
මාත් දැක්ක ඒක. පීජි දූපත්වල ඉඳන් ලංකාවට තරම් දුක් එයාගෙ මැණික් කටුවෙ ඉඳන් ඇඟිලි තුඩුවලට. සුදු රෝසමල නම් ඉතින් කරුණාවේ දයාවේ මෛත්‍රියේ සංකේතයක්නෙ.
අතිශයින් දියුණු තාක්ෂණික උපාංග සහිත විශාල රූපවාහිනිය සජීවී වූ සැණින් තිරය මත කුඩා දිය ඇල්ලක් දිස් විය. දිය ඇල්ල පාමුල පොකුණෙහි පත්ල කුඩා සුදු බෝල ගලින් නිර්මාණය කර ඇත්තේ සොබාදහම ද මිනිසාදැයි වටහා ගැනීම අසීරු විය.
ජල පොකුණෙහි වර්ණවත් මත්ස්‍යයෝ ඈත මෑථ පොකුණ වටා නිදහසේ පිහිනමින් කෙළිලොල් දඟකාරකම් පාමින් සිටියේ නුඹලාට වැනි රාමුගත බන්ධනගත ජීවිතයක් අපට නැතැයි මනුෂ්‍යවර්ගයාට නොව රූපවාහිනිය හමුවේ සිටිනා තරුණයාටත් තරුණියන් දෙදෙනාටත් අභියෝග කරන්නාක් මෙනි.
කුඩා දිය ඇල්ල පොකුණ ජලයෙහි කරන කැලඹුම සෙමින් නිවී ගියේ ය. මේ දසුන් පෙළ තාක්ෂණික නිමැයුමක් දැයි සැක සිත් ඇති රුක්නාද් මේ කුමන සිදුවීමකට මුල පුරන්නක්දැයි සිතමින් සිටියේ වරින් වර මනෝහාරි දෙස බලමිනි. මිනිසා ජලයට, ජලජ ජීවීන්ට දක්වන කැමැත්තට පෙරදිග අපරදිග භේදයක් නැත හැඟීමෙන් රෝජා සඳපාණි තිරය දෙස නෙතුපිය නොගැටෙන දෙනෙතින් බලා සිටියාය.
මනෝහාරි ගොළු ජීවියෙක් වී නිසොල්මනේ ය. මොහොතින් මොහොත වැඩෙන කුතුහලය සංවේගය සහ සියුම් ශෝකයේ අරුත වටහා ගත නොහැකිව ඇය අසරණියකසේ වුවද ඊළඟ දසුන කෙරෙහි විමසිලිමත් වූවාය.
තිරය මතට සුද රෝස මලක් ආවේ ඉතා සෙමිනි. මලෙහි කුඩා කිනිත්ත පිරිමියෙකුගේ යැයි සිතිය හැකි දෑඟිලි තුඩකට අසුව තිබුණ ද කෙමෙන් එය පිරිපුන් අතැඟිලි සහිත දකුණතක් බවට පරිවර්තනය විය.
සැකයෙන් තොරව ම අතැඟිලි හිමියා ඉන්ද්‍රජිත් යැයි සිතූ මනෝහාරිගේ දෙනෙත් නොවැටෙන කඳුළු බිඳු දෙකකින් පිරී ගියේය. රෝජා සඳපාණි තරුණිය මිතුරියගේ උරහිස පිරිමැද්දේ රුක්නාද් දෙස ද ශෝකයෙන් බලමිනි.
“මනෝ ඉක්මනට කඳළු පිහදාගන්න.”
රුක්නාද් දඟකාර තරුණ හඬකින් කෑගැසුවේය.
“දැන් පුංචි අප්පුහාමි එයි. ඔයා ඇඬුවොත් එයාගෙ රූපෙ බොඳ වෙලා යාවි කඳුළු හින්දා. හරි හරි ඔන්න ආවා.”
මනෝහාරි වහ වහා දෙනෙත් පිසදා ගත්තාය. “පුංචි අප්පාහාමි” හැඳින්වීම වෙනත් මොහොතක නම් තමාට හඬ නැගෙන සිනාවකට තරම් වෙනු ඇත. මේ මොහොත සිනාවෙන මොහොතක් නොවේ. රුක්නාද්ට අවශ්‍ය ගුප්තමය ශෝකය දෙදරවා හැර සිනාව කැඳවීමටය.
“ගෑනු අඬන කොට මට හුඟක් දුක හිතෙනවා. මගේ අම්මලා ආච්චිලා ගෑනු ළමයා කඳුළු පෙරපු හැටි මතක් වෙනවා.” දිනක ඔහු කීවා මනෝහාරිට මතකය.
“මනෝ.. ඔන්න ඇත්තට ම එයා ආවා.”
මනෝහාරි තිරය දෙසට දෙනෙත් දල්වා ගෙන සිටියේ වැඩෙන මවිතයකින් වුවද ළමා අවදියේ සොඳුරු කටුක සිදුවීම් තුළින් ආදේශ කර ගත් ජීව ගුණ සපිරි රූපාවලියක මිහිර විඳින්නටය. නමුදු කුඩා ඉන්ද්‍රජිත් තිරයේ සිටියේ නැත. ඔහුට ඥාතිත්වය පෑ රෝසමල ද රතු නැත. කළුපැහැති කලිසමක් සහ කොලරය රහිත කුර්තාවක් වන් කහ වර්ණ කමිසයකින් සැරසුණ තරුණයා කළු උපැස් යුවලකින් දෙනෙත් වසා ගෙනය. ඉන් ඔහු හඳුනා ගැනීම තරමක් අසීරු විය.
අව් කණ්ණාඩි දෙක ගලවන්නැයි ඉල්ලා සිටීමට ප්රබලව නැගෙන සිත ලජ්ජාවෙන් යටපත් කර ගත් තරුණිය ඔහුගේ සුන්දර කඩවසම් රූ මිහිරට, කාරුණික දෙනෙතක් ද එක් කර ගත්තාය.
“ඉන්ද්‍රජිත් අයියා මම රෝජා. මේ රුක්නාද්. එම්.පී. කෙනෙක්. ඔයා මේ ගෑනු ළමයා අඳුනනවද?”
රෝජා සඳපාණි ඉන්ද්‍රජිත් හා සංවාදයකට මුල පිරුවාය. මනෝහාරි හඳුනන බව කීමට ඔහු හිස සැළුවේ සිනාවක් ද සමඟය. ආකර්ෂණිය සිනාව මනෝහාරි සිතට ක්ෂණික විදුලියක ආලෝකයක් විය. ඇය ද සිනාසෙන්නට ගත් උත්සාහය අතරමඟ අසරණ විය.
“මනෝ.. මට හිතෙන්නෙ ඔයා දුකෙන් ඉන්නවා වගේ? ඇයි කතා කරන්නෙ නැත්තෙ?”
ඉන්ද්‍රජිත් ඇසුවේය. රෝජා සඳපාණි ද ඉන්ද්‍රජිත් හා කතා කරන්නැයි මනෝහාරිට විවිධ සංඥා දෙන්නට වූවාය.
“අනේ මට අදහා ගන්න බැහැ. මොනවද මේ වෙන්නෙ කියලා.”
මනෝහාරි අපහසුවෙන් වුවද සෙමින් කීවේ තැති ගත් මුහුණිනි.
“ඔයා හරි මනෝ. ඒත් වෙන්න තියෙන හැමදේම ඒ විදිහට වේවි. මං දන්නවා. අපි මැරිලා ඉපදිලා වගේ. මැරිලා හරි ආයෙත් ඉපදුණ එක ගැන මට නම් සතුටුයි.”
“අපි ඔයාව හොයන්න හුඟක් මහන්සි වුණා ඉන්ද්‍රජිත් අයියා. රෝජා නිසයි අපට ඔයාව ආයෙත් මුණ ගැහුනෙ.”
“දන්නවා. මනෝ දන්නවා. ස්තුතියි මාව හෙව්වට. දැන් ඔ්‍යා කොතනද ඉන්නෙ කියන්නෙ?”
“රෝජා සඳපාණිලගෙ ගෙදර.”
“මට ඔයත් එක්ක තනියම කතා කරන්න ඕන. අන්න ඔයා බයවුණා නේද? මට දැනෙනවා.”
“නෑ. නෑ. බයවුණේ නැහැ.”
“ඔයා දැන් හුඟක් ලොකුයි නේද මනෝ?”
මනෝහාරිගේ දෙනෙතින් කඳුළු බිඳු කඩා හැලෙන්නට විය.
“ඔව්. ඔයත් ලොකුයි.”
“ඔව් මනෝ අපි සේරම ලොකු මිනිස්සු වෙලා. ඒත් අපි අපිට ම නැති වෙලා.”
“නෑ. නෑ. අපි ඉන්නවනෙ.”
මනෝහාරි සිනාසෙන්නට උත්සාහ කරමින් කීවාය. ඉන්ද්‍රජිත් නිහඬ විය. සුදු රෝසමල රූපවාහිනි තිරය ස්වකීය ග්‍රහණයට ගත්තා සේ විසල් වන්නට විය. මනෝහාරි එවෙත රැඳුණ දෙනෙතින් ඇස පිය නොහෙළා සිටීම රෝජා සඳපාණි සිත කම්පා කරවන්නක්ව තිබිණි.
මේ කුමන අසිරිමත් සිදුවීමක් ද? රුක්නාද් සිතමින් සිටියේය. මිය ගිය හෝ අතුරුදහන් වූ ආදරණීයයන් ඉන්ද්‍රජිත් සේ ආපසු දකින්නට ලැබෙනවා නම් කොතරම් සතුටක් සිතට දැනෙනු ඇද්ද?
“මනෝ මං ළඟදිම ලංකාවට එනවා. අපි කතා කරමු. ආයෙත් මුණ ගැහුණු එක මට ලොකු සතුටක්.”
යළිත් එසේ කියමින් තිරය වෙත පැමිණි ඉන්ද්‍රජිත් රෝස කුසුමට මුවාවී ඊළඟ මොහොතේ නොපෙනී ගියේය. රෝජා රූපවාහිනිය අජීවී කළාය. මනෝහාරි වෙතින් දිග සුසුමක් උපන්නේය.
“ඉන්ද්‍රජිත් මං හිතුවට වඩා වෙනස්.”
රුක්නාද් කීවේ කල්පනාවෙනි.
“ඇයි රුක්නාද් එහෙම කියන්නෙ? එයාට බොහොම අහිංසක කඩවසම් පෙනුමක් තියෙන්නෙ. ඕන කෙනෙකුගෙ හිතේ එයා ගැන ආදරයක් පැහැදීමක් ඇති වෙනවා.”
රෝජා මනෝහාරි වෙනුවෙන් කතා කළා මෙන් විය. ඉන්ද්‍රජිත්ගේ ප්‍රසන්න තරුණ පෙනුම රුක්නාද් සිතට ඊර්ෂ්‍යාව ගෙන ගියා වීමට පුළුවන.
“රෝජා ඇත්තට ම ඉන්ද්‍රජිත් දකින්න ලැබුණ එක මට මහා සතුටක්. අපි රෝසමල ගැන කතාවක් ඉන්ටර්නෙට් එකට දැම්මෙ නැහැ. කොන්ක්‍රිට් ඇණේ ගැන විතරයි මතක් කළේ. මේ ඉන්ද්‍රජිත් ම තමා. එයාගෙ ඇඟිලි හරිම දිගයි. ඔයා දැක්කනෙ? මැණික් කටුවෙ ඉදන් ඇඟිලි තුඩුවලට තිබුණ දුර..?”
මනෝහාරි සෝබර හඬකින් පැවසුවත් රුක්නාද් සිත මුදු මඳ නොසංසුන්කමක් අවදි විය.
“මාත් දැක්ක ඒක. පීජි දූපත්වල ඉඳන් ලංකාවට තරම් දුක් එයාගෙ මැණික් කටුවෙ ඉඳන් ඇඟිලි තුඩුවලට. සුදු රෝසමල නම් ඉතින් කරුණාවේ දයාවේ මෛත්‍රියේ සංකේතයක්නෙ.”
“රුක්නාද් ඔයත් අපූරු මනුෂ්‍යයෙක්. ඔයා බලන් හිටියෙ ඉන්ද්‍රජිත් මනෝට රතුරෝස මලක් පෙන්වයි කියලද?”
රෝජා සඳපාණි රුක්නාද්ගෙන් ඇසුවේ මඳ උපහාසයකිනි. ඉන්ද්‍රජිත්ගේ පුනරාගමනය රුක්නාද්ට සතුටක් වී නැත.
“නෑ. නෑ. මං නිකමට කිව්වෙ.”
රුක්නාද් රෝජා සඳපාණිට පිළිතුරු දුන්නේ ලජ්ජා සහගත සිනාවක් පාමිනි. ඉන්ද්‍රජිත් දැක්මෙන් තරුණියන් දෙදෙනා ලත් සතුට තමාට නොදැනෙන්නේ මන්දැයි ඔහු සිතන්නට විය.
“රෝජා දැනට අපි තුන්දෙනා විතරක් ඉන්ද්‍රජිත් ගැන දැන ගත්ත ම ඇති. එයා ලංකාවට ආවම තව තව අඳුරන අය මුණගැහිලා කතා කරාවිනෙ. මං රවිහාරිට නම් කියනවා. එයාගෙ කඳුළුවලින් යාපනේ ලයිට් කණුව හේදිලානෙ...”
මනෝහාරි සැලෙන හඬකින්, වෙව්ලන දෙතොලින් වදන් ඇමිණුවේ සුසුමකටය. රුක්නාද් සිත නොසතුටක් ඇති විය. එය රහසක් කර ගැනීමට ඔහු සිතුවේ නැත.
“මනෝ ඔය ගැන ඔච්චර හිතන්න දෙයක් නෑ. ගෑනු ළමයි ඕන එකටයි එපා එකටයි අඬන්නමයි ලෑස්තිය. දැන් ඉන්ද්‍රජිත් ඉන්නවා. ඇවිත් යන්න හරි ලංකාවට එනවා. අපිට ඒක සතුටක්. ඒත් ඔයාට හූල්ල හූල්ල අඬන්න තරම් දුකක්. ඇයි මේ?”
“එයා මගෙ පුංචි ම පුංචි යාළුවා.”
මනෝහාරි හුනස්නෙන් නැගිටිමින් කීවාය. රෝජා යළිත් ඇය අසුන් ගැන්වූයේ රුක්නාද්ට සරදම් සිනාවක් පාමිනි.
රුක්නාද් සිත මනෝහාරි පිළිබඳ සරල සාමාන්‍ය මිත්‍රත්වයකින් වෙනස් වූ සිතුවිල්ලක් හට ගෙන ඇතැයි රෝජා සැක සහිත වූවාය.
“රුක්නාද්, ඉන්ද්‍රජිත් අපිට දෙවියො එව්ව දේව දූතයෙක් වගේ වේවි. අපි යාපනේට යන ගමන, ලයිට් කණුව, මේ රටේ මිනිස්සුන්ගෙ සංවේදී සිත්වලට කතා කරන සිදුවීමක් විදිහට මාධ්‍යගත කරන්න පුළුවන්. ත්‍රස්තවාදය නිසා රට අත්ඇරලා ගිය ඉන්ද්‍රජිත් චන්දිරම් මගේ තාත්තා මං වගේ අය ලෝකය පුරා කොච්චර නම් ඉන්නවා ඇතිද? ඒ ගොල්ලො එල්.ටී.ටී.ඊ. බලපෑම් නිසා ගොළු වෙලා ඇති. රුක්නාද් අපි ඒ ගොල්ලන්ව කතා කරවමු. එයා සිංහල මෙයා දෙමළ අරය මුස්ලිම් කිය කියා රණ්ඩු වෙවී මන්සුසකමට කුහකකම් කර කර ඉන්නෙ නැතිව කරන්න ඕන දේ කරමු. නෙර්න් මාමා හැමවෙලේ ම කියනවනෙ කොතනින් හරි කොහොම හරි පටන් ගන්න ඕන කියලා. ඒක මේ යුගයේ හැටියට හොඳ ආදර්ශ පාඨයක්. කුහක බලලෝභී දේශපාලකයින්ට රටේ තරුණ ප්‍රජාව අභියෝග කරන්න ඕන... විශේෂයෙන් තරුණ දේශපාලනඥයො. කැති පොලු ආයුධ අතට ගත්ත අය ගැන නෙමේ මං කියන්නෙ.”
රෝජා තද තිර ස්වරයකින් කීවේ රුක්නාද් තුළ උපන් නොසංසුන් සිතුවිලි අභියෝගයකට ලක් කරමිනි.
යා යුතු ගමනත්, ඉටු කර ගත යුතු බලාපොරොත්තු රැසත්, දැල් විය යුතු ප්‍රඥාවේ ප්‍රදීපයත් සමාජය තුළ ඉතා නිහඩ නිද්‍රාවකට වැටී ඇත.
මිනිස් හෘද සාක්ෂියට කතා කර සමාජය අවදි කරවා ගැනීමේ මෙහෙයුමේ නියමුවන් ප්‍රේමය සමඟ ගමන් කරනු විනා වියරු ලෙස ප්‍රේමය හඹා යන්නන් වීම සමාජගත විශ්වාසයන් දෙදරවා අරින්නක් වීම අවැඩදායකය.
“අපි නරේන් මාමාට ඉන්ද්‍රජිත් ගැන කියනවද?”
රෝජාට සවන් දෙමින් සිටි මනෝහාරි ඇසුවේ යහපත් ඍජු පිළිතුරක් අපේක්ෂාවෙනි.
“වෙලාව ආවාම.”
රෝජාගේ දෙවදන් පිළිතුර රුක්නාද් සිනා ගැන්වීමට සමත් විය. එහෙත් ඔහු හිස සැළුවේ ඇය අනුමත කරන්නටය.
“රවිහාරි කියන්නා වගේ රෝජා ඉතින් නරේන් මාමගෙ දුව වෙලානෙ...”
මඳින්මඳ පහව යන දුක අතරින් මනෝහාරි කීවේ සිහින් සිනාවක් පාමිනි.
“මනෝට ඊර්ෂ්‍යා ඇති.”
රුක්නාද් චෝදනා කළේ ද හිනැහෙමිනි.
“නෑ. රුක්නාද්.. මනෝහාරි අක්කා කවදාවත් කාටවත් ඊර්ෂ්‍යා කරන කෙනෙක් නෙමේ. නරේන් මාමාගෙත් අතීත කතා මං දන්නෙ නෑ. දැන ගන්න ඕන කමකුත් නැහැ. ඒත් මගේ අත්දැකීම්වල හැටියට නරේන් මාමා තරම් මනුස්සකම්වලට ගැඹුරින් ගෞරවකරන මනුෂ්‍යයෙක් මට මුණගැහිල නෑ.”
“රෝජා ඔයා තාම පොඩි ගෑනු ළමයෙක්. ජීවිතේ ගැන ඔයා මොනවද දන්නෙ? මං නරේන් සර් ගැන කියනවා නෙමේ. රස්සාවක් කරන කොට ඔයාට තේරේවි නුවමනා තරම් මිනිස්සු විශ්වාස කරන එක අපි අපට ම කර ගන්න හානියක් කියලා. වැරදි තීරණ ගන්න එපා. මං මේ කියන්නෙ නරේන් සර් ගැන නෙමේ. එයා මිනිස්සු අතර සැබෑ ම මනුෂ්‍යයෙක්.”
රුක්නාද් සහ රෝජා අතර විසංවාදයක් වන් සංවාදය මනෝහාරිට වැදගත් වූයේ නැත.
ඇය සිතින් පීජි දූපත්වලට ගොස් සිටියාය. මේ දූපත් රාජ්‍යයේ කවර නම් දූපතක ඔහු සිටීදැයි අසා ගන්නට නොහැකි වීම, කුමක් කරන්නේදැයි දැන ගන්නට නොලැබීම තරුණිය තුළ කණගාටුවක් ඇති කර තිබිණි.
රුක්නාද් කියන පරිදි සුදු රෝස කුසුම කරුණාවේ දයාවේ මිත්‍රත්වයේ සංකේතයක් කර ඇත්තේ මානව සංස්කෘතිය විසින්මය.
අනුරාගි ප්‍රේමයක සලකුණ රතු රෝස මල යයි සමාජ පිළිගැනීමක් ඇත.
ඉන්ද්‍රජිත් නිසා සිත උපත දෙන සිතුවිලි ඇත්තේ විස්මිත හමුවීමක උතුර උතුරා යන සතුට පමණකැයි පැවසීඹට ද නුපුළුවන. ඔහු පිළිබඳ බොහෝ තොරතුරු දැන ගැනීමේ අහිංසක ප්‍රීතිමත් උමතු ආශාවකින් ඇය පෙළේ.
කුඩා කල ආසාවෙන් කියවූ නිදි කුමරිය සුරංගනා කතාවේ, විෂ ඉදිකටුවක් අතැඟිලි තුඩක ඇනී නින්දට වැටුණ කුමරිය අවදි කිරීමට කල්යල් බලා තරුණ කුමරෙකු පැමිණියේය. ජාතිවාදි අරගල නම් විෂ කටුව ඇනී ශෝකයෙන් මංමුලාවූ මිනිසුන් ගැහැනුන් අතර තමා සහ ඉන්ද්‍රජිත් පමණක් නොව රවිහාරි සහ චන්දිරම් ද සිටිති. රුක්නාද් රෝජා නේෂන් මාමා ද සිටිති.
ඔවුන් රතු රෝසමල් හුවමාරු කර ගත්තේ නැත. දසක ගණනාවකට පෙර පුංචි පිරිමි ළමයෙකු තම අත තැබූ කුඩා රතු රෝස මල සුදු රෝස මලක් වී තම නෙත් අභියසට ආවේ නිදිකුමරිය වෙත පැමිණි කුමාරයාගේ වෙස් ගෙනය. සි. සංසුන් කර ගත යුතුව ඇත.
ලබන සතියට