
රාත්‍රිය උදාවන බව සියල්ලෝ ම දනිතත් එයට තවත් කල්වේලා තිබෙන බව නො කිව මනා ය. සැන්දෑ අහසේ ද මහත් තේජසින් වැජඹුණ හිරු, විරාමයකට මෙන් වලාවක සැඟව ගොස් ය. ගං දිය මතට වැටුණු අපගේ ඇස් දියරැලි දිගේ ඈතින් ඈතට දිව යයි. පළමු ව නෙත නතර වූයේ, සංචාරක බෝට්ටුවකට ය. දෙවනුව ඈත අහසේ කරණම් ගසන රාජාලි උකුස්සකු ළඟ ය. තෙවනුව සුදුවන් දාගැබ් වහන්සේගේ සිළුමිණ ළඟ ය. මේ අතරතුරට තවත් දසුන් බොහොමයකි.
“මුවගට වදන් නැගෙන්නේ නැත“ වචනයෙන් කිව හැක්කේ එපමණකි. දිය දෙබෑ කරමින් සමින්ද්රගේ බොට්ටුව අප අසලට පැමිණෙන්නේ මේ මොහොතේ ය. “කොහෙන්ද පටන් ගන්නේ“ ඔහු අසයි.
“පාලම පැත්තෙන් පටන් ගම්මු“ නිරුත්තරව සිටි අප දෙස බලා නිහාල් කීවේය. ඊළඟ ඇසිල්ලේ බෝට්ටුව පාලම දෙසට පදවන්නට විය.
අප මේ සැරසෙන්නේ ඉර මියැදෙමින් තිබෙන හැන්දෑවක වළවේ ගං කොමළියගේ සිරි විඳගැනීමට ය.
සමනොළ කඳු සිරසින් ගමන් ආරම්භ කරන ප්‍රධාන ගංගා හතරකි. ඒ, මහවැලි ය. කැලණි ය. කළු ය. වළවේ ය. ඒ, අතරින් වළවේ ගඟට හිමිවන්නේ සුවිශේෂ තැනකි. අම්බලන්තොට ගොඩවාය ගංමෝය අසලින් මුහුද සිපගන්නා එය ඒ දක්වා එන ගමනේ සුන්දරත්වය විඳීම එතරම් පහසු වන්නේ නැත. විටක සිංහයකු ලෙස ප්රචණ්ඩ ලෙස ද, තවත් විටක කෝමල ලීලාවකට සමවදිමින් ද සැතපුම් ගණනාවක් පසුකරන මේ ගමනේදී ඇයට බොහෝ දේ අත්විඳින්නට වන බව කිව යුතු නොවේ. අපගේ මේ ගමන ඇරඹෙන්නේ ගංතොමෝ මුහුදට වැටෙන්නට සැතපුම් කිහිපයක් කලිනි. එනම් අම්බලන්තොට පාලම අසලිනි.
“අර පාලමට එහායින් තියෙන්නේ ගිරිහඬු සෑය පන්සල“ නිහාල් කිවේය.
අම්බලන්තොට නගරය ආසන්නයේ පිහිටා තිබෙන පාලම තංගල්ල සහ තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාස දෙක යාකර පිහිටා තිබේ. කා අතරත් වළවේ ගඟේ පාලම ලෙස ප්‍රකට මෙය ආසන්නයේ ම ගිරිහඬු සෑය රජමහ විහාරය පිහිටා තිබේ. ප්‍රදේශයේ ගොඩ නැඟී ඇති ජනප්‍රවාද අනුව විහාරය ඉදිකර ඇත්තේ තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසිනි. මීට අමතරව තවත් ජනකතා රැසක් විහාරය හා සම්බන්ධ වී තිබේ. ඒ අනුව රථවාහන නොතිබුණු අතීතයේ කතරගම වන්දනාවේ පැමිණි බෞද්ධ බැතිමතුන් වළවේ ගං දියෙන් ස්නානය කර තිබේ. පසුව ඔවුන් විහාරයේ බෝධීන් වහන්සේගේ පඬුරු බැද එදින රැය අම්බලමේ දී පේවී පයින්ම ගමන් අරඹා තිබේ. මෙවැනි ජනප්‍රවාද ගණනාවක් මේ විහාරස්ථානය හා බැඳී පවතී.
පාලම අසලින් ගමන් ඇරඹා අප ගඟ දිගේ ඉදිරියට යන්නට විය. එකින් එක නොයෙක් දසුන් නෙත ගැටේ.
“ඔය තියෙන්නේ පට්ටිය වරාය දූපත. අපි ඒකටත් ගොඩ වැදිලා යමු“ ඈතින් පෙනෙන ගොඩබිම පෙන්වූ සමින්ද්‍ර අපට කීවේ ය. බෝට්ටුව දූපත සමීපයට පැදවූ ඔහු, පළමුවෙන්ම ගොඩ බිමට බැස්සේ ය. පසුව නිහාල් ද සමඟ එක් ව අප ගොඩ බිමට බසින තෙක් බෝට්ටුව වැරෙන් අල්ලා සිටින්නට විය. වැලි සහිත පොළවේ එරෙමින් අපි දූව මැද්දට යන්නට විය. ඈතින් පෙනෙන්නේ මුහුද ය. සැබවින් ම පට්ටිය වරාය දූපත කදිම දූපතකි. තීරුවක් වන් මේ දූපතේ එක් පැත්තක මහ මුහුද ය. අනෙක් පස වළවේ ගඟ ය. දූපතේ ධීවරයන් ඉදිකර අත් හැර දමා ගිය පොල් අතු පැළ දහයක් පහළොවක් පමණ පෙළට තිබේ.
“මේ වරාය අවුරුදු සීයක් විතර පරණයි. ඉස්සර තංගල්ලෙන් ආව ධීවරයෝ සීසන් එකට වාඩි දාගෙන මාළු ඇල්ලුවා. පස්සේ අපේ පැත්තේ අයත් මේකට එක්කහු වුණා. දැනට මාදැල් විසි ගණනක් විතර තියෙනවා. ඒ අය සීසන් එකට තමයි එන්නෙ. ඒ කියන්නේ ඔක්තෝබර් ඉඳන් අප්‍රියෙල් දක්වායි. මේ දවස්වල දූපතේ කවුරුවත් නැහැ.“ ඒ හඬ සමින්ද්රගේ ය.
“ අර හරියේ තමයි ථේරපුත්ථාභය පන්සල තියෙන්නේ“ නැවතත් ගමන් අරඹා ටික මොහොතකින් නිහාල් කීවේ හදිසියේම මතක් වූවා වැනි හැඟීමකනි.
වළවේ ගඟට ආසන්නයෙන් පිහිටි තවත් විහාරයකි, ථෙරපුත්ථාභය රජමහ විහාරය. කාවන්තිස්ස රජතුමා දසමහා යෝධයන් සූදානම් කරමින් සිටි අවධියට සම්බන්ධ ජනප්‍රවාදයක් සමඟ මේ විහාරය බැඳී පවතී. ගිරි ජනපදයේ වාසය කළ ගෝඨයිම්බර යෝධයා මාගමට යමින් සිට ඇත. එහිදී දිය පිපාසය දැනුණු හෙයින් මේ විහාරයේ තිබූ පොල්ගස් හොල්ලා ගෙඩි බිම දැමී ය. ගස් හෙල්ලීම නිසා පැසුණු පොල් මෙන්ම නො පැසුණු පොල් ද බිම වැටුණි. කෙසේ හෝ ඇති පදම කුරුම්බා බී ගෝඨයිබර යෝධයා එම විහාර භූමියට ම වී නිදන්නට විය. බැහැරකට ගොස් සිටි විහාරස්ථානයේ අභය හිමියන් වැඩම වන්නේ මේ අතර ය. පන්සල් බිමට කර තිබෙන හානිය දුටු අභය හිමියෝ ඒ සමඟම අසල නිදන තරුණයා ද දුටුවේ ය. කෝපයට පත් හිමියන් තම පාදයේ මහපට ඇඟිල්ලෙන් සහ දෙවැනි ඇඟිල්ලෙන් තරුණයාගේ මහපට ඇඟිල්ල හිර කර පන්සල් වත්ත පුරා ඇදගෙන ගියේය. වේදනාව නිසා මළ මුත්‍රා පවා පිටවූ ගෝඨයිම්බර යෝධයා අමාරුවෙන් බේරී කාවන්තිස්ස රජු වෙත ගියේ ය. අවසන රජතුමාට විස්තර කියා අභය හිමියන් උපැවිදි කරවාගෙන දසමහා යෝධයකු ලෙස රාජ සේනාවට බදවා ගෙන තිබේ. යුද්ධය නිමාවීවෙන් පසුව නැවතත් පැවිදි වූ හිමියෝ බවුන් වඩා රහත් වූහ. ථේරපුත්ථාභය ලෙස ප්‍රකටවූයේ මේ හිමියන් වන අතර, මේ භූමිය පිහිටා තිබෙන්නේ වළවේ ගඟ අසල ය.
ගඟ දෙපස කුරුල්ලෝ ජලය දෙස ම බලා භාවනා කරන්නාක් මෙනි. ඒ කුමක් නිසාදැයි අමුතුවෙන් කියයුතු නොවේ. ජලයේ මත්ස්‍යයකු දුටු දියකාවකු ඒ භාවනාව නිමකර ගොදුර ඩැහැගත්තේ ඊළඟ මොහොතේ ය. උකුස්සන්, පිළිහුඬුවන්, ගිරවුන්, වවුළන් මෙන් ම රිළවුන් ද මේ ගස්කොළන් වල දැකිය හැකි ය. මෙලෙස ගඟ දිය දිගේ ඉදිරියට ඇදෙන අපට නේක විද දසුන් ඇස ගැටේ. කොළඹ දී නම් අපට නිතර ම ඇස ගැටෙන්නේ කපුටන් ය. එහෙත් වළවේ ගඟ දෙපස නම් අපිට වැඩි පුර ම දක්නට ලැබෙන්නේ මොනරුන් ය.
ගංමෝය දෙසට ගමන් කරමින් සිටි අපට දකුණු පසින් දක්නට ලැබෙන්නේ පට්ටිය වරාය දූපත ය. මේ දූපත එක්පසෙක වරාය පිහිටා ඇති අතර තවත් කොටසක් පෞද්ගලික ඉඩම් ලෙස පිහිටා තිබේ. ඉතිරි කොටස අයත් වන්නේ අභය භූමියට ය. වළවේ ගඟ මුහුදට වැටෙන්නට කිලෝමීටර හතරක් පමණ දුරින් ගොඩවාය රක්ෂිතය පිහිටා තිබේ. එහි ශාක වර්ග 52කට උරුමකම් කියන අතර, සත්ව වර්ග 28කි. මත්ස්‍ය වර්ග 52කි. පක්ෂි වර්ග 72කි. ඒ හැරුණු විට ගොඩවාය ආශ්රිත මුහුදු පෙදෙස කැස්බෑවන් අධික ප්රදේශයකි. දූපත මුහුදට වැටෙන්න ඔන්න මෙන්න කියා දූපත ආසන්නයේ ඌරන් විශාල ප්රමාණයකි.
“ඔය ඇති කරන ඌරෝ වෙන්න ඕනේ“ නිහාල් කියයි.
අප සිටියේ මෝය කටට ආසන්න වෙමිනි. තරමක උඩින් පිහිටි භූමියක් මත චෛත්‍යයක් දුටු නිහාල් ඊළඟට නිර්ලෝභිව ඒ ගැන විස්තර කියන්නට විය.
“මේ තමයි ගොඩවාය පන්සල. ලොකු ඉතිහාසයක් තියෙන පන්සලක්“
ගොඩවාය රජමහා විහාරය ඓතිහාසික වශයෙන් වැදගත් වී ඇත්තේ එහි පිහිටි ගිරි ලිපි නිසා ය. යෝධ නුග ගසක සෙවණ විහාර භූමියට ගෙනදී තිබෙන්නේ මහත් සිසිලසකි. නුග ගස් සෙවණ යට මේ ඓතිහාසික සෙල් ලිපිය පිහිටා තිබේ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද කැණීම් කිහිපයකින් මෙහි තවත් සාධක රැසක් හෙළිවී තිබේ. එසේම තවත් කිසිම කැණීමකට ලක් නො කළ ඉපැරණි ගොඩනැගිලි කිහිපයක නටබුන් දැකිය හැකිය. මෙහි සුප්‍රකට සෙල්ලිපි පළමු වැනි ගජබාහු රජ විසින් කරවා ඇත. මේ එක් සෙල් ලිපියකින් කියවෙන්නේ ගොඩවාය වරායෙන් ලැබුණු තීරු බද්ද ගොඩවාය විහාරය නඩත්තු කිරීමට යෙදවූ බවයි. ජනප්රවාදයට අනුව මේ විහාරය ගෝඨාභය රජතුමා විසින් පබ්බත නම් තාපසයකුට පුජාකර තිබේ. එනිසා ගෝඨපබ්බත නමින් විහාරය නම් කෙරුණු බව කියවේ.
“ගඟේ ලොකු බෝට්ටු ප්‍රමාණයක් නැහැ. ඒත් සංචාරකයෝ ඉන්නවා. විදෙස් වල කට්ටිය වගේම ලංකාවේ අයත් එනවා “
ඈතින් එන සංචාරක බෝට්ටු දිහාවට අත දික්කර නිහාල් කියයි. ඒ හැරෙන්නට ගං ඉවුර දෙස තැනින් තැන බෝට්ටු නවතා තිබේ. ඒවා සංචාරකයන්ට භාවිත කළ හැකිය.
මේ අතර තවත් බෝට්ටුවක දෙදෙනෙක් මාළු අල්ලමින් සිටී.
“ඔය වගේ පිරිසත් ඉන්නවා. ඒ අය ඉතින් මුහුදු යනවා වගේම ගගේත් මාළු අල්ලලා ජීවත් වෙනවා.“
ගොඩවාය වරාය පිහිටා තිබෙන්නේ ගොඩවාය රජමහ විහාරය ආසන්නයේ ය. ටොලමිගේ ලංකා සිතියමේ පවා සදහන් ව තිබෙන ගොඩවාය වරාය අසල තිබෙන පරිසරය වරායකට මැනවින්ම සුදුසු ය. මේ ස්ථානයේ වැල්ලේ තිබී ගල්කණු ගණනාවක් හමුවී ඇති අතර, මේවා පැරණි වරාය ජැටියකට අයත් බව විශ්වාස කෙරේ. වළවේ ගඟ මුහුදට වැටෙන ස්ථානයට ආසන්නයේ පිහිටා ඇති නිසා, වලවේ ගං නිම්මනයෙන් හමුවන රතු රබහ සහ රිදියගමින් ගෙන එන ලද යකඩ මේ නැව් තොටින් පටවා තිබෙන බව විශ්වාස කෙරේ. මේ සංචාරයේදී ගොඩවාය ධීවර සමුපකාර සමිතියේ සභාපති එච්.එම්. රංජිත් මහතා ද හමුවීමට අමතක කළේ නැත. ඔහුගේ මේ හඬ වරායේ ඇති ඉතිහාසය සහ වර්තමානය ගැනය.
“මේක ලංකාවේ විතරක් නොවේ ලෝකෙම පැරණි වරායක්. පළමු වැනි සියවසෙත් තිබිලා තියෙනවා. අද වෙනකොට මෙතැන පොඩි බෝට්ටු 72ක් තියෙනවා. පාරම්පරික හවල් 11ක් තියෙනවා. පවුල් 522ක් මේ වරායේ ධීවරයන් ලෙස ජීවත්වෙනවා. අපි මේ වෙරළ පිරිසුදුව තියාගන්න හැම මහන්සියක්ම දරනවා. සංචාරකයන්ට ඕනේ විදිහට මෙතැන අපිරිසුදු කරන්න, හැසිරෙන්න දෙන්නේ නැහැ.“
ඒ කතාබහත් සමඟ ම අප නැවැතත් බෝට්ටුවට ගොඩ වූයේ, ආපසු එන්නට ය. මේ ගමන තිබෙන්නේද පැමිණි මාර්ගයේ ම ය. එහෙත් නැවැතත් එකින් එක අත්විඳින්නට හැකි තරමේ කුතුහලයක්, නැවුම් බවක් පරිසරයේ තවමත් දැකිය හැකිය. එකම වෙනස ඉර තවත් අවරට ගොස් තිබීම පමණි. අතුරිකිලි මත වසා සිටින පක්ෂීහු තවමත් සිටිති. ඔවුන්ගේ තියුණු ඇස් ගංදිය මත ම රැදී ඇත. ඒ අස්සේ කොහෙදෝ සිට පැමිණි රිළව් රෑනක් අපිට ඔච්චම් කරන්නට මෙන් විරිත්තමින් සිටිති. මේ සියල්ල එකින් එක පෙළ ගැසෙද්දී අපට සමුගැනීමට කාලය එළැඹී තිබිණි. ඒ සමුගැන්ම වළවේ ගං කොමළියට පමණක් ම නොවිණි. එය මෙතෙක් වේලා අප සමඟ ගමනට එක්වූ නිහාල්, සමින්ද්‍ර සහ අවිශ්කගෙන් කෙරුණු සමු ගැන්ම ද විය.
මලික් චමින්ද ධර්මවර්ධන
ඡායා- සමන්ත වීරසිරි