කනත්ත ළඟදී හමු වූ මිය ගිය මිතුරා | සිළුමිණ

කනත්ත ළඟදී හමු වූ මිය ගිය මිතුරා

මෙතෙක් කතාව... ඇමතියගොඩ වලව්ව පිහිටියේ ගොඩකවෙලය. රජකු නැතිව දිනූ කටුවන සටනේ විරුවන්ට ගරු කරමින් රජු දුන් වරප්‍රසාද අනුව රදළ බවට පත් 13 දෙනාගෙන් පවතින වලව් දෙක අතරින් ඉතිරිව ඇති ඇමතියගොඩ ගුණතිලක අලහකෝන් මුදලිතුමාගේ නින්දගම, දේවාලය ඇතුළු ප්‍රදේශය අදටත් ඓතිහාසික වටිනාකම්වලින් පිරි ඉසව්වකි. එසේම ඒ වලව්ව තනා ඇත්තේ රික්තයක නිසා දුර්වල තරංගවලට ළඟා විය නොහැකි බව එහි වත්මන් හිමිකරු වන කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ උදය ඇමතියගොඩ මහතා පවසයි. එනිසා වලව්ව තුළට ඇස්වහ, කටවහ, අමනුෂ්‍ය දෝෂ වැනි දේ ගමන් නොකළද වලව්ව සීමාවෙන් පිටතට වන්නට මෙවැනි දේ පිළිබඳ විවිධ අත්දැකීම් ලැබූවන් බොහෝය. ඉන් එකක් වූයේ වලව්වට හැරෙන හන්දියෙන් රථයකට ගොඩ වූ සුරූපිනියක පිළිබඳ අත්දැකීමය.

ඇමතියගොඩ නිලමේ නම් පවසන්නේ මේ පාරවල යන විට වාහනේ පිටුපස බලන කණ්ණාඩිය උඩට හරවාගෙන, තනිනොතනියට තවත් අයකු රැගෙන යන බවය. එහෙත් එවැනි උපක්‍රම ගැන වගක් නොතිබූ එක් ආයතනයක විධායක ශ්‍රේණියේ නිලධාරියකු මෑතකදී සුපුරුදු පරිදි තම වාහනය පදවාගෙන තනිපංගලමේ ගමන් කරමින් සිටියේය. හිටිවනම ඩිකිය බර වී ඇරුණා වැනි යමක් දැනී ඔහු වාහනය අයින් කර නතර කළේ තුන්මංසලේදීය. පරීක්ෂා කර බැලීමේදී කිසිදු වෙනසක් නොතිබූ නිසාත් දුරක සිට රිය පදවාගෙන එ්මේදී ඇති වූ බර හිස් කිරීමේ අවශ්‍යතාව නිසාත් දුම් රොටුවක් සුළඟට මුසු කළ ඔහු පාරේ අයිනක මුවා විය. නැවත පැමිණ වාහනය පණ ගන්වා ගමන් කරද්දී යම් අමුත්තක් දැනුණු නිසා ඔහු පිටුපස අසුන දෙස බැලුවේය. සුරූපී තරුණියක ලජ්ජාවෙන් මෙන් ඔහු දෙස බලා සිටිනු දැක පුදුමයට පත් වූ ඔහු කරුණාවෙන් මෙසේ ඇසුවේය:

“කොහේටද යන්නේ?”

ඇය කෝල ලෙස සිනා සුණා පමණි.

ප්‍රවාහන පහසුකම් අඩු ගම් ප්‍රදේශයක යද්දී දන්නා අඳුනන අය වාහනයේ ගෙන යෑම අරුමයක් නොවන නිසා තවත් දුරක් වාහනය පැදවූ ඔහු මේ තරුණිය කවුරුන්ද යන්න හරියටම හඳුනාගැනීම සඳහා යළිත් පිටුපස බලන කණ්ණාඩිය සකසා ඇය දෙස බැලුවේය.

තිරිංග තද කළාදවත් මතක නැති තරමේ වේගයෙන් වාහනය නතර කළ ඔහු දොර ඇරගෙන එළියට පැන දුවන්න පටන් ගත්තේ දෙපයට පින් දෙමිනි. හති හලාගෙන, ටයි පටි ඇදගෙන, සපත්තු මඟ දමා, වාහනයත් නැතිව ගෙදරට දිවූ හේ සැණින් ක්ලාන්ත වී වැටුණේය. හේතුවක් නොදත් නිවැසියෝ පුදුමයටත්, කලබලයටත් පත්ව වට පිට නිරික්සන්නට වූහ. සොයාගත හැකි වූ කිසිවක් නැත.

සිහි පැමිණි ඔහු උණ රෝගයෙන් පෙළෙන්නට විය. තෙල් සාත්තුවක් කරන්නට අවශ්‍ය වූයේ ඒ නිසාය. එහිදී ගුරුන්නාන්සේ හේතුව ඇසූ විට ඔහු කාරණය පවසා ඇත්තේ ඇඟ කිලිපොළා යන භීතියකිනි.

“මම පස්ස බලන කණ්ණාඩියෙන් බැලුවා. එතකොට අර ලස්සනට හිටිය ගෑනු ළමයා ‘ඊඊඊ...’ කියලා විරිත්තගෙන, ඇස් පුපුරන්න වගේ ලොකු කරගෙන මගේ දිහාට අත් දික්කරනවා මම දැක්කා. මම වාහනේ දොර ඇරගෙන පැන්නා. එච්චරයි මතක.”

මේ සුරූපිනියට බිය වූ පළමුවැන්නා නොවේ. රූපවන්තියක එවන් වෙසක් ගත්තේ කුමක් නිසාදැයි බොහෝ දෙනාට ඇත්තේ සැකයකි. එහෙත් ඒ ගැනද විවිධ කතා වලව්ව වටපිටාවෙන් සොයාගත හැකි විය. ඒ කතාවල සත්‍යතාවක් ඇතැයි අපට තහවුරු කළේ ඇමතියගොඩ නිලමේමය.

“වලව්වල සමහරු වෙනත් ගෑනු අය ආශ්‍රය කළා. ඒක බොරුවක් නෙවෙයි. ඒත් ‘බඩ’ අහුවෙයි ප්‍රශ්න ඇති වෙයි කියලා ඒවා සදාකල් සඟවලා දානවා. ඔය ගැන ලියැවුණු ප්‍රසිද්ධ නව කතාවක් වගේම ටෙලිනාට්‍යයකුත් මෑතකදී පෙන්නුවා.”

මොරහේනගේ හන්දියේදී සැඟවී ගියේද එවැනි රහසක්දැයි ඇතැමුන්ට ඇත්තේ සැකයකි. වලව්වේ මහත්තයකුගේ සිත් ඇදගන්නට නම් සුරූපිනියක විය යුතුය යන්නද අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ඒ සුරූපිනියගේ ආත්මය අප්පොලා මඟහැර වෙනත් අයගේ වාහනවලට ගොඩ වී විරිත්තා බිය වද්දන්නේ වලව්වේ ගිණුමට බැර වන ලෙස වෙනත් කිසිවකු විසින් කරන ලද අපරාධයක රහස හෙළි කරන්නටදැයි නොදන්නෙමු.

මේ හන්දියට තරමක් එහායින් ඇති කනත්තද දුර්වල තරංගවල සැරි සැරීම් පිළිබඳ නම් දැරූ තැනක් බව තවත් කීපදෙනකුම අප සමඟ කීවේ අත්දැකීම්ද සහිතවය. කරුණාසිරි මුණසිංහ ඔහුගේ කතාව අපට කීවේ මෙසේය:

“නිවාඩු දවසක මම ටවුමෙන් එළවුළු මල්ලකුයි හාල් මිටියකුයි බැඳගෙන බයිසිකලේ ගිනි මද්දහනේ ගෙදර ආවා. මංසලෙන් හැරිලා කනත්ත පහු වෙන හරියේ බෝක්කුවක ගාමිණි අයියා හිටියා. එයා මගෙන් ඇහුවා ‘කොහෙද මල්ලි යන්නෙ?’ කියලා. ආයේ ඇහුවා ‘බොන්න මුකුත් නැද්දැ?’ කියලා. මම බොන දේවල් නම් නෑ කියලා සිගරැට් බාගෙ එයාට දීලා ටිකක් කතා කරලා ගෙදර ගියා. බලද්දි එළවුළු මල්ල නෑ. මම ආපහු ඒ පැත්තට ගිහින් බලද්දි දැක්කේ කතා කරපු තැන ගොක් කොළ වගයක් තියෙනවා. ඒක ගිහින් ගෙදර කීවාම තමයි අපේ එක්කෙනා මතක් කළේ දැන් දවස් දහයකට විතර කලින් ගාමිණි මැරුණා නේ කියලා.”

ජීවතුන් අතර නැත්තකු සමඟ කතා කර එක දුම්වැටිය බෙදාහදාගත් බව සිහි වූ පසු කරුණාසිරිට වන්නේ කුමක්දැයි කිව යුතු නොවේ. වතුර මතුරා දීමෙන් පසු ඔහු යථා තත්ත්වයට පත් කරන්නට සමත් වූයේ පීල්ලවත්තේ ගුරුන්නාන්සේය. දින දෙකතුනකට පසු ඒ අසලට ගිය කරුණාසිරිට දැකගන්නට ලැබුණේ බීර කෑනයක් සහ මත්පැන් බෝතල කාලක් ඔහුගේ සොහොන අසල තබා ඇති අයුරුය.

තෙල් මැතිරීම යනු අමනුෂ්‍යයන්ගේ දුර්වල තරංග මඟින් මිනිසකුට ඇති කරන බලපෑම ඊට වඩා ප්‍රබල වූ ශබ්ද තරංග ආධාරයෙන් ඉවත් කරදැමීම ලෙස ඇදුරෝ කෙටියෙන් අර්ථකථනය කරති.

“අපේ පවුල්වල සාෙහොන් බඳින්න බෑ. ඒකට හේතුව ඒ කාලෙ මුදලිතුමා රජුට කියා තිබෙනවා, අපේ පවුල්වල දුප්පත් අය ඉන්න පුළුවන්, කෙනක් මඟ මැරෙන්න පුළුවන්, සොහොනක් බැඳගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් රජකෙනෙක්, රදළයෙක් මැරුණාම දවන්න ඕනෑ, ගෙඩිගවල් බඳින්න ඕනෑ. කුලවත් විදිහට මඟුල් මරණ ක‍ළේ නැත් නම් වාගම්සෝලි දානවා. ඒ් කියන්නේ කුලෙන් පහළට දානවා දඬුවමක් හැටියට. කුලෙන් අඩු කෙනෙක් බැන්දාමත් එහෙමයි. තව තොවිල් තහනම් දානවා. ඒ් කියන්නේ ගෙදරකින් ගින්දර දෙන්නේ නෑ, නාන්න බෑ, නෑකම් කියන්න බෑ, උත්සවවලට අාරාධනා නෑ, කොන් කරනවා, දඩත් ගහනවා. රත්නපුරේ බටුගෙදර තමයි මහ වාඩිය කියලා වරිග සභාව රැස් වෙනවා වගේ තීරණ ගන්න තැන. ඒතැනට කැඳවලා තමයි මේ තහනම දාන්නේ. එය ඉවත් කරනවා නම් ඒ්කටත් ක්‍රමයක් තියෙනවා. පනම් පහේ කට්ටිය කියන්නේ කුල පහක අය ගෙන්නලා උඩට උඩුවියන් බැඳලා දානයක් දෙන්න ඕනෑ. තහනම අහෝසි කියලා පෙන්නලා නම නොකියන්න පොරොන්දු වෙන්න ඕනෑ. ඊට පස්සේ කසාද බදින්න පුළුවන්. මරණ වළ දාන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න ඕනෑ. ඒ් නිසා කුලවත් අය රජ්ජුරුවන්ගෙන් අවසරයක් ඉල්ලනවා සොහොන් බඳින්නැතුව ඉන්න.”

තවමත් ගහකොළ සතාසීපාවා හොඳින් පිරි පෙදෙස්වල අමනුෂ්‍යයන්ට හැසිරීමට අවස්ථාව ඇති බව විදේශික පර්යේෂකයන්ගේ පවා අවධානයට ලක් වී ඇති කරුණකි. බටහිර විද්‍යාඥයන් පවසන්නේ භූතයන් ලෙස හඳුන්වන්නේ කෙටි තරංග ආයාමයක් සහිත ආත්ම බවය. බුදු දහමේද පේතවත්ථු, විමානවත්ථු ආදියෙන් පින්-පවු අනුව මිනිසුන් මරණයෙන් පසු ලබාගන්නා අත්භවයන් පිළිබඳ දේශනා කර තිබීම අමනුෂ්‍යයන් පිළිබඳ යම් අදහසක් ඇති කරගැනීමට අපට උදවු වේ.

භූත ආත්ම පමණක් නොව දේව ආත්ම පවා මේ වැනි ජනාකීර්ණත්වයෙන් අඩු ප්‍රදේශවල නිදහසේ සැරි සරන බවට සාක්ෂි ඇමතියගොඩ නින්දගම් ආශ්‍රිතවම හමු වේ. ඒ පිළිබඳවද සාක්ෂි පැරැණියන් අතර මෙන්ම නූතන ගැමියන් අතරද ඇත.

“දවසක් අපේ තාත්තලා දන්න-අඳුනන එක්කෙනෙක් කුඩා කතරගම පෙරහැර දවසේ වල්ඌරු මස් කාලා පෙරහැර බලන්න යන්න හදලා. කට්ටිය කීවලු ‘යන්න එපා!’ කියලා. ඒ පාර එයා කීවලු: ‘මොකද: දෙයිහාන්දුරුවො මගේ බඩ හාරලා බලන්නයැ?’ කියලා. යාළුවත් එක්ක ගිහින් වැඩ ඉන්න ගල්ගෙට යන තැන පොකුණු මූකලාන කිට්ටුව නා ගහ යට ගලක් උඩට වෙලා හිටියලු. එක පාරටම අත්තක් කඩාවැටිලා මිනිහගේ බඩ පැළිලා බඩ එළියට ආවාලු. හැමෝම කියන්නේ දෙයිහාන්දුරුවෝ බඩ පළලා පෙන්නපු හැටි තමයි ඒ කියලා.” ඇමතියගොඩ නිලමේද මේ කතා පිළිබද යහමින් අත්දැකීම් අැත්තෙකි.

“සමහර දේශපාලනඥයන් පවා දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න එනවා. ඒ් අය සමහර දේවල් ගැන දන්නේ නෑ. නොදැන කිලි වුණොත් කිලි හරං කරන්න ක්‍රම තියෙනවා. ඒත් ඒවා නොසලකන අය දැන දැනම මළකිල්ලේ පඬුරු බැඳලා තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙයි කියලා හිතනවා. වැදූගේ කිල්ල, මල්වර කිල්ල සහ මළ කිල්ල තමයි ප්‍රධාන කිලි. ඒවාට අහු වුණොත් වෙන්නේ අනිත් පැත්ත.

“දෙවියන්ට දොස් කියකිය ගිය කෙනකුට රෑ කොටියා පැන්නා කියලා සිහි නැති වෙලා. පස්සේ බලද්දි ඒෙහම කොටියෙක් නෑ. තව නීල පන්දමට කැට කාසි දානවා කියලා ඒකක් තියෙනවා. දෙවියන්ට අල්ලන පන්දම නීල පන්දම. ඒ්ක අරගෙන මහඅරංගුව යටින් යද්දි තළපු කාසියක් අවලාද කියන තැන - හදගල ළඟදි දාන්නේ. කතරගම දෙවියන් සෝවාන් පලයෙන් ඉන්න නිසා පළි ඉල්ලන්න බෑ. ඒත් දෙයි හාමුදුරුවන්ගේ පස්සේ එන පරිවාර අය කඩවර, මල්කඩවර වගේ දෙවිවරුන් ඒ් වැඩ බාර ගන්නවා. අරංගුව කියන්නේ ඒ් වගේ අවලාද කියන තැන. එහෙම දාපු කාසියක් හොරකම් කළ කොල්ලෙක්ට උණ බහින්නැතිව ඉදලා පස්සෙ කැට කාසිය ගෙදර අය හොයාගෙන ගිහින් දැම්මාමයි සනීප වෙලා තියෙන්නේ. දේවාලේ වෙච්ච හොරකමක් අහු වෙලා තියෙන්නේ කොටියා ඒ් මිනිහා මරලා නොකා කොටස් හතර දේවාලේ හතර පැත්තේ දාලා ගිහින් තිබුණාමලු. තවත් කපු පරම්පරාවකට අයිති කපු මහත්තයෙක් දේවාලේ තිර කෑල්ලකින් අමුඩෙ ගහගෙන කුඹුරු කොටලා ගෙදර ගිය ගමන් කොන්දෙන් පහළ හොයාගන්න බැරි පණ නැති ලෙඩක් හැදිලා මැරිලා, කපු මහත්තයාගේ පරම්පරාවම නැති වෙලා, ඒ් වගේම අැත්ගාලක් තිබුණු ප්‍රසිද්ධ පරපුරක් චංචල නිශ්චල දේපළ ඒක්කම පරිහානියට ගියා. ඒ්වගේ අනුහස් තියෙනවා කියලා හුඟාක් අය පිළිගන්නවා අම්මැඬිල්ල, කුඩා කතරගම දේවාලේ.”

ඒ් කතා තහවුරු කරමින් ගමේ බොහෝ වයසක සීයා කෙනකු අපට කීවේ “දෙයි හාන්දුරුවන්ට බැන-බැන ගිය මිනිහෙක්ගේ කකුලේ කූඩැල්ලන් පොදියක් ඒල්ලිලා එවුන් ගසන්න කොටයකට කියලා පයින් ගහලා තියෙන්නේ පත නයකුට. ඒ් බය වෙච්චි බයවිල්ලට මිනිහා ඒතැනම පාචනේ හැදිලා ඒකෙන්ම මළා,” කියායි.

දේවාලේ ඉදිරියේ අැති ‘දෙයියන්ගේ වෙලේ’ ගොයම් කැපූ විට වී බෙදන්නෙ නයා යැයි මතයක් තිබේ. ලැබෙන අස්වැන්නේ දෙවියන්ට අයිති කොටස ‘මුත්තෙට්ටුව’ නම් වේ. ඒය ගොඩ ගැසූ විට නයා වී ගොඩ මැදින් බෙදෙන ලෙස ගමන් කරයි. ඉන් කොටසක් ගොයියන්ටද මුත්තෙට්ටුව දෙයියන්ටද වෙන් කෙරේ.

අැමතියෙගාඩ නිලමේගේ අර්ථකථනය අනුව ප්‍රබල තරංග සහිත දෙවියන් සිටින තැන්වලදී අැතැම් අයට එය දැෙනන්නට පටන් ගනී. “සමහර මියගිය ප්‍රාණකාරයන් වුණත් ප්‍රබල තරංග සහිතව අප අසලින් සැරිසරනවා. ප්‍රබල තරංග මිනිසුන්ට ශක්තිය ලබා දී අායු වර්ණ සැප බල ඕජා වැඩි කිරීමට හේතු වුණත් දුර්වල තරංගවලින් අත් වන්නේ ඊට හාත්පසින් වෙනස් ප්‍රතිඵල. මිනිසුන් ලෙඩ දුක් කරදරවලට මුහුණ පාන්නේ දුර්වල තරංගවල බලපෑම නිසා. ගන්ධබ්බයා වගේම පඨවි ගුණයෙන් තොර අාත්ම තිබෙන බව මට විශ්වාසයි. පිං කිරීමෙන් ප්‍රබල තරංග ලැබෙනවා. ප‍ව් කිරීෙමන් දුර්වල තරංග එකතු වෙනවා.”

1762 සිංහල රාජ වංශයේ අන්තිම ජයග්‍රාහී සටනින් මිය ගිය 5500ක් සෙබළුන් හා තම උරුමයටත් එවන් වූ මුදලිවරුන් 13 දෙනාටත් පිං පිණිස කෘතගුණ සෑය ඉදි කරන්නට උදය අැමතියෙගාඩ බස්නායක නිලමේවරයා සිතන්න අැත්තේ දුර්වල තරංග සහිතව සිය වලව් ප්‍රදේශයේ සැරිසරන සුරූපිනිය වැන්නවුන්ට ඒ් තත්ත්වයෙන් අත්මිදීමටත් ප්‍රබල තරංග සහිත දෙවියන්ගේ අාශීර්වාදය ලැබී යහපතක් අැති වීමටත් විය යුතුය. කාල තිරයෙන් මුවා වී යන ඉතිහාසය, ඒ් සමඟ සැඟව යන අපේ විවිධ උප සංස්කෘතීන් පිළිබඳ දහසකුත් එකක් සිතිවිලි සමඟ අපි අාපසු කොළඹ බලා පිටත් වීමු.

අරුණි මුතුමලී 
සේයාරූ- සුදම් ගුණසිංහ / රුවන් ද සිල්වා

Comments