රාසිං දෙවි­යන්ගේ වල් මීහ­රක් දඩ­යම | සිළුමිණ

රාසිං දෙවි­යන්ගේ වල් මීහ­රක් දඩ­යම

ඒ දෙවැනි රාජසිංහ රජු උඩරට රජ කරන අවදියයි. පොදු ජනයා අතර රජු හැඳින්වූයේ රාසිං දෙවියෝ නමිනි. රජු එතරම් ම ප්‍රතාපවත් ය. නිර්භීතය. මිටි කාලවර්ණ ශක්තිමත් සිරු‍රක් රජුට විය. එදා උඩරට සිරකරුවෙකුව සිටි රොබට් නොක්ස් රාසිං රජු ගැන රසවත් තොරතුරු රැසක් තම ග්‍රන්ථයේ දක්වයි. සෙන්කඩගල හැරුණු විට මහියංගණයේ අලුත්නුවර දියතිලකපුර හෙවත් හඟුරන්කෙත - නිල්ලඹේ - හඟුරන්කෙත නුදුරු ‍ගලඋඩ ඔහුට අතිරේක මාළිගා සහිත බළකොටු විය.

ඇමතීන් හා රාජ්‍ය නිලධාරීන් එන රටේ ප්‍රවෘත්තිවලට අමතරව රජුම වෙස්වළාගෙන තනිව රටේ ඇවිද තොරතුරු ලබා ගැනීම රජුගේ සිරිත විය. එක් දිනක් රජු අප්‍රසිද්ධ වේෂයෙන් සැරසී පිටිසර ප්‍රදේශවල තනිව සංචාරය කිරීමට විය. තද ග්‍රීෂ්මය වේලාවල රුප්පා - ගල්ගුහාවල නැවතී විවේක ගෙන යළි ඇවිදීම අමුත්තාගේ සිරිත විය.

දිනක් දඩයකම්කරුවෙකු ලෙස වෙස්වළා ගත් රජු වනාන්තරය මැදින් ඉදිරියට ගියේ ය. එම ප්‍රදේශය තද ගන වනාන්තරයක් වූ බැවින් බියකරු වනසතුන් සිටි අතර අඩි පාරක්වත් වැටී තිබුණේ නැත. යන මාර්ගය දැන ගැනීමට තැනින් තැන අතු කඩා දැමීම - අතු කඩා එල්ලීම - එදා දඩයක්්කරුවන්ගේ සිරිත විය.

මේ පාළු වනාන්තරය බියකරු වනසතුන්ට රජ දහනක් විය. ඇත් රංචු - තනි අලි - කොටි - වල් මීහරක් - ඒ අතර විය. වනාන්තරය මැදින් ගමන් ගන්න දඩයම්කරුවන් හා ආගන්තුක ගම්මුන් තිහකට පමණ කිට්ටු පිරිසක් මරා දැමූ මිනීමරු වල් මීහරකෙක් මේ අඩවියේ ගැවසුණේ ය.

අමුත්තා දුනු - ඊතල බැඳගෙන වනාන්තරය මැදින් යනවිට එහි උස් කඳු මුදුනක සරුවට වැඩී ඇති ඉබේ වැවී විසිරී තිබූ කිතුල් ගස් යායක් විය. එම කිතුල්යාය අසළ කිතුල් මඳින්නෙක් කිතුල් ගස් නැඟ තෙලිදිය එකතු කිරීමට විය.

කුළුමීමා ගැන කිසිත් තොරතුරක් නොදත් දඩයක්කරු අඩිපාර දිගේ ඉදිරියට එනු දුටු කිතුල් මදින්නා අමුත්තාට ඇසෙන සේ උස් හඬින් ශාප කරමින් බැණ වදින්නට විය. ඒ කෝපයෙන් නොව නොදන්නාකමෙන් වනාන්තරය මැදින් ගමන් ගොස් මිනීමරු වල් මී හරකාට ගොදුරු වී දරුණු තුවාල හෝ මරණය සිදුවේ යැයි අදහසිනි.

“පුරුෂය, හිතුවක්කාරව තනි ව මේ වනාන්තරයේ කොහි යන්නේ ද? රාසිං දෙවියන්ගේ නාමයෙන් ඔය ගමන අත්හැර ආපසු යව. මේ වනාන්තරය මිනිසුන්ගේ ජීවිත වනසන මින‍ීමරු වල් මීමෙකුට තොප බිලිවීමයි. ආගන්තුකකම - අඩවිය නොදන්නාකම නිසයි අප මේ අවවාදය දුන්නේ. රාසිං දෙවි අණින් නැවතත් කියන්නේ නැවතත් හැරී යව.”

අමුත්තා කිසිවක් නොඇසුණ මෙන් තනි ව ඉදිරියට ගමන් කරයි. කිතුල් මදින අය ගේ කෝපය ඉහවහා යයි.

“තොපට පළමු වතාවට අනතුර වටහා දුන්නා. මේ පාර දන්නා කිසිවෙක් රෑ හෝ ‍දවල් තනි ව යන්නේ නෑ.”

අමුත්තාගේ හැසිරීම්වල කිසි වෙනසක් නැත. මදින්නාගේ කෝපය ඊටත් වැඩියෙන් පි‍ටවෙයි.

“මේ තුන්වෙනි වතාවටයි කතා කළේ. වහා හැරී ආපසු යව. පණට ආදරේ ඇත්නම් රාසිං දෙවි නාමයෙන් ආපසු යව.”

කිසිවක් නෑසුණා මෙන් අමුත්තා තවත් ඉදිරියට යයි.‍ ඈතින් ගහකොළ සෙලවෙන අයුරු මඳින්නා දුටුවේ ය. ගහකොළ පොඩි කරගෙන මිනීමරු වල් මී හරකා පස් හූරමින් බිම දූවිලි නංවමින් නාසයෙන් ගින්දර පිට කරමින් ඉදිරියට දිව එයි. මඳින්නා තව මොහොතකින් සිදුවන දේ දැන ගස බදාගෙන ම දෑස් පියා ගත්තේ ය.

දඩයම්කරු දුටු මී හරකා උඟුර යටින් බියකරු හඬක් නඟමින් අමුත්තා වෙත පැන්නේ ය. ඔහු බිමට නැමී සතුරාගේ පහර වැළැක්වීය. පිම්මේ වේගයට උඩින් විසිවී ගොස් ගසක හැපුණු මීහරකාගේ කඳ අසළ තිබූ ගල් පර්වතයක ද හැපී ආපසු හැරී කෝපයෙන් ගොදුර වෙත පනින්නට විය.

අමුත්තා ගොනුගේ හිසට ඉහළින් මනාව වැඩි දෙපසට බෙදී අඩි තුනක් පමණ දිගට වැඩී තිබූ අං යුගළෙන් අල්ලා වල් මී හරකා ඔසවා බිම දමා ගැසුවේ ය. දෙදෙනා අතර විනාඩි දහයක පමණ මාරාන්තික සටනක් විය. අන්තිමේ මඟියා - එල්ල කළ කඩු පහරකින් උණු ලේ දහරා විදිමින් මිනීමරු වල් මීහරකා මැරී බිම වැටුණේ ය. ගස උඩ සිට ගස බදාගෙන සටන නරඹමින් සිටි මදින්නා දඩයක්කරුගේ හපන්කම් දැක ගසින් වහා බැස ඔහු ඉදිරියේ පෙනී සිට ඔහුගේ හපන්කමට ප්‍රශංසා කිරීමට විය.

“තොප, බය නොගෑවුණු දඩයක්කරුවෙක්”

ඉන්පසු ලේ විලක් මැද මැරී සිටින දැවැන්තයාගේ අං මත පා තැබ‍ූ අමුත්තා ඔහු සමඟ කතාබහට එක් විය.

“හෙට උදෑසන ම මේ අං යුවළ රැගෙන දියතිලකපුර මහවාසල අසලට ආ යුතුයි.”

මඳින්නා මෙතෙක් තමා නින්දා කළේ කාටදැයි බියෙන් තැතිගෙන සමාව ඉල්ලා දෙඩවීමට විය.

“අනේ! දේවයන් වහන්ස, ගැත්තා නොදැන කීදේට සමාව දෙන සේක්වා!”

“තොප ක‍ී දෙයින් අපට නින්දාවක් වූයේ නැත. ඉන් අපට වඩාත් ධෛර්යය මතුවූවා පමණයි.”

මඳින්නා රජුගේ දෙපා වඳිමින් යළි යළිත් අභයදානය ඉල්ලන්නට විය.

“වරක් අප කීවා‍. තොප වරදක් නොකළ බව තවත් කතා අවශ්‍ය නෑ.”

ඔහු ගිය පසු යෝධ අං යුවළ ගලවා ගත් ‍මඳින්නා පසුදා හිමිදිරි පාන්දර දියතිලකනුවර රජවාසලට ගොස් රාජ පණිවුඩය රාජ්‍ය සේවකයින්ට මතක් කළේ ය.

යෝධ මී අං යුවළ රජුගේ දෙපා මුල තැබූ මඳින්නා පසඟ පිහිටුවා රජුට වැන්දේ ය. මඳින්නා දෑතින් අල්ලා නැඟිටවූ රජු ඔහුට ගම්මානයක් ද අංගම්මන මුදියන්සේ යන නම්බු නාමය ද පටබැන්දේය. මේ අංගම්මන පරපුර උඩරට ප්‍රදේශ කීපයක අදත් විසිර ඇත.


 

Comments