හෘද අංක 3 හිමියෝ නිර්මාණශීලී පුද්ගලයෝ | සිළුමිණ

හෘද අංක 3 හිමියෝ නිර්මාණශීලී පුද්ගලයෝ

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සහ පාඨශාලාචාර්ය

ඉසිවර සහන ජ්‍යොතිෂ සේවය

ඒ. ජේ. දීපාලෝක

මෙහිදී හෘද අංක 3 හිමියන්ගේ පලාපල සඳහන් කිරීමට පෙර මුලින්ම හෘද අංකය සොයා ගන්නේ කෙසේ ද යන්න සැකෙවින් මෙලෙස සඳහන් කරමි. මේ සඳහා ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු සහ ඒවාට අංක විද්‍යාත්මකව යොදන ඉලක්කම් ගැන දැනගත යුතුය. ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු වන A, E, I, O, U යන අකුරු පහ සඳහා පිළිවෙළින් 1, 5, 9, 6, 3 යන අංක යෙදෙන බව මතක තබා ගන්න. මුලින්ම කොළයක ඔබගේ සම්පූර්ණ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න. ඉන්පසු ඔබගේ නම තුළ යෙදී ඇති ස්වර අකුරුවලට ඉහත සඳහන් ඉලක්කම් යොදන්න. අනතුරුව අදාළ ඉලක්කම් යොදා ඒවා තනි අංකයක් එනතුරු එකට එකතු කරගත යුතුය.

ඒ අනුව අංක විද්‍යා ජ්‍යොතිෂයේ සඳහන් පරිදි හෘද අංක 3 හිමි ඔබ ඉතාමත් නිර්මාණශීලී පුද්ගලයෙකි. නිර්මාණශීලි හැකියාවන් සහ සෞන්දර්යාත්මක හැකියාවන් ඔබට සහජයෙන්ම ලැබී තිබේ. රංගනය, ගීත ගායනය සහ ගීත රචනය වැනි සෞන්දර්ය පිළිබඳ කුමන හෝ විශේෂ දක්ෂතාවක් පවතී. කතාවට ද බොහෝ සෙයින් දක්ෂ වෙයි. ලේඛන හැකියාව ද පවතී. අන් අයගේ හදවතට දැනෙන ලෙස වචන හැසිරවීමේ හැකියාවෙන් යුක්තය.

හෘද අංක 3 හිමි ඔබ තුළ ඕනෑම දෙයක් පිළිබඳ නව අදහසක් ඇත. සෑම විටම නව ආකාරයෙන් සිතන අයෙකි. සිත තුළ බොහෝ දේවල් පහළ කර ගනී. ඔබේ සිතුවිලි නිර්මාණාත්මකව එළියට ගැනීමේ කලාව ඔබ හඳුනාගතහොත් බොහෝ ජනප්‍රිය පුද්ගලයකු බවට පත්වීමේ හැකියාව තිබේ. යමක් කිරීමේදී වඩාත් හොඳින් සහ පිළිවෙළට කිරීමට සිතයි. අන් අයට උපදෙස් සහ මඟ පෙන්වීමට ද දක්ෂ වෙයි. ඔබ ඉතාමත් සමබර ජීවිතයක් ගත කරන පුද්ගලයෙකි. විනෝදකාමි පුද්ගලයෙක් වන අතර නිතරම සතුටින් කාලය ගත කිරීමට කැමතිය. යහළුවන් නිතර ඇසුරු කිරීමට ද හෘද අංක 3 හිමි ඔබ බොහෝ ප්‍රිය කරයි.

ක්‍රීඩා කටයුතු සඳහා ද විශේෂ ආසාවක් දක්වන ඔබ හැකි සෑම විටම එවැනි කටයුතුවල ද නිරත වෙයි. ඕනෑම අයෙක් සමඟ සුහදව කටයුතු කිරීමට දක්ෂය. මේ අය ආදරය සහ ප්‍රේමය වැනි කටයුතුවලදී ඉක්මන් නොවෙයි. තමාට ගැළපෙන සුදුසු කාලය තුළ සුදුසු සහකරුවන් සහකාරියන් මුණ ගැසෙයි. අවංක භාවය ද මොවුන් තුළ දැකිය හැකිය.

ජීවත්වීමේදී ඔබ ඔබගේ සීමාවන් දැනගෙන කටයුතු කිරීම ඉතා වැදගත් වෙයි. යම් යම් දේ පිළිබඳ ඔබට ඔබ විසින්ම පනවා ගත් වාරණයක් තිබීම හොඳය. මත්පැන් සහ රාගය මුල්කර ගත් දේවල් කෙරෙහි හිත තදින් ඇදී යාම පිළිබඳ ප්‍රවේශම් වීම වැදගත්. හෘද අංක 3 හිමි ඔබේ සිත දමනය කරගෙන ආත්ම පාලනයකින් යුතුව කටයුතු කිරීම තුළින් ඔබගේ කුසලතාවන් වඩාත් ඔප් නංවා ගැනීමේ හැකියාව ඉස්මතු වනු ඇත. ඔබ තුළ පවතින්නා වූ තවත් එක් දුර්වලතාවක් වන්නේ ආරම්භ කළ කටයුත්තක් එක දිගට කරගෙන යෑමේ නොහැකියාවයි. එක දෙයක් කරන ගමන් තවත් දෙයක් ගැන කල්පනා කරයි. අවසානයක් වන තුරු යම් දෙයක් කරන්නේ කලාතුරකිනි. රැකියාව වුව ද විටින් විට වෙනස් කිරීමට සිතෙයි. මේ නිසා ජීවිත කාලය තුළ රැකියා කිහිපයක නිරත වීමට සිදුවිය හැකිය. උත්සාහයෙන් සහ මනා කැපවීමෙන් යුතුව ආත්ම ශික්ෂණයකින් තමා කරන කටයුතු කරගෙන යෑම තුළ ජීවිතේ ඉහළ සාර්ථකත්වයක් උදාකර ගැනීමේ වාසනාව ඔබට හට පවතී.

Comments