දසුන් ඉතිරි කළ “දසුන්” රටට කුමට ද? | සිළුමිණ

දසුන් ඉතිරි කළ “දසුන්” රටට කුමට ද?

 දක්ෂ නිරූපණ ශිල්පියකු හා යොවුන් නළුවකු වූ දසුන් නිශාන් ද සිල්වා එල්ලී මිය ගිය පුවත ලැව් ගින්නක් සේ මාධ්‍ය පුරා ප්‍රචාරය වෙයි. එයට වැඩිමනත් උඩගෙඩි තබන්නේ අන්තර්ජාලය හා මුහුණුපොතය. මෙය වැදගත් ප්‍රවෘත්තියක් සේ නොගිණිය යුත්තක් වන අතර ඊට ලබාදෙන අනිසි ප්‍රචාරය මෙවැනි සිදුවීම් සඳහා යොවුන් පෙළ පොලඹවන දෙයක් විය හැකි යැයි අපි කල්පනා කරමු. එහෙත් සමාජ මානව විද්‍යාවේ එන “Social Action” යන්න සමාජ හැසිරීම හා සමාජ කරුණු යන දෙකින් විමුක්තව සිටීමට සමාජයක් වශයෙන් අපට බැරිය. සිරස රූපවාහිනියේ විවිධ ටෙලිනාට්‍ය අතරින් හා නිරූපණ කටයුතුවලින් තරමක් මතුව සිටි 28 හැවිරිදි මේ තරුණයා මිය ගියේ ඇයිදැයි සමාජය අසන පැනයට පත්තර හැටියට අපට ද කිසියම් විග්‍රහයක් තිබේ. ඔහු රඟපෑ ‘දේදුනු ආකාසේ’ යන චිත්‍රපටිය තිරගතවීමට තවත් ඇත්තේ දින 10 ක් පමණ කාලයක් පමණි.

තරමක ජනප්‍රිය තලයේ සිටි හිරිමල් තරුණයකු හිටිහැටියේ මෙසේ සිය දිවි නසා ගත්තේ ඇයි? ඔහු තමාගේ සියදිවි නසා ගැනීම වීඩියෝ ගත කැර සමාජයට ප්‍රදානය කළේ ඇයි? එම මානසිකත්වයට ඔහු ගෙන ගියේ කවුරුන්ද? මේ ප්‍රශ්න යම්බඳු ආකාරයෙන් සමාජ ප්‍රශ්නයක් වන තරමට ම බරපතළ ය. කොහොම නමුත් මේ ප්‍රශ්නය හරිහැටි තේරුම් ගැනීමට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදි (28 දා) පැවැති මේ පිළිබඳ මරණ පරීක්ෂණයේදි හෙළිදරව් වූ කරුණු සමහරක් වැදගත් වෙයි. පිළියන්දල මඩපාත හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු හක්මන ගේ අජිත් විජේසිංහ හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරිපිටදි මේ මරණ පරීක්ෂණය පැවැති අතර පිළියන්දල පොලිසියේ කොස්තාපල් ජයරත්න මහතා සාක්ෂි මෙහෙයවීය.

මේ රංගන ශිල්පියාගේ මව ලලිතා ස්වර්ණා කුමාරි හේරත් මහත්මිය මෙසේ කීවාය.

‍“මිය ගොස් සිටින්නේ මගේ වැඩිමහල් පුතා. මට තවත් පුතෙක් ඉන්නවා. එයා උසස් පෙළ විභාගය අවසන් කරලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නේ. ලොකු පුතා වන දසුන් රංගන ශිල්පියෙකු හැටියට කටයුතු කළත් එයාට පරිගණක ඉංජිනේරු උපාධියක් ද තියෙනවා. ඔහු රංගන ශිල්පයට ආසා කළා. ඒ නිසා පිළියන්දල බෝඩිමක නතරවෙලත් හිටියා. මායි පොඩි පුතයි පදිංචිව ඉන්නේ නිට්ටඹුව කත්තොට ප්‍රදේශයේ අපේ නිවසේ. දැනට අවුරුදු 2 1/2 කට පමණ පෙර සිටන් දසුන් ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් සමඟ විවාහ ‍වෙලයි හිටියෙ. ඒත් එයාව පුතා අපේ ගෙදරට කැන්දාගෙන ආවේ නෑ.”

“පහුගිය දවස්වල මගෙ ලොකු පුතා දසුන් දුරකථනයෙන් මට කතා කැර එයා නිළියක් එක්ක සම්බන්ධතාවක් තියෙනවා. එයාව බඳින්න ඕනෑ. මෙයාගෙන් අයින් වෙන්න ඕනෑ කීවා. මං ඒකට විරුද්ධ වුණා. මං පුතාට අවවාද කළා එහෙම කරන්න එපා කියලා. ඒත් එයාගෙ වෙනසක් තේරුණේ නැහැ. මෙහෙම වැඩක් කරගනී කියලා මා හිතුවෙ නෑ. අද ඒ සුදු මුහුණ, රූපය මට දකින්න නෑ.”

විවාහක බිරියගේ කතාව ඊටත් අනුවේදනීය ය.

කුඩා කාලේ සිට ම දසුන් මා හඳුනනවා. වසර 13 ක ප්‍රේම සම්බන්ධතාවකට පස්සෙ දෙපාර්ශ්වයේ ම නෑ හිතවතුන්ගේ ආශිර්වාද ලබාගෙන අප මීට අවුරුදු 2 1/2 කට පෙර විවාහ වුණේ. දැනට අවුරුද්දක් විතර ඉඳන් තවත් ගෑනු ළමයෙක් එක්ක දසුන් සම්බන්ධතාවක් පවත්වන බව මා දැනගත්තා. ඒක කීවේ දසුන්මයි. එයාට මාවත් ඕනෑ. එයාවත් ඕනෑ කියමින් තමයි හිටියෙ. හිටිගමන් අර (ගෑනු ළමයා) නිළිය මට දුරකථනයෙන් කතා කරන්න ගත්තා. මං ඉන්නෙ දසුන් එක්ක. එයා නැතිව මටත් බෑ. මම දසුන්ට ගොඩාක් ආදරෙයි. මට එයා දෙන්න කියලා තමයි කෝල් කළේ. ඒත් දසුන්ට මාත් ආදරෙයි. මං ඒ නිසා විවාහයෙන් ඈත් වෙන්න කැමැති වුණේ නෑ. දසුන් එල්ලිලා මැරුණු බව මා දැනගත්තෙ ඒ ළමයාගෙන්. මං ඇහුවා මේ කසු කුසුව අස්සේ දසුන්ට කරදරයක්ද කියලා. එතකොට එයා කීවා ඔව්, කරදරයක්. මාත් දැනගත්තේ දැනුයි කියලා.

දසුන්ගේ පියා කැනඩාවේ උසස් රැකියාවක් කරන්නෙකි. දසුන් පරිගණක උපාධියක් දිනා සිටියෙකි. හිත හොඳ කොල්ලකු ලෙස ක්ෂේත්‍රයේ ජනප්‍රියව සිටි ඔහු මෙතරම් මෝඩ වැඩක් කරගත්තේ කෙලෙසකදැයි අපට ද ප්‍රශ්නයකි.

නළුවකු හෝ අධ්‍යක්ෂවරයකු නැත්නම් කිසියම් මාධ්‍යයක් හරහා ජනතාවට සමීප වන ඕනෑ ම කෙනෙකු තුළ යම්බඳු වගකීමක් තිබිය යුතුය. ඒ වගකීම අප දැරිය යුතු වන්නේ කිසියම් බාල පරපුරක් මේ දෙස ඕනෑකමින් බලා සිටින නිසාය. දසුන් වැන්නන් තමා මැරෙන හැටි වීඩියෝ ගත කැර ඒවා සමාජයට ප්‍රදානය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? සමහරවිට මැරෙන්ඩ පෙර ඔහු ලියූ ලිපියේ ලියා ඇති පරිදි ම තම මරණය තමා විසින් ම කරගත් බව ඒත්තු ගන්වන්නටද විය හැකිය. එහෙත් මෙය විශාල මානසික ව්‍යාධියකි.

මේ සිද්ධිය දෙස මැදහත්ව බලන සමාජ විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ මේ තරුණයා හා එබඳු මානසිකත්වයක් ඇති පිරිස මේ රටේ දැන් බහුල වෙමින් පවතින බවය. ඊට ප්‍රධාන හේතුව විශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක්, සාහිත්‍ය සංවාදයක්, සමාජ කතිකාවතක් නැතිකමය.

‘දැනීම’ හෝ ‘නොදැනීම’ මත සමාජයේ මෙවැනි සිද්ධි පසුපස හඹායන පරපුරක් බිහි වෙමින් සිටී. එය වැරැදි කොණින් අල්ලා අත්හදා බලන්නට යන්නට පුළුවන. ඒ ඔවුන්ගේ රසවින්දනය නිර්වින්දනය වී ඇති නිසාය.

දසුන් ‍ගොදුරු වූ මේ පිටරට ඌරුවට සකස් කරන ටෙලිනාට්‍ය සංස්කෘතිය තුළ සිදුවන්නේ අපට ආගන්තුක සංස්කෘතියක් මේ රටට ගොඩ බෑමය. නොයෙක් කුහකකම් සැලසුම් කරන, මැරෙන හැටි, මරන හැටි එළිපිට කතා කරන, පවුලේ එකිනෙකා පරයා ඔවුනොවුන් අම්මා, තාත්තා, පුංචිඅම්මා, නැන්දා, අයියා, නංගී, අක්කා, ලොකු මල්ලි, පොඩි මල්ලි අතර කා කොටා ගන්නා සැලසුම් හදන හැටි‍ පෙන්වන මේ කාලකණ්ණි පිටරට ටෙලි සංස්කෘතියේ මෙවන් ප්‍රතිඵල අනිවාර්ය ය.

එනිසා මේ සිද්ධි පසුපස වටිනාකමක් ලබාදීම වැදගත් නැත. ඒත් සමාජ හැසිරීම මේ හරහා මතු කිරීම මාධ්‍යයක වගකීම ය. ටෙලිනිස හිටපු සභාපති හා ප්‍රවීණ නාට්‍යවේදි ඩග්ලස් සිරිවර්ධන මේ සිද්ධිය ගැන මෙසේ කීවේ ය.

“දුකකිනි මිනිසත් බව ලැබගන්නේ
කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ

කියන අපූරු කවියයි මට මුලින් ම මතක් වෙන්නේ. රංග ශිල්පය, නිරූපණය, වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය හෝ වෙනත් ඕනෑ ම කලාවක කිසියම් ප්‍රතිභාවක් පෙන්වන්න කෙනෙකුට ඒ අතර ලැබෙනවා නම් ඒ දුකකින් ලබාගත් මිනිසත්කම තවත් වර්ණවත් කැර ගැනීමක්. වටිනාකමක් ලබා ගැනීමක්. ඒත් මේ නළුවා තුළින් මතු විය යුතු මානව දයාව කියන ගුණය එයා අමතක කරලා මානව හිතවාදි නැති දේ පමණක් කරලා. මැරෙන්න ශක්තියක් ගත්තු එයාට ජීවත් වෙන්න ශක්තියක් තිබ‍ුණෙ නෑ. නළුවෙක්, කලාකරුවෙක් මීට වඩා වගකීම් සහගතව මානව දයාවෙන් මේ සමාජය දිහා බලන්න ඕනෑ. තමා මැරෙන වීඩියෝව තව කෙනෙක් දකිනවාට එයා කැමැති වුණා. ඒ නිසයි ඒක සමාජයට දෙන්න එල්ලිලා මැරෙන්න බාධා අතරත් උත්සාහ කළේ. මේක බරපතළ ඛේදවාචකයක්. මෙය වැරැදි පූර්වාදර්ශයක්. මේවා වළක්වන්න සමාජයක් හැටියට මුළුමහත් කලාකරුවන් සියලු දෙනා එකතුවෙන්න ඕනෑ, නැත්නම් මේ සමාජය විනාශ වේවි. සමාජය යහපත් තැනක් කිරීමයි කලාකරුවාගේ වගකීම. යුතුකම. නැතිව ඒ හරහා වැරැදි පෙලඹවීම් ඇති කිරීම නොවේ.”

මේ තරුණ නළුවා ගේ ජීවිතය විනාශ වූයේ, අනවශ්‍ය සම්බන්ධකම් නිසා බව ඇතැමෙක් කියති. මේ රටේ ඇතැම් නිළියන් කුටුම්භයන් විනාශ කළ පළමු අවස්ථාවද මෙය නොවේ. ඔවුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීම ද වරදකි. අන් සතු දේ පැහැර ගැනීමට යාමෙන් දෙදෙනාට ම විපත් සිදුවන බව සමහර ජාතක කතාවල කියැවෙන අන්දමේ සිදුවීමක් මෙහි අන්තර්ගතය.

එහි ඇත්තේ නීරස භාවය මුසු කනගාටුදායක සිදුවීම් ඡායාවක් පමණි.

උපාලි සමරසිංහ

Comments