වතුර නැතුව වැහෙන්න යන පාසලක් | සිළුමිණ

වතුර නැතුව වැහෙන්න යන පාසලක්

 ලබන වාරයේ ඉඳල උසස් පෙළ පාසල් සිසුන්ට සහ ගුරුභවතුන්ට ටැබ් පරිගණක ලබා දෙන බව අපට වාර්තා වුණා. අපේ රටේ අධ්‍යාපනයේ අවශ්‍යතා කොයිතරම් ඉහළ ගිහින්ද කියලා ඒ කතාව අහන දකින ඕනෑම කෙනෙකුට හිතෙනවා වෙන්න පුළුවන්. ඒත් ටැබ් පරිගණක ඉල්ලන රටේම තවත් දරු දැරියන් පිරිසක් පාසලට ඇවිත් බොන්න වතුර ටිකක් නැතුව ඉගෙන ගන්න පන්ති කාමරයක් නැතිව ඉන්න තත්ත්වයක තියෙනවා නම් ඒක සාධාරණයි කියල කියන්න පුළුවන් කාටද? රජයේ නිලධාරීන්ගේ වරදින් සිද්ධ වෙන මේ වගේ දේවල් අපේ රටේ ඕන තරම් අහන්න දකින්න තියෙනවා. ඒත් අඩුම ගාණේ පන්ති කාමරේ නැත්නම් ගහක් යට හරි ඉන්න පුළුවන් කියමුකො. ඒත් වතුර නැතිව ඉන්නෙ කොහොමද? මේ දවස්වල නම් ලංකාවේ බොහෝ පළාත්වලට මේ වතුර ප්‍රශ්නෙ බලපාල තියෙනව තමයි. ඒත් මේ දරු දැරියන්ට මේ ප්‍රශ්නෙ කාලාන්තරයක්ම තියෙන දෙයක්.

පුනරීන් කියන්නෙ යුද්ද කාලේ නිතරම කියැවුණු නමක්. පුනරීන් පළාතටම තියෙන ලොකුම ඉස්කෝලෙ තමයි විග්නේෂ්වර විද්‍යාලය. ඒකත් සිසුන්ට වතුර නැතිව වැහෙන තරම් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සමහර විට මේ කාලෙ වතුර නැතිවීම සාමාන්‍ය දෙයක් ලෙස දකින්න පුළුවන්. මේ තරම් ජනතාවක් පීඩා විඳිනව කියල කාටහරි කියන්න පුළුවන්. ඒ වුණත් මේ ප්‍රශ්නෙ ඊට වඩා තරමක් වෙනස්.

අනිත් එක තමයි වතුර වගේ මිනිසාගේ මූලිකම අවශ්‍යතාවය වැඩියෙන්ම දැනෙන වියළි කලාපය එහෙමත් නැත්නම් අපෙ රටේ කර්කශ පොළොව තියෙන පළාත්වලට තමයි වැඩි අවධානයක් යොමු කරල වතුර ලබා දෙන්න ඕන. යුද්ධයේ අඳුරු සෙවණැලි මැකී ගිහින් උතුරේ ජනතාවට මේ වෙනකොට සංවර්ධනයේ අරුණලු වැටී තිබුණත් ඒ - 9 මාර්ගයෙන් ඈතට වන්නට දරු දැරියන් ගෙවන්නේ මහා දුක්ඛිත ජීවිතයක්. ඒකේ වගකීම ගන්න ඕන රජයේ නිලධාරීන් වගේම ප්‍රාෙද්ශීය දේශපාලඥයන්. ඒ අය මේ ජනතාව විඳින දුක හොදින්ම දන්නවා. ඒ වුණත් ඒ ගැන එයාලට ගාණක්වත් නැහැ. මේ දරු දැරියන් හැම දෙනාටම දැන් ඉස්කෝලෙ ගිහින් බොන්න ජලය ගන්න තියෙන්නෙ යුද හමුදාවෙන් සපයන ජලය බවුසරයක් විතරයි.

ඉතින් අඩුම ගාණේ කාගේ හරි ඇස් ඇරිල මේ දරු දැරියන්ට බොන්න වතුර පොදක් ලබා දෙන්න කියන ඉල්ලීමට තමයි අපි මේ ලිපිය පළ කරන්නේ.

කොළඹ යාපනය මාර්ගයේ පරන්තන් හන්දියෙන් හැරිල කිලෝමීටර් 26ක් දුර ගෙවපුවහම පුනරීන් කුඩා නගරය හමුවෙනවා. මේ පුනරීන් ඉඳල තවත් කිලෝමීටර් එකහමාරක් විතර දුර ගියහම තමයි විග්නේෂ්වර විද්‍යාලය හමුවෙන්නේ. දරු දැරියන් 450කට අධික පිරිසක් මේ පාසලේ අධ්‍යාපනය ලබනවා. මේ දරු දැරියන්ගේ ගෙවල්වලටත් පානීය ජල ප්‍රශ්නය උග්‍ර වෙලා තියෙන්නෙ. එ මේ දිනවල පවතින අධික ඉඩෝරය නිසයි.

මේ දරු දැරියන් යන්තම් පාසලට දුවගෙන එන්නේ පාසලේ වතුර ටිකෙන් හරි සප්පායම් වෙන්න බලාගෙන.

කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිවරයා වන මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මහතාගේ උපදේශකත්වයෙන් මේ පාසලට සෑම සඳුදාවකම ජල බවුසරයක් එවනවා. ඒ 661 සේනාංකාධිපතිවරයා වන කර්නල් ප්‍රියන්ත ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන්. ඒත් දරුවන් 450ක් ඉන්න පාසලකට ඒ ජල බවුසරය මදි. ඒත් හමුදාවට තියෙන පහසුකම් අනුව ඊට එහා දෙයක් කරන්න අමාරු බව අපට වැටහී ගියා. හමුදාවෙනුත් තමන්ගේ ජල පරිභෝජනය හැකිතරම් සීමා කරගෙනයි මේ කටයුත්ත කරන්නෙ. දරුවන්ට ඒක මදි.

විදුහල්පති ගුණසිංහම් ලෙනින් මහතා අපට පැවසුවේ දැඩි දුෂ්කරතා මැද මේ දරු දැරියන් අධ්‍යාපනය ලබතත් ජල ගැටලුව නිසා පාසල පවත්වාගෙන යාම පවා අසීරු බවයි.

‘දරු දැරියන්ගේ වැසිකිළි අවශ්‍යතා පවා සපුරන්න ඕන. යුද හමුදාවෙන් ලබා දෙන ජලය බවුසරය විතරයි අපට සතියකට තියෙන්නේ. රජයේ නිලධාරීන් කිසි කෙනෙක් මේ දරුවන් දිහා ඇහැක් ඇරල බලන්නෙ නැහැ. මගේ පුතා යාපනයේ සුපිරි පාසලක ඉගෙන ගන්නවා. ඒ ඉස්කෝලෙට ළඟදි පරිගණක 200ක් ලැබුණා. මේ දරුවන්ට බොන්න වතුර ටිකක් නෑ. මේ ප්‍ර ෙද්ශයේ කිසිම තැනක හදිසියකට පොඩි වේදිකාවක් තියෙන ගොඩනැගිල්ලක් ප්‍රජාශාලාවක් තිබුණෙ නෑ. අපිට පන්තිකාමර පවත්වාගන්න පුළුවන් විදිහටත් ඕන වෙලාවට වේදිකාවක් සහිත ශාලාවක් විදිහට පාවිච්චි කරන්නත් අපට ගොඩනැගිල්ලක් හමුදාවෙන් හදල දුන්නා. වගකිව යුතු අය මේ ගැන හොයන්නෙ නෑ විතරක් නෙමෙයි සමහර වෙලාවට උදවුවලට අකුල් හෙළීම් පවා තියෙනවා. අපි හමුදාවෙන් ඉල්ලීමක් කළා පුළුවන්නම් සතියකට ජල බවුසර් දෙකක් ලබා දෙන්න කියලා‘

මේ දරු දැරියන්ගේ හෙට දිනය අර්ථවත් වීම කෙසේ වුවත් ඔවුන්ට බීමට තවත් දිය පොදක් ලබා දෙන්නට අයෙක් සිටී නම් එය එම දරුවන්ට විශාල පිළිසරණක් වනවා සේම දැනට එම දරුදැරියන්ට බීමට ජලය සපයනු ලබන යුද හමුදාවටත් විශාල පිටිවහලක් වනු ඇත. යුද හමුදාවෙන් පානීය ලබා ගෙන එන්නේ දුර බැහැර ප්‍රදේශවල සිට ගැඹුරු පානීය ළිංවලින් වන හෙයින් ඒ සඳහා ගැඹුරු ළිංවලින් ජලය පොම්ප කිරීම සඳහා අධික ඩීසල් ප්‍රමාණයක් වැය වන හෙයින් ඉන්ධන සම්බන්ධව ඇති වන ගැටලු නිසා යම් යම් සීමාවන් පනවා ගැනීමට හමුදාවට සිදුව තිබෙනවා.

මේ පාසලේ අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ මවුපියන් අතර රජයේ රැකියා කරන කිසිවකු හෝ නැත. ඔවුන්ගේ අවශ්‍යතා පවා ඉතාම සීමාසහිතය. ආසන්න නගරයට පවා යාමට ඔවුන්ට අවශ්‍යතාවක් නැත්තා සේය. ගමේ ගොඩෙන්ම තම අවශ්‍යතා ඉටු කර ගන්නවා හැරෙන්නට මහා ලොකු ලෝකයක් ඔවුනට නැත. පාසලේ සිටින ගුරුවරුනි 30ක ගෙන් දිපතාම 15 දෙනකු දුර බැහැර ප්‍රදේශවල සිට පාසලට පැමිණෙන්නේ සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවය තේරුම් ගෙන ඇති නිසාය. එහෙත් වගකිව යුතු රජයේ නිලධාරීන් මේ දරුවන් දෙස ඇස් ඇර නොබලන්නේ ඇයිද යන ප්‍රශ්නය අපට ඉතිරිව තිබේ.

සේයාරූ - සමන්ත වීරසිරි
තාරක වික්‍රමසේකර

 

Comments