වයක් බවයි. හොඳම උදාහරණය කොට්ටාව ආනන්ද විදුහල අසල මාරාන්තික රිය අනතුරයි. එහිදි රියැදුරු බීමතින් සිට අධික වේගයෙන් නොසැලකිලිමත්ව වාහනය පදවා ඇති බවට වාර්තා වුණා සේම සී සී ටී වී කැමරා හරහා ඒ බව තහවුරු වුණා.

එසේම මීට දින කිහිපයකට පෙර ත්‍රිරෝද රථයක පාසල් සිසු-සිසුවියන් 13 දෙනකු රැගෙන ගොස් සිදු වූ අනතුරත් වළක්වාගත හැකිව තිබුණා. ත්‍රිරෝද රථයක රියැදුරා සමඟ උපරිම වශයෙන් ගමන් කළ හැක්කේ හතර දෙනකුට පමණයි. ඒත් රියැදුරු හැරෙන්නට එහි දරු දැරියන් 13 දෙනකු ගමන් කර තිබෙනවා. රියැදුරා දෙපැත්තෙන් දරුවන් දෙන්නයි. පිටුපස අසුන් ගෙන සිව් දෙනෙක් හා ඔවුන්ගේ ඔඩොක්කුව මත තවත් සිවුදෙනෙක් හා රියැදුර අසුන පිටුපසින් ඇති යකඩ වැට අල්ලා සිටගෙන තවත් තිදෙනෙක් වශයෙන් සියලු දෙනා 14 දෙනකු ගමන් කර තිබෙනවා. මේ රථය දිනපතාම මේ ආකාරයෙන් ගමන් කර ඇති බව වාර්තා වී තිබෙනවා. මේ බව පොලිස් නිලධාරීන් නොදැන, නොදැක තිබීම පුදුමයක් ලෙසයි සිතාගැන්මට වන්නේ.

ඊටත් වඩා පුදුමය වන්නේ මේ දරුදැරියන්ගේ මවුපියන් මේ රථයේ අනාරක්ෂිත අයුරින් තම දරුවන්ට ගමන් කිරීමට සැලැස්වීමයි. මේ රියැදුරා දිවා කාලයේ පවා මත්වතුර පානය කරන අයෙක්. ඔහු දරුවන් පාසල් නිමවූ පසු රැගෙන එන්නේ බීමතින්. මේ බව මවුපියන් දැන ගෙන සිටියත් රුපියල් 400ක 500ක මාසික වාසියක් තකා මේ අයුරින් නොසලකා හැර තිබෙනවා.

එයින් බරපතළ ලෙස තුවාල ලද දැරියක් කම්පනයෙන් තවමත් රෝහලගතව ප්‍රතිකාර ලබනවා. ඇය වෙනුවෙන් මේ වන විට රජය මඟින් රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් වැය කර තිබෙනවා. දරුවා තවමත් විඳවනවා. මවුපියන් දුක් විඳිනවා. ඔවුන්ගේ ජීවන වෘත්තීන් අතර මඟ, ඥාතීන්ගේ සියලු කාර්යයන් අතරමඟ ඇනහිට ඇති. ඒ දරුවා ගේ ජීවිතයටම කළුපැල්ලමක් මෙන්ම ආබාධ තත්ත්වයක් හටගෙන තිබන්නේ. මෙහි මූලබිජය දෙස බැලූ විට රුපියල් 500ක පමණ මාසික ලාභයක් තකා තම දරුවන් අනතුරට පත් කිරීමට මවුපියන් කටයුතු කිරීමක් ලෙස දකින්න පුළුවන්.

මේ අයුරින් යතුරුපැදි අනතුරුවලින් දිනකට 20ත් 24ත් අතර සංඛ්‍යාවක් තුවාල ලබා හදිසි අනතුරු වාට්ටුවට ඇතුළු කරනවා. ඔවුන් වෙනුවෙන් දිනකට රජය රුපියල් ලක්ෂ 150කට අධික මුදලක් ප්‍රතිකාර සඳහා වැය කරනවා. ටිකක් සිතා බලමු එතැනින් කිලෝමීටරයක් පමණ වන දුරකින් ඇති රිජ්වේ ළමා රෝහලේ දරුවන් රැසක් හෘදය සැත්කම් සඳහා පොරොත්තු ලේඛනයේ වසර ගණනාවක් බලා සිටිනවා. නොසැලකිලිමත්කම නිසා සිදු වන මෙවන් රිය අනතුරුවලින් දිනකට ලක්ෂ 150ක පමණ මුදලක් ඉතිරි කරගත හැකි නම් එතැනින් දරුවන් රැසකට කඩිනමින් ජීවිතය ලබා දෙන්න පුළුවන් වෙනවා.

මේ ආකාරයේ අපට මතුපිටින් නොපෙනෙන විශාල සමාජ අර්බුදයක් අනතුරු නිසා නිර්මාණය වී තිබෙනවා. එපමණක් නොවේ; රථවාහන අනතුරු දෙස බලන විට සාමාන්‍යයෙන් වසරකට රථවාහන අනතුරු 36,000ක් පමණ සිදු වන අතර, පොලිස් ස්ථානවලට වාර්තා නොවන මාර්ග අනතුරු සංඛ්‍යාව 40,000ක් පමණ වන බවත් මේ වන විට සමීක්ෂණයන්ගෙන් හෙළි වනවා. පසුගිය වසරේ සිදු වූ රථ වාහන අනතුරු නිසා මිය ගිය සංඛ්‍යාව 2961ක් වන අතර, එයින් 1894ක්ම පවුල නඩත්තු කරන පියවරුන් බවයි වාර්තා වන්නේ. සංඛ්‍යා ලේඛන අනුව මිය යන පිරිසෙක් 70%ක්ම පියවරුන් නැත් නම් පවුල නඩත්තු කරන අයයි. එවිට සිදු වන්නේ පවුලේ ආදායම් මාර්ග අහිමි වී යෑමයි. එවිට මව ආදායම් උපයන්නිය බවට පත් වී යෑමෙන් පවුලේ දරු-දැරියන් අනාරක්ෂිත බවට පත් වනවා. විශේෂයෙන්ම මේ වන විට එම දරු දැරියන් බිලි ගන්න මත් උවදුර ඇතුළු විවිධ අපචාර ක්‍රියා බලා සිටිනවා. මේ තත්ත්වය අනුව බලන විට හදිසි අනතුරකින් පුද්ගලයකු තුවාල වීමට මරණයට පත් වීමට වඩා විශාල සමාජ අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. ඒ තත්ත්වය තේරුම් ගැනීමට මේ වන විට රජයට පවා විවිධ යෝජනා ලබා දී තිබෙනවා.

මෙහිදී අප නොදන්නා තවත් කරුණක් කෙරෙහිද අවධානය යොමු කළ යුතු වනවා. පසුගිය වසරේදී යතුරු පැදි අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 1149 ක් වන අතර ත්‍රිරෝද රථ අනතුරුවලින් 376ක් මියගොස් ඇති අතර පදිකයින් 865ක් මියගොස් තිබෙනවා. ඒ අනුව දිනකට පදිකයන් තිදෙනකු පමණ අනතුරුවලින් මිය යන බවක් ද පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව මේ වන විට මාර්ගය පයින් ගමන් කරන්නන්ට පවා ඉතා අවදානම් බවක් පෙනෙන්නට තිබෙනවා.

රථ වාහන අනතුරු සිදු කරන රියැදුරන්ට නිසි පුහුණුවක් ලබා නොදීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බව සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. රියැදුරු පුහුණු පාසල් මඟින් රියැදුරකු බිහි කරන්නේ පැය 5කටත් අඩු කාලයක් මහා මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමෙන් පසුවයි. එය කිසි සේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. පැය 5කටත් අඩු කාලයකින් රියැදුරකු බිහි කිරීම කිසිසේත්ම කළ නොහැකියි.

එසේම ජනතා ආකල්ප වෙනස් කිරීමටත් දැන් කාලය පැමිණ තිබෙනවා. ලෝකයේ වෙනත් රටකට ගිය විට අප ඒ රටේ නීතිය අනුව කටයුතු කරන නමුත් අපේ රටට පය ගැසූ සැණින් යළිත් අපට අවශ්‍ය ආකාරයට නීතිය අපට අවශ්‍ය අයුරින් යොදාගෙන කටයුතු කරනවා.

නිඳිමත මෙන්ම අධික වෙහෙස වැනි තමන්ට ස්වභාවයෙන් එක්වරම වළක්වාගැනීමට අපහසු ක්‍රියාදාමයන් නිසා ඉදිරියේදී ප්‍රධාන මාර්ගයන්ගේ විවේක ගැනුම් ස්ථාන 30ක් පමණ ස්ථාපික කරන්න යෝජනා කර තිබෙනවා. එවිට රථය මඳ වේලාවක් නතර කර තබා තේ පානය කර හෝ සුළු වේලාවක් විවේක ගෙන හෝ යෑමට හැකි වන පරිදි ප්‍රධාන මාර්ගයන්ගේ වාහන ගමනාගමනය විධිමත් කිරීමේ සැලසුම් යෙදෙමින් පවතිනවා.

එමෙන්ම මාර්ගයේ ගමන් කරන විට තමන් හැම විටම දෙවැනියා වන්න උත්සාහ ගන්නේ නම් අනතුරු වැඩි වශයෙන් වළක්වාගන්න පුළුවන්. මෙහි ගැටලුව වන්නේ හැම විටම තමන් පළමුවැනියා වීමට උත්සාහ ගැනීම නිසයි. එමෙන්ම පයින් ගමන් කරන්නන්ද මහා මාර්ගය තමන්ට කොතරම් අනාරක්ෂිතද යන්න ගැන විමසා බලා කටයුතු කළ යුතු වෙනවා. එසේ නොමැති වුව හොත් රථ වාහන අනතුරු යන්න අපට සදාකල්ම විසැඳුමක් නැති මෙන්ම ජනමාධ්‍ය ඔස්සේ සැමදා සාකච්ඡාවට බඳුන් වන කාරණයක් පමණක් වනවා ඇති.

තාරක වික්‍රමසේකර 

Comments