
නිශාචර සතුන්ගේ හඬ මැදින් රජු නිදැල්ලේ ඇවිද ගියේය. සඳේ කැලුම් වන රොදේ තැන් තැන්වල දැවැටී අපූරු කාන්තියක් මවා පායි. දරිද්‍රතාවේ මං ලකුණු කියා පෑ එක්තරා පැලකින් මැහැලියකගේ ඉකිබිඳුම් හඬ ඇසේ. රජු තරමක් ළංව දොර පැලැල්ලේ හිදැස අතරින් එබී බැලුවේය. ඒ මැහැල්ල මොනවාදෝ දොඩමින් හිස් අහසට අත් ඔසවා හැඬුවාය.
වෙස් වළාගෙන තම රාජ්‍යයේ මිනිසුන්ගේ වතගොත සොයමින් සංචාරය කළ ගජබා රජු එතැන් පටන් මුළු මහත් රාත්‍රිය පුරා නිදි සුව නොලැබීය. ඔහුගේ සිත ව්‍යාකූලය. ඊයේ රාත්‍රියේ තමා විඳි අත්දැකුම රජුගේ සිත පාරවයි. තම රාජ්‍යයේ වැසියන්ගේ සුව දුක් විචාරීම ගජබා නිරිඳුන් රාජ්‍ය සභාව ආරම්භයේදීම කරන්නකි. “මාගේ රටවැසියන් සුවයෙන් ද?” එතුමා මහ අමාත්‍යවරුන් විමසීය.
‘රටවැසියා ඉතා සුවයෙන් රජතුමනි’
ඇමැත්තෝ සුපුරුදු වචනයම කියති. එය හැමදාම සිදු වූවකි. ගජබා රජුගේ පියරජු බල්ලාටනාග රජතුමා සිටි කාලයේදීත් එය එසේම සිදුවිය. රටවැසියා විඳින ගැහැට මහරජතුමාට දැනගන්නට ක්‍රමයක් නොවීය. අතරමැද නිලධාරිහු ඒවා සඟවාගෙන අන් යමක් ම කියති.
“තොප බොරු කියන්නේ. මාගේ රාජ්‍යයේ කිසිදු පිරිමියෙක් හෝ ස්ත්‍රියක් දුකින් තැවුලින් නොසිටිය යුතුය. රාජකාරියට මුවාවී අලසව කල් ගෙවන නිලධාරීන් ගැන මම කනගාටු වෙමි. මාගේ රාජ්‍යයේ අසවල් දනව්වේ අසවල් තැන කුඩා නිවසක් ඇත. එහි වසන මහලු ස්ත්‍රිය කැටුව එව...” රජු අණ කළේය.
ඇමැත්තෝ බිරාන්ත වූහ. රජ අණ ක්‍රියාත්මක වී මහලු ස්ත්‍රියක් රජු පාමුල වැඳ වැටී සිටියාය.
“මෑණියනි, ඔබ ඊයෙ රාත්‍රියේ නිදිවර්ජිතව තනිවම ඉකිබින්දේ මන්දැ” යි රජු දයාර්දව විචාළේය.
“අවසර පස්වාන් දහසකට බුදු වන්ඩ මහා රාජෝත්තමාණන් වහන්ස, ඔබ වහන්සේගේ පියාණන් රජ දවසේ මාගේ පුතණුවන් දෙදෙනා වහල් මෙහෙය සඳහා සොළී රටට ගෙන ගියා. ජීවත්ව සිටිනවා නම් දැන් ඔවුන් නාඹර වයසේ තරුණයන් විය හැකියි. මේ වයසට මා සිටිය යුත්තේ කවුරුන් හෝ රැකවරණයක මතයි. මට දෙපා හා අතපය වාරු නැත. මහරජතුමනි, මගේ දරුවන් සිටියා නම් අද මට හව්හරණක් තිබේ. ඒ ගැන, සිහිවීමෙන් හා දාරක ස්නේහයෙන් මම තනිව හැඬුවෙමි.” මැහැලිය වචන පටලවමින් කීවාය.
“මෑණියනි, නුදුරු දිනයකදීම ඔබේ හා මෙවැනි මවුවරුන් සැමගේ දුක් තැවුලක් නිවා දමමි.” රජු මැහැලිය අත්වැසුවේය.
පසු දින පහන් වෙද්දී නීල මහා යෝධයාත් සමඟ ගජබා රජු මන්නාරම් තොටට ගියේය. නීල යනු අතිශය කාය ශක්තියක් තිබුණු මහා යෝධයෙකි. මන්නාරම් තොටට ගිය ද ඉන් පිටත්ව යාමට නැව් එහි නොතිබුණි. රජුට අයත් ඒ නැව් කිසියම් කාර්යයක් සඳහා දුරු රට ගොස් තිබු බැවින් මන්නාරම් තොටින් එතෙර වීමට ක්‍රමයක් නොතිබිණ.
නීල මහා සයුර විනිවිද සිසාරා බැලුවේය. නීල සිටියා නම් මේ රජුට වෙනත් කවරකු හෝ නැතත් කම් නැත. ඒ තරම් ධීර වීර ශක්තියක් නීලට තිබෙන බව ගජබාවන් දනී. “ රජතුමනි මට ඔබතුමා කර තබාගෙන අර ඈතින් පෙනෙන ඉන්දීය වෙරළ තීරයට පිහිනාගෙන වුව යා හැකිය. ඉවසා වදාරනු මැනවි. මා සන් කළ ඇඟිල්ලකින් සැපත් වන්න. පළමුව මෑත පෙනෙන දූපත වෙත යන්නෙමි....” නීල කීය.
ලෝහයෙන් තැනූ දැවැන්ත පොල්ලක් නීල අත තිබෙයි. ඊට යගදාව නමින් වැවහර කරනු ලබයි. හේ දෝත බදා ජල කඳට වැරෙන් පහරක් දුන්නේය. පුදුමයකි! හෙණ හඬක් පිපුරුවාක් මෙන් නැඟුණු හඬ මැදින් ජලකඳ දෙබෑවී වැල්ල මතු විය. ඒ ඇසිල්ලෙන් ඔව්හු කුඩා දූපතට ළඟා වූහ. මේ ක්‍රමයටම ඉතිරි ටික ද ගෙවා දැමු නීල මහා යෝධයා හා ගජබා රජු සොළී මාළිගයට පෙනෙන මානයට ආහ.
“නීල සොළී රජතුමා මුණගැසීමට මා තනිව යා යුතුයි.” ගජබා රජු කීය.
“එසේය. ඒත් ඔබතුමා ගොස් අඩහෝරාවක් ගිය තැන මම ද එහි එමි.” නීල කීවේය.
වාහල් දොරකඩට පැමිණි රජතුමා සොළී හේවායකුට මෙසේ කීවේය.
“සිංහල රාජ්‍යයේ රජු තොපේ මහරජු බැහැදකින්නට පැමිණ සිටින වග තොපේ රජුට කියව.”
සොළී හේවායා පණිවුඩය රජ වාසලට ගෙන ගියේය.
රජුන් දෙදෙනකුගේ හමුව සූදානම් විය.
“සොළී දේශයේ රජුනි, මා පියාණන් දවස මෙරටට රැගෙන පැමිණි පුරවැසියන් 12,000ක් රැගෙන යාමට පැමිණියෙමි. ඔවුන් නැතිව ඔවුනගේ මාපියන් සොවින් තැවෙයි...” ගජබා රජුට කියන්නට ලැබුණේ එපමණය.
හෝ, හොහ් හඬ නංවමින් සොළී රජු උමතුවෙන් මෙන් හිනැහුණේය. “ඔබ උමතුවෙන් ද? මෙවැනි අරමුණක් සඳහා අපේ රටට තනියෙන්ම පැමිණීමෙන් ඔබේ උමතුව මට වඩාත් වැටහෙයි...” සොළී රජු වහසි බස් කීවේය.
“රජතුමනි, තා දැනගනුව, ඔවුන් නොගෙන මිස මා ආපසු මේ රටින් ලංකාද්වීපය නොයන්නෙමි...” ගජබා රජතුමා ද කීවේය.
“ඔබට මම අවවාද කරමි. වහා රටින් පිටවෙන්න.” සොළී රජුගේ ගර්ජනාව මාලිගය රාව ප්‍රතිරාව නැංවීය.
ඒ අතර රාජ පුරුෂයෝ කලබලයෙන් මෙන් පැමිණ සොළී රජු පාමුල වැටුණහ.
“මහ රජතුමනි, සිහල දේශයෙන් පැමිණි මහා යෝධයෙක් රාජ උද්‍යානය විනාශ කරයි. එහි මහා ගස්කොළන් උදුරා හෙතෙම තණ පඳුරු මෙන් වීසි කරයි. රූස්ස ගස් අතුරිකිලි බිඳින්නාක් මෙන් තනි අතින් උදුරයි.”
රජු බියෙන් ගැහෙන්නට පටන්ගත්තේය. ඔහුට තුන් මුනින් දාඩිය දැමුවේය.
වහා ඔහු මා වෙත කැඳවනු රජ විධාන කළේය.
එබසට සිහල රජු ගජබා හඬ අවදි කළේය. “ඔබ කීවාට ඔහු තම විනාශය නොනවත්වයි. සිහල රජු එන්නට කී බව විධාන කරව...” එසේ කීවොත් පමණක් ඔහු මෙහි පැමිණෙනු ඇත. නීල මහා යෝධයා බර අඩි තබමින් සභා ගර්භයට පැමිණියේය. ඔහුගේ කායබල දුටු සොළී රජු තම සෙබළා කී විනාශයන් ඔහුට කිරීමට මහ වෙලාවක් යන්නේ නැතැයි සිතුවේය.
“තා මගේ රාජ උද්‍යානයට මෙතරම් විනාශයක් කළේ ඇයි? සොළී රජු නීලගෙන් විමසීය.
“මම සිටියේ ඔබේ උද්‍යානයේ කිසිම කලබලයක් නොකැර විවේකයෙන්. ඒත් ඔබේ සෙබළෙක් මා කැටුව යන්නට වෙර දැරුවා. මා ඔහුගෙන් මිදෙන්නට උත්සාහ කළා විතරයි...” නීල කීවේ ගණනක් නැතිවය.
“තොප දෙදෙනා මෙහි පැමිණියේ අනවසරයෙනි. එසේ පැමිණ කළ විපත මරණීය දණ්ඩනයට ලක්වන වරදකි.” තා ඒ බව දන්නෙහි ද?
“අප පැමිණියේ කිසියම් මානුෂිය කටයුත්තකට. එය ඉටුවූ සැණින් අපි නැවත යන්නෙමු.” එබසට ගජබා රජු උස් හඬින් කීවේය.
“එය මහත් අසීරු කරුණකි. තාගේ අත ඇති යගදාවෙන් ජලය ගත හැකි ද? තම ඉදිරිපිට ඇති මල් බඳුනක් පෙන්වමින්) මේ මල් බඳුනේ ඇති වැලි මිරිකා තෙල් ගත හැකි ද? එසේම ඔබ පැමිණි කාරණය ද අසීරු වන්නේය.”
සොළී රජු කීවේය.
“ඔබ කී සියල්ල මට කළ හැකි” යැයි කී නීල මහා යෝධයා අත තිබු යගදාව දෑතටම ගෙන වැරෙන් මිරිකුවේය. සියල්ලෝ බීරන්තට්ටු වී පුදුමයෙන් බලා සිටිති.
දෙවියනි! මේ නම් මහා ඓශ්චර්යයකි. එයින් දිය බිඳු වෑහේ.
සොළී රජුගේ හුස්ම හිර විය. ඔහුට ඉහළට ගත් හුස්ම පහළට හෙළන්නට බැරි ගානය. ගජබා රජු තම යෝධයාගේ විස්කම් බලා අපමණ ප්‍රීතියක් වින්දේය.
අනතුරුව මල් බඳුන අතට ගත් නීල ඒ බඳුනෙන් වැලි මිටක් අතට ගෙන තදින් මිරිකුවේය.
ඇඟිලි හිදැස් අතරින් පෙරී ආ තෙල් බිඳු දියසීරාවක් මෙන් ඇඟිලි මත රැඳුණේය. මේ නම් මහා විශ්මකර්මයකි. “කෝ, මේ අපේ හේවායෝ...” සොළී රජු ගුගුලේය. “රජතුමනි, ඔවුන් අපේ රාජ්‍ය විනාශ කරන්නට කලින් සිංහල රටින් ගෙනා දොළොස් දහසක මිනිසුන් සමඟ අපේ රටින් තවත් දොළොස් දහසක් මිනිසුන් එකතු කැර 24,000ක් අරන් අන්න! තොටමුණින් නැව් නැංගා... අපේ හේවායෝ ඒකට උදවු කළා.”
ඔවුන්ගේ මහ ඇමැති බයාදු ලෙස කීවේය.
ගජබා රජු නීල මහා යෝධයා සමඟ නැවත අනුරාධපුරයට එන විට එහි තිබුණේ මහා සැණකෙළියකි. අසුන්ගේ හේෂාරාවය ද, ඇතුන්ගේ කුංචනාදය ද, පංචතූර්ය නාදය ද අනුරපුරයේ අස්සක් මුල්ලක් නෑර රැව් දුන්නේය.
මවකගේ දුප්පත් කඳුළ තවත් මවුවරුන් ගණනාවකගේ දුක් තැවුල් පිස දැම්මේ එලෙසිනි. ගජබා රජු හා නීල මහා යෝධයා ගැන තවත් බොහෝ ජනකතා තිබේ. මේ ඒ අතරින් ප්‍රධාන කතාවකි.
දුටුගැමුණු රජුගේ ජනප්‍රවාද හා අන්තිම දවස් ගැන ලබන සතියේ....