ඇතුගල්පුරදී අනගාරික ධර්මපාල සිරිමතුන්ට උපහාර | සිළුමිණ

ඇතුගල්පුරදී අනගාරික ධර්මපාල සිරිමතුන්ට උපහාර

කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය තම වසර 95ක අභිමානවත් ඉතිහාසයක පියසටහන් අතර වසර 30කට වැඩි කලක් නොකඩවා වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන ‘අනගාරික ධර්මපාල උපහාර‘ මාලාවේ මෙවර සමරු උලෙළ ‘153 වැනි ධර්මපාල සමරුව‘ නිමිත්තෙන් ලබන ඉරුදින (17) දවස පුරා සංගමයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

ඉර නොබසින අධිරාජ්‍යයේ අඳුරු සෙවණැල්ලෙන් අපේ රට වැසී පැවති යුගයක, මේ රටට කිසිදා නිදහස ලැබේයැයි මිනිසුන්ට නොසිතුණු යුගයක, නිදහස් සටනට දිවි දුන් උර දුන් හෙළ විරුවන් අතරට සිංහල බෞද්ධ වීරයෙක් මේ දෙරණ මත බිහි විය‍.

ඔහු නම් අනගාරික ධර්මපාල තුමා‍ණෝය. දකුණු ලක බිහි වූ මේ නිර්භීත සිංහලයා බුද්ධ දර්ශනයේ ඉගැන්වෙන අහිංසාවාදි පිළිවෙත අනුගමනය කර ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කළේය. ඒ වන විට ඉන්දියාවද අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයේ පැවතිණි. තම නිජබිම නොවුණත් ඉන්දියාවට ගොස් අන්‍ය ආගමිකයන්ගේ ග්‍රහණයේ තිබූ බෞද්ධ උරුමය නැවත බෞද්ධයන්ට දිනාදීමට මේ විරුවා තම ජීවිතයම කැප කළේ ය.

1933 අප්‍රේල් 29 දින 'සිරි දේවමිත්ත ධම්මපාල හිමි' ලෙස සිදු වූ එතුමන්ගේ අපවත් වීමෙන් පසු දශක දෙක-තුනක් විශේෂ ඇගයීමකට ලක් නොවූ ධර්මපාල ශ්‍රීමතාණන් පිළිබඳ වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ මෙන්ම ලෝකයේ විවිධ රටවල ජීවත් වන බෞද්ධයන්ගේ සම්භාවනාවට ලක් වී තිබීම සතුටට කරුණකි.

විශේෂයෙන් ධර්මපාල තුමා ආරම්භ කළ මහාබෝධි සමාගම මඟින් ලංකාවේ මෙන්ම ඉන්දියාවේ බෞද්ධයන් වෙනුවෙන් වර්තමානයේ සිදු කරන සේවාව පැසසුමට ලක් කළ යුතු ය. එමෙන්ම එතුමාගේ සේවයේ වටිනාකම දැනෙන සිංහල බෞද්ධයන් ධර්මපාල අනුගාමිකයන් ලෙස කටයුතු කිරීම පිළිබඳවද ආඩම්බර විය යුතුය.

වසර 30කට වැඩි කලක් නොකඩවා වාර්ෂිකව අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ට උපහාර පිණිස අතිඋත්කර්ෂවත් උලෙළක් පවත්වමින් එන කුරුණෑගල තරුණ බෞද්ධ සංගමයේ ධර්මපාල ගුණ සමරුව මෙවරද පැවැත්වේ.

‘කුරුණෑගල බෞද්ධ සංගමය‘ නමින් ඇරැඹී මේ සංගමය නගර මධ්‍යයේ බෝධිරාජ මාවත නමින් අද හඳුන්වන ව්‍යාපාරික ස්ථානයක 1922 මැයි මස 27 වන දින ප්‍රථම රැස්වීම පවත්වා ආරම්භ කර ඇත.

අධිරාජ්‍යවාදී යුග තුනකට යටත්ව පරාධීනව ජීවත් වූ සිංහල බෞද්ධ ජනතාව, හෙන්රි ස්ටීල් ඕල්කොට් ශ්‍රීමතාණන්ගේ ආගමනයත් ජාතියේ පිනට පහළ වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ සහ සම්බන්ධතාවත් මත රටේ ජනතාවට ආගමික හා ජාතික ප්‍රබෝධයක් ඇති විය. කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් රට පුරා බෞද්ධ පාසල් ආරම්භ කිරීමේදී හෙන්රි ස්ටීල් ඕල්කොට් ශ්‍රීමතාණන් සමඟ කුරුණෑගලට පැමිණි අනගාරික ධර්මපාලතුමා මලියදේව විද්‍යාලය ආරම්භ කිරීමෙන් පසු රජයට පවරාගන්නා තුරු එහි පාලනය කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය විසින් සිදු කර ඇත. සිසුන් වැඩි වීමත් සමඟ මලියදේව බාලිකා විද්‍යාලය ආරම්භ කිරීමද සංගමයේ කාර්යභාරයන්හි විශේෂත්වයකි.

මේ උදාර කාර්යයට උරදුන් පිරිස අතර එවකට රටේ මහත්වරු, මහජන හිතකාමී වෛද්‍යවරු, දක්ෂ නීතිඥවරු, කීර්තිමත් දේශපාලන නායකයින් හා ව්‍යාපාරිකයෝද වූහ. හිටපු අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල, හිටපු මුදල් ඇමැතිවරයකු වූ යූබී වන්නිනායක, හිටපු සෙනෙට් මන්ත්‍රීවරයකු වූ අයිවර් පලීපාන වැනි ප්‍රභූන් මේ සංගමයේ සභාපති ධූරය දරමින් ජාතික, ආගමික හා ශාසනික සේවා රැසක් ඉටු කර ඇත. එමෙන් ම ඔවුන්ගේ පෞද්ගලික ධනය ද විශාල වශයෙන් සංගමයේ අභිවෘද්ධිය පිණිස වැය කර ඇත.

සීමාසහිත කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය ජාතික ආගමික හා ශාසනික සේවාවන් රැසක් වාර්ෂිකව සිදු කරයි. දිනපතා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා හා බෞද්ධ ආගමික පුනරුදය උදෙසා සංගමය තුළ වැඩසටහන් ක්‍රියාත්මක වේ. සිංහල බෞද්ධ ජනතාවගේ සිත් තුළට ජාතිවාත්සල්‍යයත් ශ්‍රද්ධා භක්තියත් ඇතුළු කොට ඔවුන් අවදි කරවූ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා සමරමින් කථික තරග, ගායනා තරග, දැනුම මිණුම තරග පාසල් මට්ටමින් හා දහම් පාසල් මට්ටමින් සංවිධානය කර ජයග්‍රහණ සඳහා මුදල් ත්‍යාග සහ සහතික පිරිනැමීමත්, 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ උසස් ප්‍රතිඵල ලැබූ දක්ෂ සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමත් සිදු කරන අතර, ශ්‍රීමත් අනගාරික ධර්මපාල ගුණානුස්මරණ උත්සවය ගිහි පැවිදි සම්භාවනීය පිරිසක් සමඟ දහම් පාසල් හා පාසල් සිසු දරු දැරියන් සහභාගි කරවමින් අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. නොකඩවා වසර 21ක් ධර්මපාල තුමාට පින් පිණිස ලේ දන්දීම් පුණ්‍යකර්මයක් පවත්වාගෙන එන්නට කටයුතු කළ අතර මෙවර එය සැප්. 17 දින දවස පුරා තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

 ආනන්ද විජේතිලක
කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය 

Comments