
එකෝමත් එක දවසක මහා විශාල ගඟක කිඹුල් සමාජයේ නායකයා අමතා හාවෙක් මෙහෙම කීවා: “මම හිතන හැටියට කැලේ ඉන්න හාවුන් ගණන ගඟේ ඉන්න කිඹුලන්ට වඩා වැඩියි.” එයින් අපහසුතාවට පත් කිඹුල් නායකයාට මේ ප්රශ්නය සැබැවින්ම නිරාකරණය කරගැනීමට ඕනෑ වුණා. කතා කරගත් පරිදි දිනෙක සියලු කිඹුලන් හමුදාවක් මෙන් ගඟ හරහා පෙළගැස්වුවා. හාවා ඒ කිඹුලන් එකිනෙකාගේ පිටට පනිමින් 'එකයි, දෙකයි' කියා ගණන් කළා. ගඟේ එගොඩ ඉවුර දක්වාම කිඹුල් ගහනය පේළියට හිටියා. එගොඩ ගොඩට පැනගත් හාවා මෙහෙම කීවා:
“කිඹුලන් වැඩි වුණත් එකයි
හාවන් වැඩි වුණත් එකයි
මට ඕනෑ කළේ එකයි
මෙගොඩට පැනගන්න-එකයි”
මෝඩ වූ කිඹුල්ලු කේන්තියෙන් පුපුර-පුපුරා ආපසු දිය යටට ගියා. කොහොමද කපටි මොළේ! හාවාගේ කපටිකම හෝ ඥානවන්තකම පිළිබඳ ආච්චිලා සීයලා අපට කියා දුන් කතන්දර අතරින් එකකි ඒ. හාවාගේ මෝඩකම් ගැන කීමට 'කොහොල්ලෑ බබාගේ කතාව', 'හාවයි නරියයි ලබු කිරිබත් කෑ හැටි' වගේම 'ඉබ්බගෙයි හාවාගෙයි රේස් දිවිල්ල' ගැනත් නෑසූ කෙනකු නැති තරම්. ඒත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා හාවා පිළිබඳ අපට කියන්නේ වෙනස් කතා පෙළකි.
“මම නම් ඔය සතා හඳුන්වන්නේ ‘වල් හාවා’ කියලා. ‘වල්’ කියන්නේ වනයේ සැරිසරන කියන අදහසින්. අපේ රටේ පමණක් නොවේ, ලෝකයේ සෑම වනාන්තරයකම පාහේ වල් හාවුන් ජීවත් වෙනවා. එහෙත් අපේ රටේ වල් හාවා අපටම ආවේනික උප-විශේෂයක්. වනගත ප්‍රදේශ, ගම්මාන, නාගරික පෙදෙස් සියල්ලේම පාහේ ඉඳහිට මේ හුරුබුහුටි සතා දැකගන්න පුළුවන්. ඒත් කණගාටුවට කරුණ මසට කෑදර අපේ මිනිස්සු රාත්තල් දෙක-තුනක්වත් බර නැති මේකා දුටු තැන මරා කන-එකයි.
“අපේ වල් හාවා කහ පැහැයට හුරු මඩ-දුඹුරු පාටයි. ආසියාවේ වෙනත් රටවල් විවිධ පාට සාවුන් ඉන්නවා. ඉන්දුනීසියාවේ ලස්සනට පාට පාට මිශ්‍ර වුණු සාවුන් දකින්න පුළුවන්. ඒත් ශීත රටවල ඍතු භේදයට අනුව උන්ගේ පැහැය වෙනස් වෙනවා. වසන්ත ඍතුවේදී අපේ මෙන්ම දුඹුරු පැහැයක් ගත්තත් ශීත ඍතුවේදී ඒ ලෝම හළා, සුදු පැහැ ලෝම වැස්මකින් සැරසෙන්න ඒ හාවන්ට පුළුවන්. එය සුදු පැහැ හිමේදී විලෝපිකයන්ගෙන් බේරෙන්න උන්ට සොබා දහමෙන් ලැබුණු දායාදයක්.
“බැලුබැල්මට දුඹුරු කීවට අපේ වල් හාවාගේ යටි බඩ පෙදෙස සුදට හුරුයි. උගේ පමණට වඩා විශාල කන් දෙක හඳුනාගැනීමේ ලක්ෂණයක්. සමහරුන් කියන්නේ එය ශරීර අනුපාතයට විරුද්ධ ලෙස වැඩිලා කියලයි. මොකද: අඩියක් එකහමාරක් පමණ දිග ශරීරයට සාපේක්ෂව අඟල් හත-අටක් දිග කන් දෙක ඌට ලොකු වැඩියි. ඒත් වල්ගය කෙටියි: නොපෙනෙන තරම්. එහෙත් ගෝණන්ගේ මුවන්ගේ වගේ පහළට නොවෙයි ඉහළට එසවුණු වල්ගයක් තිබෙන්නේ. එය පෙනෙන්නේ හාවාට කේන්ති ගිය විට හෝ කලබලයට බය වුණු විට පැන පැන යද්දීයි.
“හාවුන් පැන පැන යන්නේ ඇවිදින්න බැරි නිසයි. උන්ගේ ඉදිරි පාදවලට වඩා දෙගුණයක් පමණ දිග පසු පාද එකවර අඩි 12-15ක් පමණ පැනීමට තරම් ලොකු ගැම්මක් ගැනීමට උපකාර වනවා. එවැනි හැකියාවක් ලැබෙන්නෙත් ආරක්ෂාවටයි.
“අහිංසක හාවාගේ දන්ත සැලැස්මත් තිබෙන්නේ කන් වගේම නොගැළපෙන අනුපාතයකට. ඉදිරියෙන්ම තිබෙන කෘන්තක දත් අනවශ්‍ය දිගු බවක් පෙන්වනවා. ඒත් රදනක දත් මාංසභක්ෂකයන්ගේ වගේ වැඩී නැහැ. ඒ දන්ත සැලැස්ම ලෑටි ගා කෑමටත්, පොළොව යට ඇති අල බතල හාරා උලා කෑමටත් උදවු වනවා. “මුළුමනින්ම ශාක භක්ෂකයකු නිසා තණ කොළ, උඳුපියලිය, උඩට නොවැඩුණු පඳුරු වැනි දේ වගේම අඩි තුන හතරක් උසින් ඇති පලතුරුත් පැන කඩාගෙන කන්න හැකියාව තිබෙනවා. කොහොම වුණත් ළපටි එළවුළු සා මෙනු පතේ රස අංගයක් නිසා ගොවියන්ගේ හතුරෙක් හැටියටයි හඳුන්වන්නේ.” වෛද්‍ය අතපත්තු එක හුස්මට කියාගෙන ගියේය. ඉන් පසු ඔහු කීවේ අහිංසකයා නපුරකු වන අවස්ථාය.
“හාවා මෙන්ම හාවිය ජීවත් වෙන්නෙ තනිවම. ඒත් පිරිමි සතුන්ට අභිජනන රැඟුමක් තිබෙනවා. සාවිය සරු මද කාලයට එලැඹියාම සාවුන් ඇය සොයාගෙන එනවා. එකවර පිරිමි සතුන් දෙ-තුන් දෙනකු ආවොත් එතැන සටනට මුලක්. උන් අර දිග දත් විළිස්සාගෙන ඉදිරි පාවලින් පහුරුගාමින් අනෙකාට තුවාල වෙන කල් පහර දෙනවා. එවැනි සටනක් පැවතුණ තැනක් හා මවිල් ගුළි තැන තැන විසිරී තිබීමෙන් හඳුනාගන්න පුළුවන්. තරගේ දිනන්නේ වඩා ශක්තිමත් එකායි. ඊට අමතරව අභිජනන සමය නොවන කාලෙක පිරිමි හාවුන් කීපදෙනකු හමු වුණාම එක එකා අනිත් අයට පේන්න වටේ කැරකි කැරකි නැටුමක් ඉදිරිපත් කරනවා. ඒත් මේ කිසිම නැටුමක් සාවිය ළඟදී නෑ.
සාවියගේ ගැබට සති පහක් පමණ වෙද්දී පැටවුන් 5-8 දක්වා සංඛ්‍යාවක් බිහි කරනවා. ඒ වගේ අවරුද්දට හතර-පස් වාරයක් පැටවුන් බිහි කරන්න තරම් සාවුන්ගේ බෝ කිරීමේ හැකියාව වැඩියි. ඒත් මේ පැටවුන්ගෙන් වැඩි දෙනෙක් විලෝපිකයන්ට හසු වීම වළක්වන්න බෑ. අනෙක ලොකු හාවුන් පවා තද ශබ්දයකට වුණත් බියේ සිහිසුන් වන්න වගේම මිය යන්න පුළුවන්. පිරිමි සතා අභිජනනයෙන් පස්සේ පැටවුන් බලාගැනීමට එන්නේ නෑ. හා දෙන පැටවුන් ප්‍රසූත කිරීමට පොළොවේම ස්වාභාවික අවපාතයක් සොයාගෙන එහි තණ කොළ පරඬැල් ආදිය අතුරලා යහනක් පැටවුන්ට හදනවා. ළඟ-පාත උස් තණකොළ දත්වලින් කපාගන්නත් උන්ට පුළුවන්. ඊට පස්සේ උගේම හමේ ලෝම ගලවලා ඒ යහන තවත් සුව-පහසු එකක් බවට පත් කරනවා. පැටවුන්ගෙන් ඉවත්ව යන විට ඒ පරඬැල්වලින් උන් වසාදමා යන්නත් හා අම්මා අමතක කරන්නේ නෑ. රෝම රහිතව නග්න සිරුරෙන් උපදින පැටවුන් දින නවයක් දහයක් යන තුරු ඇස් අරින්නේ නෑ. සක්‍රිය ස්තනග්රන්ථි හයකින් පැටවුන්ට කිරි දී සති තුනක් පමණ යද්දි පුංචි පැටවුන් අම්මා පස්සෙන් වැටීගෙන උඳුපියලිය ආදිය කන්න තරම් මෝරනවා. මාස අටක් පමණ වෙද්දී උන් ලිංගිකව පරිණත හාවුන් බවට පත් වෙනවා.” දිනක් අපේ තාත්තාගේ පයේ දැවටෙමින් පැමිණ, කාලයක් අපේ සුරතලා වී සිටි ‘හඳයා’ සිහි වන කතාවක් වෛද්‍ය නන්දන අතපත්තු ඊළඟට කීවේය...
“වල් හාවුන් දුඹුරු වුණාට සමහරුන්ගේ නළලේ සුදු පැල්ලමක් තිබෙනවා. උන්ට ගැමියන් කියන්නේ 'හඳ හාවුන්' කියලා. හැබැයි ඒ හඳයන් ඇති කරන්න බැරි, හඳ දැක්කොත් උන් මිය යන නිසා බවත් ගැමියන් විශ්වාස කරනවා. ගෙවල්වල හැදෙද්දී පාන්, බත් වගේ කෑමවලට හොඳට හුරු වෙනවා. මගේ ළඟත් ජෝඩුවක් ඉඳලා අන්තිමට විසිදෙනෙක් විතර පවුලක් ඇති වුණා... හාවුන් පොඩියට හිටියට අවුරුදු මිලියන 30කට වැඩි ඉතිහාසයක් උන්ට තියෙනවා. කොච්චර හුරතල් වුණත් හාවුන් අපේ අණට නම් කීකරු නෑ.”
අරුණි
[email protected]