ජගත් කොඩිතුවක්කුගේ චිත්‍ර චිකිත්සාව | සිළුමිණ

ජගත් කොඩිතුවක්කුගේ චිත්‍ර චිකිත්සාව

චිත්‍ර චිකිත්සාව සම්බන්ධයෙන් හැදෑරීමත් හදාරන දේවල් ප්‍ර‍ායෝගිකව අත්හදා බැලීමත් මා අතින් සිදුවෙනවා. අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට සම්බන්ධ වීමෙන් පසුව මට එවැනි ගමනක් යෑ‍ෙම් මඟ පෑදුණා.” දක්ෂ චිත්‍ර ශිල්පිකු සහ ඡායාරූප මාධ්‍යවේදියකු වන ජගත් කොඩිතුවක්කු පවසයි. ඉන්දියාවේ “බාපු ට්‍රස්ට්” ආයතනය මඟින් පුනේ හිදී පවත්වන ලද වැඩමුළුවකට සහභාගි වූ ජගත් පසුගියදා ලංකාවට පැමිණියේ ය. චිත්‍ර චිකිත්සාව, සංගීත චිකිත්සාව, ආධ්‍යාත්මික චිකිත්සාව යනාදී වශයෙන් විෂය ක්ෂේත්‍ර කිහිපයක් අනාවරණය කරමින් වැඩමුළුව පැවැත්වූ බව ජගත් පවසයි. ජගත් මේ දක්වා පැමිණි ගමන එතරම් සුන්දර නැත. අසුන්දර ද නොවේ.

“2008 අවුරුද්දෙ මම දරුණු මානසික කඩා වැටීමකට ලක්වූවා. පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ගත්තා. ඔයා දැන් හරියන්නෙ අංගොඩ රෝහල. එතන ඔයාගෙ දක්ෂතා අනුව ඉදිරියට යන්න පුළුවන්. එහෙම කීවෙ පේරාදෙණියෙ මට ප්‍රතිකාර කළ වෛද්‍යවරු. මම අඳින චිත්‍ර ඔවුන් දැක්කා. ඒ අනුව 2009 දි අංගොඩ රෝහලේ වෘත්තීය චිකිත්සක අංශයට සම්බන්ධ වුණා.”

ජගත් කොඩිතුවක්කු අතීතය සිහිපත් කරයි. “ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය” යන නම භාවිතා කිරීම පටන්ගෙන ඇත්තේ එම රෝහල සහ ප්‍රතිකාර ලබන්නන් දෙස සමාජය අවතක‍්සේරුවෙන් බැලීමේ ප්‍රතිපල ලෙස ය.

එම රෝහලේ චිත්‍ර චිකිත්සක අංශයට සම්බන්ධ වීමෙන් පසුව චිත්‍ර ඇඳීම සහ ප්‍රතිකාර ලබන්නන් සඳහා චිත්‍ර චිකිත්සාව භාවිත කිරීම යන දෙකෙහි ම යෙදීමට ජගත්ට හැකි විය.

මානසික ප්‍රතිකාර සඳහා රෝහල් ගත වන අයගෙන් බොහෝ දෙනාට ඉදිරි බලාපොරොත්තුවක් නොමැත. ඒ අය තුළ සැඟවී තිබෙන හැකියා හඳුනාගෙන ඒවා වර්ධනය කිරීම ප්‍රතිකාරවේදයක් බව වෛද්‍යවරුන් හඳුනාගෙන ඇත. චිත්‍ර, මූර්ති, අත්කම් භාණ්ඩ, සුරතල් සතුන්, සුබ පැතුම් කාඩ් යනාදිය නිර්මාණය කිරීමේ අභ්‍යාස ඔවුන්ට ලබා දෙන්නේ ඒ අනුව ය. ජගත්ගේ විෂය චිත්‍ර යි.

“චිත්‍ර චිකිත්සාව මානසික සෞඛ්‍යය යථා තත්වයට පත් කිරීමේ සාර්ථක මාර්ගයක්. මම වැඩ කරන්නේ වෘත්තීය චිකිත්සක අංශයේ දෙවැනි යුනිට් එකේ. මේ වන විට රෝහලේ දිවා පුනරුත්ථාපන අංශයක් ගොඩනඟා තිබෙනවා. කලක් නේවාසික ප්‍රතිකාර ලබා සුවපත් වූ අය නිවෙස්වල සිට පැමිණ මෙම අංශයෙහි විවිධ නිර්මාණ කටයුතුවල යෙදෙනවා. ඔවුන්ට එම නිර්මාණ අලෙවි කිරීමෙන් ආදායමකුත් ලැබෙනවා.” ජගත් කොඩිතුවක්කු පවසයි.

“චිත්‍ර චිකිත්සාවට සම්බන්ධ වූ අයත් එතෙන්ට එනවා ද? මම ඇසුවෙමි.

“සෑහෙන පිරිසක් එනවා. ඒ අය මානසික වශයෙන් සුවපත් වෙමින් සිටිනවා. ඔවුන්ගේ කුසලතා දියුණු වී තිබෙනවා. බලාපොරොත්තු රහිතව ජීවත් වූ ඔවුන්ට දැන් අලුත් බලාපොරොත්තු තියෙනවා. ඒක ලොකු සතුටක්.” ජගත් ප්‍රමෝදයෙන් පවසයි.

2015 වසරෙහි දී ජගත් නැවත රෝගී තත්වයට පත් විය. වෛද්‍යවරුන්ගේ සහයෝගයෙන් සහ නිර්මාණ කටයුතුවල යෙදීමෙන් මනස ගොඩ නඟා ගැනීමට ඔහුට හැකි විය.

“ඉන්දියා සංචාරයෙන් ලැබුණු ප්‍රයෝජන මොනවද?” මම අසමි.

“ආර්ට්ස් තෙරපි කියන විෂය වර්ධනය කෙරෙන එකක්. ඒක අපට තව අත්හදා බලන්න පුළුවන්. එයින් විශාල පිරිසකට සුවය සැලසෙනවා.” ජගත් පවසයි.

සතියේ හැම සිකුරාදාවක ම අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෘත්තීය චිකිත්සක අංශයෙහි ජගත් කොඩිතුවක්කු චිත්‍ර චිකිත්සකයකු ලෙස තම දායකත්වය ලබා දෙයි.

ඡායාරූප ශිල්පියකු, චිත්‍ර ශිල්පියකු සහ මාධ්‍යවේදියකු ලෙස බොහෝ කටයුතුවල යෙ දී සිටි ඔහු කටුක අත්දැකීම් සමුදායකට මුහුණ දීමේ ප්‍රතිඵල ලෙස විෂාදයට (depression) ගොදුරු විය. කෙටි කාලයක් ප්‍රතිකාර ලබා ගැනීමට ඔහුට සිදු විය. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ වෘත්තීය චිකිත්සක අංශය (occupational Theraphy unit) ඔහුගේ ජීවිතය සෙමෙන් ගොඩනඟා ගැනීමට උපකාරී විය. ‍සොබා දහම සමඟ ජීවත් වෙමින් චිත්‍ර ඇඳීම විෂාදයෙන් මිදීමේ මඟක් හැටියට ඔහු විසින් ප්‍රගුණ කරන ලදි. මේ අනුව චිත්‍ර චිකිත්සාව බොහෝ පුද්ගලයන්ට අස්වැසිල්ලක් වී තිබේ. ඔහු අඛණ්ඩව චිත්‍ර ඇඳීමෙහි නිරත විය. එමෙන් ම මානසික රෝහලේ විෂාදයේ පෙළෙන පුද්ගලයන්ට චිත්‍ර චිකිත්සාව අත්හදා බැලීමේ නිරත වූයේ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ය. ඔහුගේ බොහෝ චිත්‍ර එහි වෛද්‍යවරුන්ගේ ප්‍රශංසාවට ලක් විය. මානසික සෞඛ්‍යායතනය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් විද්වතුන්ගේ ඇගයීමට ලක් විය.

‍ ප්‍රකට නිළියක වන පූජා උමා ශංකර් පසුගියදා තම උපන් දිනය සැමරීම සඳහා මානසික සෞඛ්‍යායතනය වෙත පැමිණියා ය. ජගත් කොඩිතුවක්කුගේ චිත්‍ර දැක ඇය විස්මයට පත් වූවා ය. මේ වන විට ඇතැම් විදෙස් උගතුන් ජගත්ගේ චිත්‍ර පිළිබඳ වැදගත් කරුණු ලියා තබා ඇත. ඇතැම් චිත්‍ර මිල දී ගෙන තිබේ.

රෝහල් පරිශ්‍රය තුළ සිදු කෙරෙන චිත්‍ර චිකිත්සාවට අදාළ කටයුතුවලට අමතරව විවිධ පළාත්වල දරුවන් සඳහා චිත්‍ර සහ නිර්මාණාත්මක වැඩමුළු පැවැත්වී‍ෙම් අවස්ථාව ඔහුට ලැබී තිබේ. රාජගිරිය දියත උයන ආසන්නයේ සහ මාළිගාව පාර ප්‍රදේශයේ ජීවත්වන දිළිඳු පවුල්වල දරුවන්ගේ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සඳහා ජගත් කොඩිතුවක්කුගේ දායකත්වය ලැබී තිබේ. මඩොල්කැලේරත්න ප්‍රදේශයේ පැවැති වැඩමුළුවට සහභාගිවූවන්ගෙන් ලද ප්‍රතිචාර ඉහළ ය. ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් ලද ඇරියුම් අනුව යුද්ධයෙන් පසුව යන්තම් හිස ඔසවමින් සිටින යාපනයේ විදුහල්වල දරුවන් සඳහා චිත්‍ර වැඩමුළු පවත්වන්නට ලැබීම තමා ලද භාග්‍යයක් බව ජගත් කොඩිතුවක්කු පවසයි.

ජගත්ගේ දුරකථන අංකය 071 3190252

තිඹිරියාගම බණ්ඩාර

Comments