
ජේමිස් සෙවූ දෝන අඬුව
සිරිසේන හෙට්ටිගේ
උඩනිරිඇල්ල
රත්නපුර ප්රදේශයේ බොහොමයක් තරුණියන්ගේ රැකියාව පතල් හෑරීමයි. ඇතැම් තලතුනා පිරිමි උදවිය ද රැකියාව වශයෙන් කරන්නේ පතල් හැරීමයි. එදිනෙදා කුලී වැඩ කර එදා වේල පිරිමසා ගන්නවාට වඩා හරි විදිහේ මැණිකක් ලැබුණොත් මුළු ජීවිතයම ගොඩ ගැනීමට හැකි වන නිසා පතල් හැරීම වඩා හොඳ යැයි ඒ කර්මාන්තයේ නියැළෙන්නන්ගේ අදහසයි.
වයස අවුරුදු පනහ ඉක්මවූ ජේමිස් පතලයක් හැරීමට තවත් කිහිප දෙනකු සමඟ එක්වූයේ කාලයක් කුලී වැඩ කිරීමෙන් සෙතක් නොවූ හෙයිනි. පතල් පිළිබඳ දැනුම එතරම් නොමැති වුවද ඔහු වැඩ කිරීමේ හැකියාව ඇත්තෙකි. පතලයේ වැඩ කරන අනෙක් අය කියන ඕනෑම දෙයක් කර දීමට ද ජේම්ස් පසුබට නොවිණි.
දිනක් පතලයේ ප්රධාන බාසුන්නැහැ විජේපාල, ජේම්ස් අමතා, “ජේමිස් අද උඹ ගිහින් දෝන හරවන අඬුවක් හොයාගෙන වරෙන්. ගමේ කාගෙ කාගෙන් හරි අහල බලපන්කො” යැයි පැවසුවේය.
එවෙලේම ජේමිස් දෝන අඬුව ගෙන ඒමට පිටත් විය.
“මට දෙන්ඩකො දෝන අඬුව තියෙනවනම්” නිවෙසකට ගිය ජේමිස් නිවෙස් හිමියාගෙන් ඉල්ලා සිටියේය.
“අනේ... ඒක දැන් මේ එක්කෙනෙක් අරන් ගියා... අන්න අර ගෙදරින් ඉල්ලගන්ඩ- ගෙහිමියා උත්තර දුනි. තවත් නිවෙසකට ගිය ජේමිස් පෙර සේම ආයාචනය කළේය.
“මොකක්ද ඒ. බලනව අල්ලපු ගෙදර” එහි නිවෙස් හිමියා කේන්තියෙන් උත්තර දුන්නේය.
මෙසේ ජේමිස් පැය ගණනක් තිස්සේ දෝන අඬුව සොයමින් ගම හැම තැනම ඇවිද්දත් පලක් නොවිණි.
මේ වන විට සවස හතර පසුවී තිබිණි. ජේම්ස් බයාදු ගතියෙන් පතල් වාඩිය ළඟ ඉඳගත්තේය.
“කෝ ජේමිස් දෝන අඬුව. මොකද පරක්කු වුණේ?” පතලයේ වැඩ අවසන් වී පැමිණි බාසුන්නැහැ ඇසු විට පිරිස කොක් හඬලා සිනාසුණහ.
ජේමිස්ට කාරණය තේරුම් ගියේ ඉන් පසුවය. පතල්වලදී එවැනි උපකරණයක් භාවිතාවේ නොමැති බවත්, කර්මාන්තයට පිවිසි නවකයින්ට එවැනි සරදම්වලට මුහුණපාන්න සිදුවන බවත්ය.
පාර පෙන්නූ අමුත්තා
සෝමපාල මෙනේරිපිටිය
අද හැට වන වියේ පසුවන නන්දසේන මුදලාලි තරුණ කාලයේ ඇළහැර හා ඔක්කම්පිටිය ප්රදේශවල මැණික් ගැරූ අයෙකි.
ඔක්කම්පිටිය කැලේ යහමින් මැණික් ලැබෙන ආරංචිය පැතිරී තිබිණි. එනිසා නන්දසේන සහ තවත් හතර දෙනෙක් ඔක්කම්පිටි ගියහ. ඔවුහු දේවාලමංකඩින් දිය පාර දිගේ කැලය ඇතුළට පිය නැඟූහ. පැය දෙකක පමණ ගමනකින් පසු දිය පාර අයිනේ වාඩිය තනා ගත්තේ තවත් වාඩි කිහිපයක්ම තිබූ බැවිනි. අනෙක් නඩ වැඩ කරන පතල් පොළේම ඔවුහු ද වැඩ කළහ. එම ඉල්ලම එතරම් සාර්ථක නොවූ බැවින් වෙනත් ඉල්ලමක් සෙවීමට කැලය ඇතුළට යෑමට ඔවුහු සූදානම් වූහ. එනිසා පසුවදාම උදේ ආහාරය ගෙන දහවල් කෑමට රොටී පුච්චාගෙන තේ සාදා ගැනීමට තේ කුඩු හා වතුර ද ගෙන කැලයට වැදුණහ. කැලයේ තැනින් තැන, වළවල් හාරමින් ඉල්ලම් සොයමින් ගිය ඔවුනට හවස් වන බවක් නොදැනිණි.
එක් අයකු අතවූ ඔරලෝසුව බලන විට රෑ වීමට තව පැය දෙක, තුනක් ඇති බවක් පෙනුණෙන් නඩය ආපසු ඒමට හැරුණක් කුමන පැත්තකට යා යුතුදැයි තේරුම් ගැනීම අපහසු විය. ඔවුහු වාඩියට ඒමට පාර සොයමින් පැයක් පමණ කැලේ පුරා කරක් ගැසූහ.
මෙසේ ඇවිදීම තේරුමක් නැති බව වැටහුණ පිරිස පසුව ගලක් උඩට ගොඩවී කුමක් කරන්නේදැයි කතිකා කරන්නට වූහ. එසේ සිටියදී අයෙක් කොළ අත්තක් එල්ලා කතරගම දෙවියන් සිහිපත් කරමින් දෙවියන්ට කන්නලව් කළේය. එසේ කියා විනාඩි දෙකක්වත් ගත වුණේ නැත. සුදු සරමක් හැඳ සුදු රෙද්දක් පොරවාගත් අයෙකු අඩි සීයක් පමණ දුරින් ගමන් කරනවා දුටු ඔවුහු ඒ තැනැත්තා හමු වී පාර අසා ගැනීමට පිටත් වූහ. පිරිස ඔහු හමුවීමට වේගයෙන් ගිය ද ඔහු හා තිබු දුර පරතරය වෙනස් නොවිණි.
පතල් නඩය යන වේගයටම ඉදිරියෙන් යන තැනැත්තා ද යන්නට විය. මෙසේ කැලය මැද පැයක් පමණ ගමන් කළ ඔවුනට ඈතින් දුමක් නඟිනවා පෙනෙද්දී මිනිස් වාසයක් ළඟ තිබෙන බව වැටහුණි. ඉදිරියෙන් යන තැනැත්තා තවත් ගමනේය. පිරිස ද ඔහු පසුපසින් යති. තවත් විනාඩි කිහිපයක් ගිය පසු ඉදිරියෙන් ගිය තැනැත්තා නොපෙනී ගියේය. ඒ සමඟම මිනිස් කට හඬවල් ඇසෙන්නට විය. පිරිස ඒ දෙසට කැලේ මැදින් ගියහ. ඔවුහු නොදැනීම වාඩිය තිබූ තැනට පැමිණ සිටියහ. එහෙත් ඔවුන් ඉදිරියෙන් පැමිණි තැනැත්තා ගිය පැත්තක් සොයා ගැනීමටවත් නොහැකි විය.
මේ සිදුවීම අසා අනෙක් අය පැවසුවේ කොළ අත්තක් කඩා ගසක එල්ලා බාර වෙද්දී කතරගම දෙවියන් මිනිස් වෙසක් ගෙන පැමිණ පිහිට වන බවකි.