මෙය කියවීම තහනම්! | සිළුමිණ

මෙය කියවීම තහනම්!

 ආදම් සහ ඒව විසින් තහනම් ගසේ ගෙඩි කා එම නීතිය උල්ලංඝනය කළ දා පටන් දෝ කිසිදු තහනමක් නොතකා කටයුතු කිරීමට මෙරට වැසියෝ නොපැකිළෙත්. 'දැන්වීම් ඇලවීම තහනම්', 'ඉරි කැපීම තහනම්' 'දුම්බීම තහනම්', 'කුඹුරු ගොඩ කිරීම තහනම්', 'ඇතුළු වීම තහනම්', 'ඡන්ද නීති උල්ලංඝනය කිරීම තහනම්' ආදි වශයෙන් වූ කුමන තහනමක් වුවද කඩ කෙරෙන ආකාරය අපි නිරන්තරයෙන් දකිමු.

පසුගිය සිරිපා සමයේ එහි ගිය අපි සීත ගඟුල අසල විශ්‍රාම ශාලාවේ මඳ වේලාවක් ගිමන් හළෙමු. එය වන්දනාකරුවන්ට ගිමන් හැරීම, නිදාගැනීම සහ කෑම ගැනීම ආදි සියලු කටයුතු සඳහා එහි තිබූ ස්ථානයයි. ඒ ශාලාව තුළම අඩි දෙකක් පමණ උසැති බැරල් එකක් වූ අතර, පහත සඳහන් නිවේදනය එතැන අලවා තිබිණි‍.

'ඉඳුල් ආදි දිරා යන කුණු පමණක් මෙහි දමන්න'

ඒ මොහොත වන විට ඉඳුල් ආදි දිරා යන කුණු පමණක් බැරල්-එක තුළ වූ අතර, දිරා නොයන පොලිතීන් හා කෑම ඔතන කොළ, ප්ලාස්ටික් බීම හා වතුර බෝතල්, සිලි සිලි බෑග් ආදිය බැරල්-එක වටා බිම දමා තිබිණි.

පැය කිහිපයකින් ආපසු එන අතරවාරයේ අපි නැවතත් එම විශ්‍රාම ශාලාවට ගොඩවැදුණෙමු. එහි දක්නට වූයේ දිරන, නොදිරන සියල්ල කළවම් වූ කුණු ගොඩකි. කුණු දමන්නට තැබූ බැරල්-එකට කුමක් වීද? එයට පිළිතුරු දුන් අසල කඩයේ මුදලාලි පැවසුවේ කුණු ගොඩ තුළ බැරල්-එක නිරුපද්‍රැතව තවමත් තිබෙනා බවයි!

මා නිවෙසේ සිට ප්‍ර‍ධාන පාරට ඇවිදගෙන යන විට දක්නට ලැබෙන අතුරු පාරක් වේ. එම ස්ථානය නිතර කුණු පිරී තිබෙනු දැකිය හැකිය. වරක් උදෑසන එතැනින් යන විට එහි වූ කුණු සියල්ල ඉවත් කොට පහත සඳහන් නිවේදනය එතැන අලවා තිබිණි.

'කුණු දැමීම තහනම්'

සවස මා ආපසු එන අතරවාරයේ දක්නට වූයේ නැවතත් සුපුරුදු පරිදි එතැන කුණු පිරී තිබෙන බවයි.

තවත් උදෑසනක මා එතැනින් යන විට එහි වූ කුණු සියල්ල ඉවත් කොට පහත සඳහන් නිවේදනය එතැන අලවා තිබිණි.

'කරුණාකර කුණු දැමීමෙන් වළකින්න'

සවස මා ආපසු එන අතරවාරයේ දක්නට වූයේ නැවතත් සුපුරුදු පරිදි එතැන කුණු පිරී තිබෙන බවයි.

නැවතත් එක් උදෑසනක එතැනින් යන කල්හි එහි වූ කුණු සියල්ල ඉවත් කොට පහත සඳහන් නිවේදනය එතැන අලවා තිබිණි.

'මෙහි කුණු දමන උන්ගේ ළමයින් ඇතුළු පරම්පරාවම ඩෙංගු හැදිලා මැරිය'

මේ නිවේදනය එහි අලවා දැනට දෙමසක් පමණ ගත වී ඇති අතර, තවමත් එය කුණු රහිත පිරිසිදු ස්ථානයකි.

දර්ශන කරුණාතිලක 

Comments