
ඇය අපට සිටින ජ්‍යේෂ්ඨ සාහිත්‍යවේදිනියකි. නිර්මාණකරණයට පිවිස මෙවසරට අවුරුදු 40ක් සපුරන ඇයගේ නවකතා 18ක්, කෙටිකතා සංග්‍රහ 4ක්, ළමාකතා 4ක්, චරිතකතා කෘති 2ක්, විචාර කෘති 2ක් සහ ගුවන්විදුලි නාට්‍ය කෘති 3ක් වශයෙන් පැවති ග්රන්ථාවලියට අලුතින්ම එක් වූයේ ‘අමර වරම’ සහ ‘තොටුපළේ භික්ෂුව’ යන හඬනළු එකතු දෙකකි. මේ, ප්‍රවීණ ලේඛිකා කැත්ලීන් ජයවර්ධන ‘සත්මඬල’ සමඟ කළ සංලාපයකි.
• ඔබේ අලුත් ම කෘති ද්වය ගුවන්විදුලි නාට්‍ය පිටපත් එකතු දෙකක්. ඒත් ගුවන්විදුලි නාට්‍ය රචිකාවක වන්නට ප්‍රථම ඔබ ක්ෂේත්රයේ තහවුරු වන්නේ නවකතාකාරියක ලෙසයි...
ඔව්. මගේ ප්‍රථම මුද්‍රිත කෘතිය වන්නේ නවකතාවක්. ඒ 1977 වසරේ පළ වූ ‘බලන් කඩතුරා හැර දෑසේ’. ඉන් පසු පිළිවෙළින් 79, 82 වසරවලදී ‘ඉන්දුමතී’ සහ ‘කළුසුදු’ නවකතා එළිදැක්වුණා...
• එතකොට වෙනස් ම නිර්මාණ මාධ්‍යයක් වූ ගුවන්විදුලි නාට්‍ය ක්ෂේත්රයට ඔබේ ආගමනය සිදු වන්නේ කොහොම ද?
මගේ ජීවිතයේ බොහෝ දේ වගේම එයත් එක්තරා අහම්බයක්. 1984 වර්ෂයේ කිසියම් දවසක පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ මගේ කාර්යාලයට ගුවන්විදුලි සංස්ථාවෙන් ලිපියක් ලැබුණා. ලියුමේ අඩංගු ව තිබුණේ ස්වදේශීය සේවය වෙනුවෙන් කොටස් වශයෙන් ප්‍රචාරය වන නාට්‍යයක් ලියන්නට කෙරුණු ඉල්ලීමක්. මීට පසුබිම සැපයුණේ කෙසේදැයි මා තවමත් කියන්න දන්නේ නෑ. මේක මට මහා පුදුමයක් වගේ ම අභියෝගයකුත් වුණා. ඒ, මා එතෙක් ගුවන්විදුලි නාට්‍ය අසා මිස ලියා නොතිබුණ නිසයි.
• මේ අභියෝගය ඔබ ජය ගත්තේ කොයි ආකාරයෙන් ද?
අභියෝගය වඩාත් ප්රශ්නකාරී වුණේ මේ නාට්‍ය රචනා ඒකාංකිකව නොව, කොටස් වශයෙන් කරන්නට සිදු වූ නිසයි. මෙහි දී විනාඩි 30ක ගුවන් කාලයකට ලිවිය යුතු පිටු ගණන පිළිබඳ ප්‍රශ්නයකුත් මතු වුණා. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ ‘ගුවන්විදුලි නාට්‍ය හතක්’ පොත මිල දී ගෙන කියවා බැලූ පසුවයි දළ අදහසක් ඇති වුණේ. කොහොම වුණත් ඉතා කුඩා කාලයේ පටන් මා ගුවන්විදුලි නාට්‍ය රස විඳ තිබුණා. ඒ රසවින්දනයම තමයි නිර්මාණකරණය පහසු කළේ. වාසනාවකට වගේ ඒ පිටපත නිෂ්පාදනය කරන්න ලැබුණේ නාට්‍යවේදි සුගතපාල ද සිල්වා සූරීන් අතටයි. දශක තුනක් ම මේ ගමන එන්න මට අවකාශය විවර කළේ එදා එතැනින් සැපයුණු ඒ ජවයයි.
• ගුවන්විදුලි නාට්‍යය, නවකතාව හා කෙටිකතාව මෙන් ඉවසිල්ලෙන් සිතා බලා, විමසා, ලොකු කාලයක් කැප කරමින් ලියවෙන සාහිත්‍යාංගයක් නොවන බවයි අපගේ හැඟීම... ක්ෂණික ව බිහි වන මෙහෙම කලාංගයක ඔබ ගුණාත්මක භාවය රඳවාගන්නේ කෙසේ ද?
සාහිත්‍ය නිර්මාණයක් සඳහා සැලකිය යුතු කාලයක් වැය කිරීම විය යුතුම දෙයක් හැටියට මාත් පිළිගන්නවා. ඒත් ඕනෑම දෙයක්, ඕනෑම පිළිගැනීමක් අත්‍යන්තයෙන්ම සර්වසම්පූර්ණ හෝ සාධාරණ නැහැ. කොයිම දෙයක් වුණත් සියයට සියයක ප්‍රතිශතයකින් එය එසේමයැයි කියන්න බැහැ. ඇතැම්විට විදුලියක් වගේ හටගන්නා හැඟීමක් ක්ෂණිකව ඉතා සරු නිර්මාණයකට උපත දෙනවා. ඒ අනුව පැයකින් දෙකකින් වුණත් කෙටි විශිෂ්ට නිර්මාණයක් බිහි වන්න බැරිකමක් නැහැ. ගුවන්විදුලි නාට්‍යය කියන්නේ එවැන්නක්.
අප අසන, දකින, අප අවට දෛනිකව සිදු වන සුළු සිද්ධියකින් වුණත් ගුවන්විදුලි නාට්‍යයකට පසුබිම නිර්මාණය වෙනවා. ඒත් මේ පසුබිම ‘නාට්‍යය’ යන සාහිත්‍යාංගයට උචිත වන අයුරින් ගැටුම හා කුතූහලය රඳවාගනිමින් ප්‍රතිනිර්මාණය කිරීම තමයි රචකයාගේ කාර්යය වන්නේ. බොහෝ ගුවන් විදුලි නාට්‍ය ශ්‍රවණය කර, රසවිඳ, ඒ රසය සිත තුළ රඳවාගත් කෙනකුට මිස ගුවන්විදුලි නාට්‍ය පාඨමාලාවකින් මෙය කළ හැකියැයි මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ නෑ. ‘ආප්ප බානවා වගේ නිර්මාණ කරන්න බැහැ’ කියලා කියනවා තමයි. ඒත් 1996 වසරේ ඕසීඅයිසී (උන්ඩා) සම්මානය දිනූ මගේ ‘ඉරහඳ තරණය’ නාට්‍යය මා රචනා කළේ එක දවසකින්. හැම සිද්ධාන්තයක්ම, හැම පිළිගැනීමක්ම, හැම දේකටම හරියන්නේ නැහැයි මා කියන්නේ ඒ නිසා.
• නවකතාවේදී, කෙටිකතාවේදී කුටුම්බ ජීවිතය පිළිබඳ ව හා මිනිසුන්ගේ හැඟීම්-දැනීම් පිළිබඳ ව සෙසු සාහිත්‍යකරුවනට බොහෝ දුරට සමාන ව, සරල ව කතා කරන ඔබ ගුවන්විදුලි නාට්‍යයේදී යම් දාර්ශනික තලයක් ස්පර්ශ කරන බවක් හැඟෙනවා...
මෙහිදී ඔබ ‘දාර්ශනික තලය’ ලෙස හඳුන්වන්නේ පෙනෙන දෙයක නොපෙනෙන පැත්ත ගැන බවයි මගේ වැටහීම. මං හිතන්නේ මගේ සමහර නවකතාවලිනුත් එවැනි අදෘශ්‍යමාන තත්ත්වයන් පිළිබඳව මා සාකච්ඡා කොට තිබෙනවා...
• ඔව්; මට මෙහිදී ඔබේ ‘ධාරා’ සහ ‘අකාල යාත්‍රා’ සිහිපත් වනවා...
කොහොමටත් පෙනෙන දේට ඔබ්බෙන් වන දේ සොයන කුතූහලය කුඩා කල සිටම මා තුළ පැවතුණා. තවමත් එය එසේමයි. නිර්මාණකරණයේදීත් මට කිසියම් බලපෑමක් කරනවා ඇත්තේ මේ කුතූහලයයි. පාරභෞතික තත්ත්වයන් ගැන ලියවුණු පතපොත - පර්යේෂණ වාර්තා කියවන්න, මනෝ විශ්ලේෂණාත්මක ලේඛන කියවන්න මං ටිකක් වැඩියෙන් උනන්දුයි. මේ තත්ත්වයත් ඒකට බලපාන්න ඇති. තවත් පැත්තකින් මගේ විශ්වාසයේ හැටියට සාර්ථක සාහිත්‍ය නිර්මාණයකින් විය යුත්තේ මිනිසා කණපිට හැරවීමයි. සාහිත්‍යකරණයේ දී අප සාහිත්‍යකරුවාට අමතරව සමාජ විද්‍යාඥයාගේ, චින්තකයාගේ වගේම දාර්ශනිකයාගේ භූමිකාවටත් අවස්ථානුකූල ව අනුගත විය යුතුයැයි මට සිතෙන්නේ ඒ නිසයි.
• නවකතා සහ කෙටිකතා රචනයේදී භාෂා භාවිතය සම්බන්ධයෙන් ලේඛකයාට අසීමිත නිදහසක් විවර ව පවතිනවා. විශේෂයෙන් අවස්ථා සහ සිද්ධි මැවීමේදී... මේ තත්ත්වය ගුවන්විදුලි නාට්‍ය රචකයකු අරබයා ඔබ විග්රහ කරගන්නේ කොහොම ද?
ඇත්තටම කිවුවොත්: සුවිශාලතම අභියෝගය පැනනැඟෙන්නේ මෙතනදීයි. ඔබ පැවසූ ලෙස මුද්‍රිත සාහිත්‍යකරණයේදී භාෂා භාවිතය සම්බන්ධයෙන් ලේඛකයකුට හිමි වන නිදහස මෙහි දී සීමා වන අතරේ, සෙසු ප්‍රාසංගික කලාවන්හිදී ශිල්පියකුට හිමි වන ‘සතර අභිනයේ’ සහයෝගයත් එක අභිනයකට සීමා වනවා. මෙහිදී අපට උපකාර කර ගන්නට අවකාශය තිබෙන්නේ ‘වාචිකාභිනය’ පමණයි.
නිදසුනක් ගත්තොත්: කතාවේ එක් චරිතයක් තේ-එකක් හදාගෙන එන්නම් කියා බැහැරට යනවා. ඊට ගත වන කාලය අපි පුරවන්නේ කොහොමද? මෙතනදී කිසියම් ආත්මකථනයක් වගේ ප්‍රයෝගයකට යොමු වන්න සිදු වනවා. තවත් විටෙක කිසියම් චරිතයක බාහිර ස්වරූපය ඇඳුම්-පැලඳුම් ආදිය ගැන ශ්‍රවකයාට දැනවීමේදීත් අපට යොදාගන්න සිදු වන්නේ සිතිවිලි ප්රකාශනයක්; නැත්නම් අනුචිත නොවන දෙබසක්.
මේ අනුව ‘ගුවන්විදුලි නාට්‍යය යනු: හඬ හා නිහැඬියාව අතරේ ගොඩනැඟෙන කලාවක්’ ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ගුවන්විදුලි නාට්‍ය ශිල්පියා වචන උච්ඡාරණයේ පටන් පිටපතේ සමස්ත භාෂාව පිළිබඳවම සියුම් ලෙස සැලකිලිමත් වීම අනිවාර්යයි.
• මෙතනදී මට සිතෙනවා මේ කලාංගයේ සාර්ථකත්වයට පාර්ශ්ව කිහිපයක ම සියුම් හැකියා එකට පුරුද්දාගත යුතු බවක්...
ඔබ හරි. පළමුවම නිෂ්පාදකයා රචකයාගේ පිටපත මැනැවින් ග්‍රහණය කරගත යුතුයි. රචකයාගේ සිතේ මැවුණු ජවනිකා ශ්‍රාවකයාගේ මනසේ මැවීම සඳහා හඬනළුවන් මෙහෙයවීමේ අභියෝගය පැවරෙන්නේ ඔහුටයි. නළුවන්ගේ හඬ වගේම අවශ්‍ය ‘හඬ ප්‍රයෝග’ ද සුදුසු පරිදි තෝරාගෙන මුසු කිරීම ආදි බොහෝ කටයුතු ඊට අයත්. මගේ බොහෝ පිටපත් නිෂ්පාදනය කළ වජිර ඉන්දික කරුණාසේන නිර්මාණයක් සාර්ථක කරගන්න ඉතා මහන්සි වන කෙනෙක්. ඉනෝකා බණ්ඩාරගේ නමත් මෙහිදී මට සිහිපත් වනවා.
• ඔබට පූර්ව යුගයේ සිටි ගුවන්විදුලි පිටපත් රචකයන් ගැන කතා කළොත්...
ඇත්ත වශයෙන්ම අද අපි ගුවන්විදුලි නාට්‍ය ලියන්නට යොමුව ඇත්තේ අපට කලින් සිටි පිටපත් රචකයන් දුන් තල්ලුව නිසයි. ගුවන්විදුලි නාට්‍ය පිළිබඳ අපේ රසභාවයන් අවදි කළේ ඔවුන්. ඒ පිළිබඳ අපේ උද්යෝගය දැල්වූයේත් ඔවුන්. මට මතක ඇති කාලයේ සිටම ආනන්ද සිරිසේන, ධර්ම ශ්‍රී මුණසිංහ, මර්වින් සේනාරත්න, රෝහණ කස්තුරි ආදීන් ගුවන්විදුලියට වැඩි වැඩියෙන් පිටපත් රචනා කරමින් සිටියා. නාට්‍යවේදි සුගතපාල ද සිල්වා, කරුණාරත්න අමරසිංහ, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර යන අයගේ පිටපතුත් අපි බොහෝ විට ඇසුවා. මේ මොහොතේ මට මතක් නොවන තවත් නම් ඇති.
• ‘බෞද්ධ නාට්‍යය’ දසවසරකට වැඩි කාලයක් මුළුල්ලේ අඛණ්ඩ ව රචනා කරන ඔබ සමකාලීන ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචකයන්ගේ නිර්මාණ හඳුනාගන්නේ කොහොමද? අලුත් පරපුරක ආගමනයක් ඔබ හඳුනාගෙන තිබෙනවා ද?
මුලින්ම කිව යුතු වන්නේ මා මෙහිදී කතා කරන්නේ ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවයට සම්බන්ධ පිටපත් රචකයන් පිළිබඳ ව වන බවයි. වෙනත් ගුවන්විදුලි නාලිකා සඳහා නාට්‍ය ලියන රචකයන් හඳුනාගන්න මට විවර වුණු අවකාශය අවමයි. ඊට හේතුවක් තියෙනවා. බොහෝ පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවල ගුවන්විදුලි නාට්‍ය ප්‍රචාරය වන්නේ විනාඩි දෙකෙන් තුනෙන් ඛණ්ඩනය කරමිනුයි. ඒවා අසන්නට උත්තේජනයක් මා තුළ හට නොගන්නේ මේ නිසයි. ඇතැම් විට පැය බාගයකට ලියවෙන පිටපතක් පැය දෙකක් හෝ තුනක් මුළුල්ලේ වරින් වර ප්‍රචාරය කෙරෙනවා.
මගේ විශ්වාසයේ හැටියට ගුවන්විදුලි නාට්‍යයක් රස විඳින්න නම් එය එකදිගට අසා සිටිය යුතුයි. මේ හේතුව නිසාම මට හඳුනාගන්න නොහැකි වුණු හොඳ රචකයනුත් ඇති. එහෙත් ඒ අය ගැන කතා කරන්න මට අවකාශයක් නොවීම ගැන කණගාටුයි. දීර්ඝ කාලයක සිට ස්වදේශීය සේවයට පිටපත් ලියූ රෝහණ කස්තුරි තවමත් ඒ කාර්යයේ නිරත වනවා. කාලානුරූපව අනුක්රමයෙන් වෙනස් වුණු අපූරු පිටපත් ඒ අතරේ තිබෙනවා. මෑතක් වන තුරු ම ‘විශ්ව සාහිත්‍යය’ සඳහා ආනන්ද අමරසිරි නම් වූ ප්‍රතිභාපූර්ණ ලේඛකයා රචනා කළ පිටපත් ගැන කියන්න තියෙන්නෙත් එයමයි. ඒ හැරුණුවිට ‘ගුවන්විදුලි රඟමඬල’ සඳහා පිටපත් සපයන ජයන්ත කළුපහණ, චන්ද්‍රසිරි දොඩංගොඩ වැනි අයත් ඉන්නවා. කොහොම වුණත් ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචකයන් සංඛ්‍යාත්මක වශයෙන් වර්ධනය වී නැහැ. ඊට හේතුව ගුවන්විදුලි නාට්‍ය ලිවීම කියන්නේ රුපියල් ශතවලින් ගත්තොත් ‘ලාභදායි’ ව්‍යායාමයක් නොවන නිසා වෙන්නැති.