මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ | සිළුමිණ

මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ

කොළඹ නාරාහේන්පිට අභයරාමාධිපති මෙන්ම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ජීවන චරිතය අළලා මාධ්‍යවේදී නිහාල් ජගත්චන්ද්‍ර විසින් රචනා කරන ලද “මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ” කෘතිය එළිදැක්වීම හෙට (11 වැනිදා) සවස 3.00 ට සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අග්ගමහා පණ්ඩිත ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

රෝහල් හෙද සේවය ගැන සිහිපත් කළ විට අපට එකරව ම සිහියට නැගෙන නාමය වන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන්ය. උන්වහන්සේගේ නම සඳහන් කළ පමණින් අපට සිහිපත් වන්නේ හෙද සේවාවයි. ඒ තරමට ම හෙද සේවය හා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි යන නාමයන් එකට බැඳී ඇත්තේය.

1966 මාර්තු මස 24 දින පොදු හෙද සේවා සංගමය පිහිටුවනු ලැබූ අතර 1969 නොවැම්බර් මස 05 දින රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පිහිටුවනු ලැබූයේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සභාපතිත්වයෙනි.

දශක පහකට ආසන්න කාලයක් තුළ විවිධ හැල හැප්පීම්වලට ලක්වෙමින්, සියලු අභියෝගයනට මුහුණ දෙමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ මේ දක්වා ම සභාපති ධුරය හොබවන උන්වහන්සේගේ සමාජීය මෙහෙවර ඇරඹෙන්නේ වයස අවුරුදු 12 දී පමණය.

1943 ජනවාරි මස 26 වන දින කෑගල්ල දිස්ත්‍රික්කයේ මුරුත්තෙට්ටුව ගමේ, එරත්න පතිරන්නැහැලාගේ ඒබ්‍රහම් සිංඤෝ හා අලුත් ගමරාලලාගේ පොඩිමැණිකේ යුවළගේ සිවුවන දරුවා ලෙස උපත ලබන ආනන්ද හිමියන් වයස අවුරුදු නවයේදී පැවිදි ජීවිතයට ඇතුළත් වෙයි. ඉන් අනතුරුව මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් අධ්‍යාපනය ලැබ 1958 ජූලි මස 07 වන දින කෝට්ටේ රජමහා විහාරයේදී උපසම්පදාව ලැබූහ.

සසුන්ගත වූ දින පටන් නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරයේ වැඩවාසය කරමින් උන්වහන්සේ විහාරස්ථානයේ දහම් පාසල් පිහිටුවා අවට ගම්වාසී දරුවන් සමඟ එක්ව ධම්මාලෝක ළමා සමාජය පිහිටුවනු ලැබීය.

එදා එමසමාජයේ සිටි දරුවන් අද රාජ්‍ය මට්ටමේ හා ජාත්‍යන්තර මට්ටමේ සංවිධානවල ඉහළ තනතුරු හොබවන්නේය.

හැත්තෑ තුන්වසරක් පුරා අඛණ්ඩව ප්‍රදේශවාසීන් සමඟ කටයුතු කරන උන්වහන්සේ විහාරස්ථානයේ දහම් පාසල ආරම්භ කරමින් බොදු දරුවන් වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටු කරති.

දැනුදු හිමිදිරි පාන්දර තුනට අවදිවන උන්වහන්සේ එතැන් පටන් තම දිනය අරඹති.

උන්වහන්සේගේ දෛනික කටයුතු අවසන් වන්නේ මධ්‍යම රාත්‍රියේය. දවස පුරාම උන්වහන්සේ ආගමික හා සමාජයීය කටයුතු ඉටු කළද ඒ කිසිවකින් වෙහෙසට පත්වන්නේ නැත.

1987 ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කිරීමට එරෙහිවීම, ජලබදු පනතට එරෙහි වී උද්ඝෝෂණ කර ගොවීන්ගේ අයිතිවාසිකම් සුරැකීම සහ රට විපතට පත් වූ සෑම අවස්ථාවකදීම පෙරට පැමිණ සහන සැලසීම වැනි ප්‍රමාණ කළ නොහැකි තරම් වටිනා, ශ්‍රේෂ්ඨ සමාජසේවා ඉටු කරන උන්වහන්සේ ශ්‍රී ලංකාවේ හෙද සේවාවේ නියුතුවූවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් රැක දීම සඳහා දශක පහකට ආසන්න කාලයක් තුළ, මේ මොහොත වනතුරුත් ඉටු කරන සේවය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය.

මෙවන් ශ්‍රේෂ්ඨ යතිවරයකුගේ චරිතාපදානය එළිදැක්වීමට මීට බොහෝ කලකට පර සිදුවිය යුතුව තිබුණේය යන්න ම‍ෙග් අදහසය. එසේ වුවද ප්‍රමාද වී හෝ එය ඉටුවීම සතුටට කරුණකි.

චිරං ජයතු සමිඳුනි

 සෝමලතා වෛද්‍යරත්න සෙල්ලහේවා

Comments